Posted by: lrrp | February 19, 2013

දුකසේ විඳින කර්ම විපාක – කුමාර පේ‍්‍රත වස්තුව

භාග්‍යවතුන් වහන්සේ අළුයම කාලයෙහි මහ කරුණා සමාපත්තියෙන් නැගී සිට බුදු ඇසින් ලොව දෙස බලන කල්හි සොහොනෙහි හැර දමන ලද ඒ දරුවා දැක හිරු උදාවෙන වේලාවේ සොහොනට වැඩම කළා. ශාස්තෘන් වහන්සේ මෙහි වඩින්නේ යම්කිසි කරුණක් සඳහාම විය යුතු යැයි සිතු මහා ජනයා ද එහි රැස්වුණා. භාග්‍යවතුන් වහන්සේ පැමිණ සිටි පිරිස ඉදිරියේ මේ දරුවා ළාමක කෙනෙක් යැයි නො සිතන්න. යම්කිසි කරුණක් නිසා සොහොන් බිමේ දමා ගිය නිසා අසරණව අනාථව සිටියි වදාළා.

සැවැත්නුවර ප්‍රදේශයේ ජීවත්වූ උපාසකවරු පිරිසක් දහමෙහි හැසිරෙන්නට නගරයෙහි මහත් වූ මණ්ඩපයක් කරවා විවිධ පැහැයෙන්ගෙන් යුත් රෙදිවලින් අලංකාර කර කල්වේලා ඇතිවම තථාගතයන් වහන්සේට හා භික්ෂූ සංඝයාට ආරාධනා කොට විශාල වටිනා තුරුණු අතුරා පිළියෙල කළ අසුන්වල තථාගතයන් වහන්සේ ඇතුළු මහ සංඝරත්නය වඩා හිඳුවා සුවඳ මල් ආදියෙන් පුදා මහා දානයක් පූජාකර ගත්තා.

එය දුටු එක් තණ්හාවෙන් අධික මසුරු මිනිසෙක් ඒ සත්කාර නො ඉවසා මෙසේ කියා සිටියා. ‘’මේ සියල්ල කසල ගොඩේ දැමුවානම් යහපත්. මේ හිස මුඩු මහණුන්ට දීම යහපත් නොවේ’’ කියා.

උපාසකවරු එය අසා කලකිරීමට පත්වුණා. මේ පුද්ගලයා විසින් බුද්ධ ප්‍රමුඛ මහ සංඝයා කෙරෙහි අපරාධයක් කොට පාපයක්කර ගත්තා. ඒ බව ඔහුගේ මවට දන්වා සමා කර කිරීමට උපදෙස් දී ‘’ඔබ ගොස් ශ්‍රාවක සංඝයා සහිත භාග්‍යවතුන් වහන්සේ සමා කරවා ගන්නැයි’’ කියා සිටියා. ඇය ඒ වදන් මැනවින් පිළිගෙන තම පුතා පිළිබඳව මහත් වූ අනුකම්පාවක් ඇතිකරගෙන පුත්‍රයාට වැරැද්ද පෙන්වා දී භාග්‍යවතුන් වහන්සේ හා භික්ෂූන් වහන්සේලා වෙත එළඹ සමාව අයැද සිටියා. ඉන්පසු ඇය සත් දිනක් උන්වහන්සේලා උදෙසා කැඳ දානයක් පූජාකර ගත්තා.

පසුව ඇගේ පුත්‍රයා වැඩිකල් නො ගොස්ම මිය ගියා. අපවිත්‍ර වූ ක්‍රියාවන්ගෙන් ජීවිතය ගෙනගිය වෛශ්‍යාවකගේ කුසෙහි පිළිසිඳ ගත්තා. ඇය මේ දරුවා උපන් මොහොතෙහි පිරිමි දරුවකු බව දැන සොහොනෙහි දමා ගියා.

නමුත් ඔහුගේ පෙර පින් තිබූ නිසා ආරක්ෂා සහිත වුණා. කිසිදු උවදුරකින් තොරව මවගේ ඇකයේ මෙන් සුවසේ නිදා ගත්තා. දෙවියෝ ඔහු ආරක්ෂා කළ බවත් සඳහන් වෙනවා.

ඒ කාලයේ භාග්‍යවතුන් වහන්සේ අළුයම කාලයෙහි මහ කරුණා සමාපත්තියෙන් නැගී සිට බුදු ඇසින් ලොව දෙස බලන කල්හි සොහොනෙහි හැර දමන ලද ඒ දරුවා දැක හිරු උදාවෙන වේලාවේ සොහොනට වැඩම කළා. ශාස්තෘන් වහන්සේ මෙහි වඩින්නේ යම්කිසි කරුණක් සඳහාම විය යුතු යැයි සිතු මහා ජනයා ද එහි රැස්වුණා. භාග්‍යවතුන් වහන්සේ පැමිණ සිටි පිරිස ඉදිරියේ ‘මේ දරුවා ළාමක කෙනෙක් යැයි නො සිතන්න. යම්කිසි කරුණක් නිසා සොහොන් බිමේ දමා ගිය නිසා අසරණව අනාථව සිටියි. මතු කාලයේ මේ අත්බවයෙහි හෝ පරලොව භවයෙහි මහත් සම්පත් ලබන කෙනෙක් බව වදාළා.

එවිට එහි රැස්ව සිටි පිරිස අසා සිටියෙ “ ස්වාමිනි” මේ දරුවා මෙසේ සොහොන් බිමේ දමා යන්නට මොහු පෙර ජීවිතයේ දී කළ කර්මය කුමක්ද කියාය.

එදා සැවත්නුවර ජනයා විසින් බුදු රජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේට මහත් වූ පූජාවක් කළා. එහිදී මේ දරුවාගේ සිතට ඒ සම්බන්ධව අනාදරයක්, අගෞරවයක් ඇතිවුණා. ඒ නිසා ඔහු පරුෂ වචන කියමින් අපහාස කළා යැයි වදාළා. මේ දරුවා විසින් කරන ලද කර්මය හා අනාගත කාලයෙහි පැමිණෙන සැප සම්පත් ද උන්වහන්සේ වදාළා. රැස්ව සිටි පිරිසට චතුරාර්ය සත්‍ය ධර්මය ගැබ් වූ සාමුක්කංසික දේශනාවක් ද වදාළා. ඒ දේශනාව අවසානයේ අසූහාර දහසකට ධර්මය අවබෝධ වුණා. ඉන්පසු අසූ කෙලක් ධනය ඇති එක් සිටුවරයෙක් භාග්‍යවතුන් වහන්සේ සමීපයේදීම මේ දරුවා මගේ පුතා යැයි කියා භාර ගත්තා.

ඒ සිටුවරයා කාලයක් ගිය පසු මිය ගියා. ඔහු විසින් උරුම කරන ලද ධනය පිළිපදිමින් කුල පරම්පරාව පිහිටුවමින් එම නගරය මහත් සම්පත් ඇති ගෘහපතියකු වී දානාදී කුසල් කර්මයන්හි නියුක්ත වුණා.

එක් දිනක් භික්ෂු සංඝයා දම් සභාවේ රැස්වී මේ පිළිබඳව කථාබස් කරමින් සිටියා. ආශ්චර්යවත් භාග්‍යවතුන් වහන්සේ ඒකාන්තයෙන්ම සත්ත්වයන් කෙරෙහි අනුකම්පා ඇති සේක. අද මහත් සැප සම්පත් අනුභව කරන උදාර ලෙස මහත් වූ පින්කම් කරන මේ දරුවා එදා අනාථව සොහොන් බිමේ සිටි කෙනෙක්. එම කථාව ඇසුණු ශාස්තෘන් වහන්සේ ‘’පින්වත් මහණෙනි මොහුගේ සම්පත් මෙ පමණක් නොවේ. මොහුගේ ආයුෂ කෙලවර තිව්තිසා දෙව්ලොව සතර දෙවිදුගේ පුත්‍රයා වී උපදිනවා. මහත්වූ දිව්‍ය සැප ක් ද ලබනවා උත්පත්ති කුසල ධර්ම තිබෙන සමහර පුද්ගලයෝ හීන වී උපදිනවා. නමුත් ඉතා සුළු පින්කළවුන් උසස්ව ඉපදෙනවා” යැයි මේ ගාථා වලින් වදාළා.

මේ කුමාරයා සොහොනේ අත්හැරලා දාල තිබුණේ. මේ දරුවාගේ ඇඟිල්ලෙන් වැගිරෙන කිරිවලින් තමයි රාත්‍රියට යැපෙන්නේ. කළ පින් ඇති මේ කුමාරයාට යක්ෂ භූ®ත කිසිවෙක්ගෙන් සර්පයෙක් වත් හිංසා වුණේ නැහැ.

බල්ලන් පවා මේ දරුවගේ දෙපා ලෙවකනවා. කවුඩෝ සිවල්ලු මේ දරුවාට එහාට මෙහාට පෙරලනවා විතරයි. පක්ෂීන් ඇවිත් මේ දරුවාගේ සිරුර වටා තිබෙන ගැබ් මල ඉවත් කරනවා. කපුටෝ ඇවිත් ඇස් වටේ තිබෙන කැතකුණු ඉවත් කරනවා.

මේ දරුවා ගේ් රැකවරණයට කිසිම මනුස්සයෙක් නැහැ. බෙහෙතක් දෙන්නට කෙනෙක් නැහැ. අබ ආදියෙන් දුම් ඇල්ලීමක් නැහැ. ඔහු වෙනුවෙන් නැකත් හැදීමක් නැහැ. ඒ වගේම හාල් වී ආදි සියලු ධාන්‍ය විසිරීමක් නැහැ.

රෑ පානේ ගෙනවිත් අමු සොහොනක අතහැරල දාපු දරුවෙක්. වෙඬරු පිඬක් වගේ වෙව්ලනවා. ජීවත්වෙයිද කියන කාරණෙත් සැකයි. මේ විදියේ තත්ත්වයකට පත් වූ දරුවෙක්. දෙවි මිනිසුන්ගේ පිදුම් ලබන මහා ප්‍රඥාවන්ත බුදුරජාණන් වහන්සේ මේ දරුවා දැක්කා.

මේ කුමාරයා කරපු පින මොකක් ද? ගතකළ උතුම් පැවිදි ජීවිතය මොකක් ද? එයා මේ විපාකය ලබන්නට මොනවගේ දෙයක්ද හොඳින් පුරුදු කළේ? මේ වගේ දරුණු ව්‍යසනයකට පත් වූ කෙනෙක් අර විදිහේ සැප සම්පත් ඇති ආනුභාව සම්පන්න කෙනෙක් වෙන්නේ කොහොම ද?

ජනතාව බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූ සංඝයාට මහ පූජාවක් කළා. ඒක දැකලා මෙයාගේ සිත නරක් වුණා. බුදු පාමොක් සඟරුවනට නො ගැළපෙන ඵරුෂ වචන කිව්වා.

පස්සේ මෙයා ඒ නපුරු අදහස දුරු කරගෙන පි‍්‍රතියත් පැහැදීමත් උපදවා ගත්තා. ජේවතවාරාමයෙහි වැඩ වාසය කරන තථාගතයන් වහන්සේට සත් දිනක් මුළුල්ලේ කැඳ බත් වලින් උපස්ථාන කළා. ඒක තමා මෙයාගේ ව්‍රතය. උතුම් ජීවිතයත්. එය පුරුදු කිරීමෙන් තමා වෙතට මේ සැප විපාක ලැබෙන්නේ. මේ වගේ දරුණු ව්‍යසනයට පත් වූ කෙනෙක් වෙලත් ඒ විදිහේ් සැප සම්පත් ඇති ආනුභාව සම්පන්න කෙනෙක් වෙන්නේ ඒ පින නිසාම යි.

මේ කුමාරයා මේ මනුස්ස ලෝකයේ සියක් අවුරුදු ජීවත් වෙනවා. සියලු සැප සම්පත් වලින් යුක්ත වෙනවා. කය බිඳී මරණින් මතු සක් දෙවිඳුන්ගේ් දෙව්ලොව උපදිනවා යැයි තථාගතයන් වහන්සේ වදාළා.

කිරිබත්ගොඩ  ඤාණානන්ද හිමි


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: