Posted by: lrrp | December 3, 2012

පූසාරි මළා මං දැන් බය නෑ

මිනිස්සු ගවයන් අල්ලා බැඳගෙන කුඹුරු ගොවිතැන් වැඩ කැර ගනිති. අශ්වයින් බැඳගෙන ගමන් බිමන් සඳහා යොදා ගනිති. රේස් සූදුවට යොදා ගෙන හරි හම්බ කැර ගනිති. විසකුරු නයින් ද ගස් උඩ වෙසෙන රිලවුන් ද අල්ලා සිර කැරගෙන බැඳගෙන නටවා ඒ නැටුම් මිනිසුන්ට පෙන්වා මුදල් උපයා ගනිති. මහ වනයේ නිදහසේ ජීවත්වන අලි ඇතුන් අල්ලා බැඳ හීලෑ කැරගෙන බර වැඩ ගනිති.

එහෙත් මේ හැම සතෙකුටම මිනිසාට මෙන් ම සා පිපාසා දෙක පොදු ය. ඒ ඒ සතුනට උචිත කැමැති ආහාර පාන සපයා දිය යුතු ය. ඒවා කලට වේලාවට නොලැබුණොත් සත්තු කුලප්පු වී මහත් විනාශ සිදු කරති. ස්වාමියා යැයි සමාවක් නැත. එපමණක් නොව මිනිසාට මෙන් ම මේ හැම සතෙකුටම ආහාර, නිද්‍රා, භය, මෛථුන යන කාරණා සතර ද පොදු ය. මේවා අවශ්‍ය වේලාවට නොලැබෙන විට කුලප්පු වෙති, ඒ සත්තු ද දම් වැල්වලින් කඹවලින් බැඳ සිටිනවාට වඩා නිදහසේ හුදකලාව සිටීමට කැමැති ය. අපට සමීප හිතවතුන් සේ සිටින බල්ලා බළලා වුව ද එසේ ම ය.

එසේ ම මළ ගිය ප්‍රාණකාරයන් සේ හඳුන්වනු ලබන යක්ෂ ප්‍රේතාදීහු ද යන්ත්‍ර මන්ත්‍රවලින් බන්ධනය කැරගෙන සිටිය ද, කැමැත්තෙන් ආදරයෙන් බැඳී සිටිය ද ඔවුන්ගේ පොදු අවශ්‍යතා, බලාපොරොත්තු, වුවමනාවන් ඉටු විය යුතු ය. ඉටු කැර දිය යුතු ය. එසේ සිදු නොවුණු දාට මිනිසා බලාපොරොත්තු නොවන විනාශයන්ට, කරදරවලට මුහුණදීමට, සිදු වන බව වටහා ගැනීමෙන් කටයුතු කළ යුතු ය. තමන් ගේ ලාභ ප්‍රයෝජනය වාසිය ගැන පමණක් ම සිතා කටයුතු කළ හොත් කොයි වෙලාවේ වැඩ වැරදී යතැයි ද කිව නො හැකි ය.

විශේෂයෙන් ම අමනුෂ්‍යයන් බන්ධනය කැර ගෙන පේන කීම්, දේවාල පවත්වා ගෙන සෙත් ශාන්ති කිරීමෙන් හා එසේ කිරීමේ මුවාවෙන් ආදායම් මාර්ග ව්‍යාපාර පවත්වාගෙන යන්නෝ ප්‍රවේශම් විය යුතු ය. එසේ නොකොට සතියකට දිනයක් පමණ වෙන් කොට ගෙන භූතාත්මයට ආරාධනා කොට ලැබෙන දෙයින් දන් පැන් දී පින් අනුමෝදන් වී උසස් තලයකට යනතුරු පවත්වාගෙන ගිය හැකි ය. බොහෝ තැන්වල මුදලටම බර වී කටයුතු කරන අතර භූතාත්මයට නිතර නිතර කරදර කරති. එවැන්නන්ට නැති කරදර එළඹ ජීවිත පවා අහිමි වන අවස්ථා බොහෝ ය.

මේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි හැට තුන් හැවිරිදි පේනකාරියක පිළිබඳ කතාවකි. ඇඟපත වේදනාව, බඩ ඉදිමීම, නින්ද නොයෑම, නින්දට ගිය විට අඩ නින්දෙන් ගැස්සී බිය වී ඇහැරීම ඇයට තිබුණු රෝගාබාධයන් ය. වෛද්‍ය ප්‍රතිකාරවලින් ද ශාන්තිකර්මවලින් ද සුවයක් නොලැබුණු තැන ඇය ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයා ගෙන ආවා ය. ස්වාමි පුරුෂයා ද පුතුන් දෙදෙනා ද ඇය සමඟ පැමිණියහ. කපටි ස්ත්‍රියක් වූ ඇය ශාස්ත්‍ර කියමින් දේවාලයක් පවත්වාගෙන ගිය බව නොකියා ශාරීරික වේදනාවන් පිළිබඳ පමණක් හෙළිදරව් කොට ප්‍රතිකාර පැතුවා ය.

ආරම්භයේදී ම ගවේෂකවරයාට මෙය බලගතු භූත දෝෂයක් බව වැටහී අධිමානසික කිරණ ශක්තිය ඇයට එල්ල කෙළේ ය. ඇය යටිගිරියෙන් හූ කියාගෙන වැඳ වැටුණා ය. සද්ධාවෙන් තොර මේ කාන්තාවගේ තත්ත්වය වටහා ගත් ගවේෂකවරයා ඇයට දින විසි අටක් ශීලයක පිහිටා බෝධි පූජා පවත්වා නැවත පැමිණෙන ලෙස උපදෙස් දුන්නේය.

නියමිත දිනයේ ඇය නැවත ආවා ය. එදින ද හූ කියා ගෙන ප්‍රලය වී දිව එළියට දමා හති දමමින් කතා කරන්නට වූවා ය.

“කවුද මේ?”

“සීලින්හාමි”

“සීලින්හාමි කියන්නේ කවුද?”

“මේ මගේ මී මිනිබිරී, මේකිගෙ සීයගෙත් ආච්චි, මේකි මාව දැකලවත් නෑ.”

“ඉතින් ඇයි මිනිබිරීට හිරිහැර කරන්නේ?”

“මගෙන් මේකිට නොවෙයි. මේකිගෙන් මට හිරිහැරයි. කරදරයි. ඒකයි ඇඟට ආවේ.”

“මොකක්ද ඔය අමනාපය”

“මහත්තයා මම ජීවත්වුණේ පරම්පරාගත ඉඩමක. ඒ ඉඩම බොහෝ ම වටිනවා. මම මළාට පස්සෙත් එතැන ම හිටියා. එතැනින් ගියේ නෑ. ඒ ඉඩමේ ඉන්න අයට කරදර කළෙත් නෑ. මේකි මගේ මී මුනුපුරෙකුගේ දුවක්. මේකි කසාද බැන්දට පස්සේ ඉක්මනින් දියුණු වෙන්න හිතා ගෙන දේවාල ගානෙ ගියා. දවසක් කැලණිය පැත්තෙ කෝවිලක දෙමළ පූසාරි කෙනෙක් ළඟටත් ගියා. ඒ මිනිහා මේකිට කිව්වා ඔයා පදිංචි ඉඩමේ බලගතු අමනුෂ්‍ය බලවේගයක් තියෙනවා. බන්ධනය කර ගත්තොත් ශාස්ත්‍ර කියන්න පුළුවන්, මට ඒක බන්ධනය කර දෙන්න පුළුවන්. හැබැයි මටත් ආදායමෙන් කොටස ගෙනත් දෙන්න ඕනෑ කියලා. ඉතින් ඒ විදිහට මාව බන්ධනය කරගෙන ශාස්ත්‍ර කිව්වා.”

“ඉතින් තමුන් ශාස්ත්‍ර කිව්වේ කොහොමද?

“අසනීපකාරයෝ ශාස්ත්‍ර අහන්න එන කොට ඒ අය එක්ක ප්‍රේතයෙක් එනවා. ඒ ප්‍රේතයන්ගෙන් ලෙඩේ විස්තරත් ගෙදර විස්තරත් අහගෙන මම මේකි ලව්වා කියවනවා. ගෙදර විස්තරයි ලෙඩේ විස්තරයි හරියටම කීවාම ඒ එන මිනිස්සු අහුවෙනවා. රැවටෙනවා. ඊට පස්සෙ මේකි ලොකු ලොකු ගණන් අය කරලා ලෙඩේ සනීප කරන්න පොරොන්දු වෙනවා.”

“කොහොමද සනීප කරන්නේ?”

“ලෙඩුන් ලවා පුජා වට්ටි ගෙන්වනවා. අර උන් එක්ක එන ප්‍රේතයන්ටත් ඒවා කන්න මම උදව් කරලා උන්ට කියනවා උඹලා මාස දෙක තුනක් මුන්ට කරදර නොකර අයින් වෙලා හිටපල්ලා කියලා. ඉතින් මේකි හම්බ කරගෙන පූසාරියටත් කොටහක් දෙනවා. දානයක් පින්කමක් කරලා මට පින් දෙන්නේ නෑ.

“ඉතින් අකමැති නම් තමුන් මොකටද උදව් කළේ?”

“නොකර බැරි නිසා. මම උදව් නොකළොත් මේකි පූසාරියට ගිහින් කියනවා. ඌ ළඟ යක්ෂයෙක් හිටියා. ඒ යකා ලව්වා මට හිරිහැර කරවනවා. ඒ නිසා මට මේකිට උදව් නොකර ඉන්න බැරි වුණා. ඒ පූසාරියා බලගතුයි.”

“ඉතින් ඔච්චර බලගතු පූසාරිට මෙයාගෙ ඇඟේ තියෙන ලෙඩ දුක් සුවපත් කරන්න තිබුණා නේද?”

“හීඞ…. හීඞ…. හීඞ…හීඞ….හීඞ….හීඞ”

යි ප්‍රේත ජීවියා හිනැහෙන්නට වූවා ය.

“ඇයි මේ බොහෝම සන්තෝසයෙන් හිනැහෙන්නේ?”

“මහත්තයා මට සතුටු නැද්ද? ඌ මළා. ඌ මළා. පූසාරියා මළා. දැන් මම බය නෑ.”

“පූසාරි මොනව වෙලාද මළේ”

“ඌව යකා අරගෙන ගියා”

“ඒ කිව්වේ?”

“මහත්තයා මේ අමනුස්සයෝ හැමදාම බැඳිල ඉන්න කැමති නෑ. කිසි ම නිදහසක් නැහැ. ඔය ශාස්ත්‍ර කියනවුන්ගෙ දේවාල කපුවන්ගෙ, පූසාරිලගෙ, කල නරක් වෙච්ච දාට වැඩක් වැරදිච්ච දාට අමනුස්සයා උන්ව මරාගෙන අරගෙන යනවා. ඒ තරහකට මරහකට ම නොවෙයි. මේ මළ කරදරෙන් නිදහස් වෙන්න. දැන් පූසාරියත් මළ පෙරේතයෙක්. මේකිවත් මම මරාගෙන අරගෙන යනවා අපේ ලෝකෙට. දැන් මම මේකි කරපු වැරදිවලට ද¼ඞුවම් කරනවා. පළි ගන්නවා.”

“දැනට මොනවද තමුන් කරල තියෙන දඬුවම්?”

“මේකිගෙ පුතාව මැරුවෙ මමනෙ.”

“ඒ කොහොමද?”

“මේකිගෙ පුතා” මෝටර් සයිකලෙන් එනකොට වාහනේක හප්පලා මැරුවා.”

“ඒවා කළේ කොහොමද?”

“මේකිගෙ පුතාව යාළුවො බොන තැනකට යන්න හැඟීම් ඇති කළා. එදා මූ ධව්වෙ නෑ. යාළුවො වද කළා බීපං බං ටිකක් කියලා. මූ ඩිංගක් බිව්වා. යාලුවො අමනාපවෙයි කියලා ඩිංග බිව්වත් මම මූව මත් කරලා සිහි විකල් කළා. ඉස්සරහින් බස් එකක් ආවා. මූට බයිසිකලය අයිනට ගන්න හිත් දුන්නෙ නෑ. ඩොං… පටෝං… එතැනමයි. හීඞ… හීඞ… හීඞ… ආන්න එහෙම තමයි පළිගත්තේ, නිදහසේ හිටපු මාව බැඳගෙන පූසාරියන් එක්ක හම්බ කළා. මේක මට මහා හිරිහැරයක් වුණා. කරදරයක් වුණා. මම පළිගන්නවා. මම මේකිව බැඳගෙන අරගෙන යනවා.”

“එපා. ඔබ තුමිය දැනට දුගතියක ඉපදී සිටියත්, යම් බලගතු කෙනෙක් බව මට පෙනෙනවා. ඔබ තුමිය වගේ කෙනෙක් මේ වගේ ජරා ගෑනියෙක් එක්ක හැප්පෙන්න එපා. මම කියනවා මේ ශරීරයෙන් ඉවත්ව හොඳ තැනකට යන්න කියලා.”

“හොඳයි මහත්තයා කියනවා නම් මම ශරීරයෙන් ඉවත් වෙන්නම්. හැබැයි මගේ ඉඩමේ මට නිදහසේ ඉන්න ඕනෑ. ඒ වගේ ම මේකි කරපු වැරදි වැඩවලට දඬුවමකුත් දෙන්න ඕනෑ.”

“හොඳයි මම මෙයා ලවා පින්කම් කරවා පින් දෙවන්නම්. ඔය දැන් සිටින තත්ත්වයට වඩා ඒ පින් අරගෙන ඉහළට යන්නැ’ යි කියූ ගවේෂකවරයා ප්‍රේත ජීවියා ශරීරයෙන් ඉවත් කොට පේනකාරිය සමඟ ප්‍රකෘතියෙන් සාකච්ඡා කළේ ය.

“තමුන් තවමත් ශාස්ත්‍ර කියනවාද?

පේනකාරිය විමතියෙන් වට පිට බලන්නට වූවා ය. තමන් දේවාලයක් පවත්වාගෙන ශාස්ත්‍ර කී බව ගවේෂකවරයා දැනගත්තේ කෙසේ දැයි නිහඬව කල්පනා කරන්නට වූවා ය. ඇගේ සැමියා සහ පුත්තු දෙදෙනා බිම බලා ගත්හ.

“තමුන්ගෙ ඔය දේවාලය කඩලා බිමට සමතලා කරලා ලබන සතියේ එන්න”

“අපොයි මහත්තයා කාලි මෑණියෝ පළි දරාවි”

“කමක් නෑ. පළි දරන්නෙ මටනෙ. තමුන් දේවාලය බිමට සමතලා කරන්න ඕනෑ. වැරදි වැඩ කරලා එක පුතෙක් මරා ගත්තා. මේ පුතාල දෙන්නවත් මහත්තයවත් මරා ගන්න ද හදන්නෙ?”

“සමාවෙන්න මහත්තයා. මම දේවාලය කඩන්නම්. එතකොට දේවරූප ටික?”

“ඒවා අර මැරිච්ච පූසාරියගේ කෝවිලෙන් ගිහින් තියන්න.”

“හොඳයි”

“එහෙනම් සතියකින් නොවෙයි. සති දෙකකින් ම එන්න. දේවාලය කඩා දාලා ගමේ පන්සලේ බෝධි පූජා දහ හතරක් තියල එන්න. හාමුදුරුවරු දහ නමක් ගෙදරට වඩම්මලා සාංඝික දානයක් පිරිනමා සීලින් ආච්චිගෙ නම සඳහන් කර පැන් වඩා පින් අනුමෝදන් කරන්න ඕනෑ. මතක තියාගන්න කාලි මෑණියො මගෙන් පළි දරන්නෙ නෑ. ඔය පත්තිනි මෑණියොත්, කාලි මෑණියොත් බෝධි සම්භාර පුරාණ දේව මෑණිවරු. තමුන්ගේ අඹ ගැටයි, කොමඩුයි, වඩෙයි, පකඩෙයි කන්න එන්නෙ නෑ. ඒවට රැවටෙන්නෙත් නෑ. මීට පස්සෙ මිනිස්සු රවටලා වැරදි විදිහට හම්බ කරන්න යන්න එපා යැයි ද අවවාද කළේ ය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: