Posted by: lrrp | December 31, 2012

කවුරුත් අපට පින් දුන්නේ නෑ

මේ මිනිස් භවය ද කාම ලෝකයකි. ඇස – කන – නාසය – දිව – ශරීරය හා මනස පිනවීම ස්වභාවය කොට ගෙන ඇත. අධිෂ්ඨාන, ප්‍රාර්ථනා, බලාපොරොත්තු, යනු අපේ සිත ඉල්ලන දේවල් ය. මේ සිත ඉල්ලන දේවල් ලැබීමත්, එයින් ලැබෙන සහනයත් සතුට ගෙන දෙයි. එසේ සිතා ඉල්ලන දේවල් නොලැබීම දුකට හේතු වෙයි. මිනිසා ආරම්භයේ සිට ම නොලැබෙන දේවල් හෙවත් තනිව ලබා ගත නොහැකි දේ ලබා ගැනීමට නොපෙනෙන බලවේගවල පිහිට පැතූහ. ගස් ගල් වන්දනා කළහ. එදා සිට තවමත් තමන් සමඟ ජීවත්වන මිනිසුන්ගෙන් ඉටු කැරවා ගත නොහැකි වුවමනාවන් ඉටු කැර ගැනීමට, ආරක්ෂාව හා සම්පත් ලබා ගැනීමට, මේ ක්‍රියාවලියේ යෙදෙති.

බෝධි පූජාව යොදා ගෙන ඇත්තේ ද ඒ සඳහා ය. බුදු රජාණන් වහන්සේ ජේතවනාරාමයෙන් පිටත වැඩම කළ අවස්ථාවල පැමිණෙන සැදැහැවතුන් බුදුන් නොදැක කනගාටුවෙන් ආපසු යන බැවින් ආනන්ද හාමුදුරුවෝ තථාගතයන් වහන්සේගෙන් ඊට විකල්පයක් පැතූහ. බුදු රජාණන් වහන්සේ නැති අවස්ථාවල ඒ වෙනුවට බෝධිය වන්දනා කරන්නැයි අනුදැන වදාළේ ඒ නිසා ය. ආනන්ද බෝධියෙන් ආරම්භ වූ බෝධි වන්දනාව පැතිර ගියේ ඒ ආකාරයෙනි.

එහෙත් අද බොහෝ දෙනා බෝධි වන්දනා කරන්නේ සතුරා පරාජය කරන්නට ය. තමන් ජයග්‍රහණය කරන්නට ය. පෙර කරන ලද පාපයන්ගේ විපාක වශයෙන් දුක් පීඩා කරදර එළැඹි විට එයින් මිදීමට ය. පුතාට, දුවට රැකියාවක් විවාහයක් ඉක්මන් කරවා ගන්නට ය. විභාග සමත් වන්නට ය. පංචේන්ද්‍රියයන් පිනවමින් සතුටින් සිටින කාලයේ අමතක වූ, අමතක කර දැමූ, බෝධිය මතක් වෙන්නේ බලාපොරොත්තු නොවූ දුක් විපත් එළඹෙන විට ය. කිසි දවසක බෝධි පූජාව කෙරෙහි විශ්වාසය නොතැබු අය පවා පවුලෙ කෙනෙක් දැඩි සත්කාර ඒකකයේ වයර් පටලවා ගෙන අසාධ්‍ය තත්ත්වයේ සිටින විට බෝධින් වහන්සේ වෙත ගොස් දහසක් දේ පොරොන්දු වෙමින් පඬුරු බඳිමින් බෝධි වන්දනා (පොත බලාගෙන) කොට පැදකුණු කරති.

මිනිසා දුක් විපත්වලට පත්ව අසරණ වූ විට සිත ව්‍යාකූල වේ. තමන් කෙරෙහිම දැඩි වේ. ව්‍යාපාදයක් ගොඩ නැඟේ. බෝධින් වහන්සේ වෙත ;ගාස් අවට මිදුල ඇමද මල් ආසන ශුද්ධ පවිත්‍ර කොට මල් පහන් සුවඳ දුම් පුදා, කරණීය මෙත්ත සූත්‍රය සජ්ඣායනා කරන විට, පැන් කළයක් ගෙන බෝධිය පැදකුණු කරන විට, මෛත්‍රී භාවනාවේ යෙදෙන විට, අර දැඩි වූ සිත ශ්‍රද්ධාවෙන් මොළොක් ගතියකට පත් වේ. ආරම්භයේ සමාදන් වූ සීලය මෙනෙහි කරන විට ශ්‍රද්ධාව මිශ්‍ර ශක්තියක් ගොඩ නැඟේ. දින විසි එකක් පමණ දිනපතා, නොකඩවා මෙසේ සිදු කරන විට සිත ඊට කීකරු වේ. එකඟ වේ. එයින් සිතේ ශක්තිය තවත් වර්ධනය වේ. පස් පවෙන් වැළකුණු දින චරියාව නිසා, බාහිර අභ්‍යන්තර පිරිසුදු කම නිසා තමන් ගේ ශරීරයෙන් නිකුත් වන, අඳුරු කිරණ, ආලෝකවත් ප්‍රභාශ්වර රැස් වළල්ලක් බවට පත් වේ. රැස් වළල්ල (ඕරා) දකින අමනුෂ්‍යයෝ (දෙවියන් හා වෙනත්) පි‍්‍රය වේ. ඒ රැස් වළල්ල පියවි ඇසට නොපෙනුණත්, මුහුණ ප්‍රසන්න වීම නිසා ආශි‍්‍රතයන්ගේ ප්‍රසාදයට ලක් වේ.

සුඛං සුපති, සුවසේ නිදයි. සුඛං පටිබුජ්ඣති, සුවසේ අවදි වෙයි. න පාපකං සුපිතං පස්සති, පාපී සිහින නොදකී, මනුස්සාතං පියෝ හෝති, මනුස්සයන්ට පි‍්‍රය වේ. අමනුස්සාතං පියෝ නේති, අමනුස්සයන්ට ද පි‍්‍රය වේ. දේවතා රක්ඛන්ති, දෙවියෝ රකිති. නාස්ස අග්ගි වා විසං වා, සත්ථං වා කමති, (මෛත්‍රි විහරණයෙන් යුත් පුද්ගලයාගේ ශරීරයෙහි) ගිනි වස විස ආයුධ නොවදී. තුවටං චිත්තං සමාධියති, සිත වහා සමාධි ගත වේ. සමාහිත වේ. මුඛ වන්නං විප්පසීදති, මුහුණ වර්ණ ප්‍රසාද වේ. අසම්මූල්හෝ කාලං කරෝති, සිත නුමුළාව කාල ක්‍රියා කරයි. ඒ මෛත්‍රියයේ ආනිශංසයි.

මෙසේ බෝධි පූජා නොකඩවා පවත්වන විට මොළොක් වූ සිත ප්‍රබල වෙයි. ශ්‍රද්ධාව වැඩෙයි, නිවසේ සිට තමන් සමඟ පැමිණෙන භූතයෝ ද සැදැහැයෙන් වැඩේ. බෝධිය ආශි‍්‍රතව සිටින දෙවියෝ ද භූතයෝ ද සැදැහැවතුන්ට ආශීර්වාද කරති. සිත ප්‍රබල වූ විට ලේ පිරිසිදු වේ. නිරෝගි වේ. අපල උපද්‍රව, භූත උපද්‍රව, දුරු වේ. අප මේ තරම් විස්තර කරන්නේ බෝධි පූජා පැවැත්වීම නිවැරැදිව, ක්‍රමවත්ව සිදු විය යුතු බව පැහැදිලි කරන්නට ය. අනුන් ලවා බෝධි පූජා පවත්වා, කුලියට බෝධි පූජා පවත්වා, කරන්නන් වාලේ සිදු කර බලාපොරොත්තු ප්‍රතිඵල නොලැබෙන බව කියන්නට ය. බෝධි පූජාව ද චිකිත්සක ක්‍රමයකි.

පුෂ්පා දිවුලපිටියේ පදිංචි විසි හතර හැවිරිදි අවිවාහක තරුණියකි. ඇය ඇඟ පත වේදනාවෙන්, පෙළුණාය. දෙමව්පියන්ට අතට අසුවුණ දෙයින් පහර දුන්නාය. අම්මා තාත්තා දැකීමත් තරහ උපදවන්නක් විය. රාත්‍රියට ඇගේ ආරක්ෂාවට කවුදෝ කෙනෙක් ඇය ළඟ නිදා සිටින අයුරු දැනෙයි. මේ තත්ත්වය නිසා මානසික වෛද්‍යවරුන්ට ඇය පෙන්නුවාය. අවුරුදු දෙකක් ම එක දිගට පෙති ගිල්ලත් සුවයක් නොලැබුණි. ‘සිළුමිණ’ පියවි ඇසින් ඔබ්බට කියවන ඥාතියෙකුගේ උපදෙසක් මත පුෂ්පා ගේ දෙමව්පියෝ ඇය ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයට කැඳවාගෙන ආහ.

ප්‍රථම දිනයේ ම පුෂ්පා තුළින් භූතාත්මයක් ආවිශ්ට ව ආවේය. ඉතා දරුණු හා තද ස්වභාවයක් පෙන්නූ බැවින්, දින විසි එකක් බෝධි පූජා පවත්වා එන්නැයි උපදෙස් දුන්නේ ය. එවැනි දරුණු භූතාත්ම මතු වී එන්නේ පුද්ගලයාගේ ප්‍රකෘති ස්වභාවික මනස යටපත් කැර ගෙන ය. එවැනි භූතාත්මයක් ඉවත් නොවුණොත් පුද්ගලයාට ජීවත් වෙන්නට සිදු වෙන්නේ විකාර මනසකින් කටයුතු කරමිනි. ඒ නිසා මනස වියවුල්ව තිබෙන අවස්ථාවල දිෂ්ටි ගැන්වීම අහිතකර බැවින් දින විසි එකක් නිවැරැදිව, නොකඩවා බෝධි පූජා කරන විට රෝගියාත් භූතයාත් දෙදෙනා ම තරමක් සමාහිත වේ.

ඊළඟ දිනයේ ද භූතාත්මය ආවිශ්ට විය.

“මේ ශරීරයට ඇතුළු වී ඉන්නේ කවුද?”

“මම කපිල”

“කවුද මේ කපිල කියන්නෙ?”

“මේ දුවගෙ තාත්තා”

“බොරු කියන්න එපා අම්මයි තාත්තයි දෙන්නම මෙතැන ඉන්නවා.”

“නෑ මහත්තයා, මමයි මේ දූගෙ තාත්තා”

මව් පිය දෙදෙනා ම නිහඬව බිම බලාගෙන සිටි බැවින් ඒ ගැන තව දුරටත් ප්‍රශ්න කළේ නැත.

“මම මිනිසෙක් නොවෙයි. අමනුෂ්‍යයෙක්. මේ ළමයාට නිදහසේ ජීවත්වෙන්න දී මේ ශරීරයෙන් ඉවත් වී යන්න.”

“බෑ… බෑ… දුව දාලා යන්න බෑ. අසාධාරණ යෝජනා කරන්න එපා. මම මොකටද මගේ දුව දාලා යන්නෙ?”

“ඔබ මොනවා වෙලා ද මැරුණේ?”

“මූණ වහ ගත්ත කණ්ඩායමක් ඇවිත් මාව වෙඩි තියලා මැරුවා.”

“කොයි කාලෙ ද?”

“1988, දුව ලැබෙන්න ඉන්දැද්දි? මම දුවගෙ මූණවත් දැක්කෙ නෑ. මම හැම තැන ම හොයලා හොයලා තමයි දුව ඉන්න තැන හොයා ගත්තේ, දැන් නම් දුව දාලා යන්න බෑ.”

ඒ අතර තවත් භූතාත්මයක් ඒ අසල සැරිසරන බව ගවේෂකවරයාට දැනුණි.

“තවත් කෙනෙක් ඔතන කැරකෙනවා නේද?”

“ඔව්!”

“කවුද ඒ”

“අනෝමා”

“අනෝමා ය කියන්නේ කවුද?”

“දුවගෙ අම්මා”

“බොරු කියන්න එපා. අම්මා මෙතැන ඉන්නවා.”

“නැහැ මහත්තයා. දුව ඉපදිලා දවස් දහහතරෙන් මේ අය දුවව හදා ගන්න පවරා ගත්තා.”

“අනෝමා මළේ මොනවා වෙලා ද?”

“එයාව මැරුවෙත් මූණ වහගත්ත එවුන්මයි.”

“එයා කොහෙද ඉන්නෙ?”

“හරියට දන්නෙ නෑ”

“ඇයි ඔබේ බිරිඳ දරුවව අනුන්ට දුන්නෙ?”

“අපි දෙන්නා දේශපාලනය කරද්දි හඳුනාගත්තෙ. නීතියෙන් විවාහ වුණේ නෑ. අනෝම දරුව ඉපදුණා ම සිස්ටර් කෙනෙකුට හදා ගන්න දීලා. එයාගෙන් තමයි මේ දෙන්නා දරුවව හදාගන්න ගත්තේ” යි කපිලගේ භූතාත්මය කීවේය.

“මේ කියන්නේ ඇත්ත දැ”යි පුෂ්පාගේ මව්පියන්ගෙන් ගවේෂකවරයා ඇසුවේය. එය සත්‍යයක් බවත් තමන් අරන් හදා ගන්නා දරුවෙකු බව දුව තවමත් නොදන්නා බවත් ඔව්හු කීහ. භූතාත්මය තවමත් දුව කෙරෙහි දැඩි ස්ථාවරයක සිටින නිසා දින විසි එකක් බෝධි පූජා පවත්වා එන ලෙස කීවේය.

දුවගේ නියම දෙමව්පිය දෙදෙනා දැන් ජීවතුන් අතර නැති බැවින් ඇයට සත්‍යය හෙළි කරන ලෙස ද උපදෙස් දුන්නේ ය.

දෙමව්පිය දෙදෙනා පුෂ්පා දුව සමඟ බෝධි පූජා පවත්වා නියමිත දිනයේ ආපසු පැමිණියහ.

“දුවට සත්‍ය කතාව කීවා දැ”යි ගවේෂකවරයා ඇසුවේය.

“නෑ මහත්තයා. ඒක අපට කියාගන්න බෑ. මහත්තය ම දුවට ඒක කියන්නැ”යි පුෂ්පාගේ දෙමව්පියෝ කීය.

දෙමව්පිය දෙදෙනා දැන් ජීවතුන් අතර නැති බවත්, එය අසම්මත සම්බන්ධයකින් සිදු වූ උපතක් නිසා ඥාතීන් සෙවිය නොහැකි බවත්, තමන් ආදරයෙන් හදා වඩා ගත් මේ මව් පිය දෙදෙනාට කීකරුව කටයුතු කරන ලෙසත් ගවේෂකවරයා උපදෙස් දුන්නේ ය.

නැවත පුෂ්පාගේ ශරීරයට කපිලගේ භූතාත්මය ආවිශ්ට කළේ ය.

“කොහොම ද? දැන්වත් මේ ළමයගෙ ශරීරයෙන් ඉවත් වෙලා යනව ද?”

“මේ දරුවා අයිති අපට යි, මට මේ දුව අරගෙන යන්න ඉඩ දෙන්න. මම මේ දෙන්නටත් දුව එපා කරවනවා.”

“ඒ කොහොම ද?”

“දූ ලවා රණ්ඩු කරවනවා. පහර දෙවනවා, මෙහෙම ටික කාලයක් යන කොට මේ අයට දුව එපා වේවි, දූටත් ජීවිතය එපා වේවි.”

“තමුන් කරන්න හදන්නේ මහා අපරාධයක්. මහා පාපයක්.

නමුත් දැන් ජීවත්වෙන්නේ ලේ සොටු සැරව මළ මුත්‍ර ආහාරයට අර ගෙනයි. දැන් මේ ඡ්මයා හොඳට මේ දෙමව්පියන්ගෙන් කාල බීල ඉන්නවා. ඒ දරුවාවත් අර වගේ ජරාව කන තැනට ගෙනියන්න ද හදන්නෙ? තමුන්ගේ කර්ම විපාකයකට අකාලේ මැරුණා. දැන් තමුන් කපිල නෙවෙයි. පේ‍්‍රත ජීවියෙක්. ආදරය කියන්නේ දරුවා හොඳින් ඉන්නවා දැකලා සතුටු වෙන එකයි.”

“ඒ වුණාට මේ ගෑනි මගේ දුවට බණිනවා. මේකිගෙ ජන්ම ගතියට කට හරි ම නපුරුයි. එහෙම නම් ඒවා නතර කරන්න කියන්න.”

“හොඳයි මම කියන්නම්. දැන් ඔය දෙන්නට පින් ලැබුණ ද?”

“නෑ. අපට කවුරුවත් පින් දුන්නේ නෑ. පාංශුකූලයවත් දුන්නේ නෑ.”

“හොඳයි මම මේ අය ලවා දෙන්නාට ම පාංශුකූල දී ගමේ පන්සලට උදේ දානයක්දී පින් අනුමෝදන් කරවන්නම්.”

එසේ එම පින්කම් ඉටු කොට කපිලත්, අනෝමාත් නමින් පාංශුකූල පුදා වැටකෙයියා මල් දෙකක් රැගෙන නැවත එන්නැයි උපදෙස් දුන්නේ ය. අනුරාධපුරයට ගොස් ශ්‍රී මහා බෝධියට පූජා පවත්වා, බුද්ධ පූජාවත්, කළු දේවතා බණ්ඩාර දෙවියන්ට කිරි ආහාර පූජාවක් පවත්වන්නටත් සූදානම් වෙන්නැයි උපදෙස් දුන්නේය.

ඊළඟ දිනයේ පැමිණෙන විට කපිලගේත් අනෝමාගේත් භූතාත්ම අනුරාධපුර යෑමට සූදානමින් කැමැත්තෙන් අවනතව සිටියහ. එදින වැටකෙයියා මල් දෙකට කපිලගේත් අනෝමාගේත් භූතාත්ම සම්බන්ධ කොට දී එය ශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා කරන්නැ යි උපදෙස් දුන්නේ ය. පසු දින පාන්දර කිරි ආහාර පූජා පවත්වා, සත් නමකට දහවල් දානය පිරිනමා පින් අනුමෝදන් කළහ. දැන් පුෂ්පාගේ නපුරු ගති ඉවත්ව ගොස් ඇත.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: