Posted by: lrrp | December 3, 2012

විවාහයට පෙර සිටම දියණිය ජීවිතයසැලසුම් කරගත යුතුයි

ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක මුරුංගාගස්යායේ ඤාණිස්සර හිමි

පතිකුලයට පිවිසෙන තරුණිය එතැන් පටන් ජීවත්වන්නේ අලුත් පරිසරයක ය. අලුත් නෑදෑයින් පිරිසක් සමඟ ය. ඔවුහු විවිධ අදහස්, සිතුම් පැතුම් හා ඇවතුම් පැවතුම් ඇති අය වෙති. ඒ අය සමඟ පෑහෙන්නට නම්, සතුටින් ජීවත්වන්නට නම් අලුත් සාමාජිකාවට ඒ පරිසරය හා එහි ජීවත්වන අය පිළිබඳව වැටහීමක් අවබෝධයක් තිබීම ඉතා වැදගත් ය. මේ නිසා විවාහ දිවියට පිවිසෙන ඕනෑම තරුණියක් තැනට සුදුසු නුවණින් කටයුතු කරන්නට දත යුතු ය.

සැබැවින් ම විවාහයක දී සිදු වන්නේ දෙතැනක ජීවත් වූ දෙදෙනෙක් එකට ජීවත් වීමයි. ඒ එක්වීමේදී ඇතැම් විට තමන් මෙතෙක් අනුගමනය නොකළ යම් යම් දේ අනුගමනය කරන්නටත් මෙතෙක් පවත්වාගෙන ආ සිරිත් විරිත් අත් හැරීමටත් සිදුවිය හැකි ය. තරුණියක් විවාහයට සූදානම් විය යුතු වන්නේ ඒ ගැන හොඳ අවබෝධයකිනි. ජීවමාන බුදුරදුන් දවස විශාඛාව ගේ ජීවන චරිතය විමසන්න.

ඇයට විවාහ වන්නට සිදුවූයේ තමන් විශ්වාස කරන ආගම, අනුගමනය කරන සිරිත් විරිත් හා ගති පැවතුම්වලට හාත්පසින් වෙනස් පවුලක තරුණයකු සමඟය. ඒ ගැන උකටලී නොවූ ඈ උපක්‍රමශීලීව ඒ පවුලේ අය තමන්ට අවැසි ලෙස හසුරුවා ගත්තී ය. මිසදිටු ආගමක සිටි ස්වාමි පුරුෂයා ඉන් මුදවා යහපත් තත්ත්වයට පත් කර ගන්නට සමත්වූවා ය. ඇය සිය ස්වාමි පුරුෂයාගේ පවුලේ අයට මොන තරම් යහපත් වූවා ද යත් තමන් ගේ ලේලිය මවු තනතුරේ තබා ගන්නට ඇය ගේ මාමණ්ඩිය කටයුතු කළේ ය.

මිගාර නම් ඒ සිටුවරයා තම ලේලිය මවු තනතුරට පත් කරගත් නිසා මිගාර මාතා යන නාමය ඇයට හිමි වුණි. ඉන් ගම්‍ය වන්නේ කාන්තාව බුද්ධිමත් නම්, පරිසරයට අනුරූප වන අයුරින් හැඩ ගැසෙන්නට හැකි නම් එහි ජීවත්වන අය තමන්ට අනුකූලවන ලෙස යහපත්ව හැඩගස්වා ගැනීමට ඇයට හැකිවන බවයි.

බුදුරජාණන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රයේ දී දේශනා කොට වදාළ ස්වාමියා විසින් භාර්යාවටත්, භාර්යාව විසින් ස්වාමියාටත් ඉටු කළ යුතු යුතුකම් හා වගකීම් මනාව අධ්‍යයනය කිරීම විවාහයට සූදානම් වන තරුණියකට ඉතා ප්‍රයෝජනවත් ය. සදිසා නමස්කාරයේ එන මනාව විග්‍රහ කොට ඇති ඒ උපදෙස් පමණක් හෝ නිසි ලෙස ක්‍රියාත්මක කරන්නේ නම් අද සමාජයේ වැඩි වැඩියෙන් දකින්නට ලැබෙන පවුල් ආරවුල් සමනය කර ගැනීම අපහසු වන්නේ නැත.

එමෙන් ම ඉහත සඳහන් කළ ලෙස වෙනස් අත්දැකීම් හා සිතිවිලි ඇති දෙදෙනෙක් එකට ජීවත්වීමේදී එතෙක් පවත්වාගෙන ආ හැසිරීම් සිරිත් විරිත් වෙනස් කරන්නට වගේ ම වෙනස් දේ අනුගමනය කරන්නටත් හැකි මානසික ශක්තියක් ගොඩනඟා ගන්නට ද ඇය විවාහයට පෙර සිට ම අධිෂ්ඨානයක් ඇති කර ගත යුතු ය.

‘යා දෙක නොරත රත

සමඟ එක්වීමක් නැත’ රත් වූ යකඩයක් හා රත් නොවූ යකඩයක් කිසිදු කලෙකත් එකට පෑස්සිය නොහේ. එමෙන් අඹුසැමියන් අතර අන්‍යොන්‍ය සුහදතාවයක් නොවේ නම් ඒ පවුලේ යහපත් පැවැත්මක් ද නොවේ. ඒ සුහදතාවය වර්ධනය කර ගැනීම සඳහා යම් අධිෂ්ඨානයක්, එකඟත්වයක් නොවේ නම් විවාහයට පිවිසීමේ අර්ථයක් ද නැත. කෙනෙක් විවාහයකින් බලාපොරොත්තුවන්නේ ගුණ යහපත් දරුවන් ලැබ වාසනාවන්ත ජීවිතයක් ගත කිරීමටයි. පවුලක දරුවන් ගේ වාසනාව හෝ අවාසනාව හෝ තීරණය වන්නේ මවුපියන් ගේ හැසිරීම් හා ගති පැවතුම් අනුව ය.

සමාජ සමීක්ෂණවලදී පැහැදිලි වන ආකාරයට අඹුසැමියන් අතර ඇතිවන අසමඟිය හා අසහනකාරී තත්ත්වය අවැඩදායක දරුවන් බිහිවීමට ප්‍රධාන හේතුවකි. දරුවකුට මවත් ඇවැසිය. පියාත් අවැසිය. ඔවුන් දෙදෙනා අසමගි වූ කල දරුවන්ට සිදු වන්නේ දෙලොවක් අතර අතරමං වන්නට ය. එවැනි දරුවන් අනාගතයේ වැඩිහිටියන් වී සමාජ ගත වන්නේ ද ඒ අසහනකාරී මනසිනි. ඔවුන් කෙරෙන් අයහපතක් ම මිස යහපතක් නම් බලාපොරොත්තු වීමට නුපුළුවන.

මේ නිසා තරුණ දියණියක් විවාහයට පෙර සිටම තමන් ඉදිරි ජීවිතය සැලසුම් කරගන්නා ආකාරය පිළිබඳව, හැසිරීම් හා සිරිත් විරිත් පාලනය කරගන්නා සැටි පිළිබඳව සැලසුම් සහගතව සිතීම වැදගත් ය.

නැන්දා ලේලිය අතර ගැටුම අපේ සමාජයට ආගන්තුක නොවේ. බිලිඳු වියේ පටන් ආදරයෙන් ඇති දැඩි කළ තම පුතනුවන් තමාට තිබූ ආදර සැලකිල්ල තවත් කෙනකුට දෙනවා දකින මවගේ සිතෙහි යම් අසහනකාරී බවක් ඇතිවීම ස්වාභාවික ය. අනෙක් පසින්, තමන් විවාහ කර ගත් සැමියා මව ගේ කීමට අනුව කටයුතු කරනු දැකීම බිරිය ගේ අසහනයට හේතු වේ. අවසාන ප්‍රතිඵලය සුප්‍රසිද්ධ නැන්දා ලේලි හබය දුර දිග ගොස් පවුල අවුල් වීම ය. පවුලක නැන්දම්මා වගේ ම ලේලිය ද බුද්ධිමත්ව ක්‍රියා නොකළේ නම් ඒ ගැටලු දික්කසාදය දක්වාම දුර දිග යෑමට පුළුවන. විශේෂයෙන් තරුණ දියණියක් තමන් ගේ විවාහය ගැන සිතීමේ දී සමාජයෙන් අසන්නට දකින්නට ලැබෙන මේ ගැටුම්කාරී තත්ත්වයන් අධ්‍යයනය කිරීම ද වැදගත් ය. ඒ අධ්‍යයනය විවාහ ජීවිතයේ දී මුහුණ දෙන ගැටලු නිරාකරණයටත් ප්‍රශ්න අවම කර ගැනීමටත් ඉතා ප්‍රයෝජනවත් ය.

ඇතැම් පවුල්වල නැන්දම්මා තම ලේලිය තමන් ගේ ම දියණියක් හා සමව සලකන අයුරු ද අපි දකිමු. එවැනි පවුල්වල අවුල් අවමය. ගෙදර වැඩිහිටියන් සේම සැමියා, බිරිය මෙන් ම දරු මුනුපුරන් ද සතුටෙනි. පවුලේ දියුණුව ද ඇත. එවැනි පවුල් ගමට මෙන් ම රටට ද වාසනාවකි. ඒ වාසනාව උදාකර ගැනීමට ඇති එකම මඟ එකිනෙකා අවබෝධ කර ගැනීමය. ඒ අවබෝධයත් සමඟ එකිනෙකාට ගරු කටයුතු ලෙස ජීවත් වීම ය. ඒ සඳහා වචනය, වගේ ම ක්‍රියාව ද යහපත්ව හසුරුවා ගත යුතු ය. එකිනෙකාගේ සිත නොරිදෙන ලෙස ආදරයෙන් ආමන්ත්‍රණය කරන්නට, වරදක් වූ තැන වරද පිළිගන්නට, එකිනෙකා ඉක්මවා නොයන්නට කටයුතු කළ යුතු ය. දියණියක් විවාහයට පෙර සිටම ඒ යහපත් පැවතුම් පුරුදු පුහුණු කරන්නේ නම් සතුට සමාදානය පිරුණු වාසනාවන්ත විවාහ ජීවිතයක් උරුම කර ගැනීම අපහසු වන්නේ නැත.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: