Posted by: lrrp | November 19, 2012

ප්‍රශ්න දෙස ඇති සැටියෙන් බැලීම

මිනිස්සු ඉතා ශීඝ්‍රයෙන් පරිහානිය කරා යන බවක් පෙනෙන්නට තිබෙනවා. මිනිස් සදාචාරයේ විශාල නාය යෑම් සිදුවෙලා. මිනිස් සිත දූෂ්‍ය වෙලා. එනිසා, ඔවුන්ගේ ක්‍රියා කලාපය කෙලෙසිලා. මිනිස්සු නිතර ම යොමු වෙන්නේ වැරදි අරමුණු වෙතයි.

නොයෙක් අරමුණු සාර්ථක කර ගන්න යොදාගන්නේ වැරදි උපක්‍රමයි. බොහෝ විට අගය කරන්නේ වැරදි සාරධර්මයි. මේ හේතුවෙන්, මිනිසා දිනෙන් දිනම පිරිහෙනවා. දුකට පත් වෙනවා. කිසි රැකවරණයක් ආරක්ෂාවක් නැති, අනාථ තත්ත්වයකට පත් වෙනවා. තමන් වරදෙහි ගැලී සිටින බව ඔවුන්ට හැඟෙනවා. ඒ නිසා ඔවුන් සිතින් තැවෙනවා. ඔවුන් ඔවුන්ට ම වෛර කරන්න පටන් ගන්නවා. ඔවුන් ගැන ම කළ කිරෙනවා.

මේ අතර ම මිනිසා තමන්ගේ ප්‍රශ්නවලට පිළියම් සොයන්නත් පෙළඹෙනවා. නමුත්, ඔවුන් මේ පිළියම් සෙවීමෙහි යෙදෙන්නේ අවබෝධයකින් යුතුව නොවෙයි. ඔවුන් පිළියම් සොයන්නේ බාහිරින්. මේ සියලු ප්‍රශ්නවලට මුල තමන් තුළ ම පවතින බව ඔවුන් දන්නෙ නෑ.

දැන් මිනිසුන්ට හැම දේම ප්‍රශ්නයක්. මිනිස් සිරුර, රූපලාවන්‍ය, තරුණ බව, පැහැය මේ සියල්ල ම ප්‍රශ්න. සිරුරේ සුන්දර බව, පැහැය ගැන විශාල උනන්දුවක් දක්වනවා. ජනමාධ්‍ය මඟින් විශේෂයෙන් ම රූපවාහිනිය, සිනමාව වැනි මාධ්‍ය මඟින් මේ අංශය වෙත මිනිසාව තවතවත් පොළොඹවනවා.

සුන්දර පෙනුමින් යුත් තරුණ නළු – නිළියන් යොදවා රූසපුව, තරුණ බව ආදිය ගැන මිනිස් සිත තුළ දැඩි උනන්දුවක්, බැඳීමක්, ඇලීමක් ඇති කෙරෙනවා. තරුණ බවට, පැහැපත් රූසපුවට මිනිසුන් කෙතරම් ඇලී සිටිනවා ද කියතොත්, දැන් මිනිස්සු වයසට යනවාට බයයි, කොණ්ඩේ සුදු වෙනවාට බයයි. ඒ නිසා, ඒවායින් වැළකෙන්න වලිකනවා. නොයෙක් උපක්‍රම යොදනවා.

මේවායින් එතරම් සාර්ථක ප්‍රතිඵල නම් නෑ. මේ නිසා ම සමහරු මානසික රෝගීන් වෙලා. සැබෑ ලෝකයෙන් ඈත් වුණු ඔවුන් ජීවත් වෙන්නේ සිහින ලෝකවල. ලස්සන වෙලා ඉපදුණු අයට ලස්සන බව ම කරුමයක් වෙලා. වයසට ගියත්, මුලින් තිබුණු ලස්සන දිගටම හොල්මන් කරනවා. එය නිතර ම සිතට වද නෙවා. සුන්දර ලෙස වයසට යන්නෙ කී දෙනාගෙන් කී දෙනා ද කියා සිතා බලන්න.

සිරුරට තියෙන තද බැඳීම, ඇල්ම තුනීකර ගන්න බුදු දහම මඟින් ඉගැන්වෙනවා. අප සිරුර පිළිබඳ සැලකිලිමත් නොවිය යුතු යයි මෙයින් අදහස් කෙරෙන්නේ නෑ. සිරුර ගැන සැලකිලිමත් වී, එය පිරිසිදුව තබා ගැනීම ඉතා අවශ්‍යයි. නමුත්, ඊටත් වඩා වැදගත් වන්නේ සිත පිරිසිදු කොටගෙන මිනිස් ගෞරවය රැකෙන සේ කටයුතු කිරීමයි. හොඳින් රැකබලා ගත් සිරුර නීරෝගී මනසක් පවත්වාගෙන යෑමට අවශ්‍ය උපකරණයක් පමණයි.

මිනිස් ජීවිතය ඉතා ම වටිනවා. යහපත් ලෙස පවත්වාගෙන යන මිනිස් ජීවිතය ඇත්ත වශයෙන් ම එක්තරා පූජනීය වස්තුවක්. මිනිස් ජීවිතය මඟින් අපූර්ව අත්දැකීම් ලැබෙනවා. මිනිසත් බව ලැබීම ඉතා දුෂ්කර, දුර්ලභ දෙයක් වශයෙන් බුදුරජාණන්වහන්සේ හඳුන්වා දී තිබෙනවා. එහෙත්, සමහර මිනිස් ජීවිත ලෝක ශාපයක් වශයෙන් පවතිනවා. අප ජීවිත එසේ නොවන්නට වගබලා ගත යුතුයි. ඒ නිසා, ජීවිතය මනාව සකසා, ඉතා පරිස්සමෙන් මෙහෙයවන්න ඕනේ. ආදරයෙන්, කරුණාවෙන්, දයාවෙන්, සැලකිල්ලෙන් ක්‍රියාකොට සියලු දෙනාට ම සතුට – සාමය ගෙන දෙන ආකාරයට ජීවිත ඵලවත් කරලීමට අප කටයුතු කළ යුතුයි.

මිනිසත් බව ලැබීම සාමාන්‍යයෙන් ම දුර්ලභ දෙයක්. දැනුම මේ තරම් ව්‍යාප්ත වන යුගයක මිනිසත් බව ලැබීම සුවිශේෂ භාග්‍යයක් වශයෙන් සැලකිය යුතුයි. අප සතු දැනුම් සම්භාරය ප්‍රයෝජනයට ගනිමින්, සියලු ම අදාළ සම්පත් ප්‍රයෝජනයට ගනිමින්, මිනිස් ජීවිත රැකගත යුතුයි. මිනිස් ජීවිත විනාශ කිරීමට කිසිවිටෙක නැඹුරු නොවිය යුතුයි. මිනිසුන්ගේ ජීවන තත්ත්වය නංවාලීමට, මිනිස් ශිෂ්ටාචාරයේ දියුණුවට හවුල්වීමට, මිනිසාගේ පැවැත්මට උපකාර වන පරිසරය සංරක්ෂණය කිරීමට නොමසුරුව දායක විය යුතුයි.

ජීවීන් අතර මිනිසාට හිමි වන්නේ ඉතා ඉහළ තැනක්. අපට ලැබෙන ඒ ඉහළ තත්ත්වයට ගැළපෙන විදිහට අප ජීවිත හැඩ ගස්සා ග යුතුයි. ඒ අනුව අපේ හැකියාවන් දියුණුකොට උපරිම ආකාරයෙන් ප්‍රයෝජනය ගත යුතුයි. වෙනත් ජීවීන් සමඟ අපි අපව සසඳගෙන බලමු. අප සතුව පවතින සමහර ලක්ෂණයන්, හැකියාවන් පරයන ලක්ෂණ හා හැකියාවන් වෙනත් සමහර ජීවීන් සතුව තිබෙන්න පුළුවනි.

සමහර සතුන්ට අපට නැති කාය ශක්තියක් තිබෙනවා. තවත් සමහර සතුන්ට පුදුම ඉවක් තිබෙනවා. කාලගුණයේ ඇතිවන වෙනස්කම්, කුණාටු, භූමිකම්පා වැනි දේ කල්තියා දැන ගැනීමේ හැකියාව බොහෝ සතුන්ට තිබෙනවා. එපමණක් නොවෙයි, ශරීරයෙන් පිට කෙරෙන විද්‍යුත් තරංග මගින් පණිවුඩ, සංඥා නිකුත් කිරීමටත්, ඔවුන්ට පුළුවනි. නමුත්, මිනිසුන් හා සසඳන විට, ඔවුන් හා මිනිසුන් අතර වෙනත් විශාල වෙනසක් තිබෙනවා. ඒ බුද්ධි මට්ටමේ වෙනසයි. සතුන් බොහෝ විට ක්‍රියා කරන්නේ ඉවෙන් නමුත්, මිනිසා ක්‍රියා කරන්නේ බුද්ධිය මෙහෙයවීමෙන්.

ඒ වුණත් සමහර මිනිසුන් බුද්ධිය මෙහෙයවා ක්‍රියා කරන ආකාරයට වඩා ඉතා උසස් ආකාරයකින්, ඉවෙන් කටයුතු කරන සතුන් උන්ගේ එදිනෙදා ජීවිත ගෙන යනවා. මිනිසාට බුද්ධිය තිබුණත් එය නිසි ලෙස පාවිච්චි කරන්නේ කී දෙනා ද? බොහෝ අය දූෂිත අදහස්, අසංවර හැඟීම්, පුහු විශ්වාස, විකාර සිතුවිලි හා වෙනත් නොයෙකුත් මනස්ගාත මගින් බුද්ධිය අඳුරුකොට ගෙන තමන්ව විනාශය කරා යොමු වීමට ඉඩහැර බලා ඉන්නවා.

“මම මගේ ජීවිතය ගැන සම්පූර්ණයෙන් ම සෑහීමකට පත් වී සිටිමි”යි කියල හිතට එකඟව කියන්න පුළුවන් ජගතෙක් මේ මුළු මිහිපිට ඉන්නවා දැයි මඳක් සිතා බලන්න. මෙහෙම කියන්න අපට බැරි එක් හේතුවක් නිසයි. ඒ අපි අපව වත් ලෝකයාවත් හරියට තේරුම් ගෙන නැති නිසයි. මොන තරම් ලෞකික සැප වින්ඳත් ඒ සියල්ල ක්‍රමයෙන් වෙනස් වෙනවා.

පෘථග්ජන අපට මේ වෙනස්වීමට ඔරොත්තු දෙන්න තරම් ආත්ම ශක්තියක් නෑ. වෙනස්වීම අපට දුකක්. ‘විපරිණාම දුක්ඛ’ කියා බුදු දහමෙහි සඳහන් වෙන්නේ මේ වෙනස්වීම නිසා අප සිතෙහි ඇතිවන ගැටුමයි. කම්පනයයි. නමුත්, වෙනස්වීම ලෝක ස්වභාවයයි. වෙනස් නොවන කිසිවක් ලෝකයේ නෑ. ප්‍රශ්නය වන්නේ අප මේ ලෝක ස්වභාවයට පිටු පෑ යුතු ද? මේ ලෝක ස්වභාවයට භාජන වීමෙන් වැළකිය යුතු ද? යන්න නොවේ. ඒ කාර්යයන් දෙකෙන් එකක්වත් කරන්න අපට බෑ.

අප කළ යුත්තේ මේ ලෝකස්වභාවයට මුහුණ පෑ විට ‘අප කළ යුත්තේ කුමක්ද?’ අප ඇති කරගත යුතු ආකල්පය කුමක්ද? යන්න අවබෝධ කර ගැනීමයි. අප ගන්නා ක්‍රියා මාර්ග සාමාන්‍යයෙන් පදනම් වන්නේ අප තුළ පවත්නා තණ්හාව මතයි. ඒ නිසා අපට අවබෝධයෙන්, ඉවසීමෙන් කටයුතු කරන්න බැරිවෙනවා. අප සමහරවිට අපටත් අන් අයටත් හානිකර අන්දමට හැසිරෙනවා. ඒ නිසා, අපට දුක් ගෙන දෙන අවස්ථාවන්ට මුහුණ පෑමට සිදු වූ විට අප ගන්නා ක්‍රියාමාර්ග, අප දක්වන ප්‍රතික්‍රියා, ආකල්ප ආදිය ගැන අප අවබෝධයක් ඇති කර ගත යුතුයි. තණ්හාව අප මෙහෙයවන ආකාරය අප හොඳින් වටහා ගත යුතුයි.

කිරින්දේ ශ්‍රී ධම්මානන්ද හිමියන්ගේ ‘මිනිසා කොයිබටද?’ පොතෙන් උපුටා ගැනිණි.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: