Posted by: lrrp | February 3, 2013

සක්වළ සක්මන – සසර දකිමු

අග්ගමහා පණ්ඩිත
ආචාර්ය බෙල්ලන ඤාණවිමල මහ නා හිමි

සසර හරි හැටි දැකීමෙන් “නිවන” පවා දැකීමට වරම් ලැබේ. කල්ප ගණනක් සසර සැරි සරමින් සිත මිස කය නැති බඹලොව හැර බෝසත්වරු සක්වළ හැම තැන උපදිති. ඒ කෙසේද? යන්න පිළිබඳව අප කරුණු ගෙන හැර දක්වන්නට යෙදුණි. එමඟින් සසර කතරෙහි නොදුටු තවත් පැතිකඩ දෙස මෙලෙස විමසා බලමු.

මහා නායක හාමුදුරුවනේ,
බුදු දහමට අනුව මේ සියලු සත්ත්වයන් සසරෙහි කොපමණ කාලයක් මෙලෙස සැරිසරනවාද?

කවදා හරි සත්‍යාවබෝධ වී නිවන් දකිනතාක් කල් ඒ සත්වයාට මේ සසරේ සැරිසැරීමට සිදු වෙනවා. ඒක මෙපමණ කාලයක් පමණයි කියලා නිශ්චිතව දක්වන්නට බැහැ. අපේ බුදුහාමුදුරුවෝ ඒ පිළිබඳව මෙසේ දේශනා කොට වදාළා.

අනමතග්ගෝයං භික්ඛවේ සංසාරෝ
පුබ්බා කෝටි න පඤ්ඤායතී….” යනුවෙන්.

එමඟින් පැහැදිලි කළේ ‘මහණෙනි, මේ සසර නොපෙනෙන මුල් (ආරම්භක) කෙළවරක් අනන්තයි කියලයි. එනම් මේ සසරෙහි ආරම්භය හෝ අවසානය හෝ නොපෙනෙන තරම් ඉතා ඈතට දිවෙනවා.

සසර කතර දුර

එහෙමනම්, මේ සසරෙහි ඇති දිගු බව උපමාවකින් හෝ අපට පැහැදිලි කරන්න පුළුවන්කමක් නැද්ද?

ඔය විධියට දිනක් එක්තරා බමුණෙකු බුදුරදුන් සමීපයට පැමිණ දැනට කාලය කොපමණ ඉක්ම ගොස් තිබේද? එම කල්ප ගණන කොපමණද? ආදි වශයෙන් ප්‍රශ්න විමසා සිටියා. එහිදී බුදුහාමුදුරුවෝ කළ විග්‍රහයන් සංයුක්ත නිකායේ ‘අනමතග්ග සූත්‍ර’ දේශනාවල සඳහන් වෙනවා. “බ්‍රාහ්මණය, ඉක්ම ගිය කල්ප ඉතා බොහෝ ය…..” මේ ගංගා නදිය පටන් ගන්නා තැන සිට මුහුදට වැටෙන තැන දක්වා වූ සියලු ම වැලි කැට ප්‍රමාණය ගැණිය නොහැකි සේ අතීතයේ ගත වූ කල්ප ගණනක් ප්‍රමාණය කළ නොහැකි වේ.

මෙලෙස අප කල්ප අපමණ ප්‍රමාණයක සසරෙහි සැරිසරමින් පසුවෙනවා. අප ඉපදි ඉපදී මැරි මැරී ගිය හා මතුවටත් සිදුවන ආත්මභාව මෙතෙකැයි කියන්නට බැහැ.

නොදිරු සිරුරු ගනිමු

ඒ වුණත්, මේ කල්පය තුළ අපි කුමන වටපිටාවක් යටතේ කොපමණ වාර ගණනක් මෙලෙස සසර සැරි සරනවාද?

ඔව්. සූත්‍ර පිටකයට අයත් ඛුද්ධක නිකායේ එන ‘ඉතිවුත්තක’ කථා පෙළෙහි මේ සඳහා යම් පිළිතුරක් ලබා දී තිබෙනවා.

ඒ අනුව, දැන් එක කල්පයක් තුළ පමණක් එක් අයෙකු (සත්වයකු) ඉපදි ඉපදී මිය යන ශරීරවල ඇට කටු සමූහය එක් කළ විට රජගහ නුවර ප්‍රධාන කඳු පහෙන් විශාලම කන්දට (වේපුල්ල පර්වතයට) සම වෙනවා. ඒ කියන්නේ, මහා උස කඳු පර්වතයක් සම වන තරමටම එක් තැනැත්තෙකුගේ දිරාගිය ශරීර කොටස් ගොඩනැඟෙනවා.

දීඝ නිකායේ මහා පරිනිබ්බාන සූත්‍රයේ එන ‘මහා සුදස්සන සූත්‍රයේ’ විස්තර වන පරිදි, අපේ ගෞතම බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පෙර කුසිනාරානුවර දී පමණක් එලෙස වරින් වර අට වතාවක් ම ශරීරය අතහැර යාම (ශරීර නික්‍ෂෙපය) සිදු කර තිබෙනවා.

යළි යළිත් හමුවීම

එතකොට, දැනට අප වටා සිටින මේ ඥාති හිතවතුන් ආදී පිරිසත් මීට පෙරත් අපට විවිධාකාරයෙන් හමු වී තිබෙන්නට බැරිද?

ඔව්, මෙලෙස අද මනුෂ්‍ය ජීවිත ගත කරන අය මීට පෙර දිව්‍ය, තිරිසන්, ප්‍රේත, හා අපාය ආදී විවිධ ආත්මභාවවල සැරි සරමින් සසරේ ගත කරමින් පසුවෙනවා. ඒ අතර තුර බොහෝ අය හමු වෙනවා. එකට ගත කර වෙන් වී යනවා. ඒක තමයි සසරෙහි හැටි. බුදු හාමුදුරුවෝ ඔය පිළිබඳව මෙසේ දේශනා කොට තිබෙනවා.

“මහණෙනි, පෙර තමාට මව නොවූ, පිය නොවූ, සොහොයුරා, සොහොයුරිය හෝ පුතා, දුව හෝ නොවූ කෙනෙකු (සත්වයකු) සොයා ගැනීමට අපහසුයි.”

ඒ වුණත්, අපේ ගෞතම බෝසතාණන් වහන්සේට සසරෙහි හැමදාම මව හා පියා වුණේ මහමායා දේවියයි සුද්ධෝදන රජතුමායි විතරක්ම නේ ද? ඒ දෙන්නාට අමතරව අප මහ බෝසතුන්ටත් සසරෙහි වරින් වර විවිධ ආත්මභාවවල මව, පියා වූ අය තවත් සිටිනවා. හැබැයි ඔබ කියූ පරිදි සසරෙහි බොහෝ අවස්ථා ගණනකදී බෝසතාණන්ට මව, පියා වුණේ ඒ දෙන්නා තමයි.

දෙමාපියෝ නොවූ අවස්ථා

වරක් බුදු හාමුදුරුවෝ මහ සඟරුවන සමඟින් මහ මඟ වඩින අවස්ථාවකදී එක්තරා බමුණෙකු හා බැමිණියක (නකුල මාතා – නකුල පිතා) ළඟට ඇවිත් බුදුරජාණන් වහන්සේ ඔවුන්ගේ පුතා කියලා අතින් අල්ලාගෙන ගෙදරට වඩම්මලා දානයෙන් සංග්‍රහ කෙරුවා. ඊට පස්සෙ ආනන්ද තෙරුන් ප්‍රමුඛ මහ සඟරුවන බුදුරදුන්ගෙන් මෙලෙස විමසා සිටියා.

“භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේගේ මව්පියෝ සුද්ධෝදන රජ්ජුරුවොයි – මහාමායා දේවියයි කියලයි අප දන්නේ. ඇයි? අර බමුණයි, බැමිණියයි පුතා….. කියලා ආමන්ත්‍රණය කරන කොට ඔබ වහන්සේ නිහඬව පිළිගත්තා වගේ හිටියේ” කියලා. එවිට බුදුහාමුදුරුවෝ එම පිරිස අමතා දේශනා කොට වදාළේ ‘මීට ආත්මභාව ගණනාවකට ඉස්සර ඒ මහලු බමුණයි බැමිණියයි දෙන්නා මගේ දෙමාපියෝ වෙලා හිටියා කියලා. ඒ සසරේ හුරු පුරුදු බව නිසා ඔවුන් දෙදෙනා මෙවරත් මෙලෙස හැසිරෙන්නට ඇති කියලා.”

බුදුරදුන් නොඉපදුන තැනක්

හොඳයි, එතකොට අපගේ ගෞතම බෝසතාණන් වහන්සේ, සංසාරය පුරා නොඉපදුන තැනක් ගැන විස්තර වෙන්නේ ම නැද්ද?

ඔව්. උන්වහන්සේගේ සාර සංඛ්‍ය කල්ප ලක්‍ෂයකටත් අධික දීර්ඝ වූ කාල පරාසයක් මේ මහා සංසාරයේ ගත කර තිබෙනවා. එම අපමණ කාලය තුළ මේ සක්වළ මතු නොව, පිටසක්වළ පවා විවිධ ස්ථානවල අනේක වූ ආත්මභාව ලබමින් සසරෙහි සැරි සරන්නට යෙදුණා. මේ විධියට අප මහ බෝසතුන් බොහෝ තැන්වල විවිධ ස්වරූපයෙන් ඉපදී ඇතත්, නොඉපදුන එකම එක තැනක් ගැනත් බුද්ධ දේශනාවෙහි විස්තර කර තිබෙනවා. එනම්,

සුද්ධාවාසේසුචාහං ශාරිපුත්ත
දේව්සු උප්පත් දෙයියං
න ඉමං ලෝකං පුනරා ගච්ඡයියං

මෙහි අදහස, “ශාරිපුත්තයෙනි (සැරියුත් තෙරනුවනි), සුද්ධාවාසයෙහි (ඉහළ බඹලෝකවල) හැර මම නොඉපදුන තැනක් නැත.” යන්නයි. එනම් සුද්ධාවාස (පංචම ධ්‍යාන) බඹ ලෝකවල හැර අප මහ බෝධිසත්වයන් වහන්සේ සක්වළ අන් හැම තැනකම උපත ලබා ඇති බවයි.

‘සුද්ධාවාස’ යනු සක්වළෙහි මුහුණයි. බුදුබව පතන බෝසතුන් එබඳු තැන්වල උපදින්නේ නැහැ. ඒකට හේතුව, සුද්ධාවාසවල උපත ලැබුවාම නිවන් දැකීම සිදුවීමයි. අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සී හා අකණිට්ඨක වශයෙන් ‘සුද්ධාවාසය’ ඉහළ ම බ්‍රහ්ම ලෝක පහකින් සමන්විත වෙනවා.

සාකච්ඡා සටහන – චාමික මුණසිංහ (B. A. (Hon), M. A.)


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: