Posted by: lrrp | November 19, 2012

පැන් පුදා දෙව්ලොව ගිය දාසිය

භාග්‍යවතුන් වහන්සේ කෝසල ජනපදයෙහි “ථූන” නම් ගමට වැඩම කළා. ඒ ගමෙහි ප්‍රධාන බ්‍රාහ්මණ ගෘහපතියාට අසන්නට ලැබුණා ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ තමාගේ ගමට වැඩම කොට ඇති බව. ඉතාමත් මිත්‍යාදෘෂ්ඨික, මයුරු, නපුරු, මේ ගම් ප්‍රධානියා එය අසා බොහෝ කලබල වූවා.

මේ ශ්‍රමණ ගෞතමයන් ගමට වැඩම කළ විට මේ ගමේ මෝඩයෝ උන් වහන්සේගේ බසට අවනත වෙනවා සිකුරුයි. මා අසා තිබෙනවා. ශ්‍රමණයන් ළඟ මිනිසුන් තමා වෙත ඇඳ ගන්නා, කරකෝලාගන්නා, අවනතකර ගන්නා ‘ආවර්තනීය මායාව‘ තිබෙන බව. මුල, මැද, අග පිරිසුදු වූ ධර්මයක්ලු දේශනා කරන්නේ. මේ ජීවිතයේ තිබෙන නිස්සාර බව කියා දෙනවාලු… එහෙම වුණොත් අපට සිදු වෙන්නේ මහ විපතකි. අපේ් ආගම පිරිහීමට පත් වේවි… මේ මෝඩයෝ දිගටම රවට්ටවන්න බැරි වෙනවා. අපි බමුණෝ කියලා උන්වහන්සේට බේදයක් නැතිලු.. ඒ නිසා මේ ශ්‍රමනයන් ඇතුළු පිරිස ගමට පැමිණීම වළක්වන්න ඕන. මේ මෝඩ මිනිසුන්ට අණ කරලා තර්ජනය කරලා දන් පැන් දීම නතර කළ යුතුයි. දවස් දෙක තුනක් සිටියොත් බමුණු අපට සිය දිවි නසා ගන්නයි වෙන්නේ…” යැයි බමුණෝ කතිකා කර ගත්තා.

ඒ ගම් ප්‍රධානියා භාග්‍යවතුන් වහන්සේට වැඩ සිටීමට තනා තිබූ ආවාස ද, ගංඟා ඉවුරුවල නවතා තිබූ නැව් ද ඉවත් කිරීමට අණ කළා. එගොඩ මෙගොඩ යන පාලං අබලන් කළා. එක් ළිඳක් ගමේ අයට ප්‍රයෝජනයට තබා අනෙක් සියලුම ළිං තණ කොළ වලින් දහයියාවලින් ළිං කට දක්වාම පිරවූවා.

භාග්‍යවතුන් වහන්සේ මේ බමුණන්ගේ ක්‍රියාව දිවැසින් දුටුවා. ඔවුන්ට අනුකම්පා කොට භික්ෂූන් වහන්සේලා සමඟ ගංඟාවට උඩින් අහසින් වැඩම කොට “ථූන” නම් ගමේ ගසක් මුල පනවන ලද ආසනයේ වැඩ සිටියා.

ඒ ගමේ වැසියන්ට බමුණු ප්‍රධානියාගෙන් අණක් ලැබුණා. ඔවුන් කතිකාකර ගත්තා ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේටත් ඒ භික්ෂු පිරිසත් ගමට වැඩි පසු පෙරට ගොස් පිළිනොගත යුතුයි. නිවෙස් වලට වඩින ශ්‍රාවකයන් උදෙසා දන් පැන් පූජා නොකර, සිව් පසයෙන් උපස්ථාන නොකර සිටිය යුතු යි කියලා.

ඒ ගමෙහි කාන්තාවන් වතුර ගෙන ඒම සඳහා භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටි ගස අසලින් ගමන් කරනවා.

ඒ ගමෙහි එක් බමුණකුගේ නිවසේ දාසියක් මෙහෙවර කරමින් ජීවත් වූවා. ඇය ද කළය ගෙන වතුර ගෙන ඒමට ගියා. එන අතර මඟදී මහා සංඝයා සමඟ බුදුරජාණන් වහන්සේ පිපාසව විඩාබරිතව සිටිනු දැක උන්වහන්සේලා කෙරෙහි අප්‍රමාණ ආදර ගෞරවයක් උපදවාගෙන “මේ ගමේ උදවියෝ භාග්‍යවතුන් වහන්සේ ඇතුළු ශ්‍රාවක පිරිසට කිසිවක් නොදිය යුතුයි… කථා බහ නොකළ යුතුයි.. දාන මාන නොදිය යුතුයැයි සිතාගෙන ඉන්නවා. ඒත් මේ මුනිවරයන් වහන්සේලා කෙතරම් උපශාන්ත ද ? මුන්වහන්සේලාට පැන් දෝතක් පුදා බොහෝ පින් සිදු කර ගත හැකියි. පින් කෙතක් බදු වූ මේ භික්ෂූ පිරිසට අද මම පැන් පූජා කරන්නේ නැතිනම් එය මට අලාභයක්මයි. මෙතරම් දුකක් විඳින මට, පැන් දෝතක් පූජා කරලා ගුටිබැට ලැබුණත් මොකද?”… යැයි සිතු ඇය සෙමින් සෙමින් ආර්යයන් වහන්සේලා වෙතට පියවර මැන්නා. බොහෝ ගෞරව ආදරයක් උපදවාගෙන සිහින් හඬින් කථා කළා.

‘ස්වාමිනී මට කරුණා කරනු මැන. මේ ගමේ වැසියෝ මට කෙතරම් අක්‍රෝශ කළත්, පරිභව කළත් ඉන් මට කම් නැත.. ස්වාමිනී! මේ පැන් දෝත ඔබ වහන්සේට ඉතාමත් ගෞරවයෙන් පූජා කරනවා. එය පිළිගනු මැන…” යැයි බොහෝ බැගෑපත්ව ඉල්ලා සිටියා.

භාග්‍යවතුන් වහන්සේ එය නිහඬව පිළිගත්තා. ඒ දාසිය ජීවිත ආශාව අතහැර හිස මත තිබු පැන් කළය පැත්තකින් තබා බොහෝ සිත සතුටින් පසඟ පිහිටුවා වැඳ නමස්කාර කළා. ඉතාමත් පැහැදුණ සිතින් යුතුව පැන් පූජා කරන බව දුටු මුනීන්ද්‍රයාණන් වහන්සේ දාසියට අනුකම්පා කර පැන් පිළිගනු ලැබුවා…

පැන් පූජා කළත් කළයේ පැන් අඩු නොවූ නිසා ඇය තවත් භික්ෂූන් වහන්සේ නමකට පැන් පූජා කළා. එහි දී ද පැන් අඩුවීමක් සිදු නොවූ නිසා බොහෝ සතුටු සිත් ඇතිකරගෙන සියලුම භික්ෂූන් වහන්සේලාට පැන් පූජා කළා. එහෙත් ඒ දාසියගේ කළයේ පැන් අඩුවීමක් සිදුවූයේ නැහැ. ඇය භික්ෂු පිරිස කෙරෙහි බොහෝ පැහැදුණ සිත් ඇති කරගෙන වැඳ නමන්කාර කර සතුටු වී සිතින් වතුර කළය ගෙන ගෙදර ගියා.

ඇය නිවසට යන විට නිවසේ ප්‍රධාන බමුණාට ආරංචි වුණා තම දාසිය අතර මඟදී ශ්‍රමණයන් වහන්සේ ඇතුළු භික්ෂූ පිරිසට පැන් පූජා කළ බව.

මේ අහංකාර දාසිය ගමේ පිළිවෙත් බින්ඳා… මට අපහසා වන ආකාරයට හැසුරුණා යැයි කියා ඇයට බැණ වැදිමින්…”තී ඒ ශ්‍රමණයන් වහන්සේගේ බහට අවනත වෙමින් බහට රැවටුණා ද? අප අසා සිටින ආකාරයට ශ්‍රමණයන්ගේ ආවර්තතීය මායාම සැබෑවක්ම තමයි. පවිටු දාසිය නුඹ අප සියලුම දෙනාට අගෞරව කළා. බමුණු මතයට නිඟා කළා. ශ්‍රමණයන් උදෙසා කිසිදු බය, සැක නැතිව පැන් පූජා කරලා මට නින්දා කළා. පවිටු දාසිය මම නුඹට සමාවක් නම් නොදෙන්නෙමි ! යැයි කියමින් ඇයට අතින් පයින් පහර පිට පහර දුන්නා. නමුත් ඒ අහිංසකාවිය වෛරී සිතක් ඇතිකර ගත්තේ නැහැ. ඇය ගුටිකමන් මෙත් සිත වැඩුවා.

“ තී ඒ ගෞතමයන්ගේ රූපයට වශී වූවා ද ? මා තිට මෙතරම් පහර දෙද්දීත් නුඹ හඬ නොවැටෙන්නේ මන්ද ? නුඹ ජීවිත දානය නොයිල්ලන්නේ කුමක් නිසා ද? මරණයට බිය නැති එකියක් වූයේ කෙසේ ද? ආදී දේ කියමින් ඒ බමුණා අහිංසක දාසියට බිම දමාගෙන පහර දුන්නා.

සැබැවින්ම ඒ දාසියට මරණ බියක් දැණුනේ නැත. සිත ප්‍රීති ප්‍රමෝදයට පත් වෙලා තිබුණා. භාග්‍යවතුන් වහන්සේ ඇතුළු ශ්‍රාවක සංඝරත්නයට පැන් පූජා කරගත් ආකාරය ඇයගේ සිතේ රැව්පිළි රැව් දුන්නා.

අනේ… මම ඒ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඇතුළු භික්ෂු සංඝයාට පැන් දෝතක් පූජා කර ගත්තා. එය මට ලාභයක් ම යි. උන්වහන්සේලාගේ පිපාසය සංසිදුවා ගෙන සුවසේ වාසය කරනවා නම් එය ප්‍රීතියට කරුණක්…’’ දාසිය නපුරු සිතක් ඇති නොකරගෙනම සිතුවා. ඒත් ඒ කුරුරු බමුණාගේ පහර කෑමෙන් වැටුණු ඇය එතැනදීම මිය ගියා. නින්දෙන් පිබිදෙන්නාක් මෙන් ඇය තව්තිසා දෙව්ලොව උපත ලැබුවා.

කලකදී සම්මා සම්බුදුරජාණන් වහන්සේ තව්තිසා දෙව්ලොව ධර්ම චාරිකාවේ වැඩියා. උන් වහන්සේ මේ දෙව්දුව දුටුවා උන් වහන්සේ අසනවා,

“පින්වත් දෙව්දුව, රත්තරනින් නිමකළ ලස්සන වහළක් ඇති නැවකයි ඔබ ඉන්නේ. දිව්‍ය වූ නෙළුම් මල් පිපුණු පොකුණට බැහැල අතින් නෙළුම් නෙළමින් නේද ඉන්නේ ?…

ඔබේ මේ දිව්‍ය විමානය තුල සුවිසාල මන්දිර තිබෙනවා. හරි අපූරුවට කාමර වශයෙන් බෙදිලා තිබෙනවා. හාත්පස සතර දිග්භාගයේ ඒ විමානය දිලිසෙනවා. ඇත්තටම ඔබට මෙවැනි ලස්සනක් ලැබුණේ කොහොමද ? මොනවගේ පිනකින් ද ඔබට මේවා ලැබුණේ. සිතට ප්‍රිය උපදවන මේ සැප සම්පත් ලැබුණේ මොනවගේ පිනකින් ද ? මිනිස් ලොව දී මොනවගේ පිනක්ද ඔබ කෙළේ ?”

ඉතිං ඒ දෙව්දුව ගොඩාක් සතුටු වුණා. ඇය පවසනවා,

ස්වාමීනි ! ඒ කලින් ජීවිතයේ දී මම හිටියේ මනුස්ස දුවක් වෙලා. එදා මම ක්ලාන්තව පිපාසයෙන් සිටි ස්වාමීන්වහන්සේලා දුටුවා. මම ඉක්මනට උන්වහන්සේලාට වළඳන්නට පැන් ටිකක් පූජාකර ගත්තා. ඉතිං ස්වාමීනි, පිපාසයෙන් ක්ලාන්තව සිටින පිරිසට පැන් පූජාකර ගත් නිසා මට මේ සැප ලැබුණා.

මාගේ දිව්‍ය විමානය අසළ සීතල දිය දහර පිරී ගිය ලස්සන මල් පිරුණු සුදු නෙළුම් පිපිලා තිබෙන ගංඟාවක් පහළ වෙලා. එතකොට ඒ දිව්‍ය විමානය වටකරගෙන ලස්සන සුදු වැලි තලාව හැදෙනවා. ඒ මතින් සිහිල් දහරා ඇති ලස්සන ගංඟාවක් හැම තිස්සේම ගලාගෙන බසින්නේ.

ඉතින් ඒ හැම තැනම මල් පිපුණු අඹගස් තිබෙනවා. සල්ගස් තිබෙනවා. තිලක ගස් තිබෙනවා. පලොල් ගසුත් තිබෙනවා. එවැනි බිම් පෙදෙස්වල තමයි දිව්‍ය විමානය පහළ වෙන්නේ. ඒ දිව්‍ය විමානය පුදුම විදිහට සුන්දරත්වයෙන් යුක්තයි. ඉතිං ස්වාමිනි , එදා මම කළ ඒ පින්කමින් තමයි මේ විපාකය ලැබුණේ. පින්කළ අයට තමයි මේ වගේ සම්පත් ලැබෙන්නේ.

ඒ මගේ දිව්‍ය විමානයේ සුවිශාල මන්දිර තිබෙනවා. හරි අපූරුවට කාමර බෙදිලා තිබෙනවා. හාත්පස සතර දිග් භාගයේ ම ඒ විමානය දිළිසෙනවා.

ඒ පිනෙන් තමයි මෙවැනි ලස්සනක් මට ලැබුණේ. ඒ පිනෙන්මයි මේ සම්පත් ලැබුණේ. සිතට ප්‍රීතිය උපදවන මේ සැප සම්පත් ඔක්කෝම ලැබුණේ.

මහානුභාව සම්පන්න භාග්‍යවතුන් වහන්ස, මිනිස් ලෝකයේ දී ඔය පින තමයි මම කර ගත්තේ. ආනුභාවයෙන් යුතුව බැබලි, බැබලී ඉන්නේ පින මේකයි. මගෙ සිරුරෙන් විහිදෙන එළියෙන් හැම දිශාවම බබළනවා” යැයි ඒ දෙව්දුව භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ පැහැදුණු සිතින් යුතුව ප්‍රකාශ කළා.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: