Posted by: lrrp | February 16, 2013

මං බත් හැළියට වැලි දැම්මා පුළුවන්නම් කාපල්ලා

මිනිසා මරණාසන්න අවස්ථාවේ තමන්ට අයිති සම්පත් පිළිබඳ ආශාවෙන්, ඒවා සිහිපත්ව, මරණයට පත් වුවහොත් ඔහු හෝ ඇය ඒ සම්පත්වලට ලොබ බැඳ ඊළඟ උපත ලබයි, එසේ ම දරුවෝ ද තමන් ගේ ජීවිතය ගොඩ නගා දුන් මව් පිය වැඩිහිටියන් මරණයට පත් වූ පසු රටේ පවතින චාරිත්‍ර සම්ප්‍රදායට අනුව හත් දවසේ, තුන් මාසයේ හා අවුරුද්දේ පින්කම් ඉටු කොට ඉන් එහාට උනන්දු නොවෙති. වර්තමාන සමාජ රටාව අනුව දූ පුතුන්ට රාජකාරි හෝ ව්‍යාපාරික ප්‍රශ්න නිසා කාර්ය බහුලය. දූ දරුවන්ගේ හා ඥාතින්ගේ සමාජ යුතුකම් ඉටු කරන්නට යෑමට ද මිනිසුන්ට කාලය ප්‍රශ්නයක් වී ඇත. ජීවත්වීම සඳහා දුවනවා මිසක මළගිය අය සිහිපත් කරන්නටත් කාලයක් බොහෝ දෙනෙකුට නැති බව සැබෑය. එහෙත් එය ප්‍රශ්නයට පිළිතුරක් නොවේ.

ආරියපාල ජයසිංහ මහතා කොලොන්නාව ප්‍රදේශයේ පදිංචි හැත්තෑ හැවිරිදි ව්‍යාපාරිකයෙකි. ඔහුගේ නිවස තුළ මාස තුනක පමණ කාලයක සිට දරා ඉවසන්නට බැරි තරම් දුර්ගන්ධයක් පැතිරෙන්නට විය. ගෙදර බඩු මුට්ටු එහාට මෙහාට අදින පෙරළන ශබ්ද ඇසෙන්නට විය. ඔහුගේ බිරියත් දරුවනුත් නිතර අසනීප වෙන්නට වූහ. ඔහුගේ බිරිය ශාන්ති හොඳට ඇඳ පැලඳ ගමනක් ගියොත් ආපසු පැමිණි විට එදා රාත්‍රි ඇඟ සීරී ලේ ගලන්නට විය. ඊට අමතරව ජයසිංහ ගේ මව ගේ ඡායාව මේ නිවස තුළ එහා මෙහා ගමන් කරනු ජයසිංහ ගේ බිරියට පෙනෙන්නට විය. මේ වන විට ජයසිංහ ගේ මව සාමවතී මිය ගොස් අවුරුදු විස්සකටත් වැඩිය. ගත වූ මාස තුන ඇතුළත තොවිල් තුනක් සිදු කළත් කිසිම සහනයක් නොවූවා පමණක් නොව අවසාන තොවිලය කරද්දී ම ඇදුරා මැරී වැටී තිබුණි. ඉන් පසු මේ ගෙදර ශාන්ති කර්මයක් කරන්නට එන්නට පවා ඇදුරෝ බිය වූහ. ප්‍රතික්ෂේප කළහ.

අවසානයේ “සිළුමිණ” පත්‍රයේ “පියවි ඇසින් ඔබ්බට” විශේෂාංගය කියවා තොරතුරු සොයා ගෙන ජයසිංහත්, බිරියත්, දරුවෝත්, ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයා ගෙන ගියහ. ඒ වෙද්දී ද ජයසිංහගේ බිරිය ශාන්ති ඉතා ම දුර්වලව සිටියාය. ඇගේ ශරීරය තුළ භූත බලවේගයක් ක්‍රියාත්මක වන බව දැනගත් ගවේෂකවරයා ශක්ති ශරීරය ශක්තිමත් වන තුරු බෝධි පූජා විසි එකක් පවත්වා නැවත එන ලෙසත්, ඒ බෝධි පූජාවට පවුලේ සියලු දෙනා ම පිරිසිදුව, ශ්‍රද්ධාවෙන්, සහභාගි විය යුතු බවටත් උපදෙස් ජන්නේය.

බෝධි පූජා පවත්වා ඊළඟ නියමිත දිනයේ ජයසිංහ පවුලේ පිරිස නැවතත් පැමිණියහ. එදින ශාන්ති ප්‍රලය වූවාය. බොහෝ ම සැර පරුෂ බවක් පෙන්නුම් කැරිණි.

“කව්ද මේ?”

“මම ග්‍රේස්”

“ග්‍රේස් කියන්නේ කව්ද?”

“මේ ජයසිංහගෙ අම්මා, මට යන්න කියන්න එපා. කිව්වට මම යන්නෙත් නෑ.”

“අනේ! කව්ද ඔබ තුමියට යන්න කිව්වෙ? මම එහෙම කිව්ව ද?”

“මේ… මේ… ඔය බොරු එපා. මට තේරෙනවා ලැහැස්ති වෙන කොට. මගේ ගෙදරින් මාව එළවන්න කාටවත් බෑ. මම යනවා නම් යන්නේ මුන් ඔක්කොමත් නැති කැර ගෙන.”

මේ යක්ෂණිය ඉතා සැර පරුෂ බවත්, හොඳින් ම පාලනය කළ යුතු බවත් වටහා ගත් ගවේෂකවරයා ශාන්ති ගේ ශරීරයෙන් භූතාත්මය ඉවත් කොට සාකච්ඡා කළේය. පදිංචියේ පරිසරය, පවුලේ දිවා චරියාවන් හා පුරුදු ආහාර පාන ආදී විස්තර දැන ගෙන උපදෙස් දුන්නේ ය. නිවසේ මස්, මාලු, කරවල, උම්බලකඩ පවා භාවිත නොකළ යුතු බවත්, තෙල් බැඳුම් කිසිවක් නුසුදුසු බවත්, පපඩම් පවා නුසුදුසු බවත්, එයින් අමනුෂ්‍ය බලවේගය තව තවත් ශක්තිමත් වන බවත් වටහා දුන්නේ ය. තවත් දින දහහතරක් ඉතා පිරිසිදුව හා ශ්‍රද්ධාවෙන්, බෝධි පූජා පවත්වා නැවත පැමිණෙන ලෙස දැනුම් දුන්නේය. බෝධි පූජා පැවැත්විය යුතු ආකාරයත්, එහි දී සජ්ඣායනා කළ යුතු සූත්‍ර ධර්ම පිළිබඳවත් විස්තර කළේය.

ඒ නියමිත පිළිවෙත් ටික ද ඉටු කොට ඔවුන් නැවතත් පැමිණියහ. එදින ද ග්‍රේස් නෝනා ගේ භූතාත්මය ශාන්ති තුළින් ප්‍රලය විය.

“ආ… ග්‍රේස් නෝනා කොහොම ද?”

“හොඳයි. හැබැයි යන්න නම් අදහසක් නෑ”

ඇයි මේ තරම් ලොකු තරහක්?”

“මුන් මගේ බඩු පාවිච්චි කරනවා”

“ඉතින් මොකද තමන්ගෙම දරුවො නේද?”

“මුන් මට පින් දුන්නෙ නෑ”

ඔය බොරු. අපි දානෙ දීලා පින් දුන්නා” යි ජයසිංහ කීවේය.

“අනේ! අනේ! උඹලා මට පින් දුන්නා නේද? අනේ මන්ද මට නම් මුන්ගෙ පිනක් ලැබුණෙ නෑ.”

“ඇයි තමුන්ට පින් නොලැබුණේ?” යි ගවේෂකවරයා ඇසීය.

“ඇයි මහත්තයා මුන්ගෙ පින් මට ලැබෙන්නේ කොහොම ද? පින්කම අරමුණු කරගත් වෙලාවෙ ඉඳලා මේ ලේලි මට බණිනවා. මේ මළ වදේ, මේ ගෑනි මැරිලත් අපට කරදර කරනවා කියලා බැන බැන තමයි වැඩ කරන්නේ. ඉතින් ඒක පිනක් වෙන්නෙ කොහොම ද?”

“ඔය අමනාප හිතින් අතහැර දමමු.”

“හිතින් අතඅරින්න? මගේ ම ගෙදර ඉන්න මාව පන්නන්න ඇදුරො අරගෙන ආවා. මුන් තොවිල් තුනක් කළා. හොඳ ගාණක් වියදම යන්න ඇති. හිඞ… හිඞ… හී… අන්තිම එකාට මම වැඩේ දුන්නා.”

“කාට ද?”

“ඇදුරාට”

“මොනව ද කළේ?”

“ඌ තොවිල් පොළේම මැරුවා.”

“ඊට පස්සෙ මොනවද කළේ?”

“මහත්තයා මා බලවත් කෙනෙක්. මට විශාල ශරීරයක් තියෙනවා. බඩු භාණ්ඩ සොලවන්න, පෙරළන්න පුළුවන්. ඒ තොවිලෙන් පස්සෙ මුන්ගෙ බත් හැළියට වැලි දැම්මා. පුළුවන් නම් කාපල්ලා කියලා.”

“ඇයි මෙතනින් යන්න අකැමැති?”

“මුන් මගේ බඩු පාවිච්චි කරනවා. ලේලි මට බැණ බැණ මගේ රත්තරන් ආභරණ පලඳිනවා.

බලන්න එපාය ඒවත් ඇඳගෙන කුමාරිහාමි වගේ යන කොට. හරියට ඒකි ගෙදරින් ගෙනාපු ඒවා වගේ. ඉතින් මට කේන්ති යනවා.”

“හොඳයි, තමුන් මේ අයත් එක්ක බෝධි පූජාවලට ගියා නේද?”

“ඔව් ඒ වගේ තැන්වලදි ටිකක් හිත නිවෙනවා.”

“ඔයිටත් වඩා හොඳ පැරණි සිද්ධස්ථාන තියෙනවා”

“කොහේද?”

“අනුරාධපුරේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වගේ සිද්ධස්ථාන.”

“සාදු! සාදු!! මට මතකයි. මට මතකයි. මම එක දවසක් ජයසිරි මහ හාමුදුරුවන් ළඟ සිලුත් සමාදන් වුණා.”

“මම ඔබට යෝජනා කරනවා එතැනට යන්න කියලා.”

“මම යන්නම්. හැබැයි ලේලි මගේ රත්තරන් බඩු ටික ආයෙත් පාවිච්චි කළොත් මට ආපහු එන්න හිතේවි.”

“හොඳයි ඒවා විකුණලා පින්කම් කළොත්?”

“සාදු! සාදු!! ඒක හොඳා”

ජයසිංහ මහතා ද ඊට එකඟ විය. දැනට තොවිල්වලට විශාල මුදලක් වැය කළත් වැඩක් නොවූ නිසාත් තවදුරටත් දුක් විඳින්නට බැරි නිසාත් අම්මාගේ රත්තරන් බඩු වලින් අම්මාට පින් දෙන්නට කුසල් කරන්නට ඔහු කැමති විය.

ඒ රත්තරන් බඩු ටික විකුණා නැවත පැමිණෙන ලෙස උපදෙස් දුන්නේය. රත්රන් බඩු ටික විකුණා ලක්ෂ අටක මුදලක් ලබා ගත් බව ජයසිංහ මහතා ඊළඟ සතියේ පැමිණ කීවේය. එම මුදල වැය කොට විහාරස්ථානයක ගොඩනැගිල්ලක් ඉදිකොට මෑණියන්ගේ නම සඳහන් පුවරුවක් සවිකොට පින් අනුමෝදන් කොට එන්නැයි එදින උපදෙස් දුන්නේය.

ජයසිංහ මහතා ඒ පරිදි ප්‍රදේශයේ විහාරස්ථානයක චෛත්‍යයක් වටා අටවිසි බුදුවරුන් නමින් පිළිම තබා කුඩා බුදු කුටි විසි අටක් ඉදිකොට මෑණියන්ගේ නම සඳහන් කොට පූජා කළේ ය. තවත් එයින් මුදලක් ඉතුරු වී ඉන් ඝණ්ටාර කුලුනක් ද ඉදි කොට පූජා කළේ ය.

අනතුරුව නිවසට මහා සංඝ රත්නය වැඩමවා අටපිරිකර සහිත සාංඝික දානයක් පිරිනමා මියගිය මෑණියන්ගේ නම සඳහන් කොට පැන් වඩා පින් අනුමෝදන් කළහ.

මේ කටයුතු අවසන් කොට නැවතත් ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයට ආවේය.

“දැන් කොහොම ද ගෙදර තත්ත්වය?”

“දැන් නම් ලෙඩ දුක් කරදර ඉවරයි. මහත්තයට ස්තුති කරන්න යි ආවේ.”

“අපි ආයෙත් ටිකක් බලමු” යි ශාන්තිගේ ශරීරයට භූතාත්මය ගෙන්වීය.

“කව්ද මේ?”

“මහත්තයා මම ග්‍රේස්. මහත්තයලටත් පින්සිදු වේවා.”

“දැන් කොහොම ද?”

“දැන් සතුටින් සැනසිල්ලෙන් ඉන්නවා”

“දැන් කොහේද ඉන්නෙ?”

“ජය සිරි මහ හාමුදුරුවන් ළඟ ආවතේව කරනවා. මේ ආවෙත් එතන ඉඳලා. මට පැවරුණු වැඩ තියෙනවා. මම ඉක්මනින් යන්න ඕනෑ. මම යනවා” යි කියා යන්නට ගියාය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: