Posted by: lrrp | January 5, 2013

සිතෙහි බැඳෙන කෙලෙස් මල

මඩෙනුත් දියෙනුත් ඔබ්බට විත් සුපිපී සෞම්‍ය සුගන්ධය දසදෙස පතුරුවන්නා වූ පියුමක් සේ, කෙලෙස් භරිත ලෝ තුළම පහළ වූ නමුදු ක්ලේෂයේ නොතැවරී උත්තරීතර භාවයට පත් අධ්‍යාත්මීය ගුරුවරයාණන් උන්වහන්සේ ය. බුදු පියාණන් නිරන්තරව වදාළේ සිහියෙන්, වීර්යයෙන් හා නුවණින් කටයුතු කරමින් ඒ ඒ මොහොතේදීම කෙලෙස් ටික ටික හෝ ක්ෂය කර හරින ලෙසයි. ඒ සඳහා අප යෝනිසෝමනසිකාරයෙන් ක්‍රියා කළ යුතුය.

නමෝ තස්ස භගවතෝ අරහතෝ
සම්මා සම්බුද්ධස්ස
අනුපුබ්බේන මේධාවි
ථොකථොකං ඛණේ ඛණේ
කම්මාරො රජතස්සේව
නිද්ධමේ මල මත්තනෝ
(ධම්මපදය – මල වග්ගය)

රන්කරුවකු නොයෙක් උපක්‍රමයෙන් ස්වර්ණයෙහි මල ඉවත් කරන්නේද එලෙසින් නුවණැත්තා සිතේ බැඳෙන රාගාදි මල අනුක්‍රමයෙන් දුරුකරයි.

 

ස්වකීය චිත්ත සන්තානය තුළ ක්ලේශ මරුවන්ගේ සදාකාලික අභාවය සිදුකොට සසර ජයගත් භාග්‍යවතුන් වහන්සේ ලෝකයම කරුණා රසයෙන් හා විමුක්ති රසයෙන් නහවමින් ලෝ සත වෙත දහම් වර්ෂා වැස් වූ සේක. මඩෙනුත් දියෙනුත් ඔබ්බට විත් සුපිපී සෞම්‍ය සුගන්ධය දසදෙස පතුරුවන්නා වූ පියුමක් සේ, කෙලෙස් භරිත ලෝ තුළම පහළ වූ නමුදු ක්ලේෂයේ නොතැවරී උත්තරීතර භාවයට පත් අධ්‍යාත්මීය ගුරුවරයාණන් උන්වහන්සේ ය. බුදුපියාණන් නිරන්තරව වදාළේ සිහියෙන්, වීර්යෙන් හා නුවණින් (ආතාපි සම්පජානෝ සතිමා) ඒ ඒ මොහොතේදීම (තත්ථ තත්ථ විපස්සති) ක්ලේෂයන් ටික ටික හෝ දියාරුකර හරින ලෙසයි. (ථෝක ථෝකං නිවාරයේ) ඒ සඳහා අප යෝනිසෝමනසිකාරයෙන් කටයුතු කළ යුතුය.

ඇලෙන ගැටෙන ආකාරයට සිදුවන මනසිකාරයට අයෝනිසෝමනසිකාරය යන වචනය භාවිත කෙරේ. එම අයෝනිසෝමනසිකාරය මඟින් සිත තුළ ඇලීම ගැටීම වර්ධනය වී දුකට පත්වීම සිදුවේ. දුකින් විමුක්ත වීමට නම් ඇලීම, ගැටීම, වැළැකෙන ආකාරයට මනසිකාරය පුහුණු කළ යුතුමය. නොඇලෙන, නොගැටෙන ආකාරයට මනසිකාරය සිදුකෙරේ නම් එය යෝනිසෝමනසිකාරය නමින් හැඳින්වේ. එමඟින් සිත තුළ උපදින දුකින් විමුක්ත විය හැකිය.මෙහි සත්‍යතාව නුවණින් සිතා බලන විට දර්ශනය වේ. යමකුගේ සිත තුළ රාගය පවතින්නේ නම් ඇලෙන ආකාරයට මනසිකාරය සිදුවේ. එසේම යමකුගේ සිත තුළ ද්වේශය තිබේ නම් ගැටෙන ආකාරයට මනසිකාරය සිදුවේ. අයෝනිසෝමනසිකාරයට සිත තුළ පවත්නා රාගයත් ද්වේශයත් උපකාරී වේ. එබැවින් රාගය, ද්වේශය සිත තුළින් ප්‍රහීණ කිරීමට නම් අයෝනිසෝමනසිකාරය යෝනිසෝමනසිකාරය බවට පත් කළ යුතුය. මේ සඳහා බුදුදහමෙන් පෙන්වාදෙන චිත්ත අභ්‍යාසය ‘ඉන්ද්‍රීය භාවනාව‘ නමින් හඳුන්වා දී ඇත.

මනසිකාරය සිදුවන්නේ ඇස, කන ආදි ඉන්ද්‍රියන්ට රූප, ශබ්ද ආදිය ගැටෙන මොහොතේ ය. ඒ අවස්ථාවේ ම එම මනෝමය ස්වභාවය තම සිත තුළින් දැක (දර්ශනය කොට) එම සිතුවිලිවලින් සිදුවන ඇලීම, ගැටීම නිසා හටගන්නා විපත්තිවල භයානකකම ගැන මෙනෙහි කරන්නට පුහුණූ වීමෙන් අයෝනිසෝමනසිකාරය යෝනිසෝමනසිකාරය බවට පත්කළ හැකිය. එම පුහුණුව නැවත නැවත කිරීමෙන් යෝනිසෝමනසිකාරයට ප්‍රාප්ත විය හැකිය. (“තෙසානං ධම්මානං භාවිතා බහුලීකම්මා සච්චානුපත්ති හොති” (චංකී සූත්‍රය –මජ්ඣිම නිකාය)

බුදුන් වහන්සේගේ කාලයට පෙර සිටි ඍෂිවරුන් විසින් ද භාවනා නම් වූ චිත්ත අභ්‍යාස සකස් කරන ලද්දේ මනසිකාරය යෝනිසෝමනසිකාරය කිරීමට බව පෙනේ. එහෙත් එම භාවනා අභ්‍යාස මගින් සිදුවන්නේ එම භාවනාවල යෙදී සිටින අවස්ථාවට පමණක් යෝනිසෝමනසිකාරය සීමා වීමයි. එයින් දිට්ඨධම්ම සුඛ විහරණයක් ලැබෙන බව සල්ලේඛ සූත්‍රදේශනයේදී (මජ්ඣිම නිකාය) බුදුන් වහන්සේ පෙන්වා දී තිබේ. ඉන්ද්‍රීය භාවනා සූත්‍ර දේශනාව අවසානයේ තිලෝගුරු බුදුන් වහන්සේ මෙසේ පෙන්වා දෙන සේක.

“ඉතිකො ආනන්ද දෙසිතා මයා අරියස්ස විනයේ අනුත්තරා ඉන්ද්‍රීය භාවනා දෙසිතො සෙඛො පටිපදා දෙසිතො අරියො භාවිතින්ද්‍රියො”

‘ආනන්දය, මේ ආකාරයෙන් මා විසින් ආර්ය විනයේ අනුත්තර ඉන්ද්‍රිය භාවනාව දේශනා කරන ලදී. එමෙන්ම ආර්ය මාර්ගයේ පුහුණුවන්නන්ගේ ප්‍රතිපදාව පෙන්වා දෙන ලදී.එසේම ආර්යන්ගේ පුහුණු වූ ඉන්ද්‍රියන් දේශනා කරන ලදී.’

මෙමඟින් අයෝනිසෝමනසිකාරය යෝනිසෝමනසිකාරය බවට පත්කෙරෙන භාවනාමය ප්‍රතිපත්ති ශික්ෂණය දක්වා ඇත. එය නුවණින් මෙනෙහි කර අවබෝධ කර ගන්නා බුද්ධිමතුන්ට කෙලෙස් ප්‍රහීන කිරීමේ පහසු මාර්ගය වන්නේ මිනිස් ජීවිතය හා සංසාර ගමන රඳා පවත්නා අයෝනිසෝමනසිකාරය යෝනිසෝමනසිකාරය බවට පත් කිරීමෙන් බව අවබෝධ වේ. ඒ සඳහා ඉන්ද්‍රීය භාවනාව උපකාරිවේ.

කෙලෙස් සිතුවිලි සංවර කොට සිතින් පලවා හැරීමෙන් තොරව මිනිසාට යහපත් මිනිසකු විය නොහැකිය. මිනිසා අයහපත් වන්නේ ඔහුගේ අයෝනිසෝමනසිකාර නිසාය. පුද්ගලයා උසස් හෝ පහත් වන්නේ ඔහුගේ චරියාව මතයි. ආගම් භේදයකින් තොරව සෑම මිනිසකුම යහපත් තැනැත්තකු වීම අත්‍යවශ්‍ය වේ. සෑම ආගමකින්ම මිනිසා යහපත් විය යුතු බව උගන්වනු ලැබේ. එහෙත් ඔහුට යහපත් වීමටත් සසරෙන් මිදීමටත් මනැස මුල්කරගත් මාර්ගයක් පෙන්වා දෙන්නේ මහා දාර්ශනික බුදුන් වහන්සේය.

අපගේ සිතෙහි වත්මන් මොහොතේද පවතින්නේ මනසිකාරය හෙවත් මෙනෙහිවීම බව ඔබට දැකිය හැකිය. එය කෙසේ සිදුවන්නේද කියා දර්ශනය කරමින් ඇලීම, ගැටීම සිදුනොවන ආකාරයට සිත සකස් කරගත යුතුය.සිතුවිලි දකින සිහිනුවණින් යුතුව (සති සම්පජඤ්ඤයෙන්) වාසය කරන තැනැත්තාට මේ ජීවිත කාලය තුළදීම රාගයත් (ඇලීම) ද්වේශයත් (ගැටීම) ප්‍රහීන කොට අනාගාමියකු විය හැකි බව ඉතා පැහැදිලිව දක්වා ඇත. එමඟින් මනැසේ කෙලෙස් ප්‍රහීන වීම වෑයේ මිට ගෙවී යන්නාසේ ක්‍රම ක්‍රමයෙන් සිදු වන බව පෙන්වා දී තිබේ. මේ අනුව ඔබගේ මනසිකාරය හෙවත් මෙනෙහිවීම කෙරෙහි අවධානය යොමු කොට එහි ස්වභාව අවබෝධ කොට ගෙන නොඇලෙන, නොගැටෙන ආකාරයට සිත සකස් කරගැනීම සුදුසු වේ. මෙසේ යෝනිසෝමනසිකාරය ප්‍රගුණ කර ගැනීමට අද අදම කටයුතු සලසා ගනිත්වා!

මුල්ලේරියාව, ශ්‍රී නීලමල්ලිකාරාමස්ථ  සිරි සුමනනන්ද පිරිවෙනෙහි
නියෝජ්‍ය පරිවේණාධිපති ගෞරව ශාස්ත්‍රවේදී, රාජකීය පණ්ඩිත සෝමපුර සිරි සුධම්ම හිමි

 


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: