Posted by: lrrp | February 16, 2013

දුර්ගුණ වැඩි වන විට සොබාදහමද මිනිසාට එරෙහි වෙනවා

එක් අවස්ථාවක අනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගෙන් මෙසේ විමසූහ.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස! ඔබ වහන්සේ ගේ ධර්මයෙන් හරි අඩක් ම මිත්‍රත්වය මතම රඳා පවතිනවා නේද?”

එවිට තථාගතයන් වහන්සේ,

“ආනන්දය! හරි අඩක් නොව මුළු බුදු දහමම මිත්‍රත්වය මතම රඳා පවතින්නේ ය” යි පිළිතුරු දුන්හ. ඒ අන් කවරක් නිසා හෝ නොව බුදු දහමෙන් අපට උගන්වන්නේ මෛත්‍රියම වන බැවිනි.

මෛත්‍රිය යනු මිතුරුකමයි.

නිට්ටඹුව සාරිපුත්ත අධ්‍යාපන

විද්‍යා පීඨාධිපති

කොටගම වාචිස්සර හිමි

‘මිත්තස්ස සභාවා මෙත්තා’ මිත්‍රයා ගේ ස්වභාවය මෛත්‍රිය යැයි ධර්මයේ සඳහන් ය. බුදු දහම ලෝකයට මිතුරුකම උගන්වන ආගමකි. සාමයට, මෛත්‍රියට ආමන්ත්‍රණය කරන අතර තරහව, ක්‍රෝධය, වෛරය පිටුදකී.

බුදු දහම අවධාරණය කරන්නේ හැම දෙනාටම මිතුරු වීමටයි. ජීවී අජීවි සියල්ලටම මෛත්‍රී සහගත වන ලෙසයි. ඒ මෛත්‍රී සහගත සිතිවිලි ඔබ ගේ ජීවිතයේ සතුට රඳා පවත්වා ගැනීමට අත්‍යවශ්‍ය කරන සාධකයකි. පවුලක, සමාජයක, ගමක, රටක සාර්ථකත්වය රඳා පැවතීමට නම් එහි ජීවත්වන සාමාජිකයින් සතුටින් ජීවත් විය යුතුය. ඒ සතුට ළඟා කර ගත හැකිවන්නේ ද ඔබටමය.

බෞද්ධ සමාජය මෛත්‍රිය සමාජයකි. තිසරණ සරණ ගිය බෞද්ධයා ගේ දෑත සෑම මොහොතකම දිගු කළ යුතු වන්නේ සමගියටය. මිතුරුකමට ය. මේ නිසා බුදු දහම අසන, දරන, පිළිපදින හැම මෙත් සිතිවිලිවලින් යුතු අය විය යුතුය. ලෝබ, දෝෂ, මෝහාදී අකුසල සිතිවිලිවලට මතු වන්නට ඉඩ නොදී ඒවා යටපත් කොට හික්මවමින් සිටින අය විය යුතුය. අප සිතෙහි නරක නපුරු ගති ඇති වන්නේ ආත්මාර්ථකාමී වීමෙනි. නපුරු ගති ඇති අය සිටිනා සමාජය ද කුරිරු වේ.

ආත්මාර්ථකාමී අදහස් බැහැර කොට පරාර්ථකාමී ගුණ ඇති කර ගත හැකි වන්නේ ආගම දහමින් ශික්ෂණය ලැබු අයටය. ආගම දහමින් ශික්ෂිත පුද්ගලයා මෙත්තා කායකම්ම, මෙත්තා වචීකම්ම, මෙත්තා මනෝකම්ම කිරීමට උනන්දු වේ. තමාටත්, තමා අවට වෙසෙන ජීවී අජීවී සමස්ත පරිසරයටත් හිතකාමී, සංවේදී අයකු වන්නේ එබඳු පුද්ගලයා ය. මේ නිසා කුඩා කල සිටම දරුවන් ආගමට, දහමට නැඹුරු කරවීම මවුපියන් ගේ යුතුකමකි. එය දරුවන් ගේ අධ්‍යාත්මික සංවර්ධනය වෙනුවෙන් කරන වෑයමකි.

අද අපේ සමාජයේ ගුණ දහම් උඩු යටිකුරු වී තිබෙන්නේ මිනිසුන් ඔවුනොවුන් කෙරෙහි පැවතිය යුතු හිත මිතුරු බව නොමැති නිසාය. මවුපියන් දූ දරුවන්ටත්, දූ දරුවන් මවුපියන්ටත්, ස්වාමියා බිරියටත්, බිරිය ස්වාමියාටත් ආදී වශයෙන් වන සමාජීය කණ්ඩායම් සැබෑ හිත මිතුරන් නොවන නිසාය.

මිනිසුන් කෙරෙහි දුර්ගුණ පහළ වන විට සොබා දහම පවා මිනිසාට එරෙහි වන බව බුදු දහමේ විස්තර කැරේ. සොබා දහමින් මිනිසාට ලැබුණු සියලු සැප පහසුකම් සියල්ල අතුරුදන් වන්නේ තෘෂ්ණාව මුල්කොට ඇති වූ නරක ගති නිසා බව අග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන් වේ. මිනිසා ප්‍රාණ ඝාතා දී අකුසල කර්මයන්ට වඩ වඩාත් නැඹුරු වෙත් ම ආයුෂ හරි අඩකින්ම අඩු වන බව, අවසානයේ පරාමායුෂ අවුරුදු දහයකට, පහළොවකට පමණක් සීමා වන බවත් දීඝ නිකායේ චක්කවත්තී සීහනාද සූත්‍රයේ කියැවේ. එහි සඳහන් වන ලෙස මවට පියාට, භික්ෂුන් වහන්සේට, තථාගතයන් වහන්සේට ගරු නොකරන ඔවුන් වෙසෙන සමාජය මොනතරම් පිරිහේ ද යත් තිරිසන් සතුන් ගේ ස්වභාවයට පත්වන බවත් පෙනේ. මේ අනුව මිනිසුන් කෙරෙන් මෛත්‍රී සිතිවිලි දුරස් වීමෙන් සිදුවන සමාජමය බිඳ වැටීම කොතරම් දැයි සිතා ගැනීම අපහසු නොවේ.

ඔබ මෙන්ම ඔබ අවට ජීවත්වන අය, සමස්ත මානව සංහතියම, තිරිසන් සතුන්, පක්ෂීන් මේ සියලු දෙනාම සතුටින් නිදහසේ ජීවත් වීමට කැමති ය. ගහ කොළ ද නිදහසට පි‍්‍රය කරන බව ඉරියව් දැක්වීමෙන් පෙනේ. මිනිසා අන් සතුන්ට වඩා නිදහස සතුට පි‍්‍රය කරන බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට ඇත. ඔහු ජීවත් වීමට වඩාත් සුදුසු ප්‍රදේශයක් සොයන්නේ එහෙයිනි. එහෙත් පතිරූපදේශ වාසය ඉබේ ගොඩ නැඟෙන්නක් නොවේ. එය නිර්මාණය වන්නේ මිනිසුන් ගේ සුන්දර වූ ගති පැවතුම්, ඉරියව් හා සිතුම් පැතුම් නිසා ය. එනම් මනුෂ්‍ය සමාජය මෛත්‍රී සහගතව දිවි ගෙවන්නේ නම් අපහසුවකින් තොරවම පතිරූපදේශයක් (ජීවත් වීමට වඩාත් සුදුසු පරිසරයක්) ගොඩ නැඟේ.

මෙත් වැඩීමේ අනුසස් එකොළහක් ගැන මෛත්තානිසංස සූත්‍රයේ සඳහන් ය. මෙත් වඩන පුද්ගලයා සුවසේ නිදන්නේ ය, සුව සේ පිබිදෙන්නේ ය. නරක සිහින නොදකින්නේ ය. මිනිසුන්ට පි‍්‍රය වන්නේ ය. අමනුස්සයනට ද පි‍්‍රය වන්නේ ය. දෙවියන් විසින් රකින්නේ ය. ගින්නෙන්, වස විසෙන් හා ආයුධවලින් පීඩාවක් නොවන්නේ ය. වහා සිත එකඟ වන්නේ ය. මුහුණ පැහැපත් වන්නේ ය. නොමුළාව කලුරිය කරන්නේ ය. මේ ආත්ම භවයෙහි දී රහත් වීමට නොහැකි වී නම් මරණින් පසු බ්‍රහ්ම ලෝකයෙහි උපදින්නේ ය ආදී වශයෙනි. මේ සියලු අනුසස් ලැබෙන්නේ මෙත්තා චේතෝ විමුක්තියෙනි. එනම් මෛත්‍රී ධ්‍යානයෙනි.

අනුන්ට දුකක් නොවෙනවාට, සැප ඇති වෙනවාට, යහපතක් වනවාට, අනුන් ගේ හොඳ අදහස් ඉටු වෙනවාට කැමති අය අප සමාජයේ විරලය. උදේ හවස පන්සල් යන, මල් පහන් පුදා තෙරුවන් නමදින අය ද ඒ අතර වෙති. ඒ තෙරුවන් පිළිබඳ සැබෑ ශ්‍රද්ධාවක් නොවූ අයය. සැබෑ ලෙසම තිසරණ සරණ ගිය බෞද්ධයා සැමගේම යහපත ප්‍රාර්ථනා කරන්නේ ය. සමාජය ගුණ දහමින් පිරිහෙන්නේ අනුන් ගේ සැපත පි‍්‍රය නොකරන, අනුන් නොරුස්සන, ඊර්ෂ්‍යා සහගත පුද්ගලයන් නිසාය.

මෛත්‍රී වඩන පුද්ගලයාට අප ගේ ශාස්තෘන් වහන්සේ, තථාගත බුදු පියාණන් වහන්සේ ගේ චරිතය ආදර්ශයට ගත හැකිය. බෝධි සත්ත්ව චරිත ආදර්ශයට ගත හැකිය. බෝසතාණන් වහන්සේ මෛත්‍රිය පාරමිතාවක් සේ පුරන අවස්ථාවේ එය සම්පූර්ණ කරන ලද්දේ මෙසේ ය. “මම ලොව කිසිවකුට සතුරු නොවෙමි. මම ලොව හැම දෙනා ගේම මිතුරෙක් වෙමි. හිතවතෙක් වෙමි. හැමෝටම උපකාර කරන්නෙක් වෙමි.” ආදී ලෙසින් සිතූ උන්වහන්සේ ගේ ක්‍රියා කලාපයෙන් ලොව හැම දෙනාම තමා ගේ ම අය ලෙස සිතූ වග පෙනේ. අනුන්ට නින්දා, අලාභ හානි, දුක් කරදර නොකළ අතර අනුන්ට ඒවා පැමිණි කල තමාට සිදුවූ විපතක් සේ සැලකූහ. අනුන් තමන් වහන්සේට අලාභ හානි, නින්දා – කරදර පීඩා ආදිය කළ විට ඉවසා වදාළහ. මේ ලෙසින් බෝසත් සිරිත හා බුදු සිරිත අප ගේ ජීවිත සකසා ගැනීමට ආදර්ශන කර ගත හොත් ජීවිතය මෙන් ම ලෝකය ද සුන්දර වනු ඇත. දැහැමි වනු ඇත.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: