Posted by: lrrp | November 20, 2012

ගන්ධබ්බයා කවරෙක්‌ද ?

පාලියෙහි ගන්ධබ්බ යන්නෙන් මව් කුසක පිළිසිඳින සත්ත්වයා අර්ථ ගන්වයි. මෙම අර්ථය ඇතැම් තැනක සම්භවෙසි යන පර්යාය නාමයෙන් ද, සංස්‌කෘතයේදී ගන්ධර්ව යන නාමයෙන් ද, යෙදී ඇති අතර ස්‌ථවිරවාදීන්ගේ ප්‍රධාන ශාඛාවක්‌ වන සර්වාස්‌තිවාදීන් විසින් මෙම තත්ත්වය අන්තරා භවිකයන නමින් ද හඳුන්වා තිබේ. යෝගාචාර ගුරුකුලය ආලය විඥානය ලෙස දක්‌වති. යාතනා ශරීරයනු ගන්ධබ්බ යන්නටම අපර නාමයෙකි.

සෘග්වේදයේ ගන්ධබ්බ යන්න භාවිත කර ඇත්තේ අහසේ හැසිරෙන දේව කොට්‌ඨාසයක්‌ හැඳින්වීමටය. එහි එක්‌ තැනක Rෂිවරයෙකු මනෝමයකයෙන් අහසින් ගිය පුවතක්‌ දැක්‌වේ. එසේම එහි 177 සුක්‌තයේ”පතංගෝ”යන්න විස්‌තර කරනුයේ ආකාශයේ හැසිරෙන ගන්ධබ්බ ගණයට අයත් දෙවියෙකු ලෙසය. තෛත්තිරීය ආරණ්‍යකයේ ආත්මය උදෙසා භාවිත වූ ගන්ධර්ව ශබ්දයටම හා භාරතයේ දී පුද්ගලත්වයක්‌ ආරෝපනය කෙටා තිබේ. උපනිෂද්මුනිවරු ආත්මය උදෙසා මනෝමය යන්න භාවිත කර ඇත. සාංඛ්‍ය දර්ශනය තුළ ලිංග ශරීරය යනුවෙන් හැඳින්වූයේ ද මෙම තත්ත්වයමය.

නවීන විද්‍යාවේ මුල්යුගයේ දී මනෝමයකාය (Astral Body) යනුවෙන් පර්යේෂණයන්ට භාජන වූයේ ද වත්මනෙහි බයෝප්ලාස්‌මීය ශක්‌තිශරීරයක්‌ (Bio Plasmatic Energy Body) ලෙස පර්යේෂණයන්ට භාජනවනුයේ ද මෙම ගන්ධබ්බ යන තත්ත්වයයි.

එහෙත් එකම තත්ත්වයක්‌ විස්‌තර කළ ද මෙම ගන්ධබ්බ, සම්භවෙසි, ගන්ධර්ව, අන්තරාභවික, ආලය විඥානය, යාතනාශරීර, මනෝමයකාය, ආත්මය, ලිංග ශරීරයන පාඨයන්හි වචනාර්ථය බෙහෙවින් වෙනස්‌ය. එහි දී වෛදික, ආරණ්‍යක, උපනිෂද් හා සාංඛ්‍ය දර්ශන මත වෙනස්‌ ලෙස අර්ථ දැක්‌වුවද බොහෝ දෙනා ගන්ධබ්බ, අන්තරාභවය, විඥානය, මනෝකාය යනු එකක්‌ ලෙස සලකති. එහෙත් එය එසේ නොවේ. මේ සෑම වචනාර්ථයක්‌ම එකිනෙකට වෙනස්‌ වේ. විචාරයකින් තොරව ගන්ධබ්බ යන්නට ඉහත කී පාඨයන් පර්යාය ලෙස භාවිත කරන්නට යැමෙන් සිදුව ඇත්තේ බුදුන්වහන්සේ අදහස්‌ කළ ගන්ධබ්බ යන අදහස වැළලී ගොස්‌ අන්‍යාගමික හා නිකායික මත ඉස්‌මතු වීමයි. නිර්මල බුද්ධ වචනය පිළිබඳ ඉඟියක්‌ ලබා ගැනීමට නම් ඒවා නිර්වචනය වන අන්දම විමසා බැලිය යුතු වේ.

මෙම ගන්ධබ්බ යන වචනය තරම් බෞද්ධ ආචාර්යවරුන්ගේ විවාදයට බඳුන්වූ තවත් වදනක්‌ නොමැති තරම්ය. අතීතයේ පටන් පැවත එන එම වාදවිවාද අද ද අවසන් වී නොමැත. ගන්ධබ්බ යන ශබ්දය විස්‌තර කරන සිංහල විශ්වකෝෂය ඒ සඳහා විවිධ අරුත් කැටිකොට දක්‌වා තිබේ. දිව්‍යනායක දේවයෝනී කොට්‌ඨාසයක්‌, මවුකුස පිළිසිඳින සත්ත්වයා, සංගීතඥයා, සංගීතය, විවාහ ක්‍රමයක්‌, කස්‌තුරි මුවා, අශ්වයායන අර්ථ මෙහිලා ඇතුළත් වේ. ගන්ධබ්රීබ යන්න විස්‌තර කරන මහාචාර්ය ජී.පී. මලලසේකර මහතා ද මහාචාර්ය රීස්‌ඩේවිඩ්ස්‌ මහතා ද ඉහත කී අර්ථ බොහෝමයක්‌ එලෙසින් ම ගෙනහැර දක්‌වති.

එහෙත් බෞද්ධ සම්ප්‍රදායන් තුළ ගන්ධබ්බ යන්නට දී ඇති එකම නිර්වචනය නම් මව් කුසක පිළිසිඳ ගැනීමේ අපේක්‍ෂාවෙන් කර්ම ශක්‌තිය මගින් මෙහෙයවනු ලබන සත්ත්වයා යන්නයි. නමුත් ඒ ඒ සම්ප්‍රදායන්ට අනුව එහි පැහැදිලි වෙනස්‌කම් දක්‌නට ලැබේ. එහිදී දැකගත හැකි මූලිකම වෙනස්‌ කම වනුයේ කාලය පිළිබඳ විවරණයයි. ථෙරවාදී නොවන බෞද්ධ සම්ප්‍රදායන් තුළ ගන්ධබ්බ ශබ්දය අන්තරාභවය හෝ විඥානය ලෙස දක්‌වන බව ඉහත දැක්‌වූයෙමි. මෙම අන්තරාභවය හෝ විඥානය යනු සත්ත්වයෙකුගේ චුති ප්‍රතිසන්ධි හෙවත් මරණය හා උපත අතර ඇති කාලයයි. භවයන් දෙකක්‌ අතර ඇති කාලය හෙයින් අන්තරා භවය ලෙස නම් කිරීම යුක්‌තියුත්ක යෑයි පවසන ඔවුන් එය තහවුරු කිරීමට විවිධ අදහස්‌ ඉදිරිපත් කරති.

ආචාර්ය වසු බන්ධුපාදයෝ සිය අභිධර්මකෝශ ග්‍රන්ථයෙහි අන්තරාභවය පිළිබඳ දීර්ඝව විස්‌තර කර ඇත. එහිදී එය ගන්ධර්ව යන නාමයෙන් හැඳින්වීමට හේතු හා එහි තත්ත්වය හුවා දක්‌වති. “මරණය හා උප්පත්තිභවය අතර වූයේ අන්තරාභවයයි. එහි ජාත වූ අන්තරාභවිකයා උප්පන්න නොවේ. එසේ නම් ඔහු උපදිනු ලබමින් සිටින්නේය. අන්තරාභවයක්‌ ඇතැයි

සනාථ කිරීමට වසුබන්ධුපාදයෝකණඨොක්‌තෙඃ, ගන්ධව_dත්, පඤ්චොක්‌තෙඃ, ගතිසූත්‍රතඃ යනුවෙන් සාධක හතරක්‌ ගෙන හැර දක්‌වති. “භාෂ්‍යටීකාවරචනා කරන ආචාර්ය යශෝමිත්‍රපාදයෝ අන්තරාභවිකයා යායුතු භවයට මෙතෙක්‌ නොගිය, උප්පත්ති භවයක්‌ සොයන, එහෙයින් නූපන්නයෙක්‌ යෑයි පවසති. අන්තරාභවිකයා ජාත වූයේ නමුදු උප්පන්න නොවන බව පවසන ආචාර්ය සංඝභද්‍රයෝ සියලුම ජන්මයක අභිව්‍යක්‌ති, සමාපත්ති ව්‍යක්‌ති යනුවෙන් කර්ම දෙකක ක්‍රියාකාරීත්වය සිදුවන බවත්, එයින් අභිව්‍යක්‌ති කර්මයෙන් නාම-රූප දෙදෙනාගේ පහළවීමවන බවත්, සමාපත්ති කර්මයෙන් ෂඩායතනයන්ගේ පහළ වීම සිදුවන බවත් පවසති. වැඩිදුරටත් කරුණු දක්‌වන සංඝභද්‍රයෝ අන්තරාභවිකයාගේ යාතනා ශරීරය අභිව්‍යක්‌ති කර්මයෙන් සෑදුණ ද සමාපත්ති කර්මය විපාක නොදුන් බැවින් ඔහු උපන්නෙක්‌ නොවන බව පවසයි.

යෝගාචාර ගුරුකුලයට අනුව සත්ත්වයාගේ මරණින් සිඳෙන්නේ ප්‍රවෘත්ති විඥානය පමණකි. භවකාමී කර්ම බීජයන් දරා සිටින ආලය විඥානයෙහි පැවැත්ම මරණයෙන් පසුව ද යම් කාලයක්‌ වෙනත් භවයක පිළිසිඳීමක්‌ නොමැතිව පවතී. එම කාලය ගන්ධර්ව යන නාමයෙන් හඳුන්වන අතර එම ආලය විඥානයෙහි පැවැත්ම පිළිබඳ යෝගාචාරභූමි ශාස්‌ත්‍රයෙහි දීර්ඝ විස්‌තරයක්‌ දැක්‌වේ.

ථෙරවාදී බෞද්ධාචාර්යයෝ මෙම සර්වස්‌තිවාදී හා යෝගාචර මත සියල්ලක්‌ම ප්‍රතික්‍ෂේප කරති. වියෙන් ගොයමද, ගොයමෙන් විය ද හටගන්නා සේචුති-ප්‍රතිසන්ධි භව අතරවිච්ඡින්න තත්ත්වයක්‌ නැතැයි ඔවුහු පවසති. මියයන පුද්ගලයා ඇසිපිය හෙළන පමණ කාලයක්‌ තුළ දෙවන භවයක උපත ලබන බව ථෙරවාදී මතයයි. ඒ අනුව චුති-ප්‍රතිසන්ධි භවදෙක අතර අන්තරාභවයක්‌ තිබිය නොහැකිය. අන්තරාභව පරිනිබ්බායී, සම්භවෙසී යන පාඨයන් විමසීමෙන් තොරව ගෙන මෙම අන්තරා භවය පිළිගෙන ඇති බව උදානඅට්‌ඨ කථාවේ දී ථෙරවාදීන් විසින් දක්‌වා සිටී. මිලින්ද ප්‍රශ්නයේ එක්‌ තැනක විමසනු ලබන පැනයක්‌ නම් මිය යන සත්ත්වයෙකු බඹලොව ඉපදීමට හෝ නරලොව ඉපදීමට ගතවන කාලයේ වෙනස කොපමණ ද යන්නයි. එයට පිළිතුර එකම කාලයක්‌ යන්නයි. මෙම අදහස ථෙරවාදීන් සිය මතය තහවුරු කිරීම සඳහා ඉදිරිපත් කරයි.

විමතිවිනෝදනීටීකාවේ ගන්ධබ්බ යන්න විස්‌තර කරනුයේ යම් අවස්‌ථාවක ප්‍රතිසන්ධිය ලැබීමට එළඹ සිටි සත්ත්වයා ලෙසයි. සාරFථදීපනී විනය ටීකාවේ දී ශාරිපුත්‍ර සංඝරාජ හිමියෝ එය විස්‌තර කරනුයේ ද එලෙසිනි. එහෙත් ඒවායේ අන්තරා භවය පිළිගන්නා බවක්‌ පෙනේ.

සම්භවෙසි යන්න විවරණය කරන අට්‌ඨකථාව බෙහෙවින් පැටලිලි සහිතය. එහි නිශ්චිත අදහසක්‌ ඉදිරිපත් නොකරයි. සම්භවෙසි යන්නෙන් පෘතග්ජන පුද්ගලයා හෝ බිත්තර තුළ සිටින ජීවියා හෝ කලල තුළ සිටින ජීවියා හෝ සංසේදක හෝ ඕපපාතික ජීවියා අදහස්‌ යන බව අටුවාචාරීන් දක්‌වා තිබේ.

ඉහත කරුණු අනුව සිදුව ඇත්තේ සම්භවෙසි යන්න පිළිබඳ නිකායික මතය තවදුරටත් තහවුරුවීමකි. එසේම ගන්ධබ්බ යන්නෙහි අර්ථය අන්තරාභවයට සමාන යෑයි මතයක්‌ බිහිවීමකි. එහෙත් එය සිදුව ඇත්තේ අටුවාචාරීන් හා ටීකාචාරීන් ස්‌වකීය මත ඉදිරිපත් කරන්නට යැමෙන් විනා බුද්ධ දේශනාව මත පදනම්ව නොවේ. ථෙරවාදීන් මේ සියලු මත ඉදිරිපත් කරන්නට ඇත්තේ බුදුදහම අනාත්මවාදී දහමක්‌ ලෙස ඉස්‌මතු කොට දැක්‌වීමේ අවශ්‍යතාව නිසාය. එහෙත් එය සහේතුකව විස්‌තර කර දැක්‌වීමේ අපොහොසත්කම නිසා සිදුව ඇත්තේ බුදුදහම ආත්මවාදී විඥානවාදී දහමක්‌ ලෙස පෙනී යැමය. එසේම ආත්මවාදී මෙන්ම අන්‍යාගමික වෙනත් මත ද පහසුවෙන් බෞද්ධයාට සමීපවීමකි.

මනෝමය කාය නැතහොත් බයෝප්ලාස්‌මීය ශක්‌ති ශරීයය නුවෙන් වර්තමානයේ පර්යේෂණයට භාජන වන්නේ මරණින් පසු ශරීරයෙන් ඉවත්ව යන ශක්‌ති විශේෂයක්‌ පිළිබඳවය. එහෙත් බුදුන්වහන්සේ මනෝමයකාය යනුවෙන් එවැනි සූක්‍ෂම ශරීර වර්ග තුනක්‌ පෙන්වා දී තිබේ. සෘද්ධියෙන් මවන ලද සූක්‍ෂම ශරීර, ප්‍රතිසන්ධිය ලබාදෙන ගන්ධබ්බ අවස්‌ථාව, බ්‍රහ්මලේක වල සිටින සූක්‍ෂම ශරීර සහිත ජීවීන් මනෝමයකාය වශයෙන් දක්‌වා තිබේ. මේ නිසා වත්මනෙහි මනෝකාය යනුවෙන් සිදුකරනු ලබන පර්යේෂණ වල සාර්ථක අසාර්ථක බව විමසිය යුතුව පවතී.

මේ සියලු කරුණු අනුව පැහැදිලි වනුයේ බුදුන්වහන්සේ අදහස්‌ කළ ගන්ධබ්බ යන තත්ත්වය අනෙකුත් පාඨ තුළින් පෙන්නුම් කළ ද එහි ස්‌වභාවය හා විවරණය වෙනස්‌ බවයි. මේ නිසා ගන්ධබ්බ යන්නට පර්යාය ලෙස එම පාඨයන් භාවිත කිරීම යුක්‌ති යුක්‌ත නොවේ. වත්මන් බෞද්ධ ආචාර්යවරුන්ගේ වගකීම වනුයේ මෙවැනි බෞද්ධයා නොමග යන සුලු තැන් සදොස්‌ කොට බෞද්ධයා නිවැරැදි දෘෂ්ටියට ගෙන ඒමය. ඒ සඳහා අනෙකුත් මතයන් වල පවතින සාධනීය ලක්‍ෂණ මෙන්ම ඒවා මුල් බුදුදහමින් වෙනස්‌ වන අන්දම විමසා බැලිය යුතුය. මෙම ලිපියෙන් මා කෙටියෙන් ඉදිරිපත් කළේ එම විවිධ වූ අදහස්‌ය. මේ සියලු අදහස්‌ මෙන්ම මෙහි සඳහන් නොවූ තවත් කරුණු ඇත්නම් එම කරුණු ද විවරණය කොට බුද්ධ වචනයට හානියක්‌ නොවන පරිදි ගන්ධබ්බ යන්න අර්ථ දැක්‌විය යුතුව පවතී

Advertisements

Responses

  1. අන්තරා භව වාද විනිෂ්චය…

    කෙනෙකු මරණයට පත්වූවාට පසු ඔහුට ඉපදීමට සුදුසු ස්ථානයක් සකස් වී නොතිබුණොත් ඉපදීමට තැනක් සොයමින් අහසේ හැසිරෙන බවත්, එය අන්තරාභවය බවත් කියනු ලැබේ. ගන්ධබ්බ අවස්ථාව, මනෝමය කයින් සිටීම කියා කියනු ලබන්නේ ද මෙම අන්තරා භවයටම ය. අපාය දෙව් ලොව බඹ ලොව උපදින සත්ත්වයින් මරණයත් සමගම ඉන් අනතුරැව උප්පත්තියක් ලබයි. නමුත් මනුලොව වැනි තැනක උපත ලබන සත්ත්වයින් බොහෝ විට මරණයට අනතුරැවම උපත ලබන්නේ නැත. ඔවුහු මතු උපතක් බලාපොරොත්තුවෙන් ගන්ධබ්බ අවස්ථාවේ පසුවේ.

    දෙව්ලොවට සතර අපායට යන අය කෙළින්ම සතර අපායට යයි. ඒ අයට ගන්ධබ්බ අවස්ථාවක් නැත. එහෙත් මනුලොව උපදින්න සිටින අයට සුදුසු මවුපියන් ලැබෙනතුරු මනෝමය කයකින් දින හත, මාස තුන, අවුරැද්ද හෝ ඊටත් වැඩිය කාලයක් පැවතීමේ හැකියාව ඇත. පඨවි ආපෝ තේජෝ වායෝ යන සතර මහ භූත රෑපයන් ඉතා සියුම් ලෙස සංයෝග වීමෙන් හටගත් මෙම මනෝමය කයට සිතූ සැණින් ඕනෑම තැනකට ගමන් කිරීටම් හැකියාව ඇත. හත්දවසේ දානේ, තුන්මාසේ දානේ, අවුරැද්දේ දානය ආදී වශයෙන් මළවුන්ට පින් අනුමෝදන් කිරීමේ චාරිත්‍රය පැවත එන්නේ ද මේ නිසාය. ගන්ධබ්බයා යනු මනුලොව ඉපදීමට තරම් කුසල් සහිත සත්ත්වයෙකි. ඒ ගන්ධබ්බයින් දෙදෙනෙක් එක් වූ විට කථා කරයි. දෙව් ලොව බඹ ලොවට වුවත් යාමට ගන්ධබ්බයාට හැකියාව ඇත. එහෙත් කුසලය නැති නිසා එහි උපත ලැබිය නොහැක. ගාන්ධර්ව වශයෙන් හඳුන්වන දේව කොට්ඨාශයක් ද වේ. මේහි දැක්වෙන ගන්ධබ්බයා එම දේව කොට්ඨාශය සමග පටලවා නොගත යුතුය.

    • ගන්ධබ්බයාට රෑප කයක් නැති නාම කයක් නැහැ. ඒ නිසා ඒ අයට තවත් කෙනෙකුත කථා කරන්නේ කොහොම ද? ගන්ධබ්බයාට රෑප කයක් නැති නිසා ගන්ධබ්බයා දිවැසින් දකින්නේ කොහොම ද? යනුවෙන් අන්තරාභවය ප්‍රතික්ෂේප කරන ඇතැමෙක් ප්‍රෂ්ණ කරති.

    රෑප වේදනා සංඥා සංස්කාර යන ස්කන්ධ සතරෙන් තොරව විඤ්ඤාණයේ යාමක් ඒමක් බැසගැනීමක් වැඩීමක් නැති බව සංයුක්ත නිකායේ උද්දාන සූත්‍රයේ සඳහන් වේ.
    ගන්ධබ්බයෙකුට රෑප කයක් නැති බව කීම වැරදි ප්‍රකාශයකි. ගන්ධබ්බයා යනු ස්කන්ධ පහම සහිත ඔබ, මම වැනිම සත්ත්වයෙක් බව කිව යුතුය. ගන්ධබ්බයා යනු විඤ්ඤාණය පමණක්ම බව අර්ථ දක්වා ඉන් ගැලවීමට යන අය ද සිටිදි. ගන්ධබ්බයා යනු විඤ්ඤාණය යයි කීම සංයුක්ත නිකායේ උද්දාන සූත්‍රයට අනුව මුසාවකි. මක් නිසාද විඤ්ඤාණය සෑම විටම රෑප, වේදනා, සංඥා, සංස්කාර යන ස්කන්ධයන් සමගම පහල වන බව උද්දාන සූත්‍රයේ සඳහන් වන බැවිනි. ගන්ධබ්බයාටත් පංච උපාදානස්කන්දයම ඇති බව මින් පෙනේ. ගන්ධබ්බයාට ඇත්තේ මනෝමය කයකි. එහි ඇස කන නාසය දිව කය මනස යන ඉන්ද්‍රියයන් පරිපූර්ණය. ඔහුට අපට මෙන්ම රෑප දැකීමට ශබ්ද ඇසීමට මෙන්ම තවත් අය සමග සන්නිවේදනය කරන්නට හැකියාව ඇත. එසේ නම් ගන්දබ්බයෙකුට තවත් ගන්ධබ්බයෙකු සමග කථා ගල නොහැකිද? තවත් දෙවියෙකු සමග කතා කළ නොහැකි ද? නාසයක් ඇති නම් ගන්දය ආඝ්‍රාණය කළ නොහැකිද?

    අන්තරා පරිණිබ්බායී, උපහච්ච පරිනිබ්බායි, අසංකාර පරිණිබ්බායී, සසංකාර පරිණිබ්බායි වශයෙන් කොටස් සතකරක බෙදා දැක්වීමක් අභිධර්ම පිටකයේ සඳහන් වේ. අන්තරා පරිණිබ්බායී යනු ගන්දබ්බ අවස්තාවේ කෙනෙක් ආශ්‍රව නසා අරිහත්වයට පත්වූ විට මතු උපතකට නොයා පිරිණිවන් පෑමටයි.

    • “උපහච්ච පරිනිබ්බායි කියලත් බුදුරජාණන් වහන්සේ දේශනා කළානේ. ඒ වගේම අසංකාර පරිනිබ්බායි, සසංකාර පරිනිබ්බායි කියලත් දේශනා කළානේ. එවිට උපහච්ච භවයකුත් තියෙනවද? අසංකාර භවයකුත් තියෙනවද? සසංකාර භවයකුත් තියෙනවද?“ යනුවෙන් ද සමහරැ ප්‍රශ්න කරති.

    මෙය කථාවත්තු ප්‍රකරණයේ ද සඳහන් වේ. කථාවත්තු ප්‍රකරණය යනු බුද්ධ පරිණිර්වාණයෙන් පසුව ලියන ලද ග්‍රන්ථයකි. මේ ග්‍රන්ථයේ අන්තරාභවය පිළිබඳව තමන්ම ප්‍රශ්න අසා තමන්ම පිළිතුරැ ලබා දී ඇත. අන් පුද්ගලයින්ට තමන්ගේ අදහස ඉදිරිපත් කිරීමට හෝ අවස්ථාවක් එහි නැත. එහි අන්තරා භවයක්ඇති බව ද ලියා ඇත. පසුව අන්තරාභවයක් නැත යයි පවසමින් තර්ක ප්‍රශ්නෝත්තර ඉදිරිපත් කර ඇත. එහි අන්තරාභවයක් ඇති අවස්ථාවත් නැති අවස්ථාවත් පැහැදිළිව විස්තර කර නැත. මේ ග්‍රන්ථය මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්‍සේගේ අනුමැතිය පරිදි ලියන ලද ග්‍රන්ථයක් කියතත් මෙබඳුම අධිගමලාභී ස්ථවිරයන් වහන්සේලා විසින් ලියන ලදැයි කියන ‘අභිධර්ම මාතෘ‘ වැනි පොත් නිකායාන්තරිකයන්ගේ පොත් අතර ද තිබේ. කෙසේ නමුත් රහතන් වහන්සේලා පොත් ලියන්නේ නැත.

    අන්තරා පරිණිබ්බායී යනු “ගන්දබ්බ අවස්තාවේ සිටින්නෙකු ආශ්‍රව නසා අරිහත්වයට පත්වූ විට මතු උපතකට නොයා පිරිණිවන් පෑමය“ යන තේරැම පසෙක තබා අන්තරා පරිණිබ්බායී කියා තියෙන නිසා අසංකාර පරිනිබ්බායි, සසංකාර පරිනිබ්බායි කියලත් දේශනා කළානේ. එවිට උපහච්ච භවයකුත් තියෙනවද? යනාදී වශයෙන් ඇසීම හරියට සෝවාන් කියලත් තියෙනවා නේ එතකොට සකෘදාගාමී කියන්නේ සෝවාන් ද? අනාගාමී කියන්නේ සෝවාන් ද? අරිහත් කියන්නේ සෝවාන් ද? යනුවෙන් අසනවා වැනි බොළඳ ප්‍රකාශයකි. මෙහි කිසිම ප්‍රඥාගෝචර බවක් නැත. හුදෙක්ම තමන්ගේ මතය දැක්වීමටත් අන් පුද්ගලයාගේ මතය පහත් කිරීමටත් කරණ වචන හරඹයක් පමනකි. මේවා රහතන් වහන්සේලාගේ තර්ක නොවේ. ත්‍රිපිටකයට පසුව ඇතුලත් කරන ලද දේවල් බව සිහිබුද්ධිය ඇති ඕනෑම අයෙකුට පෙනේ.

    • ගන්ධබ්බ අවස්ථාව පටිච්ච සමුප්පාදයට ගැලපෙන්නේ නැති බව ද සමහර දේශකයෝ පවසති.

    මෙය තථාගතයන් වහන්සේ වදාළ පටිච්චසමුප්පාදය නොදන්නා කම නිසා නගන ප්‍රශ්නයකි. වර්තමානයේ භාවිතා වන්නේ කෙනෙක් මලා මැරෙනකොටම කොහේ හරි ඉපදුනා කියන දහමකි. මෙය බුදු දහම නොවේ. තේරවාදී භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් පසු කාලීනව හදාගන්නා ලද ධර්මය කි. පට්ච්ච සමුප්පාදය යනු මුල් කොටස පෙර භවයටත් මැද කොටස මේ භවයටත් අවසාන කොටස ඊළග භවයටත් සම්බන්ධ කර දේශනා කල ධර්මයක් හෝ සත්ත්වයාගේ උපත දක්වන වාදයක් නොවේ. එය හේතු ඵල වාදයකි. විශුද්ධිමාර්ගය වැනි පොත් වල, පටිච්චසමුප්පාදය භව තුනකට ලියා සත්ත්වයාගේ උපත දැක්වීමට යොදාගැනීම වැනි විකෘතීන් කිරීම නිසා පටිච්චසමුප්පාදය භාවනා කිරීමේ හැකියාව නැති වී තිබේ. පටිච්චසමුප්පාදය කාලයකට යටත් නොවන සෑම මොහොතකම ක්‍රියාත්මක වන ප්‍රායෝගිකව භාවනාවට ගතහැකි ධර්මයකි. මේ බව සනාථ වන සූත්‍ර කීපයක් මජ්ඣිම නිකායේ විභංග වග්ගයේ එයි. එම සූත්‍ර භද්දේකරත්ත නාමයෙන් හැඳින්වෙයි.

    අතීතං නාන්වාගමෙය්‍ය නප්පටිකංඛෙ අනාගතං
    යදතීතං පහීණං තං අප්පත්තඤ්ච අනාගතං
    පච්චුප්පන්නඤ්ච යෝ ධම්මං තත්ථ තත්ථ විපස්සති
    අසංහීරං අසංකුප්පං තං විද්වා අනුභ්‍රෑහයේ

    මෙම බුද්ධ වචනයට අනුව අතීතය හා අනාගතය යන දෙකින් ඉවත්ව පච්චුප්පන්න ධර්ම වලා ස්වභාවය දැකිය යුතුය. භව තුනකට පටිච්ච සමුප්පාදය බෙදා සත්ත්වයින්ගේ ප්‍රතිසන්ධිය දැක්වීමට පටිච්ච සමුප්පාදය යොදා ගැනීමෙන් මේ අරමුණ ඉටු කරගත නොහැකි වී ඇත.

    • සත්ත්වයාගේ උප්පත්තිය පෙන්වන්නට පටිච්ච සමුප්පාදය විස්තර කිරීමට ගොස් ආරම්භයේ දීම වරද්දාගෙන ඇති බව පෙනේ.

    තත්ථ කතමං සංඛාර පච්චයා විඤ්ඤාණං? චක්ඛු විඤ්ඤාණං, සෝත විඤ්ඤානං, ඝාණ විඤ්ඤාණං, ජිව්හා විඤ්ඤාණං, කාය විඤ්ඤාණං, මනෝ විඤ්ඤාණං, ඉදං වුච්චති සංඛාර පච්චයා විඤ්ඤාණං.

    සංස්කාරයෙන් හටගත් විඤ්ඤාණය කවරේ ද? චක්ඛු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය, ඝාණ විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණය, කාය විඤ්ඤාණය, මනෝ විඤ්ඤාණය යන මේ සය යි. නමුත් අභිධර්මාර්ථ සංග්‍රහය සහ ඒ අනුව ලියූ පොත් පත් වල සඳහන් වනුයේ සංස්කාර ප්‍රත්‍යෙයන් හටගත් විඤ්ඤාණය පටිසන්ධි විඤ්ඤාණයක් බවයි. එය දෝෂ සහගතය. එසේ සැලකුවහොත් චක්ඛු විඤ්ඤාණ, සෝත විඤ්ඤාණ, ඝාණ විඤ්ඤාණ, කාය විඤ්ඤාණ එයට අයත් නොවේ. අභිධර්මාර්ථ සංග්‍රහය සහ ඒ අනුව ලියන ලද විශුද්ධිමාර්ගය, අභිධර්මාර්ථ ප්‍රදීපිකාව, අභිධර්ම මාර්ගය වැනි පොත් වල සඳහන් වන ප්‍රතිසන්ධි චිත්තය, චුති ච්ත්තය ආදී වචන සූත්‍ර විසිඑක් දහසකින් කින් යුක් සූත්‍ර පිටකයේ කොතැනක වත් නැති ධර්ම කොටස්ය. මේවා බුද්ද පරිණිර්වාණයට පසුව පොත් ලියන්නට ගොස් ඒ ඒ ලේඛකයින් විසින් හදාගන්නා ලද දේය. අද අභිධර්මය ඉගෙනගන්නවා කියා බොහෝ දෙනා කරන්නේ අභිධර්ම පිටකය පසෙක තබා මෙබඳු පොත් වල ඇති දෝෂ සහිත ධර්ම කරැණු කටපාඩම් කිරීමකි. මේවායේ බුද්ධ වචනය සමග ගැලපීමක් නැත.

    • සත්ත්වයකුගේ විඤ්ඤාණ ධාරාව පටිච්ච සමුප්පන්නව භවයෙන් භවයට ගලන්නේ කෙසේ ද?

    පටිච්ච සමුප්පාදය යනු සෑම මොහොතකම ක්‍රියාත්මක වන ප්‍රායෝගිකව භාවනාවට ගතහැකි ගැඹුරැ දහමකි. විඤ්ඤාණ පච්චයා නාමරෑපං. විඤ්ඤාණය යමක බැසගත් විට නාමරෑප ඇති වේ. රෑප අරමුණක් ගැන සිතන්න. රෑපයක් දෙල බලා සිටින විට විඤ්ඤාණය එම අරමුණේ බැසගනියි. එවිට අතීත අත්දැකීම්, මතකයන් වැනි අතීත සංස්කාරයන් ඔස්සේ ඒ රෑපයට අදාල විස්තර තොරතුරැ ඒ රෑප අරමුණ සමග විඤ්ඤාණය හරහා මතකයට ගලා එයි. ඒවා අප මනසට පැමිණෙන්නේ කෙසේ ද? ඒ රෑපයත් ඒ නිසා ඇති වෙන ඵස්ස, වේදනා, සංඥා, චේතනා, මනසිකාර යන චෛතසිකයන් හටගැනීම තුලිනි. එනම් නාමරෑප හටගැනීම තුළිනි. ඵස්සයෙන් බාහිර රෑප අරමුණත්, අධ්‍යාත්මික ආයතනත්, චිත්ත චෛතසිකයනුත් එක් කරණු ලබයි. වේදනාවේන් අරමුණේ රසය විඳියි. සංඥාවෙන් හඳුනා ගනියි. චේතනාවෙන් සංස්කාරයන් රැස් වේ. මනසිකාරයෙන් එම අරමුණ මෙනෙහි කරයි.
    නාමරෑප පච්චයා විඤ්ඤාණං. නාමරෑප ප්‍රත්‍යෙයන් විඤ්ඤාණය ඇති වනුයේ කෙසේ ද ? නාමරෑප ඇති වෙන විට ඒ තුළ ඇති වන චේතනාව මගින් මේ අරමුණ මේ මේ ස්වරෑපයෙන් යුක්තය ආදී වශයෙන් සංස්කාර ඇති වේ. අරමුණට ඇලීමට හෝ ගැටීමට ද පිළිවන. එවිට තණ්හා, උපාදාන සහ කර්ම සංස්කාර ඇති වේ. ඒ සංස්කාරයෙන් නැවත විඤ්ඤාණය හටගනියි. නැවතත් පෙර කී පරිදි විඤ්ඤාණය ප්‍රත්‍යයෙන් නාමරෑප ඇති වේ. මේ ආකාරයට විඤ්ඤාණ ධාරාව නොනවත්වා ගලාගෙන යයි. නින්ද යාම වැනි මනස ක්‍රියාකාරී නොවන අවස්ථා වල සියුම් මනෝ විඤ්ඤාණ පරම්පරාවක් ඇති වේ. අරමුණ සියුම් නිසා ඒ බවක් අපට නොදැනේ. මනුෂ්‍යයකු වුව ද දෙවියකු වුව ද අපායයික සත්ත්වයෙකු වුව ද ගන්ධබ්බයෙකු වුව ද විඤ්ඤාණ ධාරාව ගලන්නේ මේ ආකාරයට ය. එසේ නැතිව චුති චිත්තයකට අනුව ප්‍රතිසන්ධි චිත්තයක් ඇති වෙනවා නොවේ. එහෙම දහමක් සූත්‍ර පිටකයේ කොතනකවත් වදාරා නැති බව සඳහන් කළෙමු. තිබෙනවා නම් “මේ චුති චිත්තයයි, ඒ නිසා හටගත් ප්‍රතිසන්ධි චිත්තය යයි“ පෙන්විය හැක. මේවා බුද්ධ කාලයට පසුව පොත් වලට අලුතෙන් ඇතුලත් කරණ ලද දේවල්ය. බුද්ධ පරිණිර්වාණයට පසුව මෙසේ අලුතෙන් ඇතුලත් කළ විකෘති අදහස් නිසා තථාගතයන් වහන්සේ මුල මැද අග මනාව දේශනා කළ ධර්මය විකෘති වී ඇත. එය රත්‍රන් වැනි පිරිසිදු ධර්මයට තඹ කලවම් වීමක් බඳුය.

    • විඤ්ඤාණය මම අකමැති අපාය වැනි තැන් වල උපත ලබා දෙන්නේ ඇයි?

    විඤ්ඤාණය හේතු ප්‍රත්‍යෙයන් සකස් කල ධර්මයක් නිසා මම හෝ මට අයිති දෙයක් නොවේ. මරණාසන්න මොහොතේ දී අකුසල සංස්කාරයක් සිහි වුවහොත් ඒ අකුසල සංස්කාරය නිසා හටගන්නා විඤ්ඤාණය නාමරෑප ටිකකුත් සමග සතර අපායෙන් එකක පහල වේ. මක්නිසාද යත් පාණාතිපාත, අදත්තාදාන වැනි සංස්කාරයකින් හටගන්නා විඤ්ඤාණයේ ද කැමැත්ත ඇත්තේ කැපෙන කෙටෙන තැන් වලටය. අපාය ඒ සඳහා සුදුසුම තැනකි. සත්ත්වයින් අපායට අකමැති වුව ද සංස්කාරයෙන් හටගන්නා විඤ්ඤාණයට එය ප්‍රෂ්නයක් නොවේ. විඤ්ඤාණයේ බොරැ කිරීමක් රැවටීමක් නැත. කෙලින්ම ඊට සුදුසුම තැන එය හටගනියි.

    • ගන්ධබ්බයා හොඳ මවුපියන් දෙදෙනෙක් ළගට පැමිණීමට බලාපොරොත් වෙනවා. ඒ නිසා ගන්ධබ්බයා දුප්පත් ගෙදරක හෝ අංගවිකලව හෝ පහත් කුලයක ඉපදිලා තමන් කැමති ආකාරයට ම ධනවත්ව වාසනාවන්තව උපතක් ලබන්න ඕනේ නේද? එවිට මේ ලෝකයේ දුප්පත් අඳ ගොලු බිහිරි අය සිටින්න බැහැ නේද? යනුවෙන් කෙනෙකුට තර්ක කල හැක. ගන්ධබ්බ අවස්ථාවක් ඇති නම් එහි සදාකාලිකව වුවද සිටිය හැකි බවටද කෙනෙකුට කිව හැක.

    භව පච්චයා ජාති. භවය නිසා ජාතිය ඇති වේ. ඒ තමතමන්ට ඕනෑ විදිහට එසේ උපතක් ලැබිය නොහැක. තම තමා කළ කර්ම ශක්තියක් ඇත. ඒ කර්ම ශක්තියට අනුවම ප්‍රතිසන්ධිය ලබයි. සුදුසු මව්පිය දෙදෙනෙක් ලැබුණු විට ඒ ක්‍රියාවලිය ඉක්මන් වේ. භවය යනු කර්ම භවය සහ උපප්‍රාප්ති භවය යි. කර්ම භවය යනු කුසලාකුසල කර්මයන් ය. උපප්‍රාප්ති භවය යනු තණ්හාවේ පැවැත්ම බව පෙටකෝපදේසයේ සුත්තවෙභංගයේ සඳහන් වේ. උපප්‍රාප්ති භවය යනු කුමක් දැයි නිවැරදිව නොදන්නවුන් පවා ගන්ධබ්බයෙක් නැති බව කියන්නට යාම බුද්ධිගෝචර නොවේ.

    භවයේ ලක්ෂණය නානා ගතීන්ට සත්ත්වයින් පැමිණවීම යි. හැම සත්ත්වයාම මනුෂ්‍යකු වශයෙන් ආහාරයට ඇලෙයි. වාගේම ඥාති හිතවතුන්ට තණ්හාව පවතියි. (තණ්හාවේ පැවැත්ම උපප්‍රාප්ති භවය බව පෙටකෝපදේසයේ සුත්ත වෙභංගයේ සඳහන් වේ.) කබලිංකාරාහාරයට ඇලී සිටින ගන්දබ්බ අවස්ථාව ගත කරන සත්ත්වයාට සති ගණන් මාස ගණන් ආහාර ලැබිය නොහැක. නෑදෑ හිතවතුන් ආශ්‍රය කිරීමට නැත. සිතන්න එහෙම සති ගණන් මාස ගණන් අවුරැදු ගණන් ඉන්න කොට මොන තරම් මානසික දුක්ඛයක් ලැබේ ද? එසේනම් ගන්ධබ්බ අවස්ථාවේ කෙනෙක් සදාකාලිකව සිටින්නේ කෙසේ ද?

    මනෝමය ආත්ම භාව පටිලාභය සහ මෙබදු අවස්තා වල ඇති වෙන දුක පොට්ටපාද සූත්‍රය වැනි තැන් වල තථාගතයන් වහන්සේ වදාරා ඇත. දුක්ඛය ස්ඵර්ශ වී දෝමනස්සයක් ඇති වේ. දෝමනස්සය නිසා සිත පෙලයි. මේ සත්ත්වයාට උපතක් ලැබීමට අවශ්‍යව තිබේ. ඔහු මවු කුසක් වෙත ඇදී යයි. මෙබදු අවස්ථා වල පොහොසත් දුප්පත් අය සොය සොයා ඉන්න අවස්ථාවක් නැත. කර්මාණුරෑපව වේගයෙන් මවු කුසකට ඇදී යයි. භවය නිසා ජාතිය ඇති වේ. ජාතිය නිසා ජරා මරණ දුක් රැස හටගනියි. කෙනෙකු පටිච්ච සමුප්පාද ධර්මය මෙනෙහි කර මගඵලයක් ලබන විට අවබෝධය ලබනුයේ පටිචව්චසමුප්පාදයේ භව පච්චයා ජාති වැනි පුරැකකි. පටිච්චසමුප්පාදයේ එක් පුරැකක් හෝ අවබෝධ නොකර මගඵලයක් ලැබිය නොහැක. භවය නිසා ජාතිය ඇති වෙනවා යනුවෙන් පහසුවෙන් අවබෝධ කරගැනීමට ගන්ධබ්බ අවස්ථාව අත්‍යවශ්‍යය. ඒ අවබෝධය ඇති වීම වැළැක්වීම සඳහා ගන්ධබ්බ අවස්ථාව ඉවත් කර තිබේ. එය බෞද්ධයන්ගේ අවාසනාවකි.
    අඳ ගොලු බිහිරි බව අංගවිකල බව ඇති කෙනෙක් ඉපදුනාට පසුවය. ගන්ධබ්බ අවස්තාවත් සමග එහි ඇති සබඳතාවක් නැත. ගන්ධබ්බයාට අනාගතංශ ඥාණයක් නැත. තමන් උපන්නාට පසු මොන වගේ තත්වයකට පත් වේ දැයි ගන්ධබ්බයා කෙසේ දනී ද?

    • මවු කුසක දරුවෙකු හටගැනීමට කරුණු තුනක් සම්පූර්ණ විය යුතු බව මෙසේ මජ්ඣිම නිකායේ මහා තණ්හා සංඛය සූත්‍රයේ සඳහන් වේ. මෙහි සඳහන් ගන්ධබ්බයා යනු අන්තරාභවිකයා යි. ධර්මානුකූලව මේ ගන්ධබ්බ යන වචනය තෝරා ගන්නේ කොහොමද? සත්‍ය වශයෙන් ම ගන්ධබ්බ යනු උපතක් සොයමින් අහසේ සැරිසරන අන්තරාභවිකයෙක්ද? යන පැනයට පිළිතුරැ වශයෙන් ඇතැම් දේශකයින් අපි සියලු දෙනාම ගන්ධබ්බයින් බව වදාරා ඇත. තවත් සමහරැන් ගන්ධබ්බයා යනු විඤ්ඤාණය පමණක් බව ද පවසයි.

    අපි සියලු දෙනාම ගන්ධබ්බයින් යයි තථාගතයන් වහන්සේ වදාලේ කුමන සූත්‍රයක ද? අප සියලු දෙනාම ගන්ධබ්බයින් නම් තථාගතයන් වහන්සේ මහා තණ්හා සංඛය සූත්‍රයේ උපතක් ඇති වීමට ගන්ධබ්බයෙක් වෙනුවට මනුෂ්‍යයෙක් සිටිය යුතු යයි වදාරන්නට තිබුනා නේද? මෙය තමන්ගේ තර්කය හරිය කියන්නට තමන් කැමති විදිහට වචන වල අරැත් වෙනස් කරගෙන කියන බොළඳ කථාවකි. ගන්ධබ්බයා යනු විඤ්ඤාණය යි කීම බුද්ධ දේශනාවට නොගැලපේ. රෑප වේදනා සංඥා සංස්කාර යන ස්කන්ධ සතරෙන් තොරව විඤ්ඤාණයේ යාමක් ඒමක් බැසගැනීමක් වැඩීමක් නැත. ඒ අනුව ගන්ධබ්බයා යනු රෑප වේදනා සංඥා සංස්කාර විඤ්ඤාණ යන පංච උපාදානස්කන්ධයක්ම බව කිව යුතුව ඇත.

    • භූතා යනු ඉපදුනු සත්ත්වයින් ය. “සම්භවේසි” යනු මවුකුසේ උපදින සත්ත්වයින් මවුකුසේ සිටින තුරුම සම්භවේසී හෙවත් ඉපදෙමින් ඉන්නවා. පටිසන්ධි ගත්ත ද ඉපදීම අසම්පූර්ණ බව සමහර ධර්ම දේශකයින්ගේ මතය යි.

    පටිසන්ධි ගත්තත් එහෙත් ඉපදීම අසම්පූර්ණයි බවක් මේ අය පවසති. මොවුන්ට නිවැරදිව ජාතිය අර්ථ දැක්විය හැකි ද? කෙනෙක් මවු කුස පිළිසිද ගමන්ම මිය ගියහොත් ඔහුට ජාතියක් ඇති වුණා කියා කිව හැකි ද? මවු කුස පිළිසිඳගෙන ටික වේලාවකින් මිය ගියහොත් ඔහුට ජාතියක් ඇති වුණා කියා හරියටම කිව හැකි ද? මාස ගණනකින් මිය ගියොත්, ඒ වගේම දරැවකු උපදින අවස්තාවේ මියගියොත් ජාතියක් ඇති වුණා කියා කිව හැකි ද? පටිච්ච සමුප්පාදයේ අන්තිම කෙරවලේ තියෙන ජාතිය වත් නිවැරදිව අර්ථ දක්වගන්න බැරි අසරන කමක් මොවුනට ඇත. එය අර්ථදක්වාගත නොහැකිව තථාගතයන් වහන්සේ සූත්‍රදේශනා රාශියකම වදාල ගන්ධබ්බයා නැතැයි කීමේ අර්ථයක් තිබේද? තමා නොදන්නා දේ නැතැයි කියන්නට නොගොස්, තමා නොදන්නා හැටියට පිළිගෙන සිටීම වඩාත් සුදුසු බව කිව යුතුය.

    • අන්තරාභවය හෙවත් ගන්ධබ්බ අවස්ථාව මහායාන මතයක් බව ප්‍රකාශ කරන්නවුන් ද වේ.

    තථාගතයන් වහන්සේ ගන්ධබ්බයා ගැන මහ තණ්හා සංඛය සූත්‍රයේ වදාරා ඇති බව පිළිගත යුතුව තිබේ. කුතුහල සූත්‍රයේ ඉතා පැහැදිලිවම අහසෙහි සැරිසරණ මෙම ගන්ධබ්බ අවස්ථාව පිළිබඳව විස්තර කර ඇත. කුතුහල සූත්‍රය දැන ත්‍රිපිටකයේ නැති ද? එය ත්‍රිපිටකයෙන් අයින කලේ කව්ද? ඒවාගේම කරණීය මෙත්ත සූත්‍රෙයේ සම්භවේසීවා කියන පදයෙන් අදහස් කරන ලද්දේ උපතක් බලාපොරොත්තුවෙන් සිටින සත්ත්වයින් හෙවත් ගන්දබ්බයින් පිළිබඳව ය. ගන්දබ්බ අවස්තාව මහායාන මතයක් යයි කිවහොත් තථාගතයන් වහන්සේත් මහායාන බුදු කෙනෙක් කියන්නට සිදු වෙනවා නේද? මක් නිසාදයත් මේ ගන්ධ‍බ්බ අවස්ථාව තථාගතයන් වහන්සේ වදාළ ධර්මයක් බැවිනි. මෙපමණක් නොවේ, ගන්දබ්බ අවස්ථාව දේවදූත වැනි සූත්‍ර වලත් පැහැදිළිව දක්වා ඇත.
    මහණෙනි, එකිනෙකට මුහුනලා දොරවල් සහිත ගෙවල් දෙකක් තියෙනවා මේ ගෙවල් දෙක මැද්දේ සිටිනවා කෙනෙක්. ඒ තැනැත්තා මේ ගෙයින් ඒ ගෙට ඇතුල් වෙන පිටවන මනුෂ්‍යයන් දකිනවා. ඔබිනොබ හැසිරෙන සත්ත්වයින් දකිනවා යනුවෙන් දේවදූත සූත්‍රයේ තථාගතයන් වහන්සේ වදාළ සේක. මෙහි ඔබිනොබ හැසිරෙන සත්ත්වයින පිළිබඳව මනාව පැහැදිළි වේ. මනෝමය කයකින් සිටින ගන්දබ්බ අවස්තාවක් නැති නම් ඔබිනොබ හැසිරෙන සත්ත්වයින් කොයින් ද? මෙතන ඔබිනොබ හැසිරෙන සත්ත්වයින් කියන්නේ ගන්ධබ්බයින්ට. ගන්දබ්බයෙක් නැතිනම් කෙලින්ම ඒ ගෙයින් චුත වී මේ ගෙයි උපදිනවා මිසක් ඒ ගෙයින් මේ ගෙට ඇතුල් වන පිටවන සත්වයින දකින්නේ කෙසේ ද ? මේ ප්‍රශ්නයට පිළිතුරක් දිය යුතු වේ. නමුත් තමාගේ මතය සත්‍ය යයි කීමට අර ගන්දබ්බයා කියන්නේ අපි සියලු දෙනාටයි, ගන්ධබ්බයා කියන්නේ විඤ්ඤාණය පමණයි වැනි මෝඩ පිළිතුරක් නොව නිවැරදි පිළිතුරක් දිය යුතු ව ඇත.

    බුදුරජාණන් වහන්සේගෙන් වජ්ජගොත්ත පරිබ්‍රාජකයා මෙසේ විමසූවේය. “මේ කයත් අතහැරියා මතු කයකට ගියෙත් නැහැ ඒ අතරතුර සත්ත්වයා කුමක් උපාදාන කරගෙන ජීවත් වේ ද?“ මේ කය අතහැරියා මතු කයකට ගියෙත් නැහැ ඒ අතරතුර තණ්හාව උපාදානය කරගෙන ජීවත් වන බව තථාගතයන් වහන්සේ වදාළ සේක. අතරක් ඇති බව තථාගතයන් වහන්සේ පිලිගත් සේක. ගන්ධබ්බ අවස්ථාව පිලිගත් සේක. එබැවින් තථාගතයන් වහන්සේ තණ්හාව උපාදාන කරගෙන ජීවත් වෙනවා යනුවෙන් වදාළ සේක. තණ්හාව උපාදානය යම් තැනක ඇති නම් එතන අවිජ්ජා, සංඛාර, විඤ්ඤාණ, නාමරෑප, සළායතන, ඵස්ස, වේදනා යන පටිච්චසමුප්පාද අංගයන් එතන ඇත. එසේ නම් මෙහි පංච උපාදානස්කන්දයක් නැතැයි කිව හැකි ද? නොහැකිය. ආයතන නැතැයි කිව හැකි ද? නොහැකිය.

    • අන්තරාභවයක් සැබවින්ම ඇති නම් ඒ අන්තරාභවයට අයිති ස්කන්ධ පහ, ආයතන දොළහ, ධාතු දහඅට, ඉන්ද්‍රිය විසි දෙක, හේතු නවය, ආහාර සතර, එස්ස හත, සඤ්ඤා හත, චේතනා හත, විඤ්ඤාණ හත විදර්ශනාවට නංවා අපට ඉදිරිපත් කරන්න යනුවෙන් ඇතැම් ධර්ම දේශකයින් අභියෝග කරණ අවස්ථා ද තිබේ.

    ගන්ධබ්බයා ගැන කියන විට ගන්ධබ්බයාට ස්කන්ධ පහම තියෙන බව ඔප්පු කළෙමු. ඕපපාතිකව පහල වෙන දෙවි කෙනෙක් ගත්ත ද ඔහුටත් ස්කන්ද පහම ඇත. ඒ වගේම ගන්දබ්බයාටත් ස්කන්ධ පහ, ආයතන දොළහ, ධාතු දහඅට වැනි ධර්මයන් සාධාරණය. මේවා අමුතුවෙන් විග්‍රහ කරන්න දෙයක් නැත එහෙනම්. බොරැ අටුවා ටීකා අවශ්‍ය නැත. සාමාන්‍ය විදිහටම විදර්ශනා කර විග්‍රහ කරගත හැක.

    තව ද අන්තරාභවය පිළිගන්නවුනට මන්ද බුද්ධිකයෝය, විතණ්ඩවාදීන්ය ආදී වශයෙන් නිග්‍රහ කරණ පිරිස් ද වේ. ගන්බ්බ අවස්ථාව පිළිගන්නේ ද බුද්ධ ශ්‍රාවකයින්ම ය. මගභල ලාභීන් ද ඔවුන් අතර වේ. යම් කිසි කෙනෙක් ධර්ම විනය හදාරා ධර්ම ඥානය ඇතිකරගෙන එයින් අනුන් හෙළා දකිමින් හැසිරෙනවා නම් විෂ ඝෝර සර්පයෙක් කඳ මැදින් අල්ලා ගත්තා වැනි යයි කිව යුතුය. එසේම වරදවා අල්වා ගත් ධර්ම විනය මහත් විපත්තිය පිණිස පවතින බව කිව යුතුය.

    ගන්ධබ්බ අවස්ථාව හෙවත් අන්තරා භවය පිළිබඳව මෑත කාලයේ ද බොහේ වාද විවාද පුවත්පත් වල පල වී ඇත. එහිදී සමහර ධර්ම ධර විනය ධර ස්වාමීන් වහන්සේලා නොයෙක් ප්‍රෂ්ණ මතු කරමින් අන්තරාභවය ප්‍රතික්ෂේප කරණ ලදී. ඒ සදහා උන් වහන්සේලා ඉදිරිපත් කරණ ලද දුර්වල තර්ක විතර්කයන් තුළ අඩුපාඩු රැසක් ඇති බව පෙනේ. කොතෙක් තර්ක විතර්ක ඉදිරිපත් කල ද තථාගතයන් වහන්සේගේ වචනය බොරැ කිරීමට ඔවුනට නොහැකි විය. මෑත කාලීනව අන්තරා භවය ප්‍රතික්ෂේප කිරීමට ඉදිරිපත් කරණ ලද තර්ක විතර්කයන් සහ ඒවායෙහි ඇති අඩුපාඩු මේ පිළිබඳ උනන්දුවක් දක්වන්න පිරිස වෙනුවෙන් මෙම ලිපියෙන් ඉදරිපත් කරන ලදී.

    තෙරැවන් සරණයි !


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: