Posted by: lrrp | November 19, 2012

මහසුප් තෙරණුවෝ

මගධ රටැ මහාතීර්ථ නම් බමුණු ගමෙක කපිල නම් පොහොසත් බමුණෙක් විය. ඔහුගේ පිප්පිලි මානවක නම් පුතෙක් විය. හේ වෙද වෙදාංග මැනැවින් උගත්තෙකි. ඔහුට විසි වයස් වු විට මා පියෝ අවාහයක් කරන්නට කතා කළහ. “එවැන්නක් මට නො කියන්න, ඔබ දෙ දෙනා ජීවත්ව ඉන්නා තාක් රැක බලා ගෙන හිඳ , ඔබෙන් පසු පැවිදි වන්නෙමි” යි හේ කීය, ඔහු ගේ මවු නිතර මේ ගැන කියන්නට වූහ. එවිට හේ රන්කාසි දහසක් රන් කරුවකුට දී අගනා ස්ත්‍රී රූපයක් කරවා වස්ත්‍රාභරණයෙන් සරසවා මවුට පෙන්වා “මෙවැනි ස්ත්‍රියක ලදිමි නම් ගිහි ගෙයි ඉන්නෙමි” යි කීය. එයසා බමුණන් අට දෙනෙකු කැඳවා රන් රුව රියෙක නංවා “දරුවෙනි, අපට දැයින් ගොතින් සමාන කුලයෙක මෙවැනි ස්ත්‍රියක දුටුවොත්, මේ රුව අත්තිකාරමට තබා එවු” යැ යි තෑගි බෝග දී යැවූහ.

“ශෝභන ස්ත්‍රීන් ගැන ප්‍රසිද්ධ දේශය මදු රට ය, එහි යමු” යි කියා ඔහු රන් රුව ගෙන එහි සාගල නුවර ගියහ. ගොස් නාන තොටෙහි රන් රුව තබා සැඟ වී බලා සිටියහ.

එ නුවර කෝසික ගෝත්ත නම් බමුණා ගේ දුව වූ භද්‍රා නම් සොළොසැවිරිදි කුමරියක් විය. ඇගේ කිරි මවු ඇය නාවා සිරි යහන් ගැබෙහි හිඳුවා තොමෝ නාන්නට තොටට එන්නී රන් රුව දැක මේ සිය සාමි දූ යැයි සිතූහ. සිතා නො විමසා ම” මෙහි කුමට අවු දෑ” යි කියා ගොස් පිටට පහරක් දුන්හ. ඇය අත රිදී, විමසා බලා, “අප සාමි දූ යැයි සිතීමි. එහෙත් මේ රුව ඇගේ රුවට කුමක් අගී ද ? මෝ මගේ සාමි දූ හඳීනා රෙදි කොණ අල්ලන්ට වත් තරම් නොවේ යැ” යි කීහ.3

එයසා සැඟ වී සිටි දූතයෝ අවුත් “ඔබේ සාමි දූ මෙවැනි ද ?” යි ඇසූහ. “මේ කිමෙක් ද ? මෙයට සිය දහස් ගුණෙන් ඕ ශෝභන යැ’යි කියා ඕ ඇගේ රූ සිරි වැණූහ. ‘එසේ නම් එව‘ යි කියා ඇයත් කැටුව ඔහු කෝසිත ගොන්න බමුණාගේ ගෙට ගියහ. බමුණා ඔවුන් සාදරවැ පිළිගෙන ආ තොරතුරු සියල්ල අසා සතුටු වැ ඔවුන් දුන් පඬුරු පිළිගත්තේ ය. සිය දුව පිප්පිලී මානවකයාට විවාහ කොට දෙන්නට කැමැති විය.

ඉකිබිති ඒ දූතයෝ “කුමරිය ලදුමු. කළ යුත්තක් කරන්නැ’යි හසුන් යැවූහ. කපිල තෙම එම පිප්පිලී මානවකයාට දැන්විය. “එ වැනි කුමරියක ලද නො හැක්කැ යි” මම සිතීමි. ඔහු එ වැනි තැනැත්තියක් ලත්හ’ යි කියත්, ඇය නො පතන්නකු හැටියට හස්නක් යවමි” යි මානවක සිතී ය. සිතා භද්‍රා තමාට සුදුසු සැමියකු හා ගොස් වෙසේ වා. මම නික්ම පැවිදි වන්නෙමි. මා පතා පසු තැවිල්ලට නො පැමිණේවා’ යි රහසේ ලියා දූතයකු අත යැවී ය. මෙයතර භද්‍රා ද තමා පිප්පිලී නමැත්තකුට විවා කොට දෙනු රිස්සහ යි අසා, රහසින් ලියුමක් ලියන්නී, “ස්වාමී පුත්‍රයාණෝ තමනට සුදුසු අන් කෙනෙකින් ආවාහයක් කැර ගෙන ගිහි ගෙයි වෙසෙත්වා.

මම පැවිදි වන්නෙමි. මා පතා පසු තැවිලියට පත් නො වෙත්වා’ යි ලියා දූතයකු අත පිප්පිලී මානවකයාට යැවූහ. ලියුම් ගෙන යන දූතයෝ මඟ එක් තැනෙක දී හමු වූහ. ඔහු කතා බස් කොට දැන හැඳීන ගෙන ඒ ලියුම් ගලවා බලා “බලන්න, මේ දරුවන්ගේ වැඩෙක සැටි” යි කියා ඒවා ඉරා දමා අන් ලියුම් දෙකක් ලියා දෙ පොළට ගෙන ගොස් දුන්හ.

ඉක්බිති ඔවුන් දෙ දෙනා ගේ සරණ මඟුල විය. මෙසේ පිප්පිලී මානවකයාගේ ගෙට භද්‍රාවන් පැමිණැ වූහ. එ තන් පටන් බඹසර රක්නා තවුසන් දෙදෙනෙකු සේ කල් යැවූහ. කිසි ම දිනෙක උනුන්ගේ ඔවුන් නොවුන් ස්පර්ශ කිරීම් පමණෙකුත් නො වීය. රාගයෙන් උනුන් දෙස කිසිම දිනෙක වත් නො බැලූහ. ඔහු දෙදෙනා මා පියන් ජීවත් වැ ඉන්නා තුරු ඔවුනට යටත් වැ හිඳ ඔවුන් මළ පසු මුළු ධනයට ස්වාමි වුහ.

දිනෙක පිප්පිලී මානවකයා කුඹුරට ගියේ න¼ගුලෙකින් බිඳීන තැන මතුªවූ ගඩවිල් පණුවන් කන කවුඩු ආදීන් දැක, පරහිංසා නැති ව ගිහි ජීවිතය ගෙන යෑ නොහැකි සැටි සලකා කලකිරී “අප සතු හැම ධනය භද්‍රාකාපිලානියට පවරා මහණ වෙමි” යි සිතීය.

මෙයතර කාපිලානී ද ගෙ මිදුල අව්වේ තල දමා කිරිමවුන් හා උන් තැනැත්තී කවුඩන් තල ගොඩෙහි උන් පණුවන් කන්නා දැක, කවුඩෝ කුමක් කත් ද ? යි අසා දැන, තවදුරටත් එහි තතු අසා, පර හිංසායෙන් මුළුමනින් තොර වැ ගිහි ගෙහි විසිය නො හැකි නියාව සලකා, පැවිදි වන්නට ඉටා ගත්තී ය.

පිප්පීලි මානවක කුඹුරෙන් පෙරලා ආ තැනැත්තේ බොජුන් වළඳා ඉක්බිති විවික්ත තැනෙක හිඳි කාපිලානියට සියලු වස්තු පැවැරීය. “ඔබ කුමක් කෙරෙත් දැ ස්වාමීනි ?” යි ඕ ඇසුවා ය. “මම මහණ වෙමි” යි හේ කිය. ඕ ද මමත් මහණ වන අදහස ඇති වැ එ බව දන්වන්නට ඔබ එන තුරු උන්නෙමි’ යි කීවා ය.

ඉක්බිති ඔහු දෙ දෙන කඩ පොළෙන් කසට පෙවූ රෙදිත් මැටි පාත්‍රත් ගෙන්නා ගෙන දෙ දෙනා ඔවුනොවුන් කෙහෙ බා දමා “ලොවැ යම් රහත් කෙනෙක් වෙත් නම් අපේ පැවිද්ද එ තුමන් උදෙසා” යැයි කියා ගිහි වෙස් හැර පැවිදි වෙස් ගත්හ. පාත්‍රා පසුම්බිවලැ බහා උරේ එල්ලා ගෙන පහයෙන් බැස නික්මුණා හ. පහයෙහි සිටියෝ ඔවුන් නො හැඳීන්හ. බමුණු ගමින් නික්මැ දාස ගම දෙසින් යන්නවුන් ඒ ගම වැස්සෝ ඇඳින ගත්හ. ඔහු ඔවුන් දෙස දෙනාගේ පාමුල වැතිර හඬා ස්වාමීනි, අප අසරණ කොට යන්නෝ දෙ ?” යි හැඬූහ. ඔහු දෙදෙන ඒ හැම දෙනා දාසකමින් නිදහස් කොට, ඔවුන් හඬද්දී ම නික්ම ගියහ. පිප්පිලී තාපස තෙම නැවැතී කාපිලානි දෙස බලා, ‘මේ මුළු දඹදිව ම තරම් වටිනා ශ්‍රීමත් භද්‍ර කාපිලානි මා පස්සෙන් එයි.

මෙය දක්නා ඇතැම් අය මොහු පැවිදි වීත් වෙන් වන්නට නො හැකි යහ. නො හොබනා දැයක් ම කෙරෙත් යැයි සිතා සිත දූෂ්‍ය කොට ගෙන අකුසල් රැස් කැරැ ගත හැක්ක, එ බැවින් මැය ගෙන් වෙන් වැයෑ යුතුª යැ’ යි සිතීය. මෙසේ සිතා යන්නේ දෙ මං හන්දියෙක දී ඇයට එ බව දන්වා, ඔබ එක් පාරකින් යන්න, මම අනෙත් පාරෙන් යෙමි’ යි කී ය. “එසේ ය. ස්වාමීනි, පැවිද්දනට ස්ත්‍රීය සම්බාධකයෙකි. පැවිදි වැලැත් වෙන් නො වෙති’ යි මිනිසුන් දොස් ගහනු ඇත. ඔබ එක් මෙඟකින් වඩින්න. අන් මඟින් මම් යෙමි’ යි භද්‍රා කීවා ය.

ඉක්බිති ඕ පිප්පලී තාපසයානන් පැදකුණු කොට වැඳ දොහොත් මුදුන් තබා, දික් කලක් එක් වැ වුසූ අපි අද වෙත් වූමු’යි කීය. යළිත් වැඳ වමත පැත්තේ පාරෙන් නික්මුණා ය. පිප්පලී තෙමේ දකුණත පැත්තේ පාරට වි ගියේ ය. ඔවුන්ගේ් මේ වෙන් වීමෙහි දි පොළොව සැලිණ. භාග්‍යවතුන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමයෙහි වැඩ හුන් සේක්, පොළොව ගුගුරන හඬ අසා, කුමක් නිසා පොළොව සැලේ ද ? යි නුවණින් බලා, කාරණය දැක, හුදෙකලාව වෙහෙරින් නික්මැ තුන්ගවු තරම් දුර වැඩ, රජගහ නුවරටත් නාලන්දා නුවරටත් අතරැ වු බහුපුත්‍රක නමින් ප්‍රසිද්ධ නුගරුක වෙත එළැඹ එහිමි මුලැ සවණක් රස් විහිදුවා හුන් සේක.

පිප්පලී තෙමෙ මේ මාගේ ශාස්තෘවරයා විය යුතු යි. මා පැවිදි වුණේ මුන් වහන්සේ උදෙසා යැ’ යි සිතීය. සිතා දුටු තැන සිට නැමි නැමී ගොස් භාග්‍යවතුන් වහන්සේ වැද ‘වහන්ස පින්වතුන් වහන්සේ මගේ ශාස්තෘහ. මම ඔබ වහන්සේ ගේ ශ්‍රාවක වෙමි’ යි කී ය. භාග්‍යවතුන් වහන්සේ එහි දී ම ඔහුට අවවාද තුනක් දීමෙන් උපසන් කළ සේක. සස්න පැවැදි වූ දා පටන් එ තුමනට ගෝත්‍ර නාමය අනුවැ මහා කාශ්‍යප (මහසුප්) යැයි නම් විය.

ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ අලුත් ශ්‍රාවකයාණන් හා මඟට පිළිපන් සේක. ටික දුරක් වැඩ, ගසක් මුල ඉඳ ගන්නට කැමැති අයුරක් දැක් වූ සේක. මහසුප් හිමියෝ තමන් පොරොවා ගෙන තිබුණු සිවුර සතර පටට නමා ගස මුල එලූහ. භාග්‍යවතුන් වහන්සේ එහි වැඩහුන් සේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ අනාගතය බලන සේක. තමන් පිරිනිවෙන්නට පෙරාතුව ම දෑ සව්වන් පිරිනිවෙන බව ද තමන් පිරිනිවී පසු මෙ තෙරුන් ධර්ම විනය සංගායනා කොට සස්න බොහෝ කල් පවත්නට සලසන බව ද දුටු සේක. දැක මහසුප් හිමියන් තමන් ගේ ස්ථානයෙහි තබන අදහසින් ඔවුනට තම සිවුර දෙන්නට සිතූ® සේක. එ සේ සිතා “ඔබේ මේ දෙපට සිවුර මෘදු යැ’ යි වදාළ සේක.

මහසුප් හිමියෝ ‘එය භාග්‍යවතුන් වහන්සේ පොරොවන කැමැති සේකැ’යි සිතා ‘වහන්ස, එය භාග්‍යවතුන් වහන්සේ පොරොවන සේක්වා’යි කීහ. එවිට “ඔබ කුමක් පොරොවන්නෝ දැ’ යි භාග්‍යවතුන් වහන්සේ ඇසූ සේක. “වහන්ස, ඔබ වහන්සේගේ සිවුර ලැබෙතොත් පොරවමි’ යි එ තුමෝ කීහ. ‘කාශ්‍යපයෙනි, පාවිච්චියෙන් පරණ වූ මේ සිවුර තොපට දැරිය හැකි ද ? මෙය ස්වල්ප ගුණ ඇත්තකු විසින් ද දැරිය නො හැක්ක. සියලු ධුතංග උසස් ම ලෙසින් පුරන්නහු විසින් ම දැරිය යුත්තෙකැ’ යි වදාළ සේක. එසේ ය, ඒ සියල්ල පුරනු හැක්කෙමි’ යි හිමියෝ කීහ. ඉන් පසු භාග්‍යවතුන් වහන්සේ තමන් සිවුර මහසුප් හිමියනට දී ඔවුන් සිවුර තමන් වහන්සේ පොරොවා ගත් සේක.

මේ මහසුප් තෙරුණුවෝ බුදු රජුනට අඟල් සතරක් මිටි වෙති. ඒ මිස බුදු රජුන් හා එක් වන් රූප ශෝභා ඇත්තෝ ය මෙ තෙරුන් දුටු අය බුදු රජාණන් වහන්සේ වැඩි සේකැයි බොහෝ විට කියති.

මහසුප් තෙරුන් දුටු දා සිට පෙර ජන්මයේ පුරුද්ද අනුවැ පුත්‍ර පේ‍්‍රමය උපදවා දිනපතා ම එ තෙරුනට බත් සැන්දක් බෙදන ස්ත්‍රියක් සැවැත් නුවර සිටියා ය. දිනෙක භාග්‍යවතුන් වහන්සේ එහි පිඬු සිඟා වැඩියා

දැක මහසුප් තෙරහු යැ යි සිතා බත් සැන්ද බෙදුවාය. ටික වේලාවකින් පසු මහසුප් තෙරණූවෝ එහි පිඬු සිඟා වැඩියහ. එ විට ඕ හැඳින මේ තාක් ම පුතනුවන් වහන්සේට මා බෙදනා බත් අද ගෙන ගියෝ අන් කෙනෙකැයි සිතා හඬා ගොස් “මඳක් සිටින්න වහන්සැ’යි කියා බුදු රජුන්ගේ පාත්‍රයෙහි තුබුණ බත් සැන්ද තමා පිළිගැන් වූ පමණ ම උකා ගෙන වුත් තෙරුන්ගේ පාත්‍රයෙහි ලූහ. පසුව මහ තෙරණුවෝ මේ වූ දෑ දැන “භාග්‍යවතුන් වහන්සේ හා එක නුවර පිඬු සිඟන හෙයි මෙසේ වූ අනදරයෙක් වී යැ’යි සිතා හිමාලය පෙදෙසට වැඩ එහි ගල් තල්ලක් යට විසූහ.

භාග්‍යවතුන් වහන්සේ පිරිනිව් පසු දෙවියෝ මෙ තෙරුන් වඩිනා තෙක්ම චිතකයට ගිනි දැල්වෙන්නට ඉඩ නො දුන්හ. ස්වල්ප වේලාවකින් තෙරණුවෝ එහි වැඩ, සිවුරු එකස් කොට පොරොවා වැඳ තුන් වරක් චිතකය පැදකුණු කොට සිරි පා වූ පැත්තෙන් චිතකය හා රන් දෙන විවෘත කොට බුදු සිරි පා යුවල වැන්දහ. ඉන් පසු ම ඒ දරසෑය එක් පැහැර ගිනි ගත. බුදු පිරිනිවනින් පසු මහසුප් තෙරණුවෝ ධර්මය සංගායනා කරන්න වටී යයි අදහස් කොට එය සංඝයාට දැන්වූහ. ඉක්බිති පන්සිය නමක් තෝරා ගෙන ඇසළ අවපෑළවිය දා වස් වසා අනඳ තෙරුන් ද කැටු ව වැඩ අජාසත් රජුට දන්වා උපකාර ලැබ රජගහ නුවර අසළ වූ අටොළොස් මහා විහාර ප්‍රතිසංස්කරණය කැරැවූහ.

බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහ නාහිමියන්ගේ “බුද්ධ භක්තිය” පොතෙන් උපුටා ගැනිණි.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: