Posted by: lrrp | February 19, 2013

ගස්කොළන් සහ බුදුහාමුදුරුවෝ

බෝධිසත්වයන් වහන්සේ බුදුවන්නට පෙරුම් පුරන සමයේ සිට ගස්වැල් සංරක්‍ෂණය සඳහා පියවර ගෙන ඇති බව ජාතක කතාවලින් පැහැදිලි වේ. විවිධ කුලවල ඉපදුණු බෝධිසත්වයන් සියලු සතුනට උපකාරීව පවතින, පරිසරය අලංකාර කරමින් පරිසරයේ සමතුලිත බව රකින ගස්වැල් විනාශ කිරීමට ඉඩ නොදී රැක ගත් බව සඳහන් වේ.

බෝසතාණන් වහන්සේ වෘක්‍ෂලතා ඇසුරු කොටගත් පරිසරයක ඉපදී, රුක්මුලක සෙවණෙහි බුදුවී, වෘක්‍ෂලතාවන්ගෙන් ගහන වූ මිගදාය නම් වන ලැහැබෙහි දී පළමුවැනි දම් දෙසුම සිදුකොට, අවසානයේ රුක් සෙවණෙහිම පිරිනිවන් පා වදාළහ. එතුමන් වහන්සේගේ උපතේ සිට ජීවිතයේ අවසානය දක්වාම වෘක්‍ෂලතා ඇසුරුකමින් ඒවායේ සිසිලේ පහස විඳිමින් උසස් වූ කායික සුවයක්ද ලැබූ බව පැහැදිලි කරුණකි. ගහකොළ මෙතරම් ජීවිතයට සමීප කරගත් වෙනත් ශාස්තෘවරයකු දක්නට නොලැබේ.

බුදුරජාණන් වහන්සේ පුද්ගලයාගේ කායික, මානසික සුවතාව සඳහා ඒවායේ උපකාරීත්වය පැහැදිලි කළා පමණක් නොව වෘක්‍ෂලතාදිය රෝපණය කිරීමේ අනුසස් පැහැදිලි කළා සේම ඒවා විනාශ කිරීමේ අනිටු විපාකත් දක්වා වදාළහ. භික්‍ෂු භික්‍ෂුණීන් සඳහා, ගස්වැල් විනාශ කිරීම විනය ශික්‍ෂා මඟින්ම තහනම් කොට ඇත.

සකල ජීවින්හට රක්ෂාවරණය සලසන්නා වූ ගස්වැල් පොරෝ පහරින් සිය විනාශය සලසන්නාහට වුවද සෙවණ ලබාදෙයි. ජාතක පාලිය, දසක නිපාත, භූරිපඤ්ඤ ජාතකය සහ තෙමිය මුගපක්ඛ ජාතකය ආදියෙහි සඳහන් පරිදි බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළ සේක. “යමකු ගස් සෙවණක් යටට ගොස් විඩාව සන්සිඳවා ගෙන ඒ සෙවණ දුන් ගසේ අතු කොළ කඩා දමන්නේ නම්, ගසට හානි පැමිණෙන ලෙස ක්‍රියා කරන්නේ නම් ඔහු මිත්‍ර ද්‍රෝහියෙක් වන්නේය. අධම අසද්පුරුෂ පුද්ගලයෙක් වන්නේ ය.”

මෙසේ අධම අසද්පුරුෂයකු ලෙස දැක්වීම තුළ අර්ථවත් කෙරෙනුයේ ගස් වැල් විනාශ කිරීම වළක්වාලීමයි. ඒ සඳහා මඟ පෙන්වීමයි.මේ මඟින් ගස්වැල්වලට හානි නොකළ යුතු බව ද කියැවේ. තමාට බුදුබව ලබාගැනීමට සෙවණ දුන් ඇසතු රුක දෙස සතියක් පුරා ඇසිපිය නොහෙළා බලා සිටිමින් අනිමිසලෝචන පූජාව තුළින් අපට කියාදෙන්නේ ගස්වැල්වලටද කෘතවේදීත්වය පළ කළ යුතු බවය.

මිනිසාට මහත්සේ උපකාරීව පවතින, භෞතික පරිසරයේ සමතුලිත බව ආරක්‍ෂා කරන, පරිසර සුන්දරත්වය වැඩි දියුණු කරන ගස්වැල් වැවීම මහා පින්කමක් ලෙස වරක් දේවතාවකුට බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළහ.

ආරාම රොපා වනරොපා
යෙ ජනා සෙතුකාරකා
පපඤ්ච උදපානඤ්ච
යෙ දදන්ති උපස්සයං
තෙසං දිවාච රත්තොච
සදා පුඤ්ඤං පවඩ්ඪති
ධම්මට්ඨා සීල සම්පන්නා
තෙජනා සග්ගගාමිනොති

(සංයුත්ත නිකාය – වනරෝප සූත්‍රය)

යමෙක් පරිසර සංරක්‍ෂණයට අනුබල දෙමින් මල්පැළ උයන්වතු වවන්නෝ වෙත්ද, පියවි වන වගාකොට දෙන්නෝ වෙත්ද ඒ දඬු,පාලම් කරන්නෝ වෙත්ද, පැන්හලුත් පැන් පොකුණුත් ආවාසත් සාදා දෙත්ද, ඔවුන්ට හැමකල්හි දහවල් ද රාත්‍රියෙහි ද පින්වැඩෙන්නේය. දහම්හි පිහිටි සීල සම්පන්න ජනයෝ ස්වර්ගයට යත්.” මෙම දේශනාව තුළින් තම ශ්‍රාවකයන් වෘක්‍ෂලතා වැවීම, වන රෝපණය ආදිය සඳහා පෙළැඹවීමට උත්සාහ ගෙන ඇති බව පෙනේ.

එහෙත් අද සමාජය තමාගේ බලය, නිලය ආදිය භාවිත කොට බොහෝ සෙයින් කරනුයේ ගස් වැල් වැවීම වෙනුවට ඒවා කපා කොටා විනාශකොට තම තමාගේ අතමිට සරු කර ගැනීමට මුදල් ඉපැයීමයි. ජනගහනය වැඩිවනවිට ඔවුන්ට අවශ්‍ය මූලික පහසුකම් සඳහා දැව හා ඉඩකඩ අවශ්‍ය බව ඇත්තක් වුවද විශාල වශයෙන් ගස්වැල්, වනාන්තර හෙළි පෙහෙළි කරමින් සිදුකරන පරිසර විනාශය අනාගත පරපුරට කරන බලවත් හානියකි. එය මිනිසාට පමණක් නොව සමස්ත සත්ව ප්‍රජාවටම කරන බරපතළ හානියකි. ඒ නිසා වැඩිවන ජනගහනය වෙනුවෙන් පහසුකම් සැලසීමේදී මනා කළමනාකරණයෙන් යුතුව, සංවිධිත ලෙස, පරිසර හානියක් නොවන පරිදි සිදුකිරීම අවැසි වේ.

උපසපන් භික්‍ෂුවකට හටගත් වෘක්‍ෂලතා ආදිය සිඳීමට , විනාශ කිරීමට විනය ශික්ෂාවලින් ඉඩක් නොලැබේ. එසේ සිඳීම හෝ සිඳවීම කරන්නේද, ඔහුට පචිති ඇවැත් වේ. (ධම්ම පරායන තිස්ස හිමි, බුජ්ජම්පොල ප්‍රාතිමොක්ෂ විවරණය)

භික්‍ෂූන් වහන්සේට වස් විසීම සඳහා පනවන ලද විනය නීතියෙහි පසුබිම වන්නේ කුඩා වූ හෝ තෘණ ආදී උද්භිද ශාඛ සංරක්‍ෂණය කිරීම බව පෙනේ. බුදුරජාණන් වහන්සේ තම ශ්‍රාවක පිරිසගේ ආචාරශීලිත්වය ඇතිකිරීම සඳහා විනය නීති පැනවූවාසේම ධර්මානුකූල අවවාදදීමද සිදු කළහ. වළදා ඉතිරි වූ ඉඳුල් හා ආහාර ආදිය නිල් තණ මත නොදමන ලෙස විනය ශික්ෂා පනවා ඇතිවාසේම ධර්මානුකූ®ල අවවාදයක්ද කර ඇත. (සිංහල ජනකවි සංග්‍රහය) සෙඛියා ධර්මවලදී ද නිල් තණ මත මලපහ නොකරන ලෙස ශික්‍ෂාවක් පනවන ලදී.

බෝධිසත්වයන් වහන්සේ බුදුවන්නට පෙරුම් පුරන සමයේ සිට ගස්වැල් සංරක්‍ෂණය සඳහා පියවරගෙන ඇති බව ජාතක කතාවලින් පැහැදිලි වේ. විවිධ කුලවල ඉපදුණු බෝධිසත්වයන් සත්වයාට උපකාරීව පවතින, පරිසරය අලංකාර කරමින් පරිසරයේ සමතුලිත බව රකින ගස්වැල් විනාශයට පත් කිරීමට ඉඩ නොදී රැක ගත් බව ඒවායෙහි සඳහන් වේ.

ව්‍යාඝ්‍ර ජාතකයෙන් අපට දෙන උපදේශය ඉතා වැදගත් වේ. ස්වභාවික වන සම්පත් ආරක්‍ෂා වන්නේ වනයේ ජීවත්විය යුතු සිංහ, ව්‍යාඝ්‍ර ආදී දරුණු සතුන් ජීවත් වන විට පමණි. එම ජීවින් විනාශ වුවහොත් මුළු මහත් වනයත් පරිසරයත් විනාශ වන්නේය. එවැනි සතුන් වනයේ ගැවසෙන විට වනයට යෑමට මිනිසුන් බිය වේ. එමගින් එම පරිසරය ආරක්‍ෂා වේ. එම සතුන්ද ආරක්‍ෂා කිරීම පරිසර හිතකාමීන්ගේ පරම යුතුකමක් වන්නේය.

බුදුරජාණන් වහන්සේ හා උන්වහන්සේ ගේ ධර්මය ස්වභාවික පරිසරයෙන් වෙන්කළ නොහැකිය. උන්වහන්සේගේ ජීවිතයේ වැඩිම කාලයක් ගතවූයේ ගස්වැල් වන ලැහැබ ඇසුරු කොටගෙන බව සූත්‍ර දේශනාවල නිදානයන්ගෙන් හෙළිවේ. උන්වහන්සේ ක්‍රියාවෙන්ම ගස්වැල් සඳහා සංග්‍රහ කළ යුතු බව දක්වා ඇත. එසේම වෘක්‍ෂලතාවන්ගෙන් මිනිසුන් ඇතුළු සත්ව ප්‍රජාවට සිදුවන මිල කළ නොහැකි සේවය අර්ථවත් කොට ඇත. පරිසරයේ සුන්දරත්වය වර්ණනා කරමින් වාතය සුරැකීමට මිනිසුන් පොළඹවාගෙන ඇත. විනය නීති පැනවීම තුළින් තුරුලතා රැක ගැනීමට පියවරගෙන ඇත. එපමණක්ද නොව අලුතෙන් ගස්වැල් රෝපණය කිරීම සඳහා අනුශාසනා කර ඇත. බුදුරජාණන් වහන්සේගේ මඟපෙන්වීම අනුව සරල සැහැල්ලු ජීවිතයකට හුරුපුරුදුව ගහකොළ සතා සිව්පාවා ආරක්‍ෂා කරමින් දැහැමි, අර්ථ සම්පන්න ජීවිතයක් ගත කිරීමට විවිධ තරාතිරම්වල සියලු ජනයා උත්සාහ කරන්නේ නම් වටී. එමඟින් අනාගත පරපුරට යහපත් පරිසරයක් ගොඩනැඟෙනු ඇත.

මනෝ විද්‍යා උපදේශක
ආචාර්ය ජී.හල්ගස්වත්ත


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: