Posted by: lrrp | February 19, 2013

තිරෝකුඩ්ඪ සූත්‍රයෙන් හෙළිවන මරණින් මතු පැවැත්ම

මිය ගිය ඥාතීන් කෙරෙහි අනුකම්පා ඇති අය ඔහුට පින් අනුමෝදන් කිරීම පිණිස පිරිසුදු, ප්‍රණීත හා කැපසරුප් ආහාර පානාදිය දන් දී පින් අනුමෝදන් කළ යුතුය. ඊට හේතුව වන්නේ පින් අවශ්‍ය යමෙකුට මරණින් පසු පින් කිරීමට අවස්ථාවක් හෙවත් අවකාශයක් නැති බැවිනි. එපමණක් නොව, ඔහු උපතක් අපේක්‍ෂාවෙන් සිටින කාලසීමාව තුළ ඔහුට අවශ්‍ය පරිදි කිසියම් කටයුත්තක් කිරීමට නොහැකි බැවිනි.

මෙයට පෙර සාකච්ඡාවේ දී අප සාකච්ඡා කළේ අන්තරාභව සංකල්පය පිළිබඳව ථෙරවාදී අදහස් විමසා බැලීම සම්බන්ධව ය. මෙම සාකච්ඡාවේ දී අපගේ අවධානය යොමු වන්නේ ඛුද්දක නිකායෙහි ඇතුළත් තිරෝකුඩ්ඪ සූත්‍රයෙන් හෙළිවන මරණින් මතු පැවැත්ම පිළිබඳ විමසා බැලීමට ය.

ප්‍රශ්නය – තිරෝකුඩ්ඪ සූත්‍රයෙන් හෙළිවන මරණින් මතු පැවැත්ම කෙබඳු වූවක්ද?

යම් ඥාතියෙකු මිය ගිය පසු ඔහු වෙනුවෙන් මිය ගිය දින සිට දින හතක් ගිය තැන දානයක් පිරිනමා පින්අනුමෝදන් කිරීම සෑම බෞද්ධයෙකු විසින් ම සිදුකරන වැදගත් කටයුත්තකි. මෙම මියගිය ඥාතීන්ට පින්අනුමෝදන් කිරීමේ කටයුත්ත බුද්ධකාලයේ සිටම පැවැත එන චාරිත්‍රයකි. එය ආරම්භ වූයේ බිම්බිසාර මහ රජතුමාගෙන් බව බෞද්ධ මූලාශ්‍රයන්හි සඳහන් වෙයි. එනම් එක් ආත්මයක අකුශල කර්මයක් කොට රජතුමාගේ මියගිය ඥාති පිරිසක් පින් ලබාගැනීමේ අපේක්‍ෂාවෙන් රජතුමා සොයා පැමිණීමයි. බුදුරජාණන් වහන්සේගේ උපදෙස් පරිදි දන් දී පින් අනුමෝදන් කිරීමෙන් අනතුරුව එම ඥාති පිරිස ඔවුන් සිටි පහත් ආත්මයෙන් මිදී සුගතිගාමී වී ඇත.

තිරෝකුඩ්ඪ සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙම සිද්ධිය අරමුණු කරගෙනය. මෙම සූත්‍රයේ සඳහන් වන්නේ යමෙකුගේ මරණින් මතු පැවැත්ම පිළිබඳ වූ සිද්ධි මාලාවකි. අප පෙර ලිපියෙන් ද තිරෝකුඩ්ඪ සූත්‍රය අන්තරාභවයක් පිළිබඳ සිතීමට මගපාදන බව පැවසුවෙමු. මෙම සාකච්ඡාවෙන් එය දීර්ඝ ලෙස සාකච්ඡා කරන්නෙමු.

“ තිරෝකුඩ්ඪෙසු තිට්ඨන්ති,
සන්ධිසිංඞ්ඝාටකෙසු ච,
ද්වාරබාහාසු තිට්ඨන්ති,
ආගන්ත්වාන සකං ඝරං”

(මිය ගිය අය තමන් පෙර විසූ ගෙය වෙත පැමිණ බිත්තියෙන් පිට ද බිත්තිමුළු වල ද ගෙදර ආසන්නයේ ඇති තුංමන් සන්ධිවල හා සතරමන් සන්ධිවල සැරි සරයි)

මෙයින් පැවසෙන්නේ යමෙක් මිය ගිය මොහොතේම ඔහුට එම ගෙය අතහැර යෑමට නොහැකි බවයි. ඒ නිසා ඔහු කීප දවසක්ම තමා විසූ ඒ නිවස ආශි‍්‍රතව සැරිසරයි. එසේ වීමට හේතුව සමහරවිට මිය ගිය පුද්ගලයා (විඤ්ඤාණය ශරීරයෙන් ඉවත් වූ පසු) තමා මිය ගොස් සිටින බව විශ්වාස නොකරන තත්ත්වයකට පත්වීමයි. ඔහුට දැනෙන්නේ තමා ජීවත්වන පුද්ගලයෙකු ලෙසය. බොහෝ විට ඔහු තම ඥාතීන් සමඟ අදහස් හුවමාරු කරගැනීමට උත්සාහ කරයි. එහෙත් ඔහු අන් අයට ඇසෙන්නේ ද පෙනෙන්නේද නැත. එහෙත් ඔහුට තමා වෙනුවෙන් හඬන වැළපෙන හා විවිධ දේ කරන අය පෙනෙයි. තමා නිවසට හා නිවැසියන්ට (විශේෂයෙන් ඥාතීන්ට) දක්වන ආලය හා ආශාව අනුව නිවසෙහි තමාට අවශ්‍ය කාලයක් පෙර කී පරිදි තමන් පෙර විසූ ගෙය වෙත පැමිණ බිත්තියෙන් පිට ද, බිත්තිමුලු වල ද, ගෙදර ආසන්නයේ ඇති තුංමන්සන්ධිවල හා හතරමන් සන්ධිවලද සැරිසරයි.

නිවැසියන් පින් පමුණුවන්නේ නම් (එම පින් ඔහුට අවශ්‍ය නම් හා පින් ලබා ගත හැකි ස්ථානයක හෝ තත්ත්වයක සිටී නම්) ඒ පින් අනුමෝදන් වෙයි. එම පින්වලට අනුව හා තමා කළ කුශලාකුසල කර්මයන්ට අනුව දෙවන භවය සිදුවෙයි. එතෙක් එනම්, මෙසේ මිය යෑමේ සිට නැවත උපතක් ලබන ආත්මය දක්වා යම් කාලසීමාවක් තිබෙන බව මෙයින් නො පැවසෙන්නේ ද යන්න ප්‍රශ්නයකි. දින හතේ දී සිදුකරන පින්වලට අනුව යමෙකුගේ දෙවන භවයේ උපත සිදුවන්නේ නම් ඔහු සත් දිනක කාලයක් ගත කරන්නේ කුමන වේශයකින්ද යන්න තවත් ප්‍රශ්නයකි. මිය යෑමත් සමඟම, ඒ ක්‍ෂණයෙන් ම ඔහුගේ නැවත උප්පත්තියක් සිදුවන්නේ නම් ඔහු තමා පෙර විසූ නිවස වෙත යළි පැමිණෙන්නේ කුමක් නිසා ද යන්න සිතා බැලිය යුතුය. බොහෝ කුසල් කරමින් ධාර්මිකව ජීවත් වන අය නින්දෙන් පිබිදියකු මෙන් සුගතිගාමී වන බව විශ්වාස කළ හැකිය . එමෙන්ම බොහෝ අකුසල් කරමින් අධාර්මිකව ජීවත් වන අය මරණින් මතු දුගතිගාමි වන බව ද පිළිගත හැකිය. එහෙත් මෙය හැමෝටම පොදු වූවක් නොවේ. බොහෝ අයට සෙසු අයගෙන් උදව් උපකාර හෙවත් පින් අවශ්‍ය වෙයි. මෙසේ පින් අවශ්‍ය වන අය පින් ලැබීමෙන් පසු වෙන උප්පත්තියක් ලබන්නේ නම් එය ඔහුගේ දෙවන භවය නොව තෙවන භවයයි. එනම් මිය යෑමේ සිට නැවත උපතක් ලබන තෙක් කුමන හෝ අයුරකින් උපතක් ලබා ජීවත් වූ අයෙකු හෙයිනි. එසේ නොවන්නේ නම් ඔහු ඒ අතරතුර ගත කරන කාලය අන්තරාභවය විය යුතුය.

මෙසේ මරණයත්, – උපතත් අතර කාලයේ සිටින (අන්තරාභවයේ) තැනැත්තා සාමාන්‍ය කෙනෙකුට නොපෙනෙන සියුම් මනෝමය සිරුරකින් යුතුව පාවෙන අයෙකු මෙන් සැරිසරන අයෙකු ලෙස සැලකිය හැකිය. එපමණක් නොව ඔහුට ආහාර ගැනීමක් හෝ පානයක් ගැනීම කළ නොහැක. එය තිරෝකුඩ්ඪ සූත්‍රයේ සඳහන් වන්නේ මෙසේය.

“පහූතෙ අන්නපානම්හි,
ඛජ්ජභොජ්ජෙ උපට්ඨීතෙ,
න තෙසං කොවි සරති,
සත්තානං කම්මපච්චයා”

තමා පෙර සිටි නිවසෙහි අය කෑමට බොහෝ ආහාර පිළියෙළ කර තිබුණ ද ඔවුන්ට ඒවා කැප නොවෙයි හෙවත් කෑමට හෝ බීමට නොහැක. ඔවුන් වෙනුවෙන් යම් උපකාරයක් අවශ්‍ය නම් දන් දී පින් අනුමෝදන් කිරීමකි. එය තිරෝකුඩ්ඪ සූත්‍රයෙහි සඳහන් වන්නේ මෙසේය.

“එවං දදන්ති ඤාතීනං
යෙ හොන්ති අනුකම්පකා,
සූචිං පණීතං කාලෙන,
කප්පියං පානභොජනං,
ඉදං වො ඤාතීනං හොතු,
සුඛිතා හොන්තු ඤාතයො”

මිය ගිය ඥාතීන් කෙරෙහි අනුකම්පා ඇති අය ඔහුට පින් අනුමෝදන් කිරීම පිණිස පිරිසුදු, ප්‍රණීත හා කැපසරුප් ආහාර පානාදිය දන් දී පින් අනුමෝදන් කළ යුතුය. ඊට හේතුව වන්නේ පින් අවශ්‍ය යමෙකුට මරණින් පසු පින් කිරීමට අවස්ථාවක් හෙවත් අවකාශයක් නැති බැවිනි. එපමණක් නොව, ඔහු උපතක් අපේක්‍ෂාවෙන් සිටින කාලසීමාව තුළ ඔහුට අවශ්‍ය පරිදි කිසියම් කටයුත්තක් කිරීමට නොහැකි බැවිනි. එහි ස්වභාවය තිරෝකුඩ්ඪ සූත්‍රයෙහි මෙසේ සඳහන් වෙයි.

න හි තත්ථ කසි අත්ථි,
ගොරක්ඛෙත්ථ න විජ්ජති
වණිජ්ජා තාදිසී නත්ථි,
හිරඤ්ඤෙන කයාක්කයං”

මෙයින් විස්තර වන්නේ මිය ගිය අය සිටින ස්ථානයන්හි හෙවත් ලෝකයන්හි සී සෑමක් හෙවත් ගොවිතැනක් ගවපාලනයක් වෙළෙඳාමක් හෝ රන්රිදී ආදියෙන් කෙරෙන කිසිදු ගනුදෙනුවක් හෝ නොමැති බවයි. මෙයින් කියවෙන පරිදි යමෙක් මිය යෑමෙන් පසුව ගත කරන ජීවිතය බාහිර සම්බන්ධතාවලින් හෙවත් මිනිස් ලොව මෙන් ජීවත්වීම සඳහා කරන අරගල වලින් තොරවූවකි. ඇත්තෙන්ම උපතක් අපේක්‍ෂාවෙන් සිටින එමෙන්ම ආහාරපානාදිය ගැනීමෙන් තොර සියුම් මනෝමය සිරුරකින් ජීවත්වන මේ අයට අවශ්‍ය වන්නේ පින් පමණි.

මේ අනුව බලන විට තිරෝකුඩ්ඪ සූත්‍රයෙන් කියැවෙන බොහෝ කරුණුවලින් ගම්‍යවන්නේ අන්තරාභව සංකල්පයක් බව සිතිය හැකි ය.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ
පාලි හා බෞද්ධ අධ්‍යයනාංශයේ
හිටපු කථිකාචාර්ය,
අස්ගිරි මහාවිහාර පිරිවෙනෙහි ආචාර්ය
ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත
මහරැඹෑවැවේ පාලිත හිමි


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: