Posted by: lrrp | February 23, 2013

අමනුස්ස කතා – ඌරු කටා

‘පරමත්ථදීපනී’ නම් වූ පේතවත්ථු අටුවාවේ එන ‘සූකර මුඛ’ කතාවයි මේ.

අපේ බුදුහාමුදුරුවෝ බුද්ධත්වය ලැබූ අලුත රජගහ නුවර වේළුවනයේ කලන්දක නිවාපයේ වැඩ වාසය කළා. මේ කාලේ නාරද කියන හාමුදුරුවෝ ගිජුකුළු පව්වේ විවේක වාසයෙන් කල් ගෙව්වා. උන්වහන්සේ අභිඥාලාභී උත්තමයෙක්. සාමාන්‍ය ඇහැට නොපෙනෙන සත්ත්වයන් දැකීමේ විශේෂ හැකියාවක් අභිඥාලාභීන්ට තියෙනවා.

දවසක් උදේ පාන්දර නාරද හාමුදුරුවෝ ගිජුකුළු පව්වෙන් බැහැලා රජගහ නුවර පිණ්ඩපාතේ වැඩියා. වනාන්තරය මැදින් වඩිනා උන්වහන්සේ දැක්කා අපූරු සත්ත්වයෙක්. මේ සත්ත්වයාට පියකරු ශරීරයක් තිබුණා. ඒක හරි ලස්සන රැස් විහිදෙන ශරීරයක්. ඒත් අවාසනාවක හැටි! මේ සත්ත්වයාගේ බැබළීම තියෙන්නේ ශරීරයේ බෙල්ලෙන් පහළ කෑල්ලේ විතරයි.

බෙල්ලෙන් ඉහළ කොටස හරි අමුතුයි. මූණ තියෙන්න ඕනෑ තැන තිබුණේ ඌරෙකුගේ මූණක්; කට ඌරු කටක්. මේ අපූරු සත්ත්වයා දැකලා නාරද හාමුදුරුවෝ ටිකක් නතර වුණා; අමනුස්සයාට මෙහෙම කීවා: “පින්වතාගේ මුළු ඇඟම රන්වන් පාටයි. ඇඟෙන් විහිදෙන රැස්වලින් පළාතම එළිය වෙනවා. ඒ උණාට මූණ ඌරු මූණක්. මෙහෙම උණේ සංසාරේ මොන පවක් කළාටද?”

“කට පරිස්සං කර නොගත් එකේ විපාක තමයි මං මේ විඳවන්නේ,” කියලා අමනුස්සයා කීවා.

පේතවත්‍ථු අටුවාවේ තියන හැටියට මේක ඈත අතීතෙට යන කතාවක්. කාශ්‍යප බුදුහාමුදුරුවන්ගේ සාසනේ මහණකම ලබාගත්ත හාමුදුරුනමක් හිටියා. මේ හාමුදුරුවන්ගේ කාය සංවරේ බොහොම ඉහළයි; ඒත් වචන සංවරේ අන්තිම නරකයි; අනිත් හාමුදුරුවරුන්ට බැන්නා; නින්දා අපහාස කළා. මේ හාමුදුරුවෝ අපවත් වෙලා උපන්නේ අපායේ. කල්පාන්තරයක්ම අපායේ දුක් විඳලා එතනින් චුත වෙලා ගිජුකුළු පව්ව අවට වනාන්තරේ අමනුස්සයෙක් වෙලා ඉපදුණා.

“මං කයේ සංවරකම රැක්කා. ඒක නිසා රන්වන් පාට, රැස් විහිදෙන ශරීරයක් ලැබුණා. ඒත් වචනයේ සංවරකම රැකගන්න මට බැරි වුණා. නාරද හාමුදුරුවනේ, පේනවා නේද ඒකෙ විපාක?” තමන්ට ඌරු මූණක් ලැබුණ හැටි අමනුස්සයා විස්තර කළේ එහෙමයි.

අමනුස්සයා එතනින් නැවතුණේ නෑ. මේ ටිකත් නාරද හාමුදුරුවන්ට කීවා:

“තමුන්නාන්සේ දැක්කා මට වෙච්ච දේ. ඒකයි මං මෙහෙම කියන්නෙ. කටින් පව් සිද්ද කරගන්න එපා. ඌරු කටක්. ඌරු මූණක් නං කොහොමවත් ලබන්න එපා.”

නාරද හාමුදුරුවෝ පිඬුසිඟා වැඩලා, දවල් දානයත් වළඳලා, හැන්දෑ කාලේ බුදු හාමුදුරුවෝ වැඩ උන්නු තැනට වැඩියා. භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා කියන සිව්වණක් පිරිසම බණ අහන්න එතන රැස් වෙලා හිටියා. නාරද හාමුදුරුවෝ, ගිජුකුළු පව්වේදී දැක්ක අමනුස්සයා ගැන බුදු හාමුදුරුවන්ට දැන්නුවා.

“නාරද, මමත් ඔය සත්ත්වයා දැක්කා,” කියලා බුදු හාමුදුරුවෝ වදාළා.

එදා අපේ බුදු හාමුදුරුවෝ පිරිසට බණ දේශනා කළේ මේ කාරණාව මුල් කරගෙනයි. බණට ඇතුළත් වුණේ වචී දුශ්චරිතයේ ආදීනවත්, වචී සුචරිතය පිරීමේ ආනිශංසත්.

බොහෝ දෙනාට මේ බණ අපූරුවට හිතට ඇල්ලුවා. මේ කතාව අහපු, කියවපු අපිත් ඒ ගැන හිතන්න වටිනවා.

(මහාචාර්ය අශෝක ප්‍රේමරත්න /නමස්කාර වෙබ් අඩවිය)


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: