Posted by: lrrp | January 26, 2013

සක්වළ සක්මන – සසර පැවැත්ම හා ජීවන රටා

අග්ගමහා පණ්ඩිත
ආචාර්ය බෙල්ලන ඤාණවිමල මහ නා හිමි

‘වලාහක කායිකෙ වො භික්ඛවෙ දේසිස්සාමි තං සුණාථ….” යනුවෙන් සීත වලාහක, උණ්හ වලාහක, අබ්බ වලාහක, වාත වලාහක හා වැස්ස වලාහක යනුවෙන් දෙවිවරු කොට්ඨාස පහක් වෙසෙනවා.මේ අය අතරින් ඔබ ඇසූ වැස්ස වලාහක දෙවියන් හා බැදුණූ බණ කථා සංයුක්ත නිකායේ බොහෝ සූත්‍ර දේශනාවල විස්තර වෙනවා. නමුත් වර්ෂාව ඇතිවන්නේ, වැස්ස වලාහක දෙවියන්ගේ බලයෙන් පමණක්ම නොවෙයි

කලා පුරමින් මෝදු වන පුරා හඳ ලෙසින ජීවයෙහි විකාශනය ද ක්‍රමිකව සිදු වෙයි. උසස් මනසක් හිමි මිනිසෙකු ලෙස ඉපදීම දක්වා වු ඉතා දිගු ගමන් මඟෙහි මූලාරම්භය ඇතැම්විට කුඩා දිලීරයක හෝ සියුම් ශුද්‍ර ජීවි අවස්ථාවක් විය හැකිය. සක්වළ සක්මන 29 වෙනි දැක්මෙන් අපි ඒ දෙස මෙලෙස එබී බලමු.

මහානායක හාමුදුරුවනේ,ඉතා සියුම් දිලීර වර්ග සහ ශුද්‍ර ජීවින් කියන්නෙත් සසර පැවැත්මේ (ජීවයේ) ප්‍රාරම්භක අවස්ථාවක් ද?

දැන් අපට පෙනෙන නොපෙනෙන ශුද්‍ර ජීවින් හා විවිධ දිලීර වර්ග ගණන් කරන්නට බැරි තරම්, කෝටි සංඛ්‍යාත ප්‍රමාණයක් ලොව පුරා හමුවෙනවා. එලෙස අලුතින් බිහි වෙමින් ක්‍රමිකව විවිධ අවස්ථාවන්ට ගමන් කරනවා. හැබැයි මේ ක්‍රියාවලිය බොහොම හෙමිහිට සිදු වන්නක්. මනුෂ්‍යාත්මයක් ලැබූ පමණින් එකවර බුද්ධත්වයට පත් වෙන්නේ නැහැනේ. ඒ සඳහා කල්ප ලක්‍ෂ ගණන් විවිධ අවස්ථාවන්ට මුහුණදෙමින් පාරම් දම් සම්පූර්ණ කරමින් යා යුතුයි. පරිපූර්ණ ජීවි අවස්ථාවකට පත් වීමටත් බොහෝ දේ සම්පූර්ණ වෙන්නට ඕනෑ. උතුම් මිනිසත් බවක් ලැබීම දක්වා වුවත් මේ වගේ මහා දුර ගමනක් අපි සසර ගෙවමින් පැමිණ තිබෙනවා.

මේ විධියට එකජීවිතයකදී ලබාගත් දැනුම හා අත්දැකීම් විනාශ නොවී මතුමත්තෙහි දරා ලැබූ අත්දැකීම් ක්‍රමිකව මිශ්‍ර වෙමින් තවත් දියුණූ විය හැකියි. ඔබ කියු පරිදි සියුම් දිලීර වර්ග හා ශුද්‍ර ජීවි කොට්ඨාස ජීවියේ ආරම්භක අවස්ථාවක් බව නූතන විද්‍යාඥයන් පවා නිගමනය කර තිබෙනවා. නමුත් බුදුදහමට අනුව ජීව මාත්‍රයක් හට ගැණුන පමණින් එය පූර්ණ ජීවි අවස්ථාවක් හෝ ඉනික්බිතිව පුනුරුප්පත්තියක් හෝ ලැබිය නොහැකියි.

එහෙමනම්, බුදුදහමේ දැක්වෙන පරිදි ඒ සඳහා සම්පූර්ණ විය යුතු අංග මොනවාද?

අවිජ්ජා, සංඛාර, නාමරූප, සළායතන, ඵස්ස වේදනා, තණ්හා සහ උපාදාන යන අංග සම්පූර්ණ වුවොත් පමණි. මරණින් මතු උපතක් ලැබෙන්නේ, මෙම තත්වයට (ජීවි අවස්ථාවට) පත් නොවූ ජීව මාත්‍රයන් හා අජීවින් විශ්වයෙහි අපමණ සංඛ්‍යාවක් පවතිනවා. මුහුදු පතුලේ සතුන් ආහාරයට ගැනීමෙන් ජීවත්වන පැලෑටි ආදි පාවෙන විවිධ ස්වරූපයන්ගෙන් සැදුණූ ජීවින් ඇති බව මුහුදු පතුලේ දර්ශන මගින් තහවුරු කෙරෙනවා.

මේ මහ පොළොව මතුපිට වුවද හමුවන විවිධ කෘමි වර්ග අතර පවා මෙවැනි අසම්පූර්ණ ජීවිත එමට (අනන්තවත්) දක්නට ලැබෙනවා. අතට දැනෙන හා ඇසට නොපෙනෙන තිරිසන් සතුන් හෝ මනුෂ්‍යයන් හැර තවත් අපට නොපෙනෙන ජීවයන් ද විශ්වයේ අපමණ සිටිනවා.

විස්මිත විශ්වය සිසාරා

එවැනි ජීවින් අපට ගෝචර නොවීමට බලපාන විශේෂ හේතුවක් තිබෙනවා ද?

ඔව්. එම ජීවින්ගේ ශරීරයන් ඝන නොවූ ආලෝකය විනිවිද ගමන් කරන ප්ලැස්මා හා තවත් ඊට බොහෝ සියුම් වූ පදාර්ථවලින් නිර්මාණය වී තිබීම නිසා අපට එවැනි ජීවි කොයස් බොහෝ විට පෙනෙන්නේ නැහැ. මෙලෙස අපගේ දෘෂ්ටියට හසුනොවන්නා වුද, තිරිසන් ආදි විවිධ ජීවිත ගත කරන්නා වූද, මිනිස් ජීවිත ගත කරන්නා වූ ද අපමණ වූ ජීවි සංඛ්‍යාවක් මේ සක්වළ පුරා පැතිර පවතිනවා.

නොපෙනෙන ජීවියෝ

දේව,භූත ආදි ජීවින් වුවත් මේ අතර සිටින්නට බැරිද?

ඔව්. ඔවුන් දරන තත්වයට අනුව භූතාත්මයෝ, පේ‍්‍රතයෝ, දේවදූතයෝ, දෙවියෝ හා බ්‍රහ්මයෝ යනාදි ජීවින් පවා සිටිය හැකියි.ඇතැම්විට පෘථිවිය ඇසුරු කරගෙන සිටින මෙවැනි අයගේ සිරුර මැදින් වුවත් අප ගමන් කරන අවස්ථා තිබෙනවා. නමුත් වාතයෙන් හා ආලෝකයෙන් පිරී ඇති තැනකින් ගමන් කරන විට එවැන්නක් සිදු වුවත් අපේ ශරීරවලට ස්පර්ශයකින්වත් එය නොදැනෙන්නට පුළුවන්.

ගන්ධබ්බ කායික දෙවියෝ

එතකොට, ගන්ධබ්බ කායික දෙවිවරු කියලා බුදුදහමේ විස්තර වෙන්නේ කවර ජීවි පිරිසක් පිළිබඳවද?

ගන්ධබ්බ කායික දෙවිවරු කියන්නේ සුවඳට අරක්ගත් පිරිසකටයි. ගස්වල මුල් සුවඳට (මූලගන්ධ) අරටු සුවඳට (සාරගන්ධ) ඵලයේ සුවඳනට (ඵෙග්ගුගන්ධ) පොතු සුවඳට (පපටිකා ගන්ධ) කොළ සුවඳට (පත්ත ගන්ධ) මල් සුවඳට (පුෂ්ප ගන්ධ) යුෂ සුවඳට (රස ගන්ධ) හා සුවඳෙහි සුවඳට (ගන්ධ ගන්ධ) වශයෙන් ඒවාට අරක්ගෙන (අධිගෘහිතව) සිටින්නේ මෙවැනි දෙවිවරුයි. සතරවරම් දෙවියන් අතරින් ධෘතරාෂ්ට්‍ර දෙවියන් තමයි,මේ ගන්ධබ්බ කායික දෙවිවරුන් අධිපතියා වෙන්නේ.

වැසි වැසීමේ හේතු අට

රතු, කහ, හා කළු ආදි අමුතු වැසි වසින අද දවසේදී ‘වලාහක කායික දෙවිවරු’ පිළිබඳවත් විශේෂයෙන් කෙටියෙන් හෝ දැන ගැනීම වටිනවා. මෙලෙස වලාහක කායික දෙවිවරුන් කියන්නේ කාටද?

‘වලාහක කායිකෙ වො භික්ඛවෙ දෙසිසසාමි තං සුණාථ….” යනුවෙන් සීත වලාහක, උණ්හ වලාහක, අබ්බ වලාහක,, වාත වලාහක හා වස්ස වලාහක යනුවෙන් දෙවිවරු කොට්ඨාස පහක් වෙසෙනවා.මේ අය අතරින් ඔබ ඇසූ වැස්ස වලාහක දෙවියන් හා බැදුණූ බණ කථා සංයුක්ත නිකායේ බොහෝ සූත්‍ර දේශනාවල විස්තර වෙනවා. නමුත් වර්ෂාව ඇතිවන්නේ, වැස්ස වලාහක දෙවියන්ගේ බලයෙන් පමණක්ම නොවෙයි.

වර්ෂාව ඇතිවීමට බලපාන හේතු අටක් (08) ගැන බුදුදහමේ දැක්වෙනවා. 1.දේවතානුභාවය, 2.ඉද්ධිබලය, 3.මාරාචත්තනය 4.සච්චකිරියානුභාවය 5.උතුසමුට්ඨානය 6.නාගානුභාවය 7.සුපණ්ණානුභාවය සහ ලෝක විනාශකර මහා මේඝය එම කරුණු අටයි.

විඳින විඳවන ජීවය

ඒ වගේම, මේ කියපු සියලු ජීවින්ගේ ජීවන ස්වරූපය අනුවත් ඔවුන්ව බුදුදහමේ කොටස් හතරකට බෙදා දැක්වෙනවා නේද?

ඔව්.ඒකාන්ත දුක්ඛ,ඒකාන්තසුඛ, දුක්ඛ බහුල හා සුඛ බහුල වශයෙන් සියලු සත්වයන්කොටස් හතරක (04) ට අයත් වෙනවා.

නොකඩවා මුළු ජීවිත කාලය පුරාම දුක් විඳින සත්වයින් ‘ඒකාන්ත දුක්ඛ’ ගණනයට වැටෙනවා. ඊඟාවට වැඩි කාලයක් දුක් විඳිමින් ගත කරන හා අතරින් පතර (ඉඳහිට) සැප විදිනසත්වයින් ‘දුක්ඛ බහුල’ ගණයට අයත් වෙනවා. බොහෝ විට තිරිසන් සතුන්ගේ ජීවිත මේ ගණයට අයත් බව පෙනෙනවා. මීට අයත් වන ජීවිත ගක කරන මනු්‍යයින් වුවත් නැතුවාම නොවෙයි. අපට නොපෙනෙන භූතාත්ම ගත කරන්නන්ද මීට ඇතුළත් වෙනවා.

වැඩි කාලයක් සැප විඳින එහෙත් අතරින් පතර දුක් විඳින මනුෂ්‍ය ආදි සත්වයෝ ‘සුඛ බහුල’ ගණයට වැටෙනවා. මිනිසුන්ට අමතරව පහත ශ්‍රේණිවල (අල්පේශාක්‍ය) ඇතැම් දෙවියන් ද මෙම ගණනයට ඇතුළත් වෙනවා.

එයින් මතු, දුකක් නොවිඳි ජීවිත කාලයම සතුටින් ගත කරන උසස් (මහේශාඛ්‍ය) දෙවිවරු හා බ්‍රහ්මයෝ ‘ඒකාන්ත සුඛ ‘ ගණනයට අයත් වෙනවා.මේ අතින් බලනවිට මනුෂ්‍ය ආත්මභාවයක් ලැබීම තුළ අපට විවිධාකාර අත්දැකීම් බොහොමයක් විඳ ගැනීමේ විශේෂ වාසනා ගුණයක් හිමි වී තිබෙනවා.

සාකච්ඡා සටහන – චාමික මුණසිංහ (B. A. (Hon), M. A.)


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: