Posted by: lrrp | February 16, 2013

මේ මගේ පුතා මට පුතා අතෑරලා යන්න බෑ

“දැන් ඔය අධිමානසික ප්‍රතිකාර කියලා බොරු කරපු එක නතර කරන්න. ඕක මහා වැරදි වැඩක්. පාපයක්. තමන්ගෙ මැරුණු තාත්තටත් හිරිහැරයක්. අධිමානසික ප්‍රතිකාර කරනවා නම් යෝග භාවනා මඟින් සිත ශක්තිමත් කැරගෙන ඉන්න ඕනෑ. ඔය මොනව ද කරන්නේ. අසරණ වෙච්ච රෝගියෙක් ආවා ම තියෙන ලෙඩේ වැඩි කරන වැඩක් ඔය. කරුණාකර ඔය විකාර සෙල්ලම නවත්තන්න. නැත්නම් තාත්තා ආයෙත් ඒවි.”

බුදු දහමට අනුව රතන සූත්‍රය, කරණීය මෙත්ත සූත්‍රය, ආටානාටිය සූත්‍රය, මහා සමය සූත්‍රය ආදී සූත්‍ර හදාරන විට ලෝකයේ අමනුෂ්‍යයන් සිටින බවත්, ඒ අමනුෂ්‍යයන්ගේ ක්‍රියාකාරකම් නිසා මිනිසාට ලෙඩ රෝග පීඩා වැලඳෙන බවත්, පැහැදිලි වේ.

සමහරු ආධ්‍යාත්මික දේ පිළිබඳ වුවමනාවට වඩා අවධානය යොමු කොට සීමාව ඉක්මවා යෑම නිසා අවුල් ඇති කැර ගනිති. එපමණක් නොව නොදන්නා හපන්කම් කරන්නට ගොස් අනුන්ට ඇති ලෙඩ දුක් වැඩි දියුණු කැර දෙයි. මා දන්නා එක්තරා තරුණියක් සීමාව ඉක්මවා පුද පූජා තබමින් භාවනා කරමින් කටයුතු කළාය.

භාවනා කරනවා යැයි ඇය සිදු කැර ඇත්තේ සමථ භාවනාවෙන් කෙලෙස් යටපත් කිරීම වෙනුවට විශ්මිත දේ කරන්නට ලෙඩුන් සුවපත් කරන්නට අරමුණු කොට නැති බලයක් ඉල්ලා ඊට ම සිත යොමු කිරීම ය. එයින් සිදු වූයේ ඇගේ මියගිය ඥාති පේ‍්‍රතයෙක් ශරීරයට රිංගා ගැනීමය.

මේ තරුණියගේ ශරීරයට පේ‍්‍රතයා රිංගා ගත් පසුව මල් පහන් පූජා කරන විට ශරීරයේ වෙව්ලීම් ආදී වෙනස්කම් සිදු විය. තමාට විශ්මිත විශ්ව බලයක් ලැබී ඇතැයි ඇය සිතුවා ය. ඇගේ පියා අසනීප වී සිටින විට තමාට ඔහු සුවපත් කළ හැකි යැයි ඇය කටයුතු කරන්නට ගියත් පියා ඇගේ විකාර ප්‍රතික්ෂේප කළේය. එයින් නොනැවතුණු ඇය අසනීපයෙන් සිය මිතුරියක් සුවපත් කරන්නට ගියාය.

එයින් සිදු වූයේ අසනීපයෙන් සිටි ඒ අහිංසක මිතුරියගේ ශරීරය තුළට මැයගේ ශරීරගත පේ‍්‍රතයා රිංගා ගැනීම ය. රෝගය උත්සන්න වී මිතුරිය ගියා ය. ආධ්‍යාත්මික දියුණුව සඳහා යැයි කියමින් යහපත් ගුරූපදේශ රහිතව සීමාව ඉක්මවා යෑම ද මානසික රෝගයකි. මේ වැනි අය නිසා මානසික වෛද්‍යවරු ආධ්‍යාත්මික ප්‍රතිකාර පිළිබඳ උපහාසයෙන් කතා කිරීම ද පුදුමයක් නොවේ.

“භාවනා කිරීමෙන් කිසිවෙකු උමතු නොවේ. උමතු අය භාවනා කරන්නට යෑමෙන් ලෙඩ රෝග උත්සන්න කර ගන්නා අවස්ථා නම් ඇති විය හැකි යැ” යි වරක් අග්ගමහා පණ්ඩිත බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නාහිමියන් ද ප්‍රකාශ කැර තිබුණි.

හැට පස් හැවිරිදි ගුණසෝම කළුතර ප්‍රදේශයේ පදිංචි කරුවෙකි. ඔහු පුවත්පත් දැන්වීම් පවා පළ කරමින් අධි මානසික බලයක් ඇතැයි ප්‍රසිද්ධ කොට රෝගීන් සුවපත් කරන්නට යැයි පටන් ගත්තේ ය. ඔහු ළඟට ආ රෝගීන් කිසිවෙකු ඔහු සොයා ගෙන දෙවැනි වරට පැමිණියේ ද නැත. ඔහු හීනෙන් බිය වී අවදි වෙන්නට වූයේය.

ශරීරය අසාමාන්‍ය ලෙස පුෂ්ටිමත් වීම, බඩ පුරවා දැමීම වැනි ශාරීරික පීඩාවලින් පෙළෙන්නට විය. අවුරුදු විස්සක් තිස්සේ අනුන් සුවපත් කරන්නට කටයුතු කළ ඔහු තමන්ගේ අසනීපය සුවපත් කැර ගන්නට නොහැකිව ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයා ගෙන ආවේය.

පළමු දිනයේ ගවේෂකවරයා ඉදිරියේ ඔහු සිහි නැතිව ඇද වැටුණේ ය. ඔහුගේ ශක්ති ශරීරය අන්තයට පිරිහී ඇති බව දුටු ගවේෂකවරයා ඔහුට බෝධි පූජා විසි එකක් පවත්වා නැවත පැමිණෙන ලෙස නියම කළේය.

දෙවැනි දිනයේ ගුණසෝම ප්‍රලය වූවේය.

“අනේ! මට යන්න බෑ… යන්න නම් බෑ…” යි කියමින් අඬන්නට පටන් ගත්තේය. ගවේෂකවරයා ද ප්‍රශ්න කරන්නට පටන් ගත්තේය.

“කව්ද මේ අඬන්නේ?”

“මම… විල්බට්”

“කව්ද විල්බට් කියන්නෙ?”

“මේ ගුණසෝම ගෙ තාත්තා”

“කවදද විල්බට් මැරුණේ?”

“අවුරුදු විසි පහකට කලින්”

“ඇයි මේ පුතාගෙ ඇඟට රිංගා ගන්නෙ?”

“මම රිංගා ගත්තෙ නෑ”

“එහෙනම් කොහොමද රිංගුවේ?”

“ගුණසෝම අධිමානසික බලයෙන් රෝගීන් සුවපත් කරන්න ආසාවෙන් කටයුතු කළා. මේ වාද්දුව පැත්තේ කපුවෙකුට රුපියල් දහදාහක් දීලා වරමක් අරගෙන දෙන්න කිව්වා. කපුවා පේ‍්‍රත බන්ධනයක් කර දුන්නා. ඒ බන්ධනේට අහුවුණේ මම. අනේ මට යන්න නම් බෑ. මාව පන්නන්න එපා. දැන් මම පුතාගෙ ශරීරයට පුරුදු වෙලා ඉන්නේ. මට නම් යන්න බෑ…” යි නැවතත් අඬන්නට වූයේය.

“මට කරුණාකර කියන්න තමුන්ට මේ පුතාගෙ ශරීරය අතහැර යන්න බැරි හේතුව?”

“මේ මගේ පුතා. පුතා ම තමයි මට එන්න කිව්වේ. පුතා රුපියල් දහ දාහක් වියදම් කරලයි මා ගෙන්න ගත්තේ. මම දැන් ඉන්නේ මගේම පුතාගෙ ශරීරය ඇතුළේ. ඇයි මට යන්න කියන්නෙ?”

“මම තමුන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවා. තමුන් ඒ ප්‍රශ්නයට නෙමෙයි ඔය උත්තර දුන්නේ. මා රවටන්න හදන්න එපා. අහපු ප්‍රශ්නයට උත්තර දෙන්න.”

“මොකක්ද ප්‍රශ්නය?”

“මේ ශරීරය අතහැර යන්න බැරි හේතුව?” පේ‍්‍රතයා නැවතත් අඬන්නට පටන් ගත්තේය.

“ඉක්මනින් උත්තර දෙන්න. අපට තව වැඩ තියෙනවා. මොකද යන්න බැරි” යි කියමින් ගවේෂකවරයා වේවැල අතට ගත්තේය.

“කියන්නම්. කියන්නම්. ගහන්න නම් එපා.”

“එහෙනං ඉතින් කියනවා බලන්න”

“මහත්තයා. මම ජීවත්ව ඉන්දැද්දි පින් දහම් කළේ නෑ. අනුන්ට ඊර්ෂ්‍යා කළා. අඩි පුඩි ගැහුවා. සල්ලාලකම් කළා. අනුන්ගේ ලෙඩට දුකට පිහිට වුණේ නෑ. අනුන් දුක් විඳින කොට කරුණාවෙන් පිහිට වුණේ නෑ. ඉඩකඩම් දේපළ ගැන ම කටයුතු කළා විතරයි. අන්තිමේ වයසට ගිහින් මරණයට ළං වුණා ම අතපය වාරු නැති වුණා ම මරණ බය ඇති වුණා.

මරණෙන් පස්සේ කොහේ උපදී දැයි බයක් ඇති වුණා. නපුරු ශබ්ද ඇහුණා. නපුරු අමනුස්සයන් පෙනුණා. කරපු හොඳ දේවල් මතක් කළා. මතක් කළා. මතක් කළා මතක් වුණේ ම නෑ. තණ්හාවෙන් ඊර්ෂ්‍යාවෙන් කළ දේවල් ම යි මතක් වුණේ. හිතේ බය දෙගුණ තෙගුණ වුණා. අන්තිමේ මේ දුගතියේ උපන්නා. මා වගේ අය ලක්ෂ කෝටි ගණන් ඉන්නවා.

කන්න බොන්න දෙයක් නැතුව අනන්ත දුක් විඳිනවා. කෙළ ටිකක් සෙම ටිකක් දැක්කොත් ඒකට දහස් ගණනක් දුවගෙන යනවා. සමහරු එතනට දුවගන්න බැරුව අඬා වැලපෙනවා. තවත් දහස් ගණනක් ඒ කෙළ ටික ආහාරයට ගන්න නොලැබී අඬ අඬා ආපහු එනවා. කුණු ලේ ටිකක් සැරව ටිකක් ආහාරයට නැතුව ලක්ෂ ගණන් එක තැන දුක් විඳිනවා. ඉතින් මම කොහොමද පුතාව දාලා යන්නේ?

“ඒක තමයි මමත් අහන්නෙ? ඇයි නොයන්නේ කියලා?”

“අනේ මහත්තයා. මට අනුකම්පා කරන්න. මට යන්න නම් කියන්න එපා. මේ ශරීරෙන් පිටවෙලා ගියොත් මට කන්න බොන්න නැති වෙනවා. මම ජීවත්වෙන්නේ පුතාගෙ ලේවල සුවඳින්”

“ලේ සුවඳ ද?”

“අපට ලේ සුවඳ යි. පුතාවයි ගෙදර අයවයි රණ්ඩු කරවනවා. එතකොට පුතාගෙ ඇඟේ ලේ රත්වෙනවා. ඒ ලේ රත්වුණා ම එයින් සුවඳක් පිට වෙනවා. ඒ සුවඳයි මම ආහාරයට ගන්නේ?”

“තමුන් පිටවෙලා යන්න ඕනෑ. වෙන තැනකින් කන්න බොන්න හොයා ගන්න වේවි.”

“හොඳයි මම පුතාගෙ ශරීරෙන් පිටවෙන්නම්. හැබැයි මේ ගෙදර ඉන්න මට ඉඩ දෙන්න. මම හදාපු ගෙවල් දොරවල් නෙ.”

“එතකොට කොහොමද ආහාර හොයා ගන්නේ?”

“ඇයි මේ ගුණසෝම හොයා ගෙන ලෙඩ්ඩු එනවනේ අධිමානසික ප්‍රතිකාර ගන්න. ඒ අයගෙ ශක්ති ශරීරය උරා බොනවා.”

“ඒක කොහොම ද කරන්නෙ?”

“ඔය ලෙඩුන්ගේ අසනීපවල වේදනාව ශක්ති ශරීරයත් එක්ක සම්බන්ධයි. මම ශක්ති ශරීරයේ ඒ ඒ කොටස් උරා බොන කොට ලෙඩුන්ට තාවකාලික සහනයක් ලැබෙනවා. මම ඒවා උරා බොන කොට ශරීරය ඇතුළේ තියෙන ශක්තියත් ඇදිලා එනවා. තාවකාලිකව ලෙඩාගෙ වේදනාව අඩු වුණාම ශරීරය දුර්වල වෙනවා. අන්තිමේ අසනීපය දුර දිග ගිහින් පිළිකා පවා හැදෙනවා. අපේ ගුණසෝමයා දන්නා අධි මානසික ප්‍රතිකාරයක් නෑ මහත්තයා. මම තමයි ඔය තාවකාලික සහනයත් ලබා දෙන්නෙත්.”

“ඉතින් එන ලෙඩුන් සනීප වෙන්නෙම නැද්ද?”

“පිස්සු ද? එක වතාවක් එන මිනිහා ආයෙත් එන්නෙ නෑ. සල්ලි කඩා ගන්නවා විතරයි. මූට සනීප කරන්න බැරි සමහරු මනෝ වෛද්‍යවරු ළඟට යවනවා.”

“තාත්තයි පුතයි දෙන්නා මිනිස්සු අමාරුවේ දැම්මා ඇති. දැන් වහාම පිටවෙලා යන්න. පව් කරලා දුගතිගාමී වුණා මදිවට තවත් පව් කරනවා. වහාම පිටවෙලා යන්න.”

“මම කොහේද යන්නෙ?”

“කළුතර බෝධිය ළඟට ගිහින් පිනට දහමට යොමු වෙන්නැ” යි භූතයා කළුතරට යැවීය.

“ගුණසෝමට සීලයක පිහිටා සාංඝික දානයක් දී පියාට පැන් වඩා පින් අනුමෝදන් කරන ලෙසත් උපදෙස් දුන්නේ ය. ඒ කටයුතු නිමා කොට නැවත එන ලෙස දැනුම් දුන්නේය.

ගුණසෝම ඊළඟ දිනයේ ද පැමිණියේය.

“දැන් කොහොම ද?” ගවේෂකරවයා ගුණසෝමගෙන් ඇසීය.

“දැන් නම් සනීපයි මහත්තයා”

“දැන් ඔය අධිමානසික ප්‍රතිකාර කියලා බොරු කරපු එක නතර කරන්න. ඕක මහා වැරදි වැඩක්. පාපයක්.

තමන්ගෙ මැරුණු තාත්තටත් හිරිහැරයක්. අධිමානසික ප්‍රතිකාර කරනවා නම් යෝග භාවනා මඟින් සිත ශක්තිමත් කැරගෙන ඉන්න ඕනෑ. ඔය මොනව ද කරන්නේ. අසරණ වෙච්ච රෝගියෙක් ආවා ම තියෙන ලෙඩේ වැඩි කරන වැඩක් ඔය. කරුණාකර ඔය විකාර සෙල්ලම නවත්තන්න. නැත්නම් තාත්තා ආයෙත් ඒවි.

අනුන් සනීප කරන්න කලින් තමුන්ගෙ ලෙඩේ සනීප කැරගන්න. තමුන් වගේ උදවිය නිසා තමයි බටහිර ක්‍රමයේ මනෝ වෛද්‍යවරු මේ ආධ්‍යාත්මික ප්‍රතිකාර අංශයට හිනාවෙන්නේ. උපහාසයෙන් කතා කරන්නේ.

තමුන්ට සනීප කරන්න බැරි ලෙඩුන් මනෝ වෛද්‍යවරු ළඟට එක්ක ගෙන යනවා” යැයි මානසික රෝගියාට උපදෙස් දුන්නේය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: