Posted by: lrrp | February 16, 2013

“සුරංගනී මගේමයි”- සුනාමියෙන් මළ සුමිත් කියයි

ලොව පවතින සියලු ම ජීවී අජීවී වස්තූන් ක්ෂණයක් පාසා වෙනස්වීමේ ස්වභාවයෙන් යුක්ත ය. ඒ හැම දෙයක් ම ගමන් කරන්නේ විනාශය කරා ය. මිනිස් ශරීරය වුවද ක්ෂණයක් පාසා ගමන් කරන්නේ මහලු බවට ය. ලෙඩ දුකට ය. ජරාවට ය. දිරාපත් වීමට ය. ඒ ලෝක ස්වභාවය යි.

පුද්ගලයෙකු අපේ මතකයෙහි රඳවා ගන්නේ ඔහුගේ හෝ ඇගේ රූපකාය සටහන අනුව ය. තරුණ වියේ දී ආදරයැ යි කියා ගෙන නිතර යටි හිතේ තැන්පත් කැර ගෙන සිහියට නගා ගන්නේ තමන් ආදරය කරන පුද්ගලයා ගේ රූප කායයි. හැඩ රුවයි. මේ වයසේ දී තම තමන්ගේ ශරීරයේ ස්වභාවය ක්ෂණයක් පාසා ජරාවට පත්වන බව සිතන්නට සිත මැළිකමක් දක්වයි. ධර්මයට අනුව මේ බව ඉගෙන ගෙන දැනුම ලබා ගෙන ඇතත් ඒ දැනුම බුද්ධියට ගෙන විමසුම් නුවණින් විශේෂ දැක්මෙන් (විදර්ශනාවෙන්) බලන්නට නොපෙලඹේ. එය සමහර අවස්ථාවල අවාසියට, අයහපතට හේතු වේ.

හම්බන්තොට ප්‍රදේශයේ පදිංචිකාරියක් වන සුරංගනී තිස් හතර හැවිරිදි අවිවාහක තරුණියකි. ඇය දැඩි ඇඟපත රුදාවකින්, හිසරදයකින්, බඩ පුරවා දැමීමෙන් හා කෑම අරුචියෙන් අවුරුදු නවයක් තිස්සේ පීඩා වින්දාය. සිංහල ඉංගී‍්‍රසි වෛද්‍ය ප්‍රතිකාර ලැබුව ද කිසිදු සහනයක් නොවීය. ඇයට ප්‍රතිකාර කළ වෛද්‍යවරු ද අවුරුදු ගණනාවක් තමන් කළ ප්‍රතිකාරවලින් සුවයක් නොලැබුණු බැවින් “ඔබට කායික රෝගයක් නැතැයි” ප්‍රකාශයට පත් කොට “මනෝ වෛද්‍යවරයකු ළඟට යන්නැ”යි උපදෙස් දෙති. සුරංගනී ඊළඟට අවුරුදු හතරක් ම එක දිගට මානසික වෛද්‍ය ප්‍රතිකාර ලැබුවාය. එහෙත් සුවයක් ලැබුණේ ම නැත.

නවීන විද්‍යාවෙන් සහනයක් නොලැබුණු විට පැරණි සම්ප්‍රදායික අභිචාර විධිවලට යොමු වී තොවිල් හතරක් ද ඇගේ වැඩිහිටියන් විසින් සිදු කරවනු ලැබුණි. මේ සියලු ප්‍රතිකාර වත් පිළිවෙත් ක්‍රම සඳහා රුපියල් ලක්ෂ ගණනක් දිය වී ගියත් ඇයට සුවයක් ලැබුණේ නැත.

අවසානයේ “සිළුමිණ” – “පියවි ඇසින් ඔබ්බට” විශේෂාංගයේ තොරතුරු අසා අදාළ ස්ථානය කරා ඇගේ වැඩිහිටියෝ ඇය කැඳවා ගෙන ගියහ.

පළමු දිනයේ රෝගියා පරීක්ෂා කැර බැලීමේ දී ඇය සිහිසුන්ව වැටුණාය. මේ වන විට සුරංගනී කායිකවත් මානසිකවත් ඉතා ම පහත් තත්ත්වයකට පත්ව සිටි බැවින් ඇගේ චිත්ත ඒකාග්‍රතාවය ගොඩ නැඟීම සඳහා දින විසි එකක් බෝධි පූජා පවත්වා එන ලෙස ද ඒ බෝධි පූජා පැවැත්විය යුතු ආකාරය පිළිබඳව ද ගවේෂකවරයා උපදෙස් දුන්නේය.

දෙවැනි දිනයේ ද එසේ ම සිදුවිය. තවත් දින හතක් බෝධි පූජා පවත්වා එන ලෙස නියම කළේය.

තුන්වැනි දිනයේ සුරංගනී ප්‍රලය වූවාය. ඇගේ ශරීරය ගැහෙන්නට පටන් ගෙන එක දිගට විනාඩි දහයක් පමණ ඉකි බිඳිමින් හඬන්නට වූවාය. ගවේෂකවරයා ප්‍රශ්න කරන්නට පටන් ගත්තේ ය.

“කව්ද මේ අඬන්නේ?”

“මම සුමිත්”

“සුමිත් කියන්නේ කවුද?”

“මේ සුරංගනීව බඳින්න හිටිය එක්කෙනා, පෙම්වතා”

“ඇයි මේ ළමයට හිරිහැර කරන්නේ?”

“මම හිරිහැර කරන්නේ නැහැ.”

“නැත්තේ මොකද? සුමිත් මේ ළමයගෙ ශරීරයට රිංගා ගෙන ඉන්න කොට මෙයා ලෙඩ වෙනවා. අවුරුදු නවයක් කියන්නේ සුළුපටු කාලයක් ද? කරුණාකර මේ ශරීරයෙන් ඉවත්ව යන්න.”

“බෑ… බෑ… මට නම් යන්න බෑ. මම සුරංගනීට ආදරෙයි”

“සුමිත් මැරුණේ කොයි කාලෙ ද?”

“2004”

“මොනවා වෙලා ද මැරුණේ?”

“සුනාමියට අහුවෙලා”

“එදා කොහොමද මැරුණෙ කියලා මතක ද?”

“ඔව්! මගේ ගම මිරිස්ස. සුරංගනීගෙයි මගෙයි විවාහයට අවශ්‍ය බඩු ගන්න මම මාතරට ගියා. මෝටර් සයිකලයෙන් ගියේ. හිටි හැටියේ විශාල ජල කඳක් ආවා. ඊට පස්සෙ මොනවා වුණා ද දන්නේ නෑ.”

“කොහොම ද සුරංගනී ළඟට ගියේ?”

“මගේ මරණයේ දී හිටි හැටියේ ඇතිවුණ පීඩනය නිසා මගේ මතකය ක්‍රියාත්මක වුණේ නෑ. කාලයකට පස්සෙයි මතකය ක්‍රියාත්මක වුණේ. සුරංගනී මගේ නම කිය කියා තනියම අඬන කොට මාව හම්බන්තොටට, සුරංගනී ළඟට ඇදිලා ගියා.”

“ගිය ගමන් සුරංගනීගෙ ඇඟට රිංගුව ද?”

“නෑ. එහෙම රිංගන්න බැරිවුණා. මම ළඟට ගිහින් සුරංගනීට කතා කළා. එයාට ඇහුණේ නෑ. එයා මගේ පින්තූරය ළඟ තියා ගෙන බල බලා ඇඬුවා. මම එයාගෙ ළඟින් ම හිටියා. මට ඒත් ඇඟට රිංගන්න බැරිවුණා.”

“ඉතින් කොහොම ද රිංගුවේ?”

“දවසක් ගෙදර අය සුරංගනී එක්ක රණ්ඩු කළා. බහින් බස් වුණා. සුරංගනී එදා හොඳටෝ ම ඇඬුවා. මම සුරංගනී ගෙ ඔළුව අත ගෑවා. එතකොට මට දොරක් ඇරෙනවා වගේ දැනුණා. මම ටක් ගාලා එතැනින් ඇතුළට රිංගා ගත්තා. එදා ඉඳලා මම සුරංගනී ගෙ ඇඟේ ඉන්නවා.”

“ඇඟේ ඉඳගෙන මොනව ද කරන්නෙ?”

“සුරංගනීව විවාහ කර දෙන්න ගෙදර අය මනමාලයෝ ගෙදරට ගෙන්වනවා. මම උන්ව පන්නනවා.”

“කොහොම ද පන්නන්නේ?”

“සුරංගනීගේ ඇස් දෙකෙන් නපුරු යක්ෂ බැල්මක් නිකුත් කරනවා. ඒ මනමාලයෝ බය වෙලා යනවා. ආයෙත් එන්නෙ නැහැ. සමහරුන්ට සංග්‍රහ කරන කොට මනමාලයට පිළිගන්වන කෑමට බැල්ම හෙළනවා. උන්ට බඩේ අමාරු හැදිලා ඉක්මනින් යන්න යනවා.

“සුරංගනී විවාහ වෙන්න කැමති ද?”

“නෑ… සුරංගනී කැමති නෑ. ගෙදර අයගෙ කීමටයි මනමාලයෝ එන්නේ. සුරංගනී මගේ ම යි.”

“ඉතින් මේ ගෙදර තොවිල් කළා නේද?”

“ඔව්! ඒවාට සූදානම් වෙන කොට මම හොඳ විමසිල්ලෙන් ඉන්නේ.”

“ඉතින් ඔබ කොහොම ද අහුනොවී හිටියේ?”

“ඔය ඇදුරො තොවිල් කරන්නේ උන්ගේ සිල්වත් කමකින්වත්, ආධ්‍යාත්මීය ශක්තියකින්වත් නොවෙයි. අමනුෂ්‍ය බලයෙන්, ඇදුරන්ගේ ළඟ වැඩ කරන අමනුෂ්‍යයා මාව අල්ලගන්න එන කොට ම මම දුවලා හැංගෙනවා. ඇදුරෝ ඔය ආරක්ෂාවල් යොදන්නේ යන්ත්‍ර මන්ත්‍ර බලයෙන් නොවෙයි. යන්ත්‍ර මන්ත්‍ර දැම්මාට උන් ඒවා හරියට ජීවම් කරන්නේ නෑ. නියමිත වාර ගණන ජීවම් කරන්නේ නෑ. ඉතින් ළඟ ඉන්න අමනුෂ්‍යයන් එතැන ආරක්ෂාවට නතර කරලා යනවා. ඇදුරා තොවිලය කර ගියාට පස්සේ ටික දවසකින් උනුත් යන්න යනවා. ඒ ආරක්ෂාවට හිටිය එවුන් ගියාට පස්සෙ මම ආයෙත් සුරංගනී ළඟට එනවා.”

“තමුන් සුරංගනීට ආදරේ ද?”

“ඔව් මම එයාට තරම් වෙන කාටවත් ආදරේ නෑ”

“තමුන් ජීවත් වෙන්නේ කොහොම ද?”

“සුරංගනීගෙ ශරීරයෙන්මයි”

“මම කියනවා තමුන් ඇත්තට ම සුරංගනීට ආදරේ නෑ කියලා.”

“ආදරෙයි. ආදරෙයි. ඇත්තට ම ආදරෙයි”

“සුරංගනීට තමුන් ආදරේ නම් සුරංගනීව සතුටෙන් සැපෙන් තියන්න ඕනෑ. තමුන් මේ ළමයගෙ ඇඟේ යම් යම් තැන්වල ඉන්න කොට. යම් යම් තැන්වලින් ලේ උරා බොන කොට, ඔය විදිහට ගියොත් මෙයා පිළිකාවක් හැදිලා මැරෙයි. සුරංගනී මැරිලා ඈතට යන්න යාවි. තමුන් කරපු අපරාධයට ඔය ඉන්න දුගතිගාමී ආත්මයෙන් තවත් පහළට වැටිලා තමුන්ට දුක් විඳින්න වේවි. එතකොට සුරංගනීව දැකගන්නවත් ලැබෙන්නේ නෑ.”

“එහෙම ද?”

“එහෙම තමයි. තමුන් දැන් සුමිත් නොවෙයි, සුමිත් සුනාමියට අහුවෙලා මැරුණා. තමුන් දැන් පේ‍්‍රත ජීවියෙක්, තමුන් ඇත්තට ම මේ ළමයට ආදරේ නම් එයාට සතුටෙන් ජීවත්වෙන්න ඉඩ දෙන්න ඕනෑ. තමුන් ඇගේ ඇඟේ ඉන්න කොට ඇය අසනීප වෙනවා. ඉතින් කොහොම ද සතුටෙන් ඉන්නෙ? තමුන් සුරංගනීට ආදරේ නම් එයාට සතුටෙන් ජීවත්වෙන්න උදව් කරන්න. ඇගේ ආධ්‍යාත්මික ජීවිතය ගොඩනඟා ගන්න උදව් කරන්න. එතකොට එයා සුවපත් වේවි. තමන්ටත් ඒක විශාල කුසලයක් වේවි.”

“හොඳයි මම සුරංගනීගෙ ශරීරයෙන් ඉවත් වෙන්නම්. හැබැයි මට එයාව දකින්න ඕනෑ.”

“තමුන් කැමති බෝධියක් තියෙනවා ද?”

“ඔව්! මාතර බෝධියට මම කැමතියි.”

“ඔබට මාසයකට වතාවක් සුරංගනීව දැකගන්න අවස්ථාව සලසා දෙන්නම්.”

“හොඳයි”

දින විසි එකක් මාතර බෝධින් වහන්සේ වෙත බෝධි පූජා පවත්වන ලෙස සුරංගනීට උපදෙස් දුන්නේය. මාතර බෝධීන් වහන්සේ අසල පැවැත්වෙන සියලු පින්කම්වලට අත හිත දී සිත පහන් කරගන්නා ලෙස පේ‍්‍රත ජීවියාට නියම කළේය. සුරංගනීගේ දින විසි එකේ බෝධි පූජාවලින් පසු මාසයකට වරක් බැගින් එහි පැමිණ බෝධි පූජා තබන ලෙස ද ඇයට කීවේය. මාසයකට වරක් පැමිණ බෝධි පූජා පවත්වන විට ඈතින් හිඳ ඇයට ආශීර්වාද කරන්නට පේ‍්‍රත ජීවියාට නියම කළේය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: