Posted by: lrrp | November 19, 2012

කේසකාරී දෙව්දුව

කේසකාරී දියණිය විසුවේ කසී රටේයි. බරණැස ඇය උපන් ගමයි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ බරණැස්නුවර ඉසිපතන මිගදායේ වැඩ වාසය කළා. එදින බොහෝ භික්ෂූන් උදය කාලයේ පා සිවුරු හැඳගෙන පිණ්ඩපාතය සඳහා ඒ ගමට වැඩම කළා. මේ භික්ෂූන්වහන්සේලා කේසකාරී ගේ නිවස ඉදිරිපිටින් වැඩම කළා. කේසකාරී දියණිය ඉතාමත් ඥාණවන්තයි. නිවස ඉදිරියෙන් වඩින ඒ මනෝභාවනීය ශ්‍රාවක පුත්‍රයන් දුටු ඇය විශ්මයට පත් වූවා. කෙදිනකවත් නොදුටු සංඝයා දැක ඉතා ප්‍රීතියෙන් දෑස් විහිදා එදෙස බලා සිටියා.

‘මොනතරම් සුන්දරයි ද? මේ සංඝයා දැකීමෙන් සිත ප්‍රීතියට පත්වෙනවා. කසාවත් හැඳ පාත්‍රය දරා ගෙන බිමට යොමුකරගත් දෑසින් වඩින මේ උතුමෝ කවරහු ද? ඉතාමත් සිල්වත් පින්වන්ත මේ සංඝයාවහන්සේලාට ගිහි ගෙදර කළකිරුණේ කිනම් කරුණක් නිසා ද? උන්වහන්සේලා කාවෙනුවෙන් පැවිදි වූයේ ද? සිතූ කේසකාරී තම මෑණියන්ගෙන් මෙසේ අසනවා.

‘මෑණියනි, මේ අප ඉදිරියෙන් වඩින භික්ෂූන්වහන්සේලා ඉතාමත් මනෝභාවනීයයි. රූමත්. හැමගේ ම ප්‍රසාදය ලබන සියුමැලි වූ පැවිදි උතුමන් පිරිසක්. මේ සියලුම භික්ෂූන් තරුණ වයසේ නේද පසුවන්නේ? මෑණියනි, මේ භික්ෂූන් පිරිස කුමන හේතුවක් නිසා ගිහි ගෙදර හැරදමා තරුණ වයසේ දී පැවිදි වූවා ද?’

‘දියණිය, ශාක්‍ය වංශයේ පුත්‍රයකු ශාක්‍ය වංශයෙන් නික්මිලා පැවිදි වී බුද්ධ නමින් ශාස්තෘන්වහන්සේ ලෙස ලොවට පහළ වෙලා. ඒ බුදුරජාණන් වහන්සේ මුල, මැද, අග යහපත් වූ අර්ථ සහිත ධර්මය දේශනා කරනවා. උන්වහන්සේ දෙවි, මිනිසුන්ට මේ සංසාර දුකෙන් එතෙර වීමටයි කියා දෙන්නේ. සියලුම සත්ත්වයන් කෙරෙහි අප්‍රමාණ දයාවකින් තමයි වාසය කරන්නේ.

ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ අනන්තයි අප්‍රමාණයි. උන්වහන්සේගේ ජීවිතය පුරාවටම කරුණාව, දයාව, ඉවසීම, තිබෙනවා. නිතරම මෙත් සිත පතුරවමින් තමයි වාසය කරන්නේ. උන්වහන්සේ සියලුම අකුසල් දුරු කරලා ඉන්නේ. රාග, ද්වේෂ මෝහ ප්‍රහාණය කර සියලු කෙළෙසුන්ගෙන් නිදහස් වූ උත්තමයෙක්. දියණියනි, මේ බ්‍රහ්මචාරී පැවිදි පිරිස ඒ භාග්‍යවතුන් වහන්සේ උදෙසා තමා පැවිදි වෙලා ඉන්නේ’ යැයි මව කියන්නීය.

ඔවුන් අසළ සිටියා ඒ මාර්ගයේ ගමන් කොට මාර්ගඵලයට පත් උපාසකයෙක්. කේසකාරීගේ මව අසනවා.

‘උපාසකතුමනි, මේ කාලයේ බොහෝ කුල පුත්‍රයන් මහත් වූ වස්තුව ද, බොහෝ නැදෑ පිරිස ද, නම්බුනාම සිටු තනතුරු ද හැරදමා බුදුරජාණන්වහන්සේ ළඟ පැවිදි වෙනවා. එසේ පැවිදි වීමෙන් ඔවුන්ට වෙන යහපතක් තිබෙනවාද? බොහෝ සැප සම්පත් විඳිමින් ගිහි ගෙදර වාසය කිරීමට ඉඩ තිබියදීත්, ඒ සියල්ල අතහැර දමා පඬු සිවුරු දරාගෙන, මැටි පාත්‍ර අතලාගෙන පිණ්ඩපාතයෙන් ලැබෙන කටුක ආහාර වළදමින් මෙසේ ඉන්නේ ඇයි? ඔවුන් සොයන්නේ මොන වගේ සැනසීමක් ද? ඒ පිරිස සොයන සැනසීම ඒ බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුළ තිබෙනවාද?

ඒ උපාසකතුමා කියනවා. දියණියනි මා දන්නා ආකාරයට ඔබට කියා දෙන්නම්.

මේ පැවිදි උතුමෝ පංචකාමයෙහි ආදීනවයන් දකිමින්, පැවිදි ජීවිතයේ අනුසස් දකිමින් වාසය කරනවා. තුණුරුවන් කෙරෙහි අපමණ ශ්‍රද්ධාවකින් තමා වාසය කරන්නේ. ඒ වගේ ම නිති පන්සිල් රැකීම නිසායි මේ පිරිස ප්‍රසන්නව ප්‍රමුදිතව වාසය කරන්නේ.’

කේසකාරී දියණිය අසනවා ‘උපාසකතුමනි, ඔබ කියන ආකාරයට තුණුරුවන් සරණයාමෙන් ඒ යහගුණ අපටත් ඇති කරගත හැකි ද?’

‘පින්වත් දියණිය එය එසේමයි. නුඹත් අද පටන් තුණුරුවන් සරණ ගොස් ඒ ලාභය ලබාගන්න’ යැයි කියා ඇය තිසරණ සරණ පන්සිල් සමාදන් කරවූවා.

‘උපාසකතුමනි, තිසරණය සමාදන් වීමට අමතරව තවත් යමක් කළයුතුව තිබෙනවා ද?’ කේසකාරී අසනවා.

‘මැය ඉතාමත් ඥානවන්තයි. ධර්මාවබෝධයට සුදුසුකම් ඇති තැනැත්තියකි. එනිසා මැයට ශරීරයේ කුණූප කොටස් තිස්දෙක කියා දිය යුතුයි’ සිතූ උපාසකතුමා ‘දියණිය ඔබ මේ ශරීරයේ පවත්නා කුණූප කොටස් තිස්දෙක නුවණින් මෙනෙහි කරන්න. කයට තිබෙන ආශාව දුරුකර දමන්න. වෙනස් වෙමින් තිබෙන මේ ශරීර ස්වභාවය පිළිබඳව අනිත්‍යය දකින්න’ යැයි විදර්ශනා මාර්ගය උගන්වා උපාසකතුමා යන්න ගියා. කේසකාරී කියා දුන් අන්දමට අනත්‍ය මෙනෙහි කළා. විදර්ශනා වැඩුවා. පිළිකුල්බව වැඩීම තුළින් සිත සන්සුන් වුණා. සිල් ගුණදම් දියුණු කළා. ඕ ටික කලකින් සක්කායදිට්ඨියෙන් නිදහස්වෙලා භාග්‍යවතුන් වහන්සේගේ දියණියක් වූවා.

කලකට පසු මැය කලුරිය කළා. මරණින් මතු ඇය සක්දෙවිඳුගේ භවනෙහි පරිචාරිකාවක ලෙස උපත ලැබුවා. අප්සරාවන් ලක්ෂයක් පිරිවරා සිටියා.

කේසකාරී දෙව් දුව දකින සක්දෙවිඳු අහනවා පින්වත් දෙව්දුව, ඔබ මොනවගේ පිනක් කරලා ද මේ අලංකාර දිව්‍ය විමානය පහළ වුණේ.’

ඒ දෙව්දුව කියනවා සත් දෙවිදුණි, මේ දිව්‍ය විමානය හරිම සිත්කළුයි. ප්‍රභාෂ්වරයි. වෛරෝඩි මානික්‍යවලින් තමයි මේ විමානය පැහැදී තිබෙන්නේ. රනින් කළ වෘක්ෂයන්ගෙන් හැම තැනම සුන්දර වෙලා තිබෙන්නේ. මගේ පුණ්‍ය කර්මයක විපාකයක් ලෙසයි මේ විමානය පහළ වුණේ.

‘පින්වත් දෙව්දුව, කළින් මේ දිව්‍ය විමානයෙහි දිව්‍ය අප්සරාවන් ලක්ෂයක් පමණ පහළ වෙලයි ඉන්නේ. ඒ පිරිවර ඇතිව ඔබත් මෙහි පහළ වුණේ තමාගේ ම පුණ්‍ය කර්මයන් නිසා තමයි. ඒ කලින් උපන් දිව්‍ය අප්සරාවන් පිරිවරාගෙන ඔබ බැබලෙමින් ඉන්නේ. සුපුන් සඳ රැස් විහිදා බබලනවා. එතකොට තරු එළියෙන් වැඩක් නැහැ. ඒ නැකැත් රාජයා වන සඳ මඬලමයි බබලන්නේ. ඔබත් ඒ වගේමයි. මේ අප්සරාවන් පිරිවරාගෙන දිලිහි දිලිහි යසසින් බබලනවා. පින්වත් දෙව්දුව, ඔබේ දර්ශනය අලාමකයි. මේ විමානයට ඔබ පහළ වූයේ කවර ලෝකයකින් චුත වෙලාද?

තවුතිසා දෙව්ලොව සක්දෙව් පිරිවරාගත් දෙවිවරු බ්‍රහ්මරාජයා දෙස එක දිගට ම බලාගෙන ඉන්නවා. සෑහීමකට පත්වීමක් නැහැ. ඒ වගේමයි සියලු දෙනා ඔබ දිහා කොතරම් වෙලා බලාගෙන හිටියත් සෑහීමකට පත්වීමක් නැහැ’ යැයි සක් දෙව්දුව කියා සිටියා.

කේසකාරී දෙව්දුව කියනවා,

‘සක් දෙවිදුනි ඔබ මගෙන් ඇසුවේ මේ දෙව්ලොවට මම ආවේ කවර ලෝකයකින් චුතවෙලාද කියලා. කසී රට බරණැස කියලා නගරයක් තිබෙනවා. ඒ නගරයේ මම කේසකාරී නමින් මිනිස් දුවක්ව ඉපදිලා හිටියා.

භාග්‍යවතුන් වහන්සේ ගැනත්, ඒ ශ්‍රී සද්ධර්මය ගැනත්, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඟරුවන ගැනත් මගේ සිතේ ලොකු පැහැදීමක් තිබුණා. ඒ ශ්‍රද්ධාව ස්ථිර එකක්. මම සැක රහිතවයි ඉන්නේ. නොකඩවා සිල්පද රැක්කා. සෝවාන්ඵලයට පත්වෙලා හිටියේ. මම නියත වශයෙන් ම නිවන අවබෝධ කරන කෙනෙක්’ යැයි ඇය කියා සිටියා.

ඉතිං සක් දෙවිඳු කියනවා,

‘පින්වත් දෙව්දුව ඔබ ඒ අරහත් සම්මා සම්බුදුරජාණන්වහන්සේ පිළිබඳවත්, ශ්‍රී සද්ධර්මය පිළිබඳවත්, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සඟ රුවන පිළිබඳවත් ඔබේ සිතේ ලොකු පැහැදීමක් තිබෙනවා. ඒ ශ්‍රද්ධාව ස්ථිර එකක් ම තමා. ඔබ සැක රහිතවයි ඉන්නේ. නොකඩ කොට සිල්පද රැකගෙන, සෝවාන් ඵලයට පත් වූ ඔබ නියත වශයෙන් ම නිවන අවබෝධ කරන කෙනෙක්. පින්වත් දෙව්දුව ධර්මය නිසාත්, පිරිවර නිසාත් ඔබ බබලනවා. අපි ඔබේ පැමිණීම සතුටින් පිළිගන්නවා. මෙය ඔබට සුන්දර ආගමනක් වේවි’ යි සක් දෙවිඳු කේසකාරී දෙව්දුවට ප්‍රශංසා කරමින් කියා සිටියා.

පසු කාලයක දී මේ කතාව සක්දෙවිඳු මුගලන් මහරහතන් වහන්සේට ප්‍රකාශ කළ විට මුගලන් මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට එය දැනුම් දුන්නා. භාග්‍යවතුන් වහන්සේ මිනිසුන්ගේත් දෙවියන්ගේත් හිතසුව පිණිස එය නැවත වදාලා.

මේ කේසකාරී දෙවිදුවගේ කථාවයි.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: