Posted by: lrrp | February 16, 2013

යහපත් සිතුවිලි නිසා කය ද මනස ද සුවපත් වේ

‘ආරෝග්‍ය පරමා ලාභා’

‘උතුම්ම ලාභය නිරෝගී සම්පත ය’ තථාගත බුදුරජාණන් වහන්සේ විසින් කොසොල් රජු මුල්කොට දේශනා කළ මේ උතුම් සදහම් පෙළ වර්තමානයේ ද කායික මානසික සුවය බලාපොරොත්තු වන සැමට එක සේ ගැළපෙන්නේ ය. ධර්ම මාතෘකාවට පිවිසීමට පෙර සාමාන්‍ය ජන සමාජය ඇසුරින් සරල නිදසුනක් ගෙන බලමු. ශෝකී වතින් හිස් අහස දෙස බලා සිටින කෙනෙකුගෙන් මෙසේ විමසන්න.

‘ඇයි ඔබ දුකින් වගේ පසුවන්නේ’ බොහෝ විට ඔහු මෙසේ පවසනු ඇත.

‘මමවත් දන්නේ නෑ හේතුව මොකක් ද කියලා. ඒ වුණත් කියාගන්න බැරි තරම් මහා බරක්, අඳුරක්, මොකක්දෝ මහා පාළුවක් මට දැනෙනවා. වෙලාවකට හිස හැරුණ අතේ යන්න හිතෙනවා. තවත් වෙලාවකට දැන් ජීවත් වුණා ඇති ද කියා හිතෙනවා.”

ආචාර්ය මිරිස්සේ ධම්මික ස්වාමීන් වහන්සේ

මෙසේ පවසමින් දීර්ඝ හුස්මකින් ළය සැහැල්ලු කරගන්නට උත්සාහ ගන්නා අය බොහෝ අවස්ථාවන් හි ඔබට හමු වී ඇත. ඇතැම් විට එවැනි අවස්ථාවකට ඔබටත් මුහුණ දෙන්නට සිදු වූවා විය හැකිය.

වත්මන් සමාජයේ හඳුන්වන ආකාරයට ආතතිය, ක්ලමතය, දොම්නස හා මානසික පීඩාකාරී ස්වභාවයන්ට හසුව කායික මානසික පීඩාවන්ට නතු වී දුකට පත් වූ අය ගේ ප්‍රවණතාවයක් අද අපි දකිමු. ඊට විසඳුමක් දකින්නට අපි මේ ලෝකයේ පහළ වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍ය රත්නය වූ තථාගත බුදුපියාණන් වහන්සේ ගේ ශ්‍රී සද්ධර්මයට සමීප වෙමු. උන් වහන්සේ දේශනා කොට වදාළේ,

‘සංතුට්ඨි පරමං ධනං’ මානසික සංතෘෂ්ඨිය උතුම්ම ධනය වන බවයි.

ඒ මානසික සුවය බලාපොරොත්තු වන සියලු දෙනා පළමුකොට කළ යුතු වන්නේ සිත පිරිසුදුව පවත්වා ගැනීම ය. කලබලකාරී පරිසරයක ජීවත්වන ඔබ එසේ සිත පිරිසුදු කර ගන්නේ කෙසේදැයි කලබල නොවිය යුතුය. වත්මන් හි බොහෝ දෙනෙක් පවසන ලෙස ‘ගෘහස්ථ පරිසරයෙහි හිමිදිරිය මාර යුද්ධයක් වගේ’ ය. ගෘහණිය වැඩ අරඹන්නේ ම ‘අත් දහසක් තිබුණත් මේ වැඩ නම් ඉවර කරන්නට බැරිවේ ය’ යි සිතමිනි. තවත් විටෙක ‘හුස්ම ගන්නවත් වෙලාවක් නැතැ’ යි යන්ත්‍රයක් සේ වැඩ කරන්නී ය. අහර පිස මුවට ගත්ත ද ගිලෙනවා විනා විටෙක එහි රසයවත් නොදන්නී ය. දවස අවසන් කරන්නේ ද ‘මගේ ඔළුව හොඳටම අවුල් වෙලා’ යි මැසිවිලි නඟමිනි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ අයුරින් මෙසේ කයින් මනසින් වෙහෙසට පත්ව සිටින සාමාන්‍ය ලෝකයා අතර සිත කය සුවපත්ව පවත්වා ගැනීම සැබෑම සුවයකි. එවැනි සුවයක් සොයනා කෙනකුට භාග්‍යවතුන් වහන්සේ ගේ චරිතය විමසීමම සිතට සැනසුමකි.

යම් පුද්ගලයෙක් බුදුරජාණන් වහන්සේ කෙරෙහි අවබෝධයෙන් යුතු ප්‍රසාදයක් හෙවත් ශ්‍රද්ධාවක් ඇති කර ගන්නේ ද ඒ නිසාම ඔහු

‘ලභති අත්ථවේදං – ලභති ධම්ම වේදං’

ජීවිතය හා එහි පැවැත්ම කෙරෙහි මනා වූ අවබෝධයෙන් ලබන සුවපත් වූ බවක් ඇති කර ගන්නේ ය. බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදීම යනු තමා ගේ ජීවිතය හා පැවැත්ම කෙරෙහි සත්‍යාවබෝධයක් ඇති කර ගැනීමයි.

රාගය නම් වූ ඇලීම, ද්වේෂය නම් වූ තරහව හෙවත් ගැටීම, මෝහය නම් වූ මුලාව සම්පූර්ණයෙන් ම බැහැර කළ බැවින් ද, රහසින්වත් පව් නොකළ හෙයින් ද, සියලු දෙවි මිනිසුන් ගේ ආමිෂ ප්‍රතිපත්ති පූජාවන්ට සුදුසු වන හෙයින් ද අප තථාගතයන් වහන්සේ අරංහං නම් වන සේක. අප ද රාගය හෙවත් ඇලීමෙහි, ද්වේෂය හෙවත් තරහවෙහි, මෝහය හෙවත් මුලාවෙහි ද ඇති භයානක වූ ආදීනව නුවණින් දැන ගත යුතු ය. මේ ජීවිතයේ ඇතිවන්නා වූ බොහෝ විනාශයන්ට මුල රාග ගින්න නොවේදැයි ඔබ ම සිතා බලන්න. ද්වේෂ ගින්න නොවේදැයි සිතන්න. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම නම් වූ තිලකුණු දහම අමතක කොට මේ මගේ ය, එය ස්ථිර ය, සදාකාලික ය ආදී වශයෙන් සිතමින් පවත්නා මුලා වූ සිත නිසා තමාටත්, අනුන්ටත්, වන විපත් ගැන සිතන්න. මුලා වූ සිතිවිලි නිසා මවුපියන් අමතක කරන දරුවන්, ස්වාමි භාර්යාවන් අමතක කරන මිනිසුන් පමණක් නොව මිනිසත්කම අමත කරන අය පවා කොපමණ පිරිසක් මේ සමාජයේ සිටිනවා ද?

අප තථාගතයන් වහන්සේ තෘෂ්ණාව ප්‍රහානය කිරීම යනුවෙන් පාරමිතා ධර්ම ලෙස පුරුදු පුහුණු කරනු ලැබුවේ මේ භයානක වූ විපත් නතර කිරීම නොවේ ද? එමෙන් ම භයානක විපත්වලට හේතුව බැහැර කිරීම නොවේ ද? යම් කෙනෙක් රාගාධී කෙලෙස්වල භයානක බව අවබෝධ කොට ගෙන තම ජීවිතය පැවැත්වීමට සිතන විට ඒ සිත තුළ සංසිඳුණු බවක් ඇති වේ. ඒ වගේ ම කුරා කුහුඹුවකුටවත් දැන දැනනම් මම විපතක් නොකරමි යන අදහසින් හැකි පමණින් ජීවිතය පවත්වා ගන්නට උත්සාහ කරයි.

‘ලභති ධම්මෝප සංහිතං පාමොජ්ජං’ යනුවෙන් එය ධර්මයේ පැහැදිලි කරයි. එසේ ප්‍රමුදිත බවක් ලබන්නාට මහත් වූ නිරාමිශ පී‍්‍රතියක් ඇති වන්නේ ය. මේ ස්වභාවය ඉතා උතුම් වූ මානසික සුවපත් වීමකි. සූත්‍ර දේශනාවල මෙම මානසික ස්වභාවය පැහැදිලි කරන්නේ,

‘චිත්ත පස්සද්ධි’ සිතෙහි නිවීමක් හැටියටය. එනම් පෘථග්ජන සිත් හි හටගන්නා වූ රාගාධී ගිනි නිවී මනසේ ඇතිවන සංසිඳීමය. සිත නිවෙන විට කය ද නිවෙන්නට පටන් ගනී. එය දක්වන්නේ ‘කාය පස්සද්ධි’ යනුවෙනි. මේ තත්ත්වය යටතේ මනස දිගින් දිගටම මහත් වූ සැනසීමක් ලබන්නට පටන් ගනී.

සිතත් කයත් මෙසේ මහත් වූ සැනසීමක් ලබන විට ‘චිත්ත මුදුතා’ සිත මටසිලිටු වන බව එනම් සිත කරුණාවට පත්වන බවත්, ඒ නිසාම ‘කාය මුදුතා’ කය ද මෘදු වන බවත් ධර්මයේ සඳහන් ය. එනම් කුසලයට, හොඳ දේට යොමුවන බවය. මෙයින් අපට පැහැදිලි වන්නේ යහපත් වූ සිතිවිලි පහළ කර ගැනීම නිසා,

මනස සුවපත් වීම නිසා කය ද නිරෝගී වන බවය. මේ දහම් පෙළ අපට පෙන්වා දෙන්නේ මනස හැකිතාක් දුරට පිරිසුදුව පවත්වා ගන්නට හැකි නම් කය ද නිරෝගී වන බව ය. වත්මන් හි බොහෝ දෙනා පෙළන දියවැඩියාව, අධික රුධිර පීඩනය, තරබාරුව ආදි විවිධ රෝගයන්ට මූලික හේතුව ආහාර හෝ කායික පැවැත්ම ම හෝ නොවේ. මානසික ආතතිය ලෙස දක්වන සිතෙහි ඇතිවන අනාරක්ෂිත බව, නොසන්සුන්කම, අසරණ බව, වියවුල් ස්වභාවය සහ සිතෙහි තෙරපීම ද ඊට හේතු වේ.

මේ සඳහා බුදුරජාණන් වහන්සේ දී ඇති ප්‍රධානම උපදේශය වන්නේ හැකිතාක් දුරට කුසල ධර්ම පුරුදු පුහුණු කරනා ලෙසයි. ඒ යහපත් සිතිවිලි හෙවත් කුසල ධර්ම ඔබ මනසින් ද කයින් ද නිරෝගීව තබනු ඇත.

ඔබ විසල් මාලිගයක දිවි ගෙවුවද, සැතපීමට රනින් කළ යහනාවක් තිබුණ ද, වැලඳීමට රාජ භෝජන තිබුණ ද? රාත්‍රියේ නිදි නොඑන්නේ නම්, ගතට සුවයක් නොදැනේ නම්, කුසගිනි නොවේ නම් පෙර කී සැප සම්පත්වලින් පලක් නොවන්නේ ය. ඔබ සිත ඇලීම් ගැටීම් ආදී කෙලෙස් ධර්මවලින් පීඩාවට පත්ව ඇති බැවිනි. එහෙත්; උත්සාහය, අධිෂ්ඨානය, නුවණින් කටයුතු කිරීම හා ලද දෙයින් සතුටු වීමත් ඔස්සේ තමාට සතුටු විය හැකි ධර්මානුකූල ජීවිතයක් පවත්වන්නේ නම් ඔබ ජීවත්වන, පැල්පත් ද, සැතපෙන පැදුරු කඩමාල්ල ද ඔබට සැපයක් සුව නින්දක් ගෙනෙනු ඇත. රාජ භෝජන නොවුණත් ඉතා ස්වල්ප වූ සැහැල්ලු ආහාරය ඔබ ගේ දිව පමණක් නොව කුස ද සුවපත් කරනු ඇත. එයම මනසින් ද කයින් ද ලබන උතුම් වූ නිරෝගි සම්පත්තියකි. සැපතකි. අප තුළ ඇති මේ කායික මානසික සුවය ලබන්නට ඔබටත් මහත් වූ කරුණාවෙන් අධිෂ්ඨාන කරමි.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: