Posted by: lrrp | January 30, 2013

මං මෙයාගෙ ගෑනි වුණේ මගේ කරුමෙට මේ ආවේ මෙයාගෙන් පළිගන්නයි

මිනිසා විසින් කරනු ලබන බරබතළ පාප කර්ම වෙනුවෙන් මේ ආත්ම භවයේ දී ම දිට්ඨධම්ම වේදනීය වශයෙන් විපාක විඳීමට සිදුවන අවස්ථා ද විරල නැත. එවැනි පාප කර්මවලට විපාක වශයෙන් ශාරීරික ලෙඩ රෝග වැලඳී වෛද්‍ය ප්‍රතිකාරවලින් සුවයක් නොලබන විට වත් පිළිවෙත්වල පිහිට පතති. ඔවුන් අන්ත අසරණයින් බවට පත් වී ආධ්‍යාත්මික ප්‍රතිකාර පතා ගියත් එතැන දී ද සත්‍ය හෙළි නොකරති, බොහෝම දැහැමි දිවි පෙවතක් ගෙවූවන් සේ රඟපාති. ඔවුන් ගේ දූ දරුවෝ ද නම්බුවට බොරු කියති.

පින්නවල ප්‍රදේශයේ පදිංචිකරුවකු වූ ජයදාස හැත්තෑ හැවිරිදි පුද්ගලයෙකි. බිරිය මිය ගොස් ඇති අතර දියණියක හා පුතෙකු සමඟ දිවි ගෙවයි. දැනට අවුරුදු තිහක පමණ කාලයක සිට සුව නොවන බඩේ කැක්කුමකින් වරින්වර දරුණුවට පීඩා විඳියි. ඔහුට පන්සිල් ගන්නට නොහැකි ය. බුදුන් වඳින්නට නොහැකි ය. ඊට සූදානම් වන විට ම බඩේ අමාරුව වැලඳේ. පොහොය දිනයට සිල් සමාදන් වන්නට සිතා සූදානම් වුණොත් ඊට කලින් දින රාත්‍රි නින්ද යන විට ම ඇඳෙන් වැටෙයි. නිකම්ම ඇඳෙන් වැටෙනවා නොව කවුදෝ කෙනෙක් ඇඳෙන් බිමට ඇද දමන බව දැනේ. මුළු රාත්‍රි කාලය ම නිදි වරා සිට තද නිදිමත නිසා පන්සල් යෑමේ අදහස අතහැර දමයි.

ජයදාස දියණියක සමඟ ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයා ගෙන පැමිණියේය. සුව නොවන බඩේ අමාරුවක් ඇති බවත් වෛද්‍ය ප්‍රතිකාරවලින් වැඩක් නොවූ බැවින් ආධ්‍යාත්මික ප්‍රතිකාර සොයා පැමිණි බවත් ගවේෂකවරයා සමඟ පැවසීය. සිල් සමාදන් විය නොහැකි බවත්, බුදුන් වැඳිය නොහැකි බවත්, ඇඳෙන් බිමට ඇද දමන බවත්, සැඟවීය. එහෙත් ඔහුගේ ශරීරය තුළ අමනුෂ්‍ය බලවේගයක් ඇති බව ගවේෂකවරයා දුටුවේය.

“ඔබේ අමාරුව විතර ම ද? වෙනත් අමාරුකම් නැද්ද?” ගවේෂකවරයා ප්‍රශ්න කළේය.

“එහෙනම් මේක සුළු දෙයක්. බෝධි පූජා විසි එකක් පවත්වා නැවත එන්නැ” යි උපදෙස් දුන්නේ ය.

තුන් වැනි දින බෝධි පූජා පවත්වන විට ජයදාසට හොඳට ම අමාරු විය. “තාත්තාට හොඳට ම අමාරුයි. මැරෙයි ද දන්නෙත් නෑ” යි දියණිය දුරකථනයෙන් ගවේෂක වරයාට කීවේ ය.

“බය වෙන්න එපා. තාත්තට ලොකු අමාරුවක් නැහැනේ. බඩේ අමාරුව විතරයි නේද තියෙනවැ යි කීවේ. බෝධි පූජා තිබ්බ ම ලෙඩ්ඩු මැරෙන්නෙ නැහැ. අපි කායිකව බොන්න බෙහෙත් දුන්නෙ නැහැනේ. දවස් විසි එක බෝධි පූජා තියල ම එන්න” යි ගවේෂක වරයා පිළිතුරු දුන්නේ ය.

දින විසි එකේ බෝධි පූජාවෙන් පසු ජයදාස දියණිය සමඟ නැවතත් පැමිණියේය. එදින ජයදාස ප්‍රලය විය.

“කව්ද මේ ශරීරය ඇතුළත ඉන්නෙ?”

“පද්මිණි”

“පද්මිණි කියන්නෙ කව්ද?”

“මුගේ ගෑනි. මගේ කරුමෙට තමයි මුගේ ගෑනි වුණේ.”

“ඇයි මේ ඇඟට රිංගුවේ?”

“මුගෙන් පළි ගන්න. මම මූව මරනවා.”

“ඇයි මේ අමනාපය?”

“මූ හැමදාම බීගෙන ඇවිත් මට ගැහුවා. මම බුදුන් වඳින කොට මගේ ඔළුව බිත්තියේ හප්පනවා. මම වන්දනා කරන බුදු පිළිම පොළොවේ ගහනවා. එහෙම පොළොවේ ගහලා උඹේ බුදු හාමුදුරුවන්ට කියලා මට කරවපන් කියලා මට ගැහුවා. අන්තිමේ මූ මට ගෙදර බුදුන් වඳින්න නොදෙන නිසා ළිඳ ළඟ පොඩි පිළිමයක් තියා ගෙන වැන්දා. ඒකටත් බීගෙන ඇවිත් මට ගැහුවා.

එක්දහස් නවසිය අසූ දෙකේ අවුරුද්දේ දවසක මෙයා ගෙදර හිටියේ නෑ. මම එදා මෙයා ගෙදර නැති නිසා සිල් සමාදන් වෙන්න පන්සලට ගියා. හවස සිල් පවාරණ වෙලා ගෙදර එන කොට මෙයා ගෙදර ඇවිත් හිටියා. මම ගෙදරට ආ ගමන් මෙයා මට හොඳටෝ ම ගැහුවා. බිම දාගෙන ගැහුවා. නහයෙන් ලේ එන්න ගැහුවා. ඉවසා ගන්න බැරි දුකට මම දුවගෙන ගිහින් ළිඳට පැනලා මැරුණා.

“තමුන්ට ළමයි හිටියා ද?”

“ඔව්. නමුත් ළමයි ගැන මට මතක නෑ. මූ ගැනමයි මට මතක. මූ මට වද තිස් දෙක ම දුන්නා. මූව නම් මම මරනවා. ඒ වෛරයෙන් මගේ හිත පිරිලා. වෙන කිසි දෙයක් මතක නෑ. මූ ගැනමයි මතක.”

“දැන් කොයි තරම් කාලයක් ගත වුණා ද?”

“කාලයක් කියලා දෙයක් තිබුණ ද කියලත් මතක නෑ. කාලයක් ගැන තේරුණෙත් නෑ.”

“කොහොම ද ඇඟට රිංගුවේ?”

“ටික ටික ඉඳලා ඇඟට රිංගුවා.”

“රිංගලා මොකද කළේ?”

“මුගේ බඩට රිංගලා මුගේ ආහාර හූර ගෙන ම කෑවා. එතකොට මූ බඩ රිදෙනවා කියලා කෑ ගහනවා. මූ වේදනාවෙන් කෑ ගහන කොට මට පුදුම සතුටක් දැනුණා. මම හැමදාම මූට දහදුක් දුන්නා.”

“ඉතින් මේ ජයදාස මොනවද කළේ?”

“මූ රට පුරා ඇදුරන් හොයා ගෙන ගියා. දේවාල හොයා ගෙන ගියා. ඇදුරන්ට කියලා මාව බන්දලා මූදෙ දානවයි කියලා සූදානම් වුණා.”

“ඉතින් පද්මිණී මොකද කළේ?”

“මූ ලැහැස්ති වෙන කොට මම දන්නවා. හරියට ම වෙලාවට පැනලා යනවා.”

“ඊට පස්සෙ ජයදාස මොකද කළේ?”

“මූ හාමුදුරු කෙනෙක් ළඟට ගිහින් කිව්වා.”

“මොනවද කිව්වේ?”

“අනේ! හාමුදුරුවනේ! මට බුදුන් වඳින්න විදිහක් නෑ. සිල් සමාදන් වෙන්න විදිහක් නෑ කියලා මූ හරි හොඳ උපාසකයෙක් වගේ කිව්වා.”

“ඉතින්?”

“ඉතින් හාමුදුරුවො මූට පන්සිල් සමාදන් කරවන්න මූට නමස්කාරය කියන්න කිව්වා. මම ඒවා වැරද්දුවා. මූට පන්සිල් සමාදන් වෙන්න ඉඩ දුන්නේ නෑ. මූ වෙව්ලලා වෙව්ලලා වැටුණා. මම මූව මරනවාමයි.”

“ඉතින් මේ අවුරුදු තිහක් තිස්සේ මොකද කරන්නෙ? එක සැරේ මරාදාන්න තිබුණා නේද?”

“බෑ… බෑ… එහෙම බෑ” මූව විඳවලා මරන්න ඕනෑ. මට දීපු දුක් කන්දරාවෙ හැටියට”

“මම දැන් මේ අයට තවත් බෝධි පූජා විසිඑකක් පවත්වලා එන්න නියම කරනවා. මම නියම කරන වැඩවලට බාධා කරන්න එහෙම එපා. ඔබ තුමිය ජීවත්ව ඉන්දැද්දි හොඳට පින් දහම් කළ කෙනෙක්. මම ඔබතුමියටත් නියම කරනවා අනිවාර්යයෙන්ම ඒ බෝධි පූජාවලට ගිහින් සහභාගි වෙන්න කියලා” යි ජයදාසටත් දියණියන්ටත් තවත් බෝධි පූජා විසි එකක් පවත්වන ලෙස නියම කළේය. පහන් හතක් දල්වා මල් වට්ටි හතක් පූජා කරන්ට නියම කළේය. “ඒ හැම පහනකට ම හැම මල් වට්ටියකටම බුද්ධං ධම්මං සංඝං කියමින්, සිහිපත් කරමින්, අත ගසන මෙන්” භූතාත්මයට ද නියම කළේ ය.

ඒ බෝධි පූජා විසි එකෙන් පසු ජයදාස දියණිය හා පුතා සමඟ නැවත ආවේ ය. එදා ද ඔහු ප්‍රලය විය.

“මොකක්ද නම? මට මතක නෑ”

“මම පද්මිණී නෙ”

“දැන් කොහොම ද?”

“දැන් තරහ ගතිය ටිකක් අඩුවුණා.”

“ඇයි දැන් ජයදාස හොඳ ද?”

“අනේ! අනේ! මේ තිරිසනාගෙ හොඳේ. මුගේ ඇති හොඳක් නිසා නොවෙයි, බෝධි පූජා තියන කොට ඔබතුමා නියම කළ විදිහට බුද්ධං – ධම්මං – සංඝං – කියලා මම කිව්වා.

එතකොට මට තෙරුවන් ගුණ සිහිපත් වුණා. මම පන්සල් ගිය හැටි, වන්දනා කළ හැටි, සිල් සමාදන් වූ හැටි සිහියට නැඟුණා. එතකොට හිතේ තිබුණු වෛර ගින්න අඩු වුණා. නිවුණා.”

“ඔව් තමුන් දැන් පද්මිණී නොවන බව සිහිපත් කරන්න, මරණාසන්න මොහොතේ හිතේ වෛරයක් ඇති වුණා. ඒ වෛරයෙන් ළිඳට පැනලා මළා. ඒ අවසාන චුති සිත නිසා දුක් සහිත තැනක උපන්නා. ඒක එහෙම වුණාට ඔබ තුමිය පද්මිණී වශයෙන් ජීවත්වෙද්දී කොයි තරම් හොඳ ද? අහිංසක ද? ඒ වෛර සිතුවිලි නිසා කුසලයෙන් ඈත් වී සසර ගමන දික් කර ගන්න එපා. ජයදාස කළ වැරදිවලට විශ්වය දඬුවම් දේවි. දැන් ඔබ තුමිය හිත හදාගන්න. පින් දහම් කළ හැටි සිහිපත් කරන්න. ඔබ සුදු සිල් රෙදි ඇඳගත් උපාසිකාවක්. තෙරුවන් සරණ ගිය බෞද්ධ උපාසිකාවක්. පින්වත් උත්තමාවියක්.”

“සාදු සාදු මහත්තයා මට තේරුණා. මේ කාලකණ්ණි මිනිහා ළඟ හිටියොත් මාත් අමාරුවේ. මම යනවා. මම යනවා. මම දැන් කොතනට ද මහත්මයා යන්නෙ?”

“ඔබතුමිය දැන් කළුතර බෝධිය ළඟට යන්න”

“හොඳයි හොඳයි මම යනවා” යි කියමින්, භූතාත්මය නිදහස්ව ගියාය.

ඊළඟට ගවේෂකවරයා ජයදාසට උපදෙස් දුන්නේය. “මම දැන් තමුන්ට ආධ්‍යාත්මික ආරක්ෂාවක් කරනවා. හැබැයි වැරදි වැඩ කළොත් ඒ ආරක්ෂාව බිඳෙනවා. නැවතත් පද්මිණී ඒවි. එහෙම වුණොත් ආයෙත් මගේ ළඟට නම් එන්න එපා. තමුන් හෙට පටන් ජීවත්ව ඉන්න තාක් කල්, අසනීපයකින් රෝහල් ගත වුණොත් හැර, සෑම බදාදා දිනයක ම, සෙනසුරාදා දිනයක ම හැන්දෑවට පන්සලකට ගිහින් බෝධි පූජා පවත්වන්න ඕනෑ.” පද්මිණීට පින් දෙන්න ඕනෑ. කළ වැරදිවලට සමාව ගන්න ඕනෑ. නොගියොත් ආරක්ෂාව බිඳෙනවා. තමුන් මේ කොන්දේසියට කැමති ද?”

“කැමතියි මහත්මයා”

ජයදාසට ආධ්‍යාත්මීය ආරක්ෂාවක් කළේය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: