Posted by: lrrp | February 19, 2013

සසර ගමනේ නැවැතුම සොයා

නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

කිංසු ජනේති පුරිසං – කිංසු තස්ස විධාවතී
කිංසු සංසාර මාපාදී – කිංසු තස්ස පරායණං
තණ්හා ජනේති පුරිසං – චිත්තමස්ස විධාවතී
සන්තො සාංසාර මාපාදී – කම්මං තස්ස පරායණං

කාරුණික සුපින්වතුනි,

එක් දිනක් මධ්‍යම රාත්‍රී යාමයේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ජේතවනාරාමයට එළියක් වැටුණා. ඒ ආලෝකයෙන් ජේතවනාරාමය සම්පූර්ණයෙන්ම බබළන්නට පටන් ගත්තා. මේ විධියට ජේතවනාරාමය ආලෝකමත් වුණේ බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණි දේවතාවකු නිසයි. බුදුන් වහන්සේ හමුවීමට දෙවියන් පැමිණෙන්නේ රාත්‍රියේ මධ්‍යම යාමයේදීයි. දවසේ සෙසු වේලාවල බුදුරදුන් හට බොහෝ ජනයාගේ හිත සුව පිණිස චාරිකාවේ යෙදෙන්නත්, ධර්ම දේශනා කරන්නත්, තිබීම හේතුවෙන් දෙවියන්ගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න වෙන්කර තිබෙන්නේ රාත්‍රියේ මාධ්‍යම යාමයයි. දෙවියන්ගේ පිනේ හැටියට දෙවියන් සිටින තැනත් යන එන තැනත් ආලෝකමත් වෙනවා. මෙම දේවතාවා බුදුරජාණන් වහන්සේ ළඟට එන විට ප්‍රදේශයම ආලෝකමත් වුණා. දේවතාවා බුදුරදුන් සමීපයට පැමිණියේ ප්‍ර‍්‍රශ්නයක් විමසන්නයි.

මෙම දේවතාවා බුදුරජාණන් වහන්සේගෙන් විමසන ප්‍රශ්නය නම්, “ස්වාමීනි බුදුරජාණන් වහන්ස, සත්වයා උපදවන්නේ කවුද? ඒ සත්වයාගේ එහා මෙහා දුවන්නේ කවරක්ද? සංසාරයට ආවේ කවුද? ඒ තැනැත්තාට පිහිට වන්නේ කුමක්ද?” කියායි. බුදුන් වහන්සේ ප්‍රශ්නවලට පිළිතුරු දුන්නේ මෙබඳු ගාථාවකින්.

තණ්හා ජනේති පුරිසං – චිත්තමස්ස විධාවතී
සන්තො සංසාර මාපාදි – කම්මං තස්ස පරායණං

පුරුෂයා උපදවනු ලබන්නෙ තෘෂ්ණාව විසින් – දුවන්නේ ඔහුගේ සිතයි

සංසාරයට ආවේ සත්වයායි– ඔහුට පිහිට වන්නේ කර්මයයි

මුල් ගාථාවෙන් ප්‍රශ්න සතරක් එක කාරණයක් ගැන අසා තිබුණත්, ප්‍රශ්න වශයෙන් සතරක් තිබුණත්, ඒ සතර වෙන වෙනම අරගෙන ඒවාට බුදුරජාණන් වහන්සේ වදාළ පිළිතුරු ගැන අපි විමසා බලමු.

දේවතාවාගේ පළමු වැනි ප්‍රශ්නය, පුරුෂයා උපදවන්නේ කවුද යන්නයි. ඒ ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර ‘තෘෂ්ණාව’ විසින් පුරුෂයා උපදවනු ලබනවා කියායි. මෙතැන පුරුෂයා උපදවනවා යැයි කීවාම ස්ත්‍රීන් උපදවන්නේ නැද්ද කියා කෙනකුට සිතෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ පුරුෂයා කීවේ පිරිමින්ට පමණක් නොව සියලු සත්වයන්ටයි.

සත්වෝත්පත්තිය යනු සත්වයන්ගේ ඉපදීමයි. එහි විධි සතරක් තිබෙනවා. අණ්ඩජ, ජලාබුජ, සංසේධජ ,සහ ඕපපාතික යන සතරයි. සමහර සත්වයන් බිත්තරවලින් උපදිනවා. ඒ සතුන්ට කියන්නේ ‘අණ්ඩජ’ කියායි. දළඹුව (ගර්භාෂය) ඇතුළත එනම් මව්කුසේ උපදින මනුෂ්‍යයන්,ගවයන් ආදි සතුන් ‘ජලාබුජ’ කියා කියනවා. දියසෙවෙල්, රොඩු, කුණු ආදිය පරණ වන විට ඇතිවන මැසි මදුරු ආදීන් ‘සංසේධජ’ සත්වයන්. සම්පූර්ණ ශරීර සහිතව පහළවන දෙවියන්, බ්‍රහ්මයන් ආදීන් ‘ඕපපාතික’ නමින් හැඳින්වෙනවා.

ඉහත කවර ක්‍රමයකින් සත්වයකු උපන්නත් ඒ සත්වයාගේ උප්පත්තියට හේතු වන්නේ තෘෂ්ණාවයි. තෘෂ්ණාව යනු ඇලීමයි. ‘නන්දිරාග සහගතා තත්‍ර තත්‍රාභිනන්දති.’ යම් කිසි දෙයක හෝ යම් භවයක හෝ සිතේ සතුට ඇතිවී ඇලෙන්නේ තෘෂ්ණාව නිසයි. මේ තෘෂ්ණාව, තණ්හාව, ආශාව, ඇලීම ප්‍රධාන කොටස් තුනක් ලෙස දැක්විය හැකියි. කාම තණ්හා, භව තණ්හා සහ විභවතණ්හා යනුවෙනි. රූප ශබ්දාදී කාම වස්තු ගැනත් ඒ කාම වස්තු ලබා ගන්නට හැකි ලෝක ගැනත් ඇලීමට කාම තණ්හා කියා කියනවා. බ්‍රහ්ම ලෝක ආදිය සදාකාලිකයි කියා ඇති කර ගන්නා ආශාව භව තණ්හාවයි. පරලොවක් නැත කියා මේ භවය ගැන සිත අලවා ගැනීම (උච්ඡේද ද්‍රෘෂ්ටිය) විභව තණ්හාව නමින් හැඳීන්වෙනවා.

ඊළඟට දේවතාවා බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටින්නේ, සත්වයාගේ නිතර එහා මෙහා ඇවිදින්නේ කවරක්ද කියායි. එයට බුදුරජාණන් වහන්සේගේ පිළිතුර වූයේ ‘චිත්තමස්ස විධාවතී’ (දුවන්නේ ඔහුගේ සිතයි) යනුවෙන්. සිත සුළඟ වගෙයි. සුළඟ කාටවත් පෙනෙන්නේ නැහැ. එහෙත් සුළඟ තිබෙන බව දැනෙනවා. ඒවාගේ සිතත් අපට පෙනෙන්නේ නැහැ. එහෙත් සිත තිබෙන බව නම් හොඳින්ම වැටහෙනවා. සුළඟ එක තැනක නතර වී තිබෙන්නේ නැතුවා වාගේම සිතත් නතරවී තිබෙන්නේ නැහැ. නිතරම ගමන් කරනවා.

දේවතාවා ඊළඟට බුදුරජාණන් වහන්සේගෙන් විමසන්නේ (කිංසු සංසාර මාපාදී) සංසාරයට ආවේ කවුද කියායි. ඒ ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේ දෙන පිළිතුර වන්නේ (සංතෝ සංසාර මාපාදි) එනම් සත්වයා සංසාරයට පැමිණියා යනුවෙනුයි. මෙහිදී සත්වයා හා සංසාරය යනුවෙන් හඳුන්වන්නේ කුමක්දැයි දන ගනිමු. කාම, රූප, අරූප යන භව තුනේ යම්කෙනෙක් යම් දෙයක් ඇලෙනවා නම් ගැලෙනවා නම් ඒ තමයි සත්වයා. එම සත්වයා කාම, රූප, අරූප යන භව තුනේ එහාට මෙහාට ගමන් කිරීම භවය නම් වනවා.

දේවතාවා අසන සතරවැනි ප්‍රශ්නය වන්නේ, ‘කිංසු තස්ස පරායණං’ එනම් ඔහුට ඇති පිහිට කුමක්ද කියායි. මෙයට බුදුරජාණන් වහන්සේ ලබාදෙන උත්තරය වන්නේ ‘කම්මං තස්ස පරායණං’ ඔහුට තිබෙන පිහිට කර්මයයි යනුවෙන්. බුදුරදුන් කර්මය පිළිබඳ දේශනා කළේ ‘චේතනාහං භික්ඛවේ කම්මං වදාමි’ එනම් ‘මහණෙනි,මම චේතනාවට කර්මය යැයි කියමි’ කියායි. එවිට කර්මය කීවත් චේතනාව කීවත් දෙකක් නොව එකක්ම බව කියැවෙනවා.

සංසාරයේ වාසය කරන සත්වයා තැනින් තැන උපදින්නෙත්, ඉපදිලා සැපත්, දුකත් දෙකම ලබන්නෙත් තම තමන් කර ගන්නා කුශල හා අකුශල කර්ම නිසා බව ඉහත ධර්ම කරුණු තුළින් කා හටත් පැහැදිලි වන්නට ඇති. එයින් අකුශල කර්ම සංසාරය දීර්ඝ වීමටත් දුක් ලබා දීමටත් හේතුවනවා. සංසාරයේ සැප ලැබීමටත් සසර කෙටි වීමටත්, සසරෙන් ගැලවීමටත් සත්වයාට පිහිට වන්නේ ආධාර වන්නේ කුශල කර්මයි. එහෙයින් කුශල ධර්මයන් දියුණුකොට නිවන් සුව ලබා ගැනීමට අධිෂ්ඨාන කරගනිමු.

ඔබ සැමට තෙරුවන් සරණයි!

පදවි ශ්‍රී පුර  රාජමහා විහාරාධිපති
ශ්‍රී ධර්මාලෝක විද්‍යායතන  පරිවේණාධිපති
ශාස්ත්‍රපති, රාජකීය පණ්ඩිත කරම්බන්කුලමේ  සිරිධම්ම හිමි


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: