Posted by: lrrp | November 19, 2012

සද්ධාතිස්ස මහරජුගේ කථාව

මෙසේ අසන්නට ලැබේ. යහපත් උතුම් දිවයිනක් වූ බොහෝ සත්පුරුෂයන්ට වාසස්ථාන වූ ඉතා සූභික්ෂ වූ සිංහල ද්වීපයෙහි සද්ධාතිස්ස නම් රජෙක් රාජ්‍යය කරවීය. සිංහාසනගතව විවේකයට පැමිණ නීවරණයෙන් දුරුවූ සිතැති ඒ රජුට මෙවැනි සිතිවිල්ලක් පහළ විය. බුදුරදුන් විසින් සංයුක්ත නිකායේ දේවතා ප්‍රශ්නයකදී පිරිසිදු දානය වර්ණනාකරමින් (1) ඇතැම් කෙනෙක් විෂම චරිතයෙහි පිහිටා අනුන් කපා කොටා වධ දී සෝක උපදවා දන් දෙති; දඬුවම් සහිත වූ හැඬූ කඳුලෙන් යුත් ඒ දානය සම පැවැත්මෙහි පිහිටා දුන් දානය හා සමබවට නොපැමිණේ”යයි දෙසන ලදී. මා උතුම් වූ පිරිසිදු වූ මහත් අනුහස් ඇති දානයක් දෙන්නෙමි නම්, විෂමදානය දුරු කොට සමාදානයක් දෙන්නෙමි නම්, බුදුන් විසින් පසස්නා ලද සිය කය වෙහෙසීමෙන් දානයක් දෙන්නෙම් නම් යෙහෙකැයි සිතා සිය මෙහෙසිය අමතා (2) සොඳුර, දැන් ශස්‍යකාලයයි; ශස්‍ය පැහී ඇති බැවින් බොහෝ දෙන තුමූ ම ගොයම් කැපීම කරත් (3) මමත් කසාවත් හැඳගෙන දෑකැත්ත ගෙන ඇල්කෙත්වල ට ගොස් ඇල්ගොයම් කපන්නෙමි.

(4) ඒ වී ගෙනවුත් බත් සාදා ව්‍යඤ්ජන සහිත කොට සංඝයාගෙන් ලබාගත් භික්ෂූ නමකට දන් දෙන්නෙමි. (5) ඉදින් සංඝයාට දෙන්නෙම් නම් ඒ දානය බුදුරදුන් විසින් වර්ණනා කරන ලදී. මම එ දානය දීම සඳහා බැලමෙහෙකරන්නෙමි යි කීය. (6) මෙසේ එම කාරණය දේවියට කියා රැයින්ම නැගිට පිටත ගොස් මහ මග සිටගෙන යන එන මිනිසුන්ගෙන් විචාළේය. (7) මහ මග සිටි ඔහු දැක එක් ගෘහපතියෙක් සතුටු සිතින් ඔහු වෙත ගොස් මෙසේ විචාළේ ය. (8) ඔබගේ අත් පා සිවු මැලි වෙත්, ශරීරයද සුවසේ වැඩුණකි. මිත්‍රය ඔබ තනිව කුමකට මෙහි සිටිනෙහි ද? (9) “මිත්‍රය , මම කම්කරුවෙක්මි. දවස් කුලියට වැඩකරව. එසේ කොට යමක් ලබන්නෙමි නම් එය ගෙන යමි” යි රජ කීය. (10) මා විසින් මෙවැනි කම්කරුවෙක් මින් පෙර නොදක්නා ලදී. මේ ශරීරය රජකම් කිරීමට සුදුසු ය. මෙය බැලමෙහෙ කිරීමට යෝග්‍ය නොවේ යයි කී ගෘහපතියා කවරෙක් හෝ වේවා, කුඹුරක ගොයම් කපන්ට හැකිදැ’යි විචාළේ ය. එසේය, හැකියයි කී විට “එහෙනම් යමු” කියා ඔහු සමඟ ගොස් කුඹුර පෙන්වා මෙහි ගොයම් කපවයි කීය. එය පිළිගත් ශක්තිමත් රජ ශ්‍රද්ධාවෙන් යුක්තව දවස මුළුල්ලේ වැඩ කෙළේ ය. එයින් සතුටට පත් කුඹුරු හිමියා ඔබට යම් පමණ ගොයම් ගෙන යා හැකිනම් එපමණ ගත මැනවැයි කීය.

රජතෙම මහත් ගොයම් මිටියක් බැඳ තබා රාත්‍රී කාලයෙහි රජගෙට ගෙන ගොස් එහි තැබීය. රාජදේවිය ඔහු උණු වතුරෙන් නාවා අත් පා මැඩීම කළාය. ඉක්බිති රජ හා දේවිය එක්වී ගොයම් මැඩ පිදුරු ඉවත දමා රජ තෙම දේවියට මෙසේ කීය. (11) “ මේ ධාන්‍යවලින් කළ යුතු දෙය කරනු මැනවි. රජගෙය තුළට කිසිවකුට පැමිණෙන්ට ඉඩ නොදෙව“. (12)

ඕ තොමෝ යහපතැයි කියා රජුගේ කීම පිළිපදිමින් දහයියා හා කුඩු ආදිය ඉවත් කොට ඇතැම් සහල් විකුණා ඒ මුදලෙන් සතුරු ගිතෙල් කැවුම් ආදිය ගෙන එක් නමකට සෑහෙන දානයක් පිළියෙළ කොට රජුට දැන්වීය. (15) රජතුමා දාසියක් අමතා “තී වහා සංඝයා සමීපයට ගොස් සංඝයාගෙන් භික්ෂුනමක් ලබාගෙන එවයි” කීය.

(16) පුවඟු දිවයින වැසි තිස්ස තෙර මේ කීම දිව කනින් අසා එක්තරා භික්ෂු නමක් අමතා ‘ඇවැත්නි’ තොපගේ උපස්ථායක වූ සද්ධාතිස්ස මහ රජ බැලමෙහෙ කොට එක් භික්ෂූ නමකට දානය පිළියෙළ කරයි. හෙතෙම එය සංඝයාට දෙනු කැමතිව දැන් දාසිය විහාරයට පිටත් කළේ ය. ඒ දානය පිළියෙළ කළ රජු විසින් දුෂ්කර දෙයක් කරන ලදී. එය පෘථග්ජනයෙක් අනුභව නොකෙරේවා. ඔබ තාම්‍රපර්ණියට ගොස් එහි අසුන්හලෙහි වැඩිමහලු පිළිවෙළින් සිටිනු මැනවි. ඔබට ඒ සීට්ටුව ලැබෙන්නේ ය’යි කීය. ඒ භික්ෂු නම “යහති ස්වාමිනි” යි කියා අහසට නැග තාම‍්‍රපර්ණියෙහි බැස පාත්‍ර සිවුරු රැගෙන අසුන්හලට ගොස් වැඩිමහලු පිළිවෙළින් සිටියේය. රජුගේ දාසිය ආරාමයට ගොස් ආරාධනා පිළිගන්නා තෙරුන් වෙත පැමිණ කාරණය දැනුම් දී භික්ෂුනමක් ලබාගෙන ආවේය. රජතුමාත් දේවියත් ඉදිරියට අවුත් වැද රජ තෙම පාත්‍රය ගෙන ඒ ආහාරයෙන් පාත්‍රය පුරවා පාත්‍රයට යටින් වස්ත්‍රයක තබා අතිශය ගෞරව දක්වා භික්ෂුනමට ඒ පාත්‍රය දුනි. භික්ෂුනම පිණ්ඩපාතය රැගෙන මෙසේ කීය. (17) මේ දානය සම්පූර්ණයි. ආසනයක් නො ලබන්නා වූ මම කැමැති තැනකට යන්නෙමි. (18) මහරජ, අධික පැහැදීම නොකළ මැනවි. මධ්‍යස්ථ වෙව. අධික පී‍්‍රතියෙන් යුත් සිත දරාගන්ට අපහසු වෙයි.”

(19) මෙසේ කියා ඒ භික්ෂුනම අහසෙහි පක්ෂියෙකු මෙන් ගමන්කොට ඒ දානය සංඝයාට පිළිගැන්වීය. (20) ඒ ආහාරය දහතුන් දහසක් භික්ෂූන්ට ප්‍රමාණවත් විය. දී ඉතිරි වූ දෙය ඒ භික්ෂුනම වැළදී. (21) රජ තෙම දක්ෂිණාර්හයන් සේ ගුණය ප්‍රත්‍යක්ෂ වශයෙන් දැක මහත් පැහැදීමක් ඇති කොට මානසික සැපයට පත්විය.

ඉක්බිති ඒ රජුගේ මරණාසන්න කාලය පැමිණි විට ධර්මකථිකයෝ “මහ රජ තමා කළ කුසල් සිහිපත් කිරීම මැනවැ’යි කීහ. රජතෙම මෙසේ කීය.(22) මා විසින් මිණිමුතු යෙදූ බොහෝ බුද්ධ රූපාදිය රනින් කරවන ලදී. ධර්මය කෙරෙහිත් සංඝයා කෙරෙහිත් මා කළ පින් විවිධාකාරය. (23) තුදුස්වකදා ද පසළොස්වක් – අටවක් දිනයන්හිදී ද මා විසින් මනාසේ අටසිල් රකින ලදී. නමුත් මේ සියල්ල පරදවා එක් භික්ෂූනමකට දුන් දානය මට පෙනෙයි. (24) මෙසේ නරශ්‍රේෂ්ඨ වූ රජතෙමේ දෙව්මිනිසුන් විසින් උසස් තැන තැබූ ආර්ය සංඝයා අතරෙහි වූ ආර්ය පුද්ගලයකුට දන් දී තුසිත භවයට ගියේ ය. (25) ඒ රජ අප්‍රමේය වූ අනන්ත වූ සැපයක් ලැබුවේය. මේ මහජනයාද ඒ රජු මෙන් ජරා මරණ නැති ක්ෂයවීම් නැති ශෝක නැති උතුම් සැපය ලබනවා.

පොල්වත්තේ බුද්ධදත්ත මහ නාහිමියන්ගේ ‘ඉතා පැරැණි සිංහල බණ කතා’ පොතෙන් උපුටා ගැනිණි.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: