Posted by: lrrp | January 16, 2013

නිසි ගරු බුහුමනින් පුද පූජා කරමු සැදැහයෙන්

බෞද්ධයන් අතර ආමිස පූජා, මෙන්ම ප්‍රතිපත්ති පූජාවටද වැදගත් තැනක් හිමිවෙනවා. එහෙත් අප අතර ප්‍රතිපත්ති පූජාවට වඩා ආමිස පූජාවට මූලික තැනක් ලැබී ඇති බව පෙනෙන්නට තිබෙනවා. ප්‍රතිපත්ති පූජා ලෙසින් ශීල, භාවනා කටයුතු සිදු කෙරුණත් ආමිසයට වැඩිතැනක් ලැබී තියෙනවා.

බෞද්ධයන් අතීතයේ සිටම ත්‍රිවිධ චෛත්‍යය වන්දනාවට ප්‍රමුඛස්ථානයක් ලබා දී තිබුණා. එහිදී සාම්ප්‍රදායිකව පවත්වාගෙන ආ වත් පිළිවෙත් නිසි ලෙසින් ඉටු කෙරුණා.

මල්, පහන්, දැහැත්, ගිලන්පස, පූජා කිරීමේ නිසි ක්‍රමවේදයක් තිබුණා. තමන් විසින්ම උස් ස්ථානයකින් නැත්නම් පිරිසුදු ජලයෙන් පිපුණු මල්නෙළා ගෙන පිළිවෙළකට සකස් කර පැන් ඉස පූජා කළා. අනෙක් පූජා ද්‍රව්‍යයන්ද ඒ අයුරින්ම පූජා කළා. බෞද්ධයන් තුළ ගෞරවය මුසු වූ සැදැහැවත්කමක් භක්තියක් ඒ තුළින් මතු වී පෙනුණා.

අතීතයේ චෛත්‍යයට ගෞරවයෙන් වත් පිළිවෙත් කළ බව චේතියඝර මගින් පෙන්නුම් කෙරෙනවා. චේතියඝර ඉදි කර තිබුණේ වන්දනාකරුවන්ගේ පහසුව පිණිසයි. අව්වෙන් වැස්සෙන් වන්දනාකරුවන්ට සිදුවන ගැහැට වැළැක්වීම යි එහි ප්‍රධාන අරමුණ වුණේ. එමෙන්ම චෛත්‍යයට ආරක්ෂාව සැලසීමත් චේතියඝරයන්හි එක අරමුණක් වුණා.

ලොකු කුඩා සැවොම එක්වී චෛත්‍යය නමස්කාර කළා. ගම්වැසියන්, මැති ඇමැතිවරු සියලු දෙනා එකතුවෙලා චේතියඝර නිර්මාණය කළා.

බුදුරජාණන් වහන්සේට දක්වන ගෞරවය හා සමාන ගෞරවයක් චෛත්‍යයට හිමි වුණා.අද පවා බොහෝ දෙනා චෛත්‍යය රාජයාණන් වහන්සේ ‘ නමින් ඊට ගෞරවයෙන් ආමන්ත්‍රණය කරනවා.

මේ ගෞරවය නිසා මල් පූජා කළා. පහන් දැල්වූවා. සුවඳ දුම් පූජා කළා. ඒ සියල්ල කළේ පිරිසුදුවට මෙන්ම අලංකාරවත් ලෙසින් මල් පූජා කිරීමේදී පිළිවෙළට ඒවා සැකසීමට ඔවුන් කටයුතු කළා.

මල් පූජා කිරීමේදි අනුගමනය කළ යුතු වත් පිළිවෙත් ඔවුන් දැනගෙන සිටියා. තමන් විසින් හඬ නඟා කියන ලද ගාථාවේ අර්ථයට ගැළපෙන ලෙසින්ම ඔවුන් ඒ පූජාවන් කළා.

වණ්ණ ගන්ධ ගුණෝපේතං
ඒතං කුසුම සන්තතිං
පූජයාමී මුනින්දස්ස
සිරිපාද සරෝරුහේ

පාට, සුවඳ ගුණ ඇති පියකරු මල් දෝත බුදු සමිඳුගේ පා කමල් අභියස දී මම පූජා කරමි.

එයින් බෞද්ධයා යථාවබෝධය ලබා ගත්තා. ඒ යථාවබෝධය අනුව ඔහු ජීවිතේ නිවැරැදි දැහැමි මාවත කරා යොමු වුණා.

මේ නිසා බාහිර වශයෙන් වත් පිළිවෙත්හි දැකුම්කළු බවක් මෙන්ම සිත්ඇද ගන්නා සුළු බවක් තිබුණා.

මිහින්තලේ චෛත්‍යය වටා අලංකාර ලෙස පහන් දල්වා පුද පූජා කළ බව අටුවාවන්හි සඳහන් වෙනවා. චෛත්‍යයට මෙන්ම බෝධින් වහන්සේටත් බුදු පිළිම වහන්සේටත් අතීතයේ සිට වැඩි භක්තියක් බෞද්ධයන් අතර දක්නට තිබුණා.

මිහිඳු මහ රහතන් වහන්සේගේ උපදෙසින් ලංකාවට වැඩම කරවු ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ මෙන්ම රට පුරා ව්‍යාප්ත වූ බෝධි වන්දනාව උසස් අයුරින්ද සිදු වෙනවා. බෝධින් වහන්සේ වැඩ සිටින වැලි මළුව පිරිසුදු කර අලංකාරවත් ලෙස අමදිනවා. එමෙන්ම ධජ පතාක ඔසවා බැඳ තැබීමත් එකල සිට පවත්වාගෙන ආ වැදගත් චාරිත්‍රයක්.

එහෙත් අද බොහෝ අයට මේ දැනුම නැහැ. අඩුම වශයෙන් මල් ආසනය අවටවත් පිරිසුදු කරන්නේ කී දෙනෙක්දැයි අපට පෙනෙන්නට තිබෙනවා.අවට පරිසරය පිරිසුදු විය යුතුයි. පරවූ මල් ඇත්නම් ඉවත් කළ යුතුයි.

දැල්වී අවසන්වු හඳුන්කුරු කොටස් ඉවත් කරන්නේ නැතිව එතනම තවත් හඳුන්කූරු දල්වනවා. අවසන් වූ කළු පැහැති තිරය මතටම අලුත් පහන් තිර දමා දල්වනවා.

දැලි සහිත ඒ පහන අපිරිසුදු ලෙසින් දැල්වීම සුදුසුදැයි මොහොතකට සිතනවාද?

තමන්ගේ වත් පිළිවෙත් නිසි අයුරින් සිදු කිරීමට අවශ්‍ය බව පෙන්වා දෙමින් නාම පුවරුව යෙදිය යුතුදැයි අප කල්පනා කළ යුතුයි. පහන් දල්වන ස්ථානයක් තිබියදී චෛතයට ආසන්නව හෝ බෝධියට ආසන්නව පහන් දැල්වීමෙන් ඇතැම් අය කුසල් වැඩිපුර ලබා ගැනීමට බලාපොරොත්තු වනවාදැයි සිතෙනවා. එහෙත් එයින් වන්නේ හානියක් මිස කිසි අයුරක කුසල් වැඩිවීමක් නොවේ.

පුද පූජා පැවැත්වීමට පෙර නිසි ලෙසින් අවට පරිසරය පිරිසුදු කළ යුතු බව අමුතුවෙන් කිව යුතුද? අද බොහෝ පිරිස විහාරස්ථානයට පැමිණෙන්නේ හැකි ඉක්මනින් ආපසු යාමේ බලාපොරොත්තුවෙන් මිස වත් පිළිවෙත් නිසි පරිදි නිම කිරීමේ අපේක්ෂාවෙන් නොවන බවයි පෙනෙන්නේ.

විහාරස්ථානයට දානය ගෙනාවත් බුද්ධ පූජාව තැබීමටත් ඔවුනට වේලාවක් නැතිවා සේය. එහෙත් එය නිවැරැදි නොවේ. අප කරනු ලබන සියලු පුණ්‍ය කර්මයන්හිදී තිදොරම (සිත,කය,වචනය) සංවර කර ගෙන ඒ සඳහා අවධානය යොමු කළ යුතුය.

සිතින් මෙනෙහි කර වචනය සංවර කර ගනිමින් කය සංවර කර ගැනීම මෙහිලා වැදගත් වනවා.

විශේෂයෙන්ම දණ්ඩ නමස්කාරය පසඟ පිහිටුවා වැඳීම මඟින් අපට කය හික්මවා ගැනීමට හැකි වෙනවා.

ඒ අනුව තිදොරම හික්මවා ගෙන ත්‍රිවිධරත්නයට ගරුකරන උපහාර කරනු ලබන ලෙස ආමිස දානය උපකාර කර ගැනීමට අපට පුළුවන්.

එහෙත්, අද දානමය පින්කමකදී මෙන්ම ව්‍යාකූල අවස්ථාවකදී පවා චාරිත්‍ර පූජනීය බවින් ගරුත්වය අතින් අඩුවී ඇති බවයි පෙනෙන්නේ. අද අධ්‍යාත්මික පවිත්‍රත්වය අඩු වෙලා. විශාල ලෙසින් පින්කම් කලත් පිරිසුදු අලංකාර මල් පූජාවක්, බුද්ධ පූජා පිදීමක් දකින්නට අසීරුයි.

සද්ධර්මරත්නාවලිය බලන්න. එහි එක් තැනක තිබෙනවා. භික්‍ෂූන් වහන්සේ මල් දෝතින් ගෙන රුවන්වැලි සෑය වටේ අලංකාරවත් ලෙසින් ප්‍රදක්ෂිණා කළ ආකාරය ගැන විස්තරයක්. ඒ වගේම තිස්සමහාරාම චෛත්‍ය ශ්‍රී‍්‍ර මහබෝධිය ආධ්‍යාත්මයෙන්ම වන්දනා කළ ආකාරය අපේ ඉතිහාසයේ දැක්වෙනවා.

එහෙත් අද බොහෝ පින්කම් වල ආධ්‍යාත්මික සම්ප්‍රදාය අඩු වූ බවක් පෙනෙනවා. දානමය පින්කම් වලදී පවා මේ බව දක්නට තිබෙනවා. විශාල වියදමක් දරා දෙනු ලබන ඇතැම් දානමය පින්කම ප්‍රදර්ශනාත්මක බවක් උසුලනවා. දානමය පින්කමක් පවා අප කළ යුත්තේ සිත් පහන් කරගෙන තිදොරම සංවර කරගෙනයි. විශේෂයෙන්ම දාන පින්කම්වලදී අප ‘වචනය’ කෙතරම් ගෞරවනීය ලෙසින් හැසිරවීමට කටයුතු කරනවාද? ස්වාමීන් වහන්සේට ලබාදෙන වතුර ටික ‘පැන්’ යනුවෙනුත් කනවා වෙනුවට වළදනවා යනුවෙනුත් ස්වාමින් වහන්සේ යනවා, එනවා වෙනුවට වඩිනවා යනුවෙනුත් යොදා ගත්තේ ශ්‍රද්ධාව මූලික කර ගෙනයි. මේ අයුරින් ශ්‍රද්ධාව මුල් කරගෙන දානයක් දීමෙන් අපට තුන්දොර සංවර කරගත් ගෞරවාන්විත ආමිෂ පූජාවක් සිදුකරන්න පුළුවන්. ඒ වගේම එලෙස දානයක් දීමෙන් එය ප්‍රතිපත්ති පූජාවක් බවට පත්කර ගන්න පුළුවන්.

ඒ වගේම බෝධි පූජාවක් පවත්වලා එය ප්‍රතිපත්ති පූජාවක් බවට පත් කරන්න පුළුවන්. ‘ඥාන සම්ප්‍රයුක්ත’ සිතිවිල්ලක් එහි තිබිය යුතුයි. එහෙත් අද බොහෝ දෙනාට මේ තත්ත්වය දකින්න නැහැ. කලබලකාරි පරිසරයක දිවි ගෙවන බොහෝ දෙනා කළ යුතු නිසා පින්කම් කරන බවක්ද පෙනෙන්නට තියනවා. ඇතැම් අය විශාල සෙනඟ අතර තෙරපෙමින් පුණ්‍ය කටයුතුවල නියැළෙනවා. මල් විශාල ප්‍රමාණයක් පූජා කරන්න යනවා. පහන් විශාල ප්‍රමාණයක් දල්වනවා. තමන් කරනු ලබන පූජාව පිළිබඳව නිසි අවබෝධයක් ශ්‍රද්ධාවක් තිබිය යුතුවෙනවා.

මෙවැනි පින්කම් අපට නිසි පරිදි ශ්‍රද්ධාවක් කරන්න අපහසුයි. කලබලකාරි පරිසරයක එවැනි පින්කම් කරන්න බැහැ. ඇඳුම් පැළැඳුම් මේ සෑම දෙයක්ම සංවරව සිත එකඟ කර ගැනීමයි. පින්කමකදි අත්‍යවශ්‍ය වෙන්නේ.

පහන් පූජාවකදී අප බලාපොරොත්තු වන්නේ කුමක්ද?

සද්ධාය සම්ප දිත්තේන
දීපේන තම ධංසිනා
තිලෝක දීපං සම්බුද්ධං
පූජයාමි තමෝනුදං

සැදැහැ බර සිතකින්
දැල්වූ පහන් එළියෙන්
තිලොවට එළිය දුන්
බුදුරජාණන් වහන්සේ පූජා කරමි.

බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥා ආලෝකයට මේ පහන් පූජා කරන්නාක් මෙන් මටත් ප්‍රඥා ආලෝකය පහළ වේවා යන සිතිවිල්ල එහි තිබිය යුතුයි.

නමුත් අද බොහෝ විටම ප්‍රදර්ශනාත්මක පුණ්‍ය කර්ම නිසා බොහෝ විට ගාම්භීරත්වය අඩුවෙලා.අනෙකා ඉක්මවා අනෙකාට වැඩියෙන් පුණ්‍යකර්මයේ ප්‍රමාණය, වටිනාකම ඉහළට ගෙන යාමට බොහෝ අය පෙළඹිලා. මේ නිසා බෞද්ධාගමේ පුද පූජා නිසි පරිදි සිදුවනවාදැයි අප සිතා බැලිය යුතුවෙනවා. එසේ නොවුවහොත් අනාගතයේදි පුද පූජාවන්ට හිමි විය යුතු නිසි ගෞරවය හිමි නොවනවා පමණක් නොව පුණ්‍ය කර්මයන්ගේ නිසි පිළිවෙත අපේ අනාගත පරපුර වෙත නොයන්නන් පුළුවන්.

රුහුණු විශ්වවිද්‍යාලයේ මහාචාර්ය
කෝන්ගස්තැන්නේ ආනන්ද හිමි


Responses

  1. Dear writer,
    first of all many thanks for sending mails to me. i wanted to about ” Gupta Gaweshana centre” and where it is located. If u find time, pls forward me the address and the location.
    many thanks for your commendable effort to educate us. ” Aloko uadpadi”
    chandrika
    Date: Wed, 16 Jan 2013 23:10:23 +0000
    To: chand_godage@hotmail.com


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: