Posted by: lrrp | January 30, 2013

බෝනික්කා පලා භූතයා එළවයි

මිනිසා ඉපැදුණු පවුල් පරිසරය අනුව, ජීවත්වන වටපිටාවට අනුව, සමාජ ආශ්‍රය අනුව, විවිධ ඇදහීම්වලට, පිළිගැනීම්වලට පුරුදු වේ. බෞද්ධයකු වශයෙන් වත් පිළිවෙත් කරමින් සිට මිය යන්නෝ පරලොව දී ද, පේ‍්‍රත දේවාදි ආත්ම භව ලැබූවත් කලින් පැවති ආගමික හැඟීම් වලින්ම යුක්ත වෙති. කතෝලික, ක්‍රිස්තියානි, හින්දු ආගම් අදහන්නෝ ද එසේ ම ය. දේශපාලනික පක්ෂවල මති මතාන්තර දැඩිව අල්ලා ගෙන සිටින්නෝ ද එසේ ම ය.

චමින්දි දහ හතර හැවිරිදි පාසල් දැරියකි. ඇය සිහි විකල්ව බලාගත් අත බලා සිටීමත්, නින්ද නොයෑමත් නිසා පීඩාවට පත්ව සිටීම නිසා අධ්‍යාපන කටයුතු ද අඩාල වී ඇත. එසේම රාත්‍රී එකොළහට පමණ ගේ පුරා දැඩි අසූචි ගඳක් ද පැතිරෙන්නට විය. දෙමවුපියෝ චමින්දිට මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන්න ද ඇගේ වෙනසක් දක්නට නොලැබුණි. මේ වන විටත් මානසික වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටි, ඔවුන් ගේ ආගමට අනුව අදාළ වත් පිළිවෙත් කළ ද එයින් ද කිසිදු සුවයක් දකින්නට නොලැබුණි. අවසානයේ “සිළුමිණ” පත්‍රයේ පළවන “පියවි ඇසින් ඔබ්බට” විශේෂාංගයේ තොරතුරු අනුව ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයා ගෙන චමින්දි ගේ දෙමවුපියෝ ඇය කැඳවාගෙන පැමිණියහ.

පළමු දින රෝගියා පරීක්ෂා කරන විට ම ඇය සිහි නැතිව වැටුණු අතර අමනුෂ්‍යයා පලා ගියේය. ඒ නිසා බෝධි පූජා විසි එකක් පවත්වා නැවත පැමිණෙන ලෙස දැනුම් දුන් අතර, ළමයාගේ ආච්චි සීයා දෙදෙන උග්‍ර ආගම් මත දරන්නන් බැවින් බෝධි පූජා තැබීම නම් කෙසේවත් සිදු කළ නොහැකි බව චමින්දි ගේ දෙමවුපියෝ පැවසූහ. මේ අමනුෂ්‍යයාගේ තත්ත්වය අනුව එය කළ යුතු බව ගවේෂකවරයාට වැටහී තිබුණි. එහෙත් දැරියගේ අහිංසක ජීවිතය පිළිබඳ කල්පනා කළ ගවේෂකවරයා දැරියට වෙනත් පිළිවෙතක් නියම කළේය. සෑම දිනයකට ම උදේ හවස “සබ්බ පාපස්ස” ගාථාව විසි එක් වරක් ද එකේ සිට දහස (1 – 1000) දක්වා ද දහසේ සිට එක (1000 – 1) දක්වා ද නොවරදවා දින විසි එකක් ගණන් කරන ලෙස ද ඉන් පසු නැවත පැමිණෙන ලෙස ද නියම කළේ ය.

ඊළඟ දිනයේ දැරිය රැගෙන ආහ. එදින ද ඇය වෙව්ලන්නට වූ අතර තොල් දෙක තදින් සපා ගෙන එහි ලේ උරා බොන්නට වූයේය. අමනුෂ්‍යයාගේ දරුණුකම එයින් ම පැහැදිලි විය. ඔහු කතා කළේ ම නැත. මේ අමනුෂ්‍යයා පාලනය කිරීමට නම් බෝධි පූජා විසි එක පැවැත්විය යුතු බවත්, එසේ කරන්නට අකමැතිවීම අමනුෂ්‍යයා වාසියට ගෙන ඇති බවත් මේ තත්ත්වය අනුව තමන්ට රෝගියා සුව කළ නොහැකි බව ගවේෂකවරයා දෙමවුපියන්ට දැනුම් දුන්නේ ය. එවර ඔවුහු බෝධි පූජා පවත්වා එන බවට පොරොන්දු වූහ. බෝධි පූජා කළ යුතු ආකාරය පැහැදිලි කර දුන් අතර එය නොපිරිහෙළා කළ යුතු බව ද අවධාරණය කළේ ය.

දින විසි එක බෝධි පූජා පවත්වා නැවත දැරිය රැගෙන පැමිණියහ. එදින දැරිය ප්‍රලය විය.

“මේ දරුවාගේ ශරීරය ඇතුළේ ඉන්නේ කව්ද?”

“මට මතක නැහැ.”

“ආ… තමුන්ට තමුන්වත් මතක නැහැ නේද?”

“ඔව්! මම ආවේ කෙල්ලව මරන්න.”

“ඒ මොකට ද?”

“ඒක මට බාර දීපු වැඩක්.”

“කව්ද බාර දුන්නෙ?”

“ඒක මම කියන්නේ නෑ. මරාගෙනම තමයි යන්නෙ! ඒක මට පවරපු වැඩක්. ඒක කොහොම හරි කරනවා. තමුන්ට බැහැ මාව වළක්වන්න. පුළුවන්නම් කරල බලන්නැ” යි අමනුෂ්‍යයා තදින් පැවසීය.

ගවේෂකවරයා අධිෂ්ඨාන ශක්තිය මෙහෙයවා ආධ්‍යාත්මීය ශක්තියෙන් කිරණ නිකුත් කොට අමනුෂ්‍යයා දවා වේදනාවට පත් කොට පන්නා දමා දැරියගේ ශක්ති ශරිරය කඩතොළු වසා තවත් ශක්තිමත් කළේය. එයින් ශරීරයේ තිබු ආබාධ ඉවත් විය.

එයින් සති දෙකකට පසු ඇගේ නැගණිය ප්‍රලය වී නිවසේ දී කෑ ගසන්න වී ඇත. නැවතත් මේ දෙමවුපියෝ දියණියන් දෙදෙනා ම රැගෙන ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයට පැමිණියහ. එහිදී නැගණිය දෑත් ඉහළට ඔසවා යක්ෂාවේෂයෙන් මෙන් නපුරු ලෙස කෑගසන්නට වූවාය. ගවේෂකවරයා ඇය කතා කරවන්නට උත්සාහ කළත් කතා කළේ ම නැත. ඉන් පසු ගවේෂකවරයා ස්වකීය ශක්තිය මෙහෙයවා නැගණියගේ ශරීරයේ සිටින භූතාත්මය අක්කාගේ ඇඟට ගෙන කතා කළේය.

“කව්ද මේ?”

අමනුෂ්‍යයා නම කීවේම නැත.

“මගේ වාස භවන මේ ගෙදරයි. මම යන්නේ නෑ. මම මුන්ව දාලා යන්නේ නෑ.”

බැරිම තැන ගවේෂකවරයා වේවැල අතට ගත්තේ ය.

“කියාපං උඹව එව්වේ කව්ද?”

“සාමි කෙනෙක්. කෝවිලේ සාමි”

“එවන්න කිව්වේ කව්ද?”

“එවන්න කිව්වේ ජයන්ත”

“කව්ද ජයන්ත කියන්නෙ?”

“මේ මහ දෙන්නගෙ හිතවතෙක්. පවුලේ හිතවතෙක්”

“ඇයි එව්වේ?”

“මම දන්නේ නෑ”

අමනුෂ්‍යයා ඇත්ත නොකියන බැවින් කිරණ ශක්තියෙන් පිච්චුවේය.

“දැන් කියාපං ඇයි එව්වේ?”

“ඊරිසියාවට”

“කවදද එව්වෙ?”

“අවුරුදු හතරකට කලින්”

“ඇයි ඊරිසියාව?”

“මේ කෙල්ල ශිෂ්‍යත්වය පාස් වුණාට ඉරිසියාවේ කෙල්ලගේ ජීවිතේ නැති කරන්න. ජයන්තගේ කෙල්ල ශිෂ්‍යත්වය පාස් වුණේ නෑ. ඒ ඉරිසියාවට. මුන් කතෝලික. ජයන්ත බෞද්ධ.”

“අනුන්ගෙ වුවමනාවට තමුන් කරන්නේ මහා අපරාධයක්. මහා පාපයක්. දැන් තමුන් මේ අයව අතහැරල යන්න ඕනැ.”

“බෑ… බෑ… මට යන්න බෑ. මේ වාසභවන මට හොඳයි. මේ වාසභවනට මම කැමතියි. ලස්සනයි.”

“මොකක්ද උඹේ ලස්සන වාසභවන. කොතන ද තියෙන්නෙ?”

“කබඩ් එක උඩ බෝනික්කෙක්.”

ළමයින් දෙදෙනාට ම ආරක්ෂා දමා අමනුෂ්‍යයා පන්නා දැම්මේය.

කබඩ් එක උඩ තියෙන බෝනික්කා ඊළඟ සතියේ රැගෙන එන ලෙස දෙමවුපියන්ට උපදෙස් දුන්නේය.

ඊළඟ සතියේ මේ පවුලේ පිරිස පැමිණියහ. කබඩ් එක උඩ බෝනික්කන් දහ අටක් තිබුණු අතර ඒ සියල්ලම රැගෙන විත් තිබුණි. ඒ බෝනික්කන් පලා බැලීය. එක් බෝනික්කකුගේ ඇතුළත කෙස් ගස් කීපයක් දවටා තිබුණු තඹ කොළයක් විය.

ගවේෂකවරයා දැරියගේ පියාගෙන් ප්‍රශ්න කළේය.

“මේ බෝනික්කා කොයින් ද?”

“චමින්දි දුවට ලැබුණු තෑග්ගක්”

“කව්ද මේ තෑග්ග දුන්නෙ?”

“ජයන්ත”

“කවදා ද?”

“දැනට අවුරුදු හතරකට කලින් චමින්දි දුව ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වුණාට අපේ නෑදැ හිතවත්තු දුවට තෑගි ගෙනැත් දුන්නා. මේ ජයන්ත ගෙනැත් දුන් තෑග්ග“

යළිත් අමනුෂ්‍යයා දැරියට දිෂ්ටි ගැන්වීය. අමනුෂ්‍යයා අඬන්නට පටන් ගත්තේ ය.

“ඇයි උඹ අඬන්නෙ? මේ තරම් අපරාධයක් කරලා”

“මම අඬන්නේ මගේ ලස්සන වාසභවන කඩපු නිසා. අනේ මගේ ගේ කැඩුවා… ඉහි… ඉහි…”

“උඹ මහා කාලකණ්ණියෙක්”

“මම කළේ මට පවරපු දේ”

“උඹේ ආගම මොකක්ද?”

“බුද්ධාගම”

“ගම කොහේද?”

“මොරටුවේ”

“මොනවා වෙලා ද මැරුණේ?”

“සුනාමියට අහුවෙලා”

“තමුන්ට පින් ගන්න පුළුවන් ද?”

“මගේ හිතට පින් දැනෙන්නෙ නෑ”

“එහෙම නම් අපට කරන්න දෙයක් නෑ. ආයෙත් මේ වගේ වැඩවලට හවුල් වෙලා අහුවුණොත් අල්ලලා බැඳලා බෝතලයක දාලා කොන්ක්‍රීට් දාල මූද මැදට ගිහින් දානවා”

“අනේ.. එපා… එපා… මම යනවා යන්න”

“උඹ කොහේට ද යන්නෙ?”

“සොහොනට”

“කාගේ සොහොනට ද?”

“මගේ ම සොහොනට, අඟුලානෙ කැරකෝප්පුවේ”

“ළමයින්ටත් නිවසටත් ආධ්‍යාත්මීය ආරක්ෂා යෙදීය. අවුරුදු හතරක් තිස්සේ හේතුව සොයා ගත නොහැකිව මානසික රෝගයක් යැයි බෙහෙත් පෙති ගිල්ල දියණියක් යළිත් අධ්‍යාපන කටයුතුවල නිරත වන තත්ත්වයට පත්ව ඇත.


Responses

  1. මම හිතුවෙ ලිපි පල කිරිල්ල නවත්තල කියලා බලං හිටියේ කාලෙකින් ලිපියක් නැති නිසා ස්තූතියි ලිපි පල කිරීම ගැන


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: