Posted by: lrrp | January 5, 2013

මුනුපුරා මරණයෙන් බේරාගන්න මියගිය ආච්චි භූතයකු වී එයි

අපේ පියවි ඇසට නොපෙනෙන, එහෙත් යම් යම් ක්‍රියාකාරකම් කරන භූත බලවේග ඇතැයි කෙනෙක් කියති, එය අද ඊයේ පටන් ගත් පිළිගැනීමක් නොව ඈත ගල් යුගයේ මානවයන් අතර සිට ම පැවත ආ පිළිගැනීමකි.

භූත බලවේග යනු මනෝ විකාරකාරයන්ගේ කතාවකැයි තවත් කෙනෙක් කියති. තර්ක කරති, තර්කය යනු ප්‍රශ්නවලට පිළිතුරක් නොවේ.

අමනුෂ්‍යයන් පිළිබඳ දෙවියන් යක්ෂයන් පේ‍්‍රතයන් පිළිබඳ බුදු දහමේ සූත්‍ර ගණනාවක ද සඳහන් වේ. කෙනෙකුට වැලඳී ඇත්තේ අමනුෂ්‍ය දෝෂයක් නොවේ නම් ඒ රෝගය මානසික වෛද්‍ය වරුන් විසින් සුව කරනු ලැබිය යුතුය. (මානසික රෝග ද නැතුවා නොවේ) එසේ සුව වේ නම් කෙනෙක් මානසික වෛද්‍ය ප්‍රතිකාර කරමින් සිට එයින් සුවයක් නොලැබු තැන වෙනත් ආධ්‍යාත්මික ප්‍රතිකාර සොයා යන්නේ නැත. එවැනි ප්‍රතිකාරවලින් පෙතිවලින් එන්නත්වලින් සුවය නොලබා මුළු ජීවිතය ම ඔළුව නරක් වූ රෝගීන් ද නැත්තේ නැත. අප මේ විස්තර කරන්නේ කපටි දේවාලකාරයන්ට පාර කපා දීමට ද නොවේ. සමාජයේ පවතින දෙයක් පැහැදිලි කිරීමට ය.

තුෂාර පහළොස් හැවිරිදි යහපත් ගතිගුණ ඇති දක්ෂ දරුවෙකි. පවුලේ බාලයා වූ බැවින් හුරතලයට හැදුණු දරුවෙකි. පිරිමි දරුවන් ම තුන් දෙනෙකු වූ ඒ පවුලේ වැඩිමහල් පුතා උසස් පෙළ ඉහළින් සමත්ව මොරටු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු ශිල්පය හදාරයි. මද්දුම පුතා උසස් පෙළ ‘ඒ’ හතරක් ලබා සමත්ව විශ්ව විද්‍යාලයට යෑමට සූදානම්ව සිටී. මේ බාල පුතා ය. ඔහු සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වෙමින් සිටියදී අසනීප විය.

මාස දහයක කාලයක සිට බඩ බුරුල් වී යෑමත්, නිතර මුත්‍රා කිරීමත්, දරුණු හිසරදයත්, මවුපියන්ට බැණ වැදීමත් ඔහුගේ රෝග ලක්ෂණ විය. අනෙත් වේලාවට නිහඬව බලාගත් අත බලා ගෙන සිටී. වරෙක හිසරදය නිසා වේදනාවෙන් හිස බදා ගෙන කෑගසයි. අධ්‍යාපනය කඩා වැටී පාසල් ගමන නතර වී ඇත. මවුපියෝ මේ දරුවාට වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන් නමුත් සුවයක් නොලැබීම නිසා අවසානයේ මනෝ වෛද්‍යවරුන් වෙත ගෙන ගියහ. ඔවුහු ආතතියට ප්‍රතිකාර කළහ. දැනට මාස දහයක් ඉක්ම ගොස් ඇත. රෝගියාගේ කිසිම වෙනසක් සිදුව නැත. තවමත් මනෝ වෛද්‍ය ප්‍රතිකාර අත්හැරියේ ද නැත.

අවසානයේ ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා දරුවා රැගෙන ආහ. දරුවාගේ ශක්ති වළල්ල දුර්වලව ඇති බව ගවේෂකවරයා දැක්කේය. ඒ බව නොහඟවා සාකච්ඡා කළේය. මවුපිය දෙදෙනා ම දරුවාගේ රෝග තත්ත්වය හා බාහිර ක්‍රියාකාරකම්වල තත්ත්වය පැහැදිලි කළේය. ගවේෂකවරයා වැඩිහිටියන් ඉවත් කොට රෝගියා සමඟ සාකච්ඡා කළේය.

“අම්මයි තාත්තයි හැම තිස්සේ ම පාඩම් කරන්න පාඩම් කරන්න කියලා කාමරයට තල්ලු කරනවා. අම්මා පාසල් ගුරුවරියක්. අයියා උසස් පෙළ සමත්වෙලා විශ්ව විද්‍යාලයේ. පොඩි අයියා උසස් පෙළ ‘ඒ’ හතරක් සමඟ සමත් වුණා. අම්මා බල කරනවා මට සාමාන්‍ය පෙළ ‘ඒ’ දහයක් අනිවාර්යයෙන්ම ගන්න ඕනැ කියලා. මට ‘ඒ’ දහයක් ගන්න බැරි වුණොත් අම්මාට ඉඳලා වැඩක් නැහැලු. අම්මගේ ඉස්කෝලෙ අයගේ මූණ බලන්න බැරිලු. මගේ ඔළුවට පීඩනය වැඩියි. අනේ! මේ දැනුත් හිස කකියනවා. හැම තිස්සේ ම පාඩම් කරන්න කියලා මාව කාමරයට දාලා අම්මයි තාත්තයි අයියලයි රූපවාහිනිය බලනවා. පාටිවලට යනවා.” තුෂාර කීවේය.

නැවත මවුපියන් කැඳවීය. මේ ළමයා තුළ භූත දෝෂයක් ඇතැයි මවුපියෝ තදින් ම පවසා සිටිති. ගවේෂකවරයාට ද එවැනි දෙයක් පැහැදිලි වුව ද ඔහු ඒ බව ඇඟෙව්වේ නැත.

“පුතා ඔයාට කිසිම භූත දෝෂයක් නෑ. ඔයා ගෙදර තියෙන බුදු පිළිමයක් ඉදිරිපිට හිඳගෙන පන්සිල් සමාදන් වී දවස් විසි එකක් උදේ හවස පුංචි භාවනාවක් කරන්න. හිත තැන්පත් කරගෙන හෙමිහිට කලබල නැතුව නොවරද්දා එකේ සිට දහස දක්වා ගණන් කරන්න. ආපසු දහසේ සිට එක දක්වා ගණන් කරන්න. අනෙක් වේලාවට සාමාන්‍ය විදිහට ජීවත්වෙන්න” යි කීවේය.

“මේ ළමයට අමනුෂ්‍ය දෝෂයක් නෑ. ඔයගොල්ලො තමයි ඒක මේ ළමයගේ ඔළුවට දාලා තියෙන්නේ. මෙයා හොඳ ළමයෙක්. හැම ළමයෙක් ම එක වගේ නොවෙයි, පුද්ගලයාගෙන් පුද්ගලයා වෙනස්. මෙයා හුරතලේට හැදුණු දරුවා. ඕනෑවට වඩා පීඩනයට පත් කරන්න එපා. දවස් විසි එකෙන් පස්සේ නැවත එක්කර ගෙන එන්නැ” යි වැඩිහිටියන්ට උපදෙස් දුන්නේය.

ඊළඟ දිනයේ ද ඔවුහු පැමිණියහ. එදින මේ දරුවාගේ මහප්පා ද (පියාගේ අයියා) පැමිණ සිටියේය. මාමා ද (අම්මගෙ අයියා) පැමිණ සිටියේය. කලින් දින දරුවාට පැවරූ සරල භාවනා කමටහන ඔහු ඕනෑකමින් සිදු කැර තිබුණු බැවින් සාමාන්‍ය ධනාත්මක වෙනසකට පත්ව සිටියේය. “දැන් හිත ටිකක් හොඳයි. ඒත් කෑම කන්න එච්චර පි‍්‍රයක් නෑ” යි තුෂාර කීවේය. එදින තුෂාර තුළින් අවදි වූ භූතාත්මය ප්‍රලය විය.

“කව්ද? මේ පුතාගෙ ශරීරය තුළ ඉන්නෙ?”

“මම සීලවතී”

“සීලවතී කියන්නෙ කව්ද?”

“මේ දරුවාගේ අම්මගේ අම්මා. ආච්චි”

“ඇයි මේ ආච්චි මුනුපුරාට හිරිහැර කරන්නෙ? ලෙඩ කරන්නෙ?”

“මහත්තයා. මම මේ දරුවට ආදරෙයි (හඬන්නට වූවාය.) මමයි මේ දරුවව හදා ගත්තේ පුංචි කාලේ ඉඳලා. මේ දරුවට හිරිහැර කරන්නේ මම නොවෙයි. මේ මහ එවුන් දෙන්න. රෑ දවල් වෙනසක් නැතුව හැම තිස්සේ ම පාඩම් කරන්න පාඩම් කරන්න කියලා කන්දොස් කිරියාව. දරුවගේ ළපටි හිත අවුල් වුණා. ඉතින් මම ආවේ දරුවාගෙ ආරස්සාවට.”

“මොකක්ද ඔය භූත ලෝකයේ කෙනෙකුට මේ දරුවට කරන්න පුළුවන් ආරස්සාව.”

“මහත්තයා එහෙම හිතන්න එපා. අපටත් කරන්න පුළුවන් යම් යම් දේවල් තියෙනවා. මේ දරුවා අසනීප වුණ හැටියේ අනෙක් කාලකණ්ණි හැත්ත දරුවව වට කර ගත්තා. බිලිගන්න.”

“ඒ කව්ද? කාලකණ්ණි හැත්ත කිව්වේ?”

“අමනුස්සයෝ”

“උන් දැනුත් ඉන්නවා ද?”

“ඔව්! ඔව්! මා නිසා උන්ට කිට්ටුවෙන්න බෑ. උන් ඈතින් බලාගෙන ඉන්නේ කොයි වෙලේ හරි අරගෙන යන්න.

අපේ එකී පාඩම් කරන්න කියලා කරච්චල් කරනවාට උන් කැමතියි. මේ දරුවා දැනට තුන් වතාවක් ජීවිතේ නැති කැරගන්න හැදුවා. එල්ලිලා මැරෙන්න හැදුවා. ඒ තුන් වතාවෙම මමයි බේරා ගත්තේ. මම නොහිටින්න අර කාලකණ්ණි මේ දරුවව අරගෙන ගිහින්.”

මවුපිය දෙදෙනා හඬන්නට වූහ. නැවතත් භූතාත්මය කතා කළාය.

“මහත්තයා මම ඉන්නේ දරුවගේ ආරස්සාවට. මට නම් යන්න කියන්න එපා මේ ප්‍රශ්නය ඉවරයක් නොකර. මම ගියොත් මේ දරුවගේ ජීවිතය අනතුරේ.”

“මේ ආච්චි නොවෙයි. මේ දරුවාගේ සිතේ ප්‍රතිවිරෝධය. මේක මානසික ගැටලුවක්.” මහප්පා කට දැම්මේය.

“මානසික ගැටලුවක්? සිතේ ප්‍රතිවිරෝධය? මහත්තයා “සිත” පිළිබඳව හොඳට දන්නවා වගෙයි. ඉතින් මහත්තයා මේ දරුවව බාර අරගෙන මනෝ වෛද්‍ය ප්‍රතිකාරවලින් සනීප කරන්න.

මහප්පා කෙනෙක් වශයෙන් මාස දහයක් බලාගෙන හිටියෙ මොකද? මේ දරුවගේ ජීවිතය අනතුරට ලක් වෙනකම් ද බලා හිටියේ?” යි ගවේෂකවරයා ඇසීය.

දරුවාගේ ලොකු මාමා හඬ අවදි කළේය.

“මගේ අම්මා මේ දරුවාට වැහෙන්න විදිහක් නෑ. අම්මා බොහෝ ම සිල්වත්.” යැයි ලොකු මාමා කීවේ ය.

“මහත්තයා ඕවා තමයි අති පණ්ඩිත කතා. ඔයිට වඩා විශාල දන් පින් කළ අයත්, සිල්වත්තුත් මරණාසන්නයේ චුති චිත්තය කිළිටි වෙලා දුගතිගාමී වෙලා තියෙනවා. ඔය මහත්තුරු මගේ කතාව පවුලේ ප්‍රශ්නයක් කර ගන්න එපා. භූත දෝෂයක් වුණත් කමක් නෑ. මානසික ගැටලුවක් වුණත් කමක් නෑ. ප්‍රශ්නය දිහා ප්‍රශ්නයක් හැටියට බලන්න. ඔය මතවාදවලින් වැඩක් නෑ. ඉතින් ළමයව අරගෙන ගිහින් මනෝ වෛද්‍ය ප්‍රතිකාරවලින් සනීප කරගන්න. මගෙන් ප්‍රශ්නයක් නෑ” යි ගවේෂකවරයා පැවසීය.

ළමයා සිනාසෙන්නට විය. ගවේෂකවරයා ප්‍රශ්න කළේය.

“කව්ද මේ?”

“මහත්තයා! ඔය පියල්නේ. මගෙ ලොකු පුතානෙ. ඔයා ඔහොම තමයි. ඒ වුණාට මගේ රත්තරන් පුතා. පියල් තමයි මට හොඳට සැලකුවේ. ඔය මොනවා කිව්වත් මහත්තයා මම සීලවතී. මම ආවේ දරුවාගෙ ආරස්සාවට. මම නොහිටින්න මේ දරුවා ජීවිතේ නැති කැර ගෙන. අනේ! මහත්තයා දරුවගේ ජීවිතේ අනතුරේ වැටෙන්න නම් ඉඩ තියන්න එපා” යි භූතාත්මය කීවාය.

වැඩිහිටියෝ සමාව ගත්හ. “අපි මෙච්චර කල් ඕවා පිළිගත්තෙ නෑ” යි කීහ.

“මේ ලෝකෙ අපි නොදන්නා දේවල් බොහෝම තියෙනවා. දන්නා එකම මතයක එල්බ ගෙන ඉන්න එක ඒ තරම් හොඳ නෑ. නොදන්නා දේවලුත් තියෙන බව පිළිගන්න ඕනෑ”යි ගවේෂකවරයා කීවේය.

මේ වන විට තුෂාර පුතා බෝධි පූජා පැවැත්වීමට ද ඉතා කැමැත්තකින් සිටියේය. දින දහ හතරක් බෝධි පූජා පවත්වන ලෙසත් එහි දී කළ යුතු විශේෂ පිළිවෙත් කීපයකුත් නියම කළේය.

ළමයාට තෙල් බැදුම් වර්ග නොදෙන ලෙසත්, මේ වන තුරු බොන්නට දුන් මානසික වෛද්‍ය ප්‍රතිකාරවලින් නියම කළ පෙති වර්ග නතර කරන ලෙසත් උපදෙස් දුන්නේ ය.

දින දහ හතරේ බෝධි පූජාවෙන් පසු නැවත තුෂාර කැඳවාගෙන ආහ. ඒ වන විට තුෂාර තුළ ප්‍රසන්න උද්‍යෝගි පෙනුමක් ද විය. එදින ද ආච්චි අම්මා ප්‍රලය වූවාය.

“දැන් කොහොම ද සීලවතී?”

“දැන් හොඳයි මහත්තයා. පුතාට දැන් හොඳයි, අර වට වෙලා බලාගෙන සිටි කාලකණ්ණි හැත්තත් යන්න ගිහින්. දැන් මමත් යන්න කැමැතියි.”

“අම්මා කොහේටද යන්න කැමති?”

“අනුරාධපුරේට”

“ශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟට ද?”

“ඔව්! ඔව්! සාදු! සාදු…!!”

“මොනවද ශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා කරන්න ඕනෑ.”

“පිච්චමල් වට්ටියක් හොඳා”

පිච්චමල් වට්ටියක් සමඟ ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත ගොස් සිල් සමාදන් වී මෛත්‍රී භාවනාව වඩා දවස ගත කරන ලෙසත්, එසේ යෑමට පෙර සාංඝික දානයක් දී සීලවතී මෑණියන්ට පැන් වඩා පින් පමුණුවන ලෙස ද උපදෙස් දුන්නේ ය. බෞද්ධ උපදේශනයට අනුව තුෂාරගේ මෑණියන්ට ශීල – සමාධි – ප්‍රඥා යන පිළිවෙතෙහි යෙදෙන ලෙසත් උපදෙස් දුන්නේ ය.

තුෂාර දැන් අනුන්ගේ පෙලඹවීමක් නැතිව ම විභාගයට සූදානම් වන බව එයින් සතියකට පසු මව දුරකථනයෙන් දැනුම් දුන්නාය.

කායික, මානසික රෝගවලදී ද පුද්ගලයා දුර්වල වන විට භූත ලෝකයේ බලපෑම් ක්‍රියාත්මක වන බව ද මෙයින් පැහැදිලි වේ.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: