Posted by: lrrp | January 16, 2013

බෝධි ඉතිහාසය යි බෝධි පූජා පිළිවෙත යි

බුද්ධි යනු ඥානයයි. බෝධි යන වචනය ඒ අනුව යෙදුණකි. බෝධි යන්නෙන් අදහස් කරන්නේ අවබෝධය යි. ඒ සත්‍යාවබෝධය යි. මාර්ග ඥානයයි. බුදුරජාණන් වහන්සේ සත්‍යාවබෝධය ලබා ගැනීමට උපකාර කරගත් වෘක්ෂ හඳුන්වන්නේ ද බෝධි නමින් ය.

ඉතිහාසය


බුද්ධගයාවේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස ත්‍රිපිටක සඡ්ඣායනාවක් පැවැති අවස්ථාවක්

බුදුරජාණන් වහන්සේට බුද්ධත්වය ලබා ගැනීමට මෙසේ උපකාර වූ වෘක්ෂ ගණනාවකි. අශ්වත්ත (ඇසටු) නුග (උදුම්බර) දිඹුල් නා යනාදිය ඊට නිදසුන්ය. මෙම වෘක්ෂ වනයේ වැඩෙන අනෙකුත් සියලු ගස් අභිභවා අතුපතර විහිදුවමින් මහේශාක්‍ය ලෙස වැඩෙයි. එමනිසා ඒ වෘක්ෂ වනස්පති නමින්ද හැඳින්වෙයි. මෙම විශාල වෘක්ෂ මිනිස් හදවත් තුළ ගුප්ත හැඟීම් මෙන්ම භක්තිය ඇති කිරීමට ද සමත් විය. ඒ නිසා ඔවුහු ඒවාට වැදුම් පිදුම් කළහ. මෙම වෘක්ෂ පූජාවේ ඉතිහාසය ප්‍රාග් බෞද්ධ යුගයේ සිට පැවතුණකි. (අශ්වත්ත ඇසතු)

අශ්වත්ත නමින් හැ¼ඳින්වූ ඇසතු ගස අප ගෞතම බුදුරජාණන් වහන්සේට බුද්ධත්වය ලබා ගැනීමට උපකාර වූ බෝධියයි. එමනිසා එය බෞද්ධයන්ගේ පූජනීය වස්තුවක් බවට පත් විය. ඇසතු වෘක්ෂය පූජනීය ගරු කටයුතු වස්තුවක් බවට පත්වූයේ මීට පෙර සිටය. මොහෙන්ජොදාරෝ හරප්පා ශිෂ්ටාචාර වාසීහුද ඇසතු වෘක්ෂයට ගරු කළහ. එම ශිෂ්ටාචාරයෙන් හමු වූ කාසි මුද්‍රාවල ඇසතු ගස පැහැදිලිවම සටහන් කොට ඇත. එයින් පසුව වෛදිකවාසීහුද ඇසතු වෘක්ෂය පූජනීය වස්තුවක් හැටියට සැලකූ®හ. සෘග් වේදයේ සඳහන් කර ඇත්තේ මෙම ගසේ අරටුවෙන් කරන ලද යාග භාණ්ඩ පිළිබඳව ය. මෙම වෘක්ෂයට සතුරන් විනාශ කළ හැකි විශේෂ ගුප්ත බලයක් තිබුණු බව අථර්ව වේදයේ සඳහන්ය.

උපනිෂද් යුගයේ දී ද ඇසතු ගස පූජනීයත්වයට පත්විය. එම ග්‍රන්ථවල සඳහන් වන්නේ දෙවියන් ඇසතු වෘක්ෂය ඇසුරු කරගෙන වාසය කරන බවයි. ඇසතු ගස විෂ්ණු දෙවියන්ගේ මූර්තිය බව මහා භාරතයේ දක්වා තිබේ.

මේ අතර පුරාණ ග්‍රන්ථවල ඇසතු ගස පිළිබඳව අද්භූත කතා සඳහන් කර ඇත. ඇසතු ගස නැරඹීමෙන් සහ ස්පර්ශ කිරීමෙන් සියලු දුක් අපල උපද්‍රව නැතිවන බව එහි සඳහන් ය.

පද්ම පුරාණයේ ද ඇසතු ගසට කරන පුද සත්කාර පෙන්වා දෙයි. එයින් ලැබෙන අනුහස් ද එහි සඳහන් ය. අශ්වත්ත හැටියට වැජඹෙන විෂ්ණුට වෙසක් මාසයෙහි පැන්වත් කරන්නේ් නම්, ඒ හේතුවෙන් කෙනෙකුට ධර්ම අර්ථ කාම, මෝක්ෂ යන සතරඵල ලැබෙන බව පෙන්වා දී ඇත. එසේම එය විනාශ කරන අයට සිදුවන ඵල විපාක ද එහි දක්වයි.

(වැඩි විස්තර සඳහා වෛදික උපනිෂද් සහ පුරාණ ග්‍රන්ථ පරිශීලනය කරන්න)

මෙසේ මහා භාරතයේ ඇසතු ගස පිළිබඳව මහත් භක්තියක් පැවති යුගයක අප ගෞතම බුදුරජාණන් වහන්සේ එය ඇසුරු කොට ගෙන බුද්ධත්වයට පත්වූහ.

එම යුගයේ ප්‍රථම බෝධිපූජාව කර ඇත්තේ බුදුරජාණන් වහන්සේ ය. ඒ උන්වහන්සේ තමාට බුද්ධත්වය ලබා ගැනීමට උපකාර වූ ඇසතු බෝධිය ට සතියක් අනිමිස (ඇසිපිය නොහෙළා කරන) ලෝචන පූජාවෙන් කරන ලද කළගුණ සැලකීමයි.

බුදුරජාණන් වහන්සේ ගේ පහළවීමෙන් පසුව ඇසතු ගස පූජනීයත්වයට පත්වූයේ එහි ඇති ගුප්ත බව නිසා නොව බුදුවන දින උන්වහන්සේට සෙවණ දුන් බැ විනි. ඒ නිසා එය බුදුරජාණන් වහන්සේගේ් පාරිභෝගික වස්තුවක් වූ බැවිනි.

බුදුපිළිම නිර්මාණය ට පෙර බුද්ධත්වයේ සංකේතය වූයේ බෝධි වෘක්ෂයයි. පළමු බෝධි රෝපණය සිදුකරන ලද්දේ බුදුරාජණන් වහන්සේ ජීවමාන කාලයේදී ය. ඒ සැවැත්නුවර ජේතවනාරාමයේ පිහිට වූ ආනන්ද බෝධියයි. එය බෝධි වංශයේ මෙසේ දැක්වෙයි.

එවේලෙහි අනද මහ තෙරුන් වහන්සේ, ස්වාමිනි! නුඹ වහන්සේ සැරිසරා වැඩි කල්හි මේ ජේතවන විහාරය කුසල් කැමති සත්ත්වයනට පිළිසරණ නොවෙයි. මනුෂ්‍යයෝ පිදිය යුතු ස්ථානයක් නො ලබති. එසේ හෙයින් ශ්‍රී මහා බෝධියෙන් බිජුවටක් ගෙනවුත් ජේතවන දොරටුවෙහි රෝපණය කරවම් ද ස්වාමිනි යි විචාල සේකැ

එවේලෙහි බුදු හිමියෝ ‘යහපත ආනන්ද ස්ථවිරය! රෝපණය කරව එසේ කල්හි ජේතවනයෙහි මාගේ නිරන්තර වාසයක් මෙන් වන්නේ යැයි වදාළ සේක.

සිංහල බෝධිවංශය
ආනන්ද බෝධිකතා 87 පිටුව
අල වූ ඉසිසැබිහෙළ
1968 ප්‍රථම මුද්‍රණය

සීමා සහිත ඇම්.ඩී. ගුණසේන සහ සමාගම

එවිට ආනන්ද තෙරුණවෝ මුගලන් මහ තෙරුන් වහන්සේට ඒ බව දන්වා ශ්‍රී මහා බෝධියෙන් බෝධි ඵලයක් ගෙන්වා ගත්හ. එය බෝධි වංශයේ මෙසේ සඳහන් ය.

‘ආනන්ද මහ තෙරුන් වහන්සේ බෝධි රෝපණය කරන්නා වූ ස්ථානයෙහි මහත් වූ ස්වර්ණ කටාහය තබා, යටින් සිදුරු කොටැ ගඳ කළල් පුරවා ‘මේ බෝධි ඵලය රෝපණය කරන්නැ මහ රජ්ජුරුවෙනි! කියා කොසොල් රජ්ජුරුවන් අතට දුන් සේ කැ’ එවේලෙහි කොසොල් රජතෙමේ මෙසේ සිතීයැ, රාජ්‍ය ඇමතිව කල්හි අප අතැ සිටුනේ නොවෙයි. අප කෙරේ වෛරී වූ කිසියම් රජ දරු කෙනෙක් වූනම්, අප කළ දෙයට උපද්‍රව කෙරෙති. එහෙයින් මේ බෝ ඵලය මා විසින් අනේපිඬු මහසිටාණන් ලවා රෝපණය කරවන්නට වටනේ යැ යි සිතා කොසොල් රජ ඒ බෝධි ඵලය අනේපිඬු මහසිටාණන්ගේ අත්ලෙහි තැබුයේ යැ එකෙණෙහි අනේපිඬු මහ සිටාණෝ ගඳ කළල් පීරා බෝධි ඵලය ඒ ස්වර්ණ කටාහයෙහි එළුවාහු ය’.

සිංහල බෝධිවංශය
ආනන්ද බෝධි කතා 88 – 89 පිටු

 

වැඩුණු බෝධීන් වහන්සේ දුටු අනද මහ තෙරුණුවෝ පූජා සත්කාර කරවා බුදුරජාණන් වහන්සේ කරා එළඹ

ස්වාමීනි! නුඹ වහන්සේ විසින් ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගේ් සමීපයෙහි වජ්‍රාසනාරූඪවැ සමවන්නා වූ සමාපත්තියට මා විසින් රෝපණය කරවන ලද බෝධින් වහන්සේ සමීපයෙදී වැඩහිඳැ මහා ජනයාට හිතවැඩ පිණිස සමවැදුණ මැනවැ’යි කී සේක.

එකෙණෙහි බුදු හිමියෝ වදාරන සේක්

‘ආනන්දයෙනි! කුමක් කියවුද? මා විසින් මහබෝ මැඩැ සමවන් සමවත් සම වැදැ හුන් කල්හි අන්‍ය වූ ප්‍රදේශයෙක් එය දරන්නට අසමර්ථ වන්නේ යැයි වදාළ සේකැ.

ඒ අසා ආනන්ද මහතෙරුන් වහන්සේ, ස්වාමිනි! සත්ත් ව කරුණාව නිසා මේ භූ®මි ප්‍රදේශයට සෑහෙන පමණකින් මේ බෝධි ද්‍රැමය සමීපයෙහි ද ඵල සමාප්ති සැපය අනුභව කොටැ වදාළ මැනැවැ යි කී සේක. ඒ අසා සියළු සත්ත්වයන්ට හිතවැඩ කිරීමෙහි ඇලුණා වූ බුදුරජාණන් වහන්සේ ඒ ඵල රුහ මහා බෝධිය සමාපත්ති සැපයෙන් එකමැ රාත්‍රියක් ප්‍රයෝජන විඳැ වදාළ සේකැ….. ඒ බෝධිය අනද මහතෙරුන් වහන්සේ විසින් රෝපණය කරු වූ බැවින් ආනන්ද බෝධි යැයි ලෝකයෙහි ප්‍රසිද්ධ වූයේ ය.

සිංහල බෝධිවංශය
ආනන්ද බෝධි කථා
88 – 89 පිටු
ආනන්ද බෝධි වන්දනාව
සුරෝපිතං සුදත්තේන – සම්බුද්ධෙ නාපි
සේවිතං

ආනන්ද බෝධි නමෝයං – දුමින්දං සිරසා නමාමි

අශෝක යුගය

මෙයින් පසුව බෝධි පූජා ගැන අසන්නට ලැබෙන්නේ ධර්මාශෝක රජතුමාගේ් කාලයේදීය. බුදුදහම වැළඳගත් අශෝක රජතුමා ප්‍රථමයෙන් ම බුද්ධගයාවේ පිහිටි ශ්‍රී මහා බෝධින් වහන්සේ වැද පුදා ගත්තේය. ශ්‍රී මහා බෝධීන් වහන්සේ සුවඳ පැන් කළ දහසයකින් නැහැවීය. සාංචි, භාරුත් යන තැන්වල ශ්‍රී මහා බෝධින් වහන්සේ කැටයම් කරවන ලදී. ධර්මාශෝක රජතුමා බෝධි වන්දනාව කළ බව සමන්ත පාසාදිකා අටුවාවෙහි සඳහන් ය. එතුමා ගේ කාලයේ දී මුළු භාරත දේශයේ ම බෝධි වෘක්ෂ සහ මල් ආසන කරවීම අනිවාර්ය අංගයක් විය.

ශ්‍රී මහා බෝ දක්ෂිණ ශාඛාව

අශෝක රජතුමා ශ්‍රීමහා බෝධින් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ලක්දිවට එවීමට පෙර බෝධින් වහන්සේට පූජාකළ ආකාරය මහා වංශයේ මෙසේ දැක්වෙයි.

‘……. ඒ පෙළහර දැක සතුටු වූ මිහිපති තෙම ‘මම රාජ්‍යයෙන් මහා බෝධිය පුදමි’ යි කියා මහාබෝධිය මහා රාජ්‍යයෙහි අභිෂේක කළේය. මිහිපති තෙමේ මල් ආදියෙන් මහා බෝධිය පුදා ප්‍රදක්ෂිණාකොට අටතැනෙක් හි ඇඳීලි බැඳ නමස්කාර කොට…’

ම.වං 18 පරිච්ඡේදය 77 පිටුව

බෝධි ශාඛාව කටාරමෙහි පිහිටි කල්හිද එතුමා නැවත බෝධින් වහන්සේ රාජ්‍යයෙන් පිදූහ.

‘නොයෙක් ප්‍රාතිහාර්යයන් කරණ කොට ගෙන පිනා ගියා වූ ඒ මහරජ තෙම නැවත මහා බෝධිය මහා රාජ්‍යයෙන් පිදුයේ ය. ඒ නරේන්ද්‍ර තෙමේ මහා බෝධිය මහා රාජ්‍යයෙන් අභිෂේක කොට නා නා පූජායෙන් පුදන්නේ නැවත සත් දවසක් ම එහිම වාසය කළේය.’

මහා වංශය 77 – 78 – 79 පිටු
හික්කඩුවේ සුමංගල හිමි
රත්නාකර පොත් සමාගම
කොළඹ
1946

වැඩි විස්තර සඳහා මෙහි 18 වන පරිච්ඡේදය බලන්න. ශ්‍රී මහා බෝධි දක්ෂිණ ශාඛාව සංඝමිත්තා තෙරණිය සමග ලක්දිවට වැඩම කරවීමට පෙර ස්වර්ණ සංඛ, රජත සංඛ සහ දක්ෂණ වෘත්ත සංඛවලින් අනෝතත්ත විලෙන් ගෙනා ජලයෙන් බෝධීන් වහන්සේ අභිෂේක කළහ.

බෝධීන්වහන්සේ ලක්දිවට එවන විට බෝධීන් වහන්සේ නැහැවීමට රන් කෙණ්ඩි අටක් සහ රිදී කෙණ්ඩි අටක් මෙහි එවූ බවද සඳහන් වෙයි.

බෝධින් වහන්සේ ඒ මොහොතෙහි දක්වන ලද ප්‍රාතිහාර්යයෙන් සතුටට පත් රජතුමා, මම බෝධීන් වහන්සේ තෙවරක් රජයෙන් පිදුවෙමි. මගේ් යහළු රජතෙමේද එසේම රජයෙන් පුද කෙරේවා යි ප්‍රකාශ කළහ.

ලක්දිව බෝධි රෝපණය

ලංකේශ්වර නරේන්ද්‍ර තෙම පී‍්‍රති වාක්‍ය පවත්වමින් ගී‍්‍රවය පමණ ජලයට බැස සොළොස් කුල ජනයන් සමග මහා බෝධිය හිසින් දරා ගෙන වෙරළට නගා ගෙන යහපත් වූ මණ්ඩපයෙහි වඩා ලංකා රාජ්‍යයෙන් පිදුයේ ය. නරේන්ද්‍ර තෙම රාජ්‍යය සොළොස්කුල ජනයන්ට පමුණුවා තෙමේ දොරටුපාල තන්හි සිට තුන්දිනක් එහිම නා නා විධ පූජා කළේය.

“ ජනයන් බලා සිටියදී පැදුම් දිග ශාඛාවෙන් වැටෙන්නා වූ විලිකුම් බෝ ඵලය ස්ථවිරයන් බලා සිටියදී පැදුම් දිග ශාඛාවෙන් වැටෙන්නා වූ විලිකුම් බෝ ඵලය ස්ථවිරයන් වහන්සේ රැගෙන රෝපණය කරනු පිණිස නරේන්ද්‍රයාණන්ට දුන් සේක. සුගන්ධ ද්‍රව්‍ය මිශ්‍ර වූ පසින් පිරූ රන්කටාරමක් මහාඝන ස්ථානයෙහි තැබූ කල්හි ඒ බෝ ඵලය නරේන්ද්‍ර තෙම රෝපණය කළේය. සියල්ලන් බලා සිටියදීම අංකුර නැගි තරුණ බෝ රුක් වූවෝ සතර රියන් පමණ සිට ගත්හ. ඒ තරුණ බෝ රුක් දැක විශ්මයට පත්වූ සිත් ඇති නරේන්ද්‍ර තෙම සේසතින් පිදුයේ අභිෂේකය ද දුන්නේ ය.’ ඒ අටක් බෝධි වෘක්ෂයන් දඹකොළ පටුන, තිවක්ක බ්‍රාහ්මණ ගම, ථූපාරාමය, ඉසුරුමුණිය, පළමු සෑ මළුව, සෑගිරි අරම කතරගම සහ සඳුන්ගම යන තන්හි පිහිට වූහ.

අනෙක් ඵල සතරින් උපන් දෙතිසක් තරුණ බෝධි වෘක්ෂයෝ දිවයින යොදුනෙත් යොදුන විහාරස්ථානයන්හි පිහිට වූහ.( ම.වං 82 පිටුව) වැඩි විස්තර – සිංහල බෝධිවංශය 215 පිටුව දුමින්දාගමන කථා – බලන්න.

පසුකාලයේ පහළ වූ භාතිකාභය, ධාතුසේන ආදී රජවරු ද බෝධිපූජා පැවැත්වූහ.

රටට විපතක් හෝ සම්පතක් ඇතිවිමේදී ශ්‍රී මහා බෝධින් වහන්සේ එහි පෙර නිමිති පහළ වන බව බෞද්ධයෝ විශ්වාස කරති. රට ජාතියේ අභිවෘද්ධිය සඳහා කරන කටයුතුවලදී ශ්‍රී මහා බෝධීන් වහන්සේට පුද පූජා කර ආශිර්වාද ලබා ගනිති.

ඒ අනුව රජවරු සහ පාලකයෝ වර්තමානයේද ශ්‍රී මහා බෝධීන් වහන්සේට පුද පූජා කෙරෙති.

චාරිත්‍ර – බෝධි මූලය පැනින් නැහැවීම. මේ සඳහා සුවඳ පැන් සහ කිරි භාවිත කෙරේ. නමුත් බෝධි වෘක්ෂය නිතර කිරිවලින් නැහැවීම එයට අහිතකර වේ. මේ අනුව පැන් කළ හත, දොළහ විසි එක ආදී වශයෙන් ඒ ඒ ශාන්ති කර්ම අනුව යොදා ගනී. මල්මාලා ධජ, පතාක ආදියෙන් බෝධින් වහන්සේ සැරසීම මෙම චාරිත්‍ර අතර වෙයි. කවි ගායනය, ගාථා සජ්ඣායනයද සිදුකරයි.

බෝධි පූජාවක් පවත්වන අනුපිළිවෙල – බෝධි පූජාවක් පැවැත්වීමට පළමු තමා පිරිසුදු විය යුතුය. සිත කය වචනය සංවර කරගෙන ප්‍රථමයෙන් පංචශීලයෙහි පිහිටිය යුතුය.

බෝධි පූජාවක් පැවැත්වීම සඳහා බොහෝ අය භික්ෂූන් වහන්සේ නමක ගේ උපකාරය ලබා ගනිති. එසේ නොමැතිව තමන්ටම සාර්ථක බෝධි පූජාවක් පැවැත්වීමට පුළුවන. ඒ සඳහා නියමිත කවි ගාථා ආදිය මතක තබා ගෙන සිටීම වඩාත් ප්‍රයෝජනවත් ය. මෙහිදී පළමුව පැන් බදුනක් හෝ ගිලන් පස පූජා කර පංචශීලය සමාදන්ව මල් පහන් පිදිය යුතුය. ඒ මෙසේය.

පහන් පූජාව – සේවිතං ධම්ම රාජේන – පත්තුං සම්බෝධි මුත්තමං

පූජේමි බෝධි රාජානං – දීපේනේතේන සාදරං

මල් පූජාව – සේවිතං ධම්ම රාජේන – පත්තුං සම්බෝධි මුත්තමං

පූජේමි බෝධි රාජානං -කුසුමේනේතේන සාදරං

සුවඳ දුම් පූජාව – සේවිතං ධම්ම රාජේන – පත්තුං සම්බෝධි මුත්තමං

පූජේමි බෝධි රාජානං – ධූපේනේතේන සාදරං

පැන් පූජාව – සේවිතං ධම්ම රාජේන – පත්තුං සම්බෝධි මුත්තමං

පූජේමි බෝධි රාජානං – උදතේනේතේන සාදරං

ගිලන්පස පූජාව – අධිවාසෙතු නො භන්තෙ – ගිලාන පච්චයං ඉමං

අනුකම්පං උපාදාය පතිගණ්හාතු මුත්තමං

මීට අමතරව මල්මාලා, කොඩි, චීවර ආදිය පූජාකරන ගාථා ගායනා කිරීම්ද මැනවි. අද බොහෝවිට බෝධි පූජාවලදී කවි ගායනා අසන්නට ලැබේ.

උදා – දඹදිව් තලයේ හටගත් බෝධිය
මහමෙව්නාවේ රෝපිත බෝධිය
ගෞතම මුනිඳුන් පිටදුන් බෝධිය
අපිත් වඳිමු ජයසිරි මහ බෝධිය

 

බෝධි වන්දනා ගාථා

ඉන්ද නීල වණ්ණ පත්ත සේත ඛන්ද භාසුරං
සත්තු නෙත්ත පංකජාති පූජිතග්ග සාදතං
අග්ග බෝධි නාමවාම දේවරුක්ඛ සන්නිහං
තං විසාල බෝධිපාද පං නමාමි සබ්බදා

මේ සමග ග්‍රහ අපල දුරුකරන කවි ද ගාථාද කියවීමට පුළුවන. බෝධි පූජා සඳහා නියමිත පොතක් බලාගෙන වුවද කියවීමෙන් බෝධි පූජාවක් කිරීමට පුළුවන.

ශ්‍රී මහා බෝධි වන්දනාව

සුපතිට්ඨිත රට්ඨනුරාධපුරේ – සමදිට්ඨිත දක්ඛිණ ශාඛ භවං
සුභ මේඝ වනම්බර මේඝ නිභං – ජයබෝධිමහං පණමාමි වරං

දඹදිව ශ්‍රී මහා බෝධි වන්දනාව

යස්මිං නිසජ්ජ වජිරාසන බන්ධනේන
‍ජෙත්වා ස්වාසන කිලේස බලං මුනින්දෝ
සම්බෝධි ඤාණ මවගම්ම විභාස සම්මා
තං බෝධි චේතය මහං සිරසා නමාමි

තමන්ට සෙත්පතා ගැනීම

ජයෝහි මුනින්දස්ස සුබෝධි මූලේ – අහෝසි මාරස්ස පරාජයේහි
උග්ඝොසයුං දේවගණා පසන්නා – ඒතෙන සච්චේන ජයස්සු මයිහං

ප්‍රාර්ථනා ගාථා

ඉමිනා පුඤ්ඤ කම්මේන – මා මේ බාල සමාගමෝ
සතං සමාගමො හෝතු – යාව නිබ්බාන පත්තියා

තෙරුවන් සමාකර ගැනීම

කායේන වාචා චිත්තේන පමාදේන මයාකතං
අච්චයංඛම මේ භන්තෙ භූරි පඤ්ඤ තථාගත

ඤාතීන්ට පින්දීම

ඉදං මේ ඤාතීනං හෝතු සුඛිතා හෝන්තු ඤාතයෝ

දෙවියන්ට පින්දීම

එත්තා වතාච අම්හේහි සම්භතං පුඤ්ඤ සම්පදං
සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති
සිද් ධියා

මේ ආකාරයට බෝධිපූජා පැවැත්වීමෙන් තමාටත් සියලු ලෝකවාසී ජනතාවටත් ශාන්තියක් උදාකර ගැනීමට අධිෂ්ඨාන කරගනිත්වා!

ශාස්ත්‍රවේදී අධ්‍යාපන ඩිප්ලෝමා
එන්. කරුණාරත්න


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: