Posted by: lrrp | February 16, 2013

අන්තරාභවය ධර්මයට එකඟ වූවක් ද?

අන්තරාභවය පිළිබඳ ථෙරවාදි මතය විමසා බැලීමේදී එබඳු සංකල්පයක් පිළිබඳ ථේරවාදි බුදුදහම තුළ එකහෙලාම විස්තර නොවන බව පළමුව සිහිපත් කළ යුතු ය. ඊට හේතුව අන්තරාභව සංකල්පයෙන් අදහස් කරන, එනම් මරණයත්, නැවත ඉපදීමත් අතර පැවැත්මක් ථේරවාදීන් නො පිළිගන්නා හෙයිනි. ථෙරවාදි අභිධර්මයට අනුව සත්වයාගේ චුතියේ දී ඔහු තුළ පැවැති සිත, නිරුද්ධ වීමෙන් අනතුරු ව මානසික බලවේගයට හා සම්බන්ධ වූ කර්ම ශක්තිය නැවත විඤ්ඤාණයක් පහළ කරයි. දෙවන භවයකට මග පාදනුයේ එකී විඤ්ඤාණමය ශක්තිය යි. පූර්වභවයේ චුතියක් දෙවන භවයේ පිළිසිඳ ගැනීමත් අතර කාලය ඇසිපිය හෙළන කාලයකට වඩා වැඩි කාල පරතරයක් නො තිබිය යුතු ය යන්න බව ථෙරවාදී මතය යි

මෙම සාකච්ඡාවේ දී අපගේ අවධානය යොමු වන්නේ අන්තරාභව සංකල්පය පිළිබඳව ථෙරවාදී අදහස් විමසා බැලීම සම්බන්ධවය. එහිදී පෙළ දහමෙහි සඳහන් අන්තරාභව සංකල්පය පිළිබඳ තොරතුරු ලබාගත හැකි සූත්‍ර කිහිපයක් පිළිබඳව විශේෂ අවධානය යොමුකරනු ලැබේ.

ප්‍රශ්නය – අන්තරාභවය ථෙරවාදී බුදුදහම තුළ අර්ථවත්ව ඇත්තේ කෙසේ ද?

අන්තරාභවය පිළිබඳ ථෙරවාදි මතය විමසා බැලීමේදී එබඳු සංකල්පයක් පිළිබඳ ථේරවාදි බුදුදහම තුළ එකහෙලාම විස්තර නොවන බව පළමුව සිහිපත් කළ යුතු ය. ඊට හේතුව අන්තරාභව සංකල්පයෙන් අදහස් කරන, එනම් මරණයත්, නැවත ඉපදීමත් අතර පැවැත්මක් ථේරවාදීන් නො පිළිගන්නා හෙයිනි. ථෙරවාදි අභිධර්මයට අනුව සත්වයාගේ චුතියේ දී ඔහු තුළ පැවැති සිත, නිරුද්ධ වීමෙන් අනතුරු ව මානසික බලවේගයට හා සම්බන්ධ වූ කර්ම ශක්තිය නැවත විඤ්ඤාණයක් පහළ කරයි. දෙවන භවයකට මග පාදනුයේ එකී විඤ්ඤාණමය ශක්තිය යි. පූර්වභවයේ චුතියක් දෙවන භවයේ පිළිසිඳ ගැනීමත් අතර කාලය ඇසිපිය හෙළන කාලයකට වඩා වැඩි කාල පරතරයක් නො තිබිය යුතු ය යන්න බව ථෙරවාදී මතය යි.

අන්තරාභවයක් පිළිබඳ නිශ්චිත කරුණු ථෙරවාදී ත්‍රිපිටකය තුළ එලෙසින්ම සොයා ගත නොහැකි වුවද, ඒ පිළිබඳ සිතීමට යොමුකරන අවස්ථාවන් බොහෝමයක් අපට සොයාගත හැකිය. පුද්ගලයෙකුගේ මරණින් මතු පැවැත්ම පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කරන ඛුද්දකනිකායට අයත් තිරෝකුඩ්ඪ සූත්‍රය එවැනි අවස්ථාවකි.

තිරෝකුඩ්ඪෙසු තිට්ඨන්ති
සන්ධිසිංසාටකේසු ච
ද්වාරඛාහාසු තිට්ඨන්ති
ආගන්ත්වාන සකං ඝරං

මෙයින් පැවසෙන්නේ මියගිය අය දින කිහිපයක් යන තෙක් තමා ජීවත් වූ නිවස වෙත පැමිණ නිවස ආශි‍්‍රත මංසන්ධි දොරබිත්ති එපිට ආදි ස්ථානයන්හි සැරිසරන බවයි. මේ සැරිසැරීම කෙසේද යන්න (වෙන ආත්මයක් ලැබ හෝ වෙනත් ස්වරූපයකින්) පිළිබඳ ස්ථිර නිගමයක් නැත. එහෙත් මේ හැසිරීම වෙනම ආත්මයක් ලැබ කරන හැසිරීමක් නොව තමා පෙර සිටි වෙසින්ම අන්‍යයන්ට නොපෙනෙන වේශයකින්ම හෙවත් මනෝමය ශරීරයකින් කරන හැසිරීමක් විය යුතු ය. එය මියගිය පුද්ගලයා මරණයත් නැවත ඉපදීමත් අතර ගත කරන කාලය යි.

පෙළ සාහිත්‍යයේ දී අපට “අන්තරාභව” යන වචනය එලෙසම හමුනොවන අතර ‘අන්තරාපරිනිබ්බායි” යන වචනය හමු වේ. මෙම වචනයෙන් අර්ථවත් වන්නේ අනාගාමී පුද්ගලයෙකි.අනාගාමී පුද්ගලයාගේ ස්වභාවය නැවත උප්පත්තියක් කරා නොපැණීම යි. ඊට හේතුව එම පුද්ගලයා නැවත ඉපදීමක් ලැබීමට හේතුවන ඕරම්භාගිය සංයෝජන (දස සංයෝජනවල මුල් පහ) ප්‍රහීණ කර ඇති නිසා ය. එය අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ සංයෝජන පුග්ගල සූත්‍රයේ මෙසේ දැක්වෙයි.

“කතමස්ස, භික්ඛවේ, පුග්ගලස්ස, ඕරම්භාගියානි, සංයෝජනානි, පහීනානි, උප්පත්තිපටිලාභියානි සංයොජනානි පහීනානි, භවපටිලාභියානි , සංයොජනානි අප්පතිනානි ? අන්තරාපරිනිබ්බායිස්ස, ඉමස්ස ඛො භික්ඛවො. පුග්ගලස්ස ඔරම්භාභීයානි, සංයෝජනානි පහීනානි, උප්පත්තිපටිලාභියානි සංයෝජනානි පහීනානි,භවපටිලාභියානි සංයෝජනානි අස්සභිනානි”

මෙයින් අර්ථවත් වන්නේ ඔරම්භාගිය සංයෝජන ප්‍රහීණ කළ පුද්ගලයාගේ ස්වභාවයයි. එනම් ඔහු උප්පත්තිය සඳහා හේතුවන සංයෝජන ප්‍රහීණ කොට ඇත. එහෙත් භව පටිලාභය සඳහා හේතුවන සංයෝජන ප්‍රහීණකොට නැත. මෙය අන්තරා පරිනිබ්බායි පුද්ගලයාගේ ස්වභාවයයි.

මේ පුද්ගලයා නැවත උප්පත්තියක් සඳහා හේතුවන සංයෝජනයන් ප්‍රහීණ කළ නිසා නැවත උප්පත්තියක් නොලබයි. එහෙත් මෙහි දී ඔහු ලබන භවයක් පිළිබඳ කියවෙයි. එනම් භව ප්‍රතිලාභය සඳහා හේතුවන සංයෝජන ප්‍රහීණ නොකළ ‘ යන්නයි. මෙයින් අදහස් කරන්නේ උප්පත්තියක් නොලබන භවයක් පිළිබඳවයි.

එම භවය අන්තරාභවය විය යුතුය. එයට සාධක වශයෙන් පටිච්චසමුප්පාදයේ ‘භව පච්චයා ජාති’ යන්නෙන් භවය ජාතියට පූර්ණ අවස්ථාවක් ලෙස සිතීමට හැකි ය.

මේ පිළිබඳ තවත් විස්තර විමසීමේ දී බුදුරජාණන් වහන්සේ හා වච්චගොත්ත පිරිවැජියා අතර ඇතිවූ ධර්ම සාකච්ඡාවක් වශයෙන් විස්තරවන සංයුත්ත නිකායේ අව්‍යාකත සංයුත්තයට අයත් කුතුහලසාලා සූත්‍රය උපයෝගී කරගත හැකි ය. එහි එන සඳහනක් මෙසේය.

“යස්මිං ඛො, වච්ඡ, සමයෙ ඉමඤ්ච කායං නික්ඛිපති සත්තො ච අඤ්ඤතරං කායං අනුපපන්නො හොති, තමහං කණ්හුපාදානං වදාමි.”

මෙයින් අර්ථවත් වන්නේ මේ කය අතහැර වෙනත් කයකට නො පැමිණි සත්වයා තණ්හාව උපාදානකොට පවතින බවයි. එක් කයක් අතහැර වෙනත් කයකට නො පැමිණි පුද්ගලයා ජීවත් වන්නේ කුමන අවස්ථාවක ද යන්න ප්‍රශ්නයකි.මෙසේ එම පුද්ගලයා තණ්හාව උපාදාන කොට පවතින්නේ අන්තරාභව අවස්ථාවේ යැයි ගැනීම සාධාරණය.

අන්තරාභවය පිළිබඳ කථාවත්ථු අටුවාවේ එන විස්තරයද තරමක් ගැටලු සහිත ය. කථාවත්ථුව වූකලී අභිධර්ම පිටකයට අයත් කෘතියි. එහි කර්තෘවරයා වන්නේ මොග්ගලීපුත්තතිස්ස මහ රහතන් වහන්සේ ය. එහි අටුවාව රචනා වන්නේ ක්‍රිස්තු වර්ෂ පස්වන සියවසේදී පමණ බුද්ධඝෝෂ හිමියන් අතිනි. එහි සඳහන් වන්නේ මියගිය පුද්ගලයෙකුගේ නැවත ඉපදීම ඉතා කෙටිකලකින්ම සිදුවන බව යි.අන්තරාභවයක් නොපිළිගන්නා බව තරයේම සඳහන් වෙයි.මෙයින් පැහැදිලි වන්නේ කථාවත්ථුව රචනාවන කාලවකවානුවේ දී ද අන්තරාභවය පිළිබඳ විවිධ මතවාදයන් තිබුණූ බව යි. පරවාදින් විසින් නගා ඇති ප්‍රශ්නවලින් ඒ බව පැහැදිලි වෙයි. එහි සඳහන් පරවාදින් නැගූ ප්‍රශ්නයක් මෙසේය.

අන්තරාභවෙ අත්ථි රූපං වේදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණන්ති?”

එහි අර්ථය වන්නේ, අන්තරාභවයෙහි රූපං වෙදනා සඤ්ඤා සංඛාර විඤ්ඤාණ ඇද්ද? යන්නයි.

එයට ථෙරවාදීන්ගේ පිළිතුර වන්නේ,

නහේවං වත්තඛ්ඛේ…..රූපාදිවසේන පුට්ඨෝපි යස්මා අන්තරාභව සත්තන්ත අනිදස්සනං රූපං වේදනාදයෝපි අඤ්ඥේසං ඒත න ඕලාරියානි තස්ස ලද්ධි තස්මා පටික්ඛිපති ” යන්න යි.

මෙහි තේරුම වන්නේ එසේ නොවිමසිය යුතු ය. අන්තරාභවිකයාට රූපාදී ඉන්ද්‍රියන් නොමැත. නමුත් එසේ කියනුයේ රූපාදී ඉන්ද්‍රියන් නොමැති නිසා නොව, අන්තරාභවිකයාට රූපාදි ඉන්ද්‍රියන් ඇතත් ඒවා සෙසු සත්වයන්ගේ මෙන් ඕලාරික නොවන නිසාය යන්න යි.

මේ අනුව බලන විට අන්තරාභව යන සංකල්පය බොහෝ ඈත සිට එනම් කථාවත්ථුව රචනා වන යුගයේ සිට විවාදයට බදුන් වූවක් බව පැහැදිලි වෙයි. එබැවින් මේ සඳහා ස්ථිර පිළිතුරක් දියනොහැකි වූවත් ථෙරවාදී ත්‍රිපිටක තුළ අන්තරාභවය විස්තර කිරීමට අවශ්‍ය සාධක තිබෙන බව නම් පැහැදිලි ය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ
හිටපු, කථිකාචාර්ය
අස්ගිරි මහාවිහාර පිරිවෙනෙහි ආචාර්ය,
ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත
මහරැඹෑවැවේ පාලිත හිමි


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: