Posted by: lrrp | February 19, 2013

දලු ලන කුසල් සිත

බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම අනුව සත්වයා කර්මය දායාද කරගෙන සිටියි. ඉෂ්ට විපාක ලැබෙන යහපත් ක්‍රියා සිදුකිරීමෙන් සැපද, අනිෂ්ට විපාක ලැබෙන අයහපත් ක්‍රියා කිරීමෙන් දුක්ද හිමි වේ. යහපත් ක්‍රියා නිසා ලබන කුසලය එය සිදුකරන තැනැත්තාට අත්වන අතර තවත් කෙනෙකුට එම පින් අනුමෝදන් කිරීමේ හැකියාව ගැන ද බුදුදහමේ කියැවේ. මේ නිසා පින් කිරීමට මෙන්ම පින් අනුමෝදන් කිරීමට ද බෞද්ධයා දක්වන කැමැත්ත ඉමහත්ය.

උපන් යම් සත්වයකු වෙයි නම් ඔහු මරණයට පත් වීම අනිවාර්යය. මරණෙන් පසු යළි උපතක් සිදුනොවන්නට නම් සත්වයා නිවන් අවබෝධ කළ යුතුය.බුදුදහමේ ඉගැන්වීම එයයි. යථාර්ථය එසේ වුවද ඇතැම් බෞද්ධයන් තුළ සම්මතයක් වී ඇත්තේ නිවන් මඟට වඩා සැප සම්පත් සොයා යමින් සසර සැරිසැරීම සැපදායක බවය.

සසරෙන් මිදීමක් නැති පංච කාම සැප සොයා යෑම දුක් විඳීමක් මිස සැප අනුභව කිරීමක් නොවන බව සිතන්නට තරම් දියුණු මනැසක් නොතිබීම ඊට හේතුවයි. සරලව කල්පනා කර බැලුවහොත් අප සිතන පතන ආශා කරන සෑම දෙයක්ම අපගේ සතුට පතා ජීවිතයට ළංකර ගැනීම අපහසු වන්නකි. අප බලාපොරොත්තු වන දෙයින් අපට ලබා ගැනීමට හැකි යමක් ඇත්නම් එය ඉතා සුළු ප්‍රමාණයකි. වඩාත් ඇත්තේ කෙතරම් ආශාකළත් ලබා ගැනීමට නොහැකි දේවල්ය. මෙලෙස බලාපොරොත්තු වන, ආශා කරන දේ නොලැබීම සැපයට බාධාවකි. එසේ නම් එයම දුකක් නොවන්නේද? මේ නිසා ජීවිතයේ උපරිම සතුට ලබන්නට වෑයම් කරන බෞද්ධයන් සෙවීමට උත්සාහගත යුත්තේ නිවන් සැපයි. එහෙත් සසර දුක නැති කර භව කතරෙන් මිදෙන්නට උත්සාහ ගන්නා පින්වතුන් ඇත්නම් ඒ ඉතා සුළු පිරිසකි.

සැපයට හා නිවනට උදව්වන්නේ පින, කුසලය බව බෞද්ධයන් බොහෝ දෙනකු දන්නා කරුණකි. වත්මන් බෞද්ධයන් ගැන කතා කරනවා නම් ඔවුන්ගෙන් වැඩි දෙනකු පිනට දහමට ඇලුම් කරන්නේ මතු (මෙලොව, පරලොව) ලෞකික සැප ලැබීමේ චේතනාවෙනි. මේ නිසා ලෝකෝත්තර සුවය ගැන සිතන්නට ඔවුනට කාලයක් නැත. උදාහරණයක් වශයෙන්, සමහර බෞද්ධයන් දන් දෙන්නේ හුදෙක් මෙලොව, පරලොව සැප සම්පත් පතාගෙනය. පින් සැපයට හේතුවන බැවින්ය. ඒ අතර සමහරුන් බණ අසන්නේ අසන්නන් වාලේය. අසන බණ ජීවිතයට ආදර්ශයක් කර ගෙන යහපත් ඇවැතුම් පැවැතුම් ඇතිව ජීවත් වන්නේ කීයෙන් කී දෙනාද?

ඒ අනුව, අද බෞද්ධයන් සැප සෙවීමේ පරමාර්ථයෙන් සිදුකරන පින්කම් කොතරම් දුරට ධර්මානුකූලව සිදුකරන්නේද යන්න විමසා බැලීම වටී.

දන්දීම පූජා බුද්ධියෙන්ද අනුග්‍රාහක බුද්ධියෙන්ද සිදු කළ හැකිය. බුදු, පසේ බුදු, මහරහතන් වහන්සේ ඇතුළු සිල්වත් උතුමන්ට දෙන දානය පූජා බුද්ධියෙන් දෙන දානයයි. දුගී මගී යාචකාදීන්ට මෙන්ම තිරිසන් සතුන්ටද අනුකම්පාවෙන් දෙන දානය අනුග්‍රාහක බුද්ධියෙන් දෙන දානයයි. ධාර්මිකව උපයා සපයා ගත් දෙයින්, පිරිසුදු සිතින් සිල්වත් ගුණවත් මහෝත්තමයන් වහන්සේ වෙත පිළිගන්වන දානය මහත්ඵල මහානිශංස දායක වේ. මේ අතර ධර්ම දානය සියලු දානයන් අතරින් උතුම් වේ. ධර්ම දේශනය, දහම් පොත් පත් පරිත්‍යාගය,දහම් පොත් ලිවීම මෙන්ම ධර්මශාලා තැනැවීම ආදියද ධර්ම දානයට අයත්වේ.

එසේම පොදුවේ සමාජමය වශයෙන් සලකතොත් වැඩිදෙනෙකු අතින් නිතර සිදුකෙරෙන පින්කම් රාශියකි. ශාසනික වශයෙන් ආරාම විහාර ඉදිකර සඟ සතු කිරීම, දුප්පත් අසරණයන්ට නිවාස තනා පරිත්‍යාග කිරීම, රෝහල් සහ පින් බෙහෙත් ශාලා ඉදිකිරීම, වැසිකිළි කැසිකිළි තැනීම සහ මංමාවත් ඉදිකිරීම් යනාදී මේ සියලු පින්කම් සසර සැප පිණිස හේතුවන බව දේශනාවේ සඳහන්ය.පින යනු සැපයටම කියන තවත් නමක් යැයි බුදුන් වහන්සේ දේශනා කළ සේක. මේ සියලු කුසල ක්‍රියා නිර්වාණාවබෝධය අරමුණු කරගෙන සිදුකිරීම ඉතා වැදගත්ය. ලෝකෝත්තර සුවය උදාකර ගැනීම සඳහා අප්‍රමාදිවන්නැයි බුදුපියාණෝ නිතර දෙවේලේ ශ්‍රාවකයනට අනුශාසනා කළහ.

බුදුදහම දුක ගැනම කතා කරන දහමක් ලෙස ඇතැමෙක් සලකති. ජීවිතයේ නිස්සාර බව මිස සාරවත් යමක් බුදුදහම තුළින් ප්‍රකාශ නොවන්නේයැ’යි සමහරකුගේ මතයයි. එය වැරැදි හැඟීමකි. බුදුදහම ගැන එලෙස අනවබෝධයෙන් පසුවීම යහපතට හේතු නොවේ.

අනිත්‍යය, දුක්ඛය, අනාත්මය යන ත්‍රිලක්ෂණය පටු ආකල්පයකින් බැලීම මෙවැනි මිත්‍යා අදහස් වලට ප්‍රධාන හේතුවයි. පැවිදි, ගිහි කවර පුද්ගලයකුට වුවද තමන්ටත් අන්‍යයන්ටත් හිරිහැරයක් නොවන අයුරින් නිවැරැදිව ජීවත් වෙමින් ඒ යහපත් ජීවන මාර්ගයම විමුක්ති මඟ කර ගත හැකි අයුරු පෙන්වා දෙන එකම දහම බුදුදහමයි.

බුදුන් වහන්සේ දේශනා කොට වදාළ සූත්‍ර ධර්මයන් අතරින් සිඟාලෝවාද , ව්‍යග්ඝපජ්ජ සහ පරාභව වැනි සූත්‍ර ධර්මයන්හි ගිහි ජීවිතය සාර්ථක කර ගන්නා අයුරු මැනැවින් පෙන්වා දී ඇත. මිනිසාගේ ජීවනෝපාය දැහැමි විය යුතු බවත් උපයා ගත් යමක් වේ නම් අරපිරිමැස්මෙන් පරිභෝජනය කළ යුතු බවත් මෙම සූත්‍ර අපට උගන්වයි. එසේම ජීවත්වීම සඳහා සදාචාරාත්මක පණිවිඩයක් දෙන අතර මිනිසාට පිරිහීමෙන් වළකින සැටි කියා දෙයි.මෙලෙස බුදුදහම මිනිසාට සමීප වන්නේ ගුණ දහමෙන් පිරුණු ජන සමාජයක් ලොව ගොඩනැඟීමට පූර්ණ දායකත්වයක් ලබා දෙමිනි.මනුෂ්‍ය සමාජය යහපත් දියුණුවක් කරා ගෙන යෑමට හේතුවන්නේ නම් බුදුදහම දුක පමණක් කියා දෙන නිස්සාර බව පදනම් කර ගත් අසුබවාදි දහමක්යැයි යමකු පවසන අදහස්වල කිසිදු හරයක් නොමැති බව අමුතුවෙන් කිව යුතු නොවේ.

මේ සියලු කාරණා ගැන විමසිල්ලෙන් බැලුවහොත් බුදුදහම වනාහි මිනිස් සමාජය තුළ සතුටින් සහ සහජීවනයෙන් ජීවත් වන අන්දම කියාදෙන පිරිසුදු ශ්‍රේෂ්ඨ දහමකි. එම දහම අනුගමනය කරන්නේ නම් මානව වර්ගයාට පමණක් නොව සමස්ත සත්ව ලෝකයටම යහපතකි . මේ අනුව සද්පුරුෂ සමාජයක්,රටක් බිහි කිරීමට බෞද්ධාගමෙන් ලැබෙන අනුග්‍රහය සුළු පටු නොවන බව මැදිහත්ව සිතන කවරකුට වුවද අවබෝධ වනු ඇත.

බුදුපියාණන් වහන්සේ ලොව පහළ වූ අසමසම ශාස්තෘවරයාණෝය. බුදුවරුනට ගුරුවරුන් නැත. උපදේශකයන්ද නැත. ස්වකීය ඥානයෙන්ම සියල්ල අවබෝධ කර ලෝකාර්ථ සිද්ධිය පිණිසම බුදුවරු ධර්මය දේශනා කරති.එසේ හෙයින් ලොව පහළ වන බුදුවරයන් වහන්සේ ‘සම්මා සම්බුද්ධ’ වන සේක.

දිව්‍ය, බ්‍රහ්ම, මනුෂ්‍ය යන සියල්ලන්ගෙන්ම වැඳුම් පිදුම් ලබන,ගෞරවයට පාත්‍ර වන සම්මා සම්බුදුවරයන් වහන්සේ තුන්ලෝකාග්‍ර වන්නේ සියලු ගුණ මහිමයෙන් අන් හැමටම වඩා උතුම් වන බැවින්ය.

බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම අනුව සත්වයා කර්මය දායාද කරගෙන සිටියි.ඉෂ්ට විපාක ලැබෙන යහපත් ක්‍රියා සිදුකිරීමෙන් සැපද, අනිෂ්ට විපාක ලැබෙන අයහපත් ක්‍රියා කිරීමෙන් දුක්ද හිමි වේ. යහපත් ක්‍රියා නිසා ලබන කුසලය එය සිදුකරන තැනැත්තාට අත්වන අතර තවත් කෙනෙකුට එම පින් අනුමෝදන් කිරීමේ හැකියාව ගැනද බුදු දහමේ කියැවේ. මේ නිසා පින් කිරීමට මෙන්ම පින් අනුමෝදන් කිරීමටද බෞද්ධයා දක්වන කැමැත්ත ඉමහත්ය. මළගිය ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම සඳහා බෞද්ධයන් විශේෂයෙන් පින්කම් කරන්නේද ඒ හේතුවෙනි.පිනක් සිද්ධ කොට දෙව් මිනිස් සැප ප්‍රාර්ථනා කිරීමද, බෞද්ධාගමිකයන් තුළ සම්ප්‍රදායක් බවට පත්ව තිබේ. පින්කම අවසානයේ භික්ෂූන් වහන්සේ විසින් ප්‍රකාශ කරනු ලබන පුණ්‍යානුමෝදනාවට දක්වන දැඩි කැමැත්ත ඊට හොඳම නිදසුනයි.

බුදුන් වහන්සේගේ දේශනය අනුව, මනුෂ්‍ය ලෝකයෙහි සැප හා දිව්‍ය ලෝකවල සම්පත් සඳහා පිනක් සිද්ධ කර අමුතුවෙන් පැතුමක් අවශ්‍ය නොවේ.පින් කළ අයට එහි ඉෂ්ට විපාක නිරායාසයෙන්ම ලැබෙන හෙයිනි. නො එසේනම් පව් කරන්නන් අවීචි මහා නරකය වැනි අපායවල වැටී දුක් විදීමට පැතුමක් නොපතන හෙයින් ඔවුනට එම පාපයන්ගේ විපාක නොලැබී යනු ඇත. මේ නිසා පින්කම් කරන පින්වතුන් විසින් සිදු කරනු ලබන පුණ්‍ය ක්‍රියාවල ඉෂ්ට විපාක ප්‍රාර්ථනා නොකළද ඒකාන්තයෙන්ම පලදීම සිදුවේ. අවශ්‍ය වන්නේ මේ කුසල ක්‍රියාව නිර්වාණාවබෝධය අරමුණු කරගෙන සිදු කිරීමයි.

මේ ආකාරයෙන් තමන් විසින් පිරිසුදු සිතෙන් සිදු කරන ලද පින තම මළගිය ඥාතියකුට අනුමෝදන් කළ කල්හි මිය ගිය ඥාතියා හෝ ඥාතීන් පින් ලැබීමට සුදුසු ස්ථානයක සිටී නම් එම පුණ්‍යානුමෝදනාව සාර්ථකවනු ඇත. බුදුන් වහන්සේ දවස එබඳු පුණ්‍යානුමෝදනාවන්හි මහිමයෙන් සැප ලැබූවන්, සුගතිගාමී වූවන් පිළිබඳ බොහෝ බණ කතා ඇත.

උඩුබද්දාවේ සෝමරත්න බන්නැහැක


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: