Posted by: lrrp | February 23, 2013

පේත වත්ථු කථා මාලාව – නාගපේත කථා වත්ථුව

නිරයෙහි දොර නිතර ඇරී පවත්නේ ය. එහෙයින් පැමිණි කාරණය පලගන්වනු වස් සියල්ලෝ කතිකා කොට උදය පිඬු සිඟායන වේලාවත් සවස උපස්ථාන වේලාවත් හැර වෙන් වෙන්ම කුටිතුළම දිවාරෑ නොපමාව කමටහන්හි යෙදමුයි නියම කරගත්හ. යමකුට අපහසුවක් වී නම් පමණක් ගෙඩිය ගසා රැස්ව ඔහුට උවටැන් කළ යුතු යැයි ද තීරණය කර ගත්හ.

සැවැත්නුවර ජේතවනාරාමයෙහි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩවසන සමයක එක්තරා බ්‍රාහ්මණ පේතයන් දෙදෙනෙකු අරබයා මෙම කථා වස්තුව අර්ථෝත්පත්ති කොට දේශනාකළ සේක. සංකිච්ච සාමණේරයන් වහන්සේ අපගේ සාසනයේ සත්හැවිරිදි වියේදීම සිවුපිළිසිඹියා පත් රහතන් වහන්සේ කීපදෙනා අතරින් එක් රහතන් වහන්සේ නමක් විය. සංකිච්ච හෙරණ (සාමණේර ) වහන්සේ ධර්ම සේනාධිපති ශාරිපුත්‍ර මහරහතන් වහන්සේ ගේ ගෝල නමෙකි. සැවැත්නුවර පොහොසත් ප්‍රභූ® පවුලක උපන් සංකිච්ච හිමිගේ මවු මේ හිමියෝ කුස තුළ සිටිය දීම තරුණ වියේ හදිසි රෝගයකින් මළා ය. ගින්නෙන් දවාලූ මේ මළ මිනියෙහි ගර්භය පිහිටි කොටස් නොදැල්වුණු හෙයින් මිනිසුන් හුල්වලින් ඇන එය වෙන් කොට දරදමා ගිනි තබා ගෙවල්වලට පිටත්ව ගියහ. පසුදා උදේ නෑයෝ සෑය නිවන්නට එහි යන්නේ රන් පිළිමයක් වැනි දරු තෙමේ අඟුරු උඩ පියුමක් සේ හුන්නේ ය. එහෙත් පෙර දින ගැබ්මසට මිනිසුන් හුල් වලින් අනිද්දී හුල් පහරක් මේ දරුවාගේ ඇස කොනක වැදී තිබුණි. එනිසාම මේ කුමරා සඞකිච්ච නම් වූහ.

දරුවා ගෙන ගිය නෑයෝ නිමිතිකරුවන්ට දැක් වූ හ. මේ දරුවා ගෙදර සිටියේ නම් හත්මුතු පරපුරක නෑයෝ හිඟනුන් වන්නෝ ය. පැවිදි වන්නේ නම් පන්සියයක් පිරිවර භික්‍ෂූන් සමඟ තැනින් තැන ඇවිදයන්නේ යැයි නිමිති ඇසූහ. කෙසේ වෙතත් තම ඥාති දරුවා ඉවතලිය නොහැක්කේ තේරුම් ඇති දවස තෙක් වත් අපි හදන්නෙමු යැයි ඔවුහු කතිකාකොට ගත්හ. මෙසේ දරුවා වැඩෙද්දී වැඩහිටි යහළුවෝ සෙල්ලම් පිටියේ දී තමා කුස තුළ සිටියදී තම මෑණියන් මිය ගිය බවත් මළ සිරුර දවාලීමේදී එහි සිටි ඔබ නොදැවී ඉතිරි වුණා යැයි යන බස් අසා සංවේගයට පත්ව මහත් බියකින් බේරී ඇති මා ගෘහයෙහි වාසය නුසුදුසු බවත් මහණවීම සුදුසු බවත් සිතා ඥාතීන්ට ඒ බව දැනවිය. ඥාතීහු ද මෙය අසා මහත්සේ සතුටු වී තමන් ළඟින්ම ඇසුරු කරන ශාරිපුත්‍ර තෙරුන් වහන්සේට පැවිදි කිරීම පිණිස දරුවා බාර දුන්හ. මහසෙනවි සැරියුත් තෙරුන් වහන්සේ කෙස් , ලොම්, නිය, දත් , සම් ආදි කොට ඇති තචපඤචක කර්ම ස්ථානය කියවා හිස බාමින් සිටිද්දීම සත්හැවිරිදි දරුවා සිවුපිළිසිඹියා පත් රහත්බව ලැබීය.

“රහත්ඵල ලාභීව උපත ලබන පශ්චිමභවික සත්ත්ව තෙමේ මහමෙර පෙරළී මිරිකුණේ ද වී නමුත් නොමියන්නේය “ යනු කම්ම නියාමයකි”

බුදුරජාණන් වහන්සේගෙන් කමටහන් ලබා වනයට පිටත්ව යන තිස්නමක් වහන්සේ අවසර ගැනීමට පැමිණි සිටියදී ඔබලා වැඩිමහල් සහෝදර වූ ශාරිපුත්‍ර තෙරුන් හමුව යන ලෙසට බුදුරජාණන් වහන්සේ වදාළ සේක. වනයට යන මොවුන්හට සොරබිය පැමිණ මහණකම සපුරාලන්නට නොහැකි බව දැක සංකිච්ච තෙරුන් සමඟින් පිටත්ව යෑමට මග සලසන ලෙසින් මෙසේ කළසේක. සැරියුත් හිමි මේ තෙරුන් වහන්සේ දැක, ඔබ වහන්සේ මෙහි ආවේ කිමැ ‘ යි ඇසූහ. වනයට පිටත්ව යන අපි භාග්‍යවතුන් වහන්සේ අවසර ගනිද්දී ඔබ වහන්සේ ද මුණගැසී කථා කොට යන්නයැයි අපට අනුශාසනා කළෙහි ය. එහෙයින් අපි මුණ ගැසී වැඳපුදා යන්නට ආවෙමු ‘ යැයි භික්‍ෂූන් වහන්සේලා දැන්වූහ.

අපගේ පියාණන් වූ බුදුරජාණන් වහන්සේ මේ භික්‍ෂූන් නිකමට මෙහි නොඑවන බව සිතූ සැරියුත් මහ රහතන් වහන්සේ කාරණය දැක ඔබලාට සාමණේර නමක් සිටින්නේ දැයි ඇසූහ. නැතැයි පිළිතුරු දුන්හ. එසේ නම් මේ කුඩා සංකිච්චයන් කැඳවාගෙන යන්න යැයි කීහ. ස්වාමිනි, අපට හෙරණකුගෙන් වැඩක් නොවන්නේ ය. වනයෙහි විසීමට යන අපට එය කරදරයක් වන්නේ යැයි කියමින් වුවමනාවක් නැතැයි කීහ. ඇවැත්නි, එසේ නොකියන්න. අන් තෙරුණුන් මෙන් නොව මේ හෙරණගෙන් ඔබට කවදාමුත් කරදරයක් නොවේ. සමහර විට ඔබ වහන්සේලාගෙන් ඒ නමට කරදරයක් විය හැකිය. තවද මා පිය බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ නිකමට මා ළඟට එව්වා නොවේ. ඔබ සමඟ හෙරණකු පිටත්කර යවනු ඇතැයි දැන මෙහි එවූහ. ඒනිසා මේ කුඩා නම කැටුව යව ‘යි ස්ථිවිරයන් වහන්සේ කියා සිටියහ. පෙරැත්තය මත එය “ යහපතයි “ පිළිගෙන හෙරණුන් ද සමඟින් වෙහෙරින් පිටත්ව එකසිය විසි යොදුන් මගක් ගෙවූහ. ගෙවල් දහසක් පමණ ඇති ගමකට වන් භික්‍ෂූන් වහන්සේ ගම්වාසීන්ගේ ආරාධනයෙන් ඔවුන්ගේ උපස්ථාන මත ගම් කෙළවර සාදවා දුන් කුටි තුළ ආරණ්‍ය වාසීව කල් ගෙවූහ.

නිරයෙහි දොර නිතර ඇරී පවත්නේ ය. එහෙයින් පැමිණි කාරණය පලගන්වනු වස් සියල්ලෝ කතිකා කොට උදය පිඬු සිඟායන වේලාවත් සවස උපස්ථාන වේලාවත් හැර වෙන් වෙන්ම කුටිතුළම දිවාරෑ නොපමාව කමටහන්හි යෙදමුයි නියම කරගත්හ. යමකුට අපහසුවක් වී නම් පමණක් ගෙඩිය ගසා රැස්ව ඔහුට උවටැන් කළ යුතු යැයි ද තීරණය කර ගත්හ.

එක්තරා දුප්පත් මිනිසෙක් එක් දුවකුගෙන් උපස්ථාන ලබා එහි කන්නට යමක් නොවූවිට අනෙක් දුව වෙත යන්නේ මගට බටහ. පළමු කී භික්‍ෂූන් වහන්සේලා ද පිණ්ඩපාතයට වැඩ ආපසු එන්නේ අතරමග ගඟකින් ස්නානය කොට වේලාව ආසන්න බැවින් එහිම වැඩ සිට පිණ්ඩපාතය වළදන්නට සූදානම් වන්නේ අර මගටවන් දුප්පත් මිනිසා ද උන්වහන්සේ ළඟට පැමිණ පසෙකට වී සිටියේ ය. ඔහුගේ සියලු තොරතුරු අසා භික්‍ෂූන් වහන්සේ තම පාත්‍රයෙන් මිට මිට දමා බත්පතක් සාදා ඔහුවද සප්පායම් කළහ. ඔහු බත් කා තෙරුන් වහන්සේ වැඳ ස්වාමීනි, සැමදා මෙසේ රසට දන් ලැබේ දැයි අසා එයට ලොල්ව ස්වාමීන් වහන්සේගෙන් ලබාගත් අවසර ඇතිව උපස්ථාන කරමින් උන්වහන්සේ සමඟම විසූහ. ස්වාමීන් වහන්සේලාගේ සිත්ගත් ඔහු ඇසුවොත් යන්නට නොලැබෙතැ යි සිතා දෙමසක් පමණ ගිය තැන දුව බැලීමට සිත්වී නොකියාම වෙහෙරින් පිටත්ව මඟට බැස්සේය.

මහවනයක් පසුකර යාමට ඇති ඔහුට එහිදී සොරමුලක් මුණ ගැසුණේය. සොරුන් වුවද ඔවුහු ද දෙවියන් පුදති. ඒ තමන්ගේ සොරකම් සාර්ථක කරගැනීමට ය. දෙවියන්ට පඬුරක් ගැට ගැසූ ඔවුන් මේ වනයට පළමු පිවිසෙන යමෙක් වේ ද ඌ මරා මසින් හා ලෙයින් පිදේනි දෙන්නමු වශයෙන් භාරයක් ද විය. සත්වෙනි දින අවසන් කොට තිබුණු මෙම පොරොන්දුවට පළමු කී මගට වන් මේ උපාසක තැන ගොදුරු විය. ඔහු අල්ලාගත් සොරමුල ගසක බැඳ යකඩ හුල්ගෙන ගිනි දල්වා රත් කරන්නට වන්හ. ඒ කුමකටදැ යි විමසන්නේ හුල් වලින් ඇන තෝ මරා මස් හා ලේ ගෙන දෙවියන් පුදන්නට යයි කීහ. බියට පත් ඔහු පින්වත්නි, මම හිඟන්නෙක්මි. අනුන්ගේ ඉදුල් කා ජීවත්වන කාළකන්නියකු ගේ මසින් හා ලෙයින් දෙවියන් සතුටු නොවේ. මගේ මස් ලේ අපිරිසුදු ය. මේ අසල රජකුල – ක්‍ෂත්‍රිය කුල වංශික, පිරිසක් පැවිදිව සිටිති. ඔවුන්ගේ ලේ පිරිසුදු ය කියා සොරමුල පෙරටු කොට ස්වාමීන් වහන්සේ වසන තැනට මේ දුර්ජනයා පැමිණියේය.

“දුර්ජන ලෝකයේ කළ ගුණ නොසලකන, අසත්පුරුෂයෝ දැනුත් සිටිති” එහෙත්, එහි කිසිවකු නොදුටු සොර නායකයා කෝ බොල උන්නාසේලා ? යි උපාසක, ගෙන් ඇසූහ. ඒ අනුව ගෙඩිය ගසා තිස්එක්නම රැස් වූ විට, ප්‍රධාන තෙරුන් වන්සේ ගෙඩිය ගැසුයේ කවුරුන්දැයි ඇසූහ.

සොරු නායකයා ඉදිරිපත් ව සියලු තතු කියූ පසු වැඩිමහල් ප්‍රධානියාගේ යුතුකම තම සහෝදර බාල පිරිස බේරා ගැනීම ය. එනිසා මම මොවුන් සමග යන්නෙමි ය. ඔබලා සියලුදෙනා අප්‍රමාදයෙන් යුතුව පැමිණි කාරණය සපලකරගන්න යැයි ඉල්ලමින් සොරු සමඟ යාමට ඉදිරිපත් වූහ. එවිට සියල්ලෝ පිළිවෙළින් ඉදිරියට පැමිණ මම යමි, මම යමි, ආදි වශයෙන් බාල සොහොයුරු දක්වා ඉදිරිපත් වූහ. මේ සියල්ලෝ එක මවකගේ එක පියකුගේ දරුවන් නොවූහ. විතරාගීහු ද නොවෙති. එහෙත් හැමදෙනාම සෙසු පිරිස වෙනුවෙන් දිවි දෙන්නට තරම් ගුණවත් වූවෝ වූහ.

“එදා මෙන් අද ද ගුණවතුන් ගෙන් ලොව හිස් නො වෙත් “

මේ සියල්ල අසා බලා සංකිච්ච හෙරණුවෝ ස්වාමීන් වහන්සේ කිසිවකුත් මේ ගමන යා යුතු නොවේ. යා යුත්තේ මම ය. ඔබ වහන්සේ සියල්ල වෙනුවෙන් මම දිවි පුදමි’යි නැගී සිටියේ ය. මෙහිදී ඔබ සාමාන්‍ය ගෝලයෙක් නොවේ දම් සෙනෙවි සැරියුත් මහ තෙරුන් වහන්සේගේම ගෝල නමෙකි. කුඩා ඔබ අපි බේරී හොරුන්ට පාවා දුන්නෙමුය’ යි දොස් අසන්නට වන්නේ ද අපටමය. එය කෙසේවත් කළ නොහැකි යැයි සියලු ස්වාමීන් වහන්සේ කියන්නට වන්හ.

ඇයි ස්වාමීනි, එසේ කියන්නේ, එදා ඔබ වහන්සේ බුදුරජාණන් වහන්සේ විසින් මාගේ ගුරු හාමුදුරුවන් වහන්සේ වෙත යොමුකළේ මෙම කරුණ දැනගෙනම ය. මගේ ගුරු හාමුදුරුවෝ මා ඔබ වහන්සේ සමඟ එව්වේත් මේ කරුණ දැන ගෙන ම ය. එහෙයින් මේ කරදරය මා පිටට ගත යුතු ම ය. ඒ නිසා මට අවසර දෙන්න. මා අත යම් වරදක් ඇතිවූයේ නම් හැමට කමා කරන්නෙමි යි සියලු වහන්සේ වැඳ යන්නට පිටත් විය.

ඒ වේලෙහි උන්වහන්සේලා ට ඇති වූයේ මහත් සංවේගයකි. මහතෙරුන් වහන්සේ සොරුන්හට කියන්නේ ඔබලා ගිනිදල්වනවිට හුල් මුවහත් කරන විට මේ ළදරුවා බිය විය හැකි හෙයින් ඒවා නොපෙනෙන්නට කරව ආදි වශයෙන් කියද්දී, හෙරණුන් රැගෙන සොරු පිටත්ව ගියෝ ය. නියම කොට පෙන්වු තැන වැඩ සිටි පුංචි සාමණේර රහතන් වහන්සේ සමාපත්තියට සම වැදුනහ. සොර දෙටුවා කඩුව මුවහත් කොට පළමු පහර කර හරහා දුන්හ. එකෙණෙහිම කඩුව පළල් දෙපසින් එකට එක් විය. නැවැත එය දිග හැර ඒ කඩුපාර හොඳින් නොවැඳුණේ යැයි සිතා වැරෙන් දෙවන පහරත් ද ගැසූහ. එවර තල්පතක් සේ කඩු මිට දක්වා එය හැකිලී ගියේ ය. මේ දැක පුදුම වූ සොර නායක තෙමේ සිත් පිත් නැති මේ කඩුව කුඩා හාමුදුරුවන් වහන්සේගේ ගුණ දන්නාසේ ය. එහෙත් හිත්පිත් ඇති මට එය නොදැනුයේ යැයි හෙරණුන් වහන්සේ පාමුල වැඳ වැටී සමාව අයදමින් “ කිසිදු බියක් නො දැනෙන, ඔබගේ මුහුණ පිපීගිය කිණිහිරි මලක්සේ බබළන්නේ ය. එයට හේතු කිම ‘යි ආදි වශයෙන් විමසන්නේ සමාපත්තියෙන් නැගී සිට සාමණේරයන් වහන්සේ ඔවුනට රහත් ගුණ ප්‍රකාශ කොට පන්සියයක් වූ මේ පිරිස් පැවිදි කරවූවෝය.

“සංකිච්ච තෙරුන් වහන්සේ තම ඍද්ධියෙන් ඒ යන සියලු දෙනා  සාමණේරයන් වහන්සේට පෙනෙන්නට සලස්වා සාමණේරය, මේ යන්නවුන් ඔබට දැකිය හැක්කේ දැයි ඇසීය. ස්වාමීනි, දක්නෙමි යි කීහ. එසේනම් ඔබලා කවරෙක්ද? ඔබලා මෙසේ වන්නට කවර කර්ම කළේ දැයි විමසන ලෙසට සාමණේරයන් හට දැන්වී ය. සාමණේරයන් වහන්සේ ද ඇත් වාහනයේ පටන් සියලු දෙනාගේම පිළිවෙළින් වතගොත විචාළ සේක.”

නිසි වයස්හි උපසම්පදාව ලැබූ සංකිච්ච රහතන් වහන්සේ පන් සියයක් වූ එම භික්‍ෂු පිරිස සමඟ ඉසිපතනයෙහි වැඩ සිටින්නේ ජනයා නිතර පැමිණ බණ දහම් අසා සිත් පහන් කර නිති දන් දීමෙහි සූදානම් කරවී ය. මේ කාලයෙහි බරණැස එක්තරා මිථ්‍යාදෘෂ්ටික බමුණූ යුවළකට පුතුන් දෙදෙනෙක් හා එක් දුවක් සිටියහ. වැඩිමහල් පුතුගේ එක් උපාසක මිත්‍රයෙක් සංකිච්ච රහතන් වහන්සේ වෙත මෙම වැඩිමහල් පුතු කැඳවා ගෙන ගොස් බණ දහම් ඇසීමට සැලැස්වූහ. එයින් මෘදු සිත් ඇති වූ බව දත් උපාසක මිත්‍රයා කියන්නේ මිත්‍රය, ඔබ කැමැති ද මට බතින් සංග්‍රහයක් කරන්නට යැයි ඇසූහ. අයියෝ මිත්‍රය, ඔබට එවැන්නක් මම කෙසේ නොකර සිටින්න දැයි ආදි වශයෙන් දීමට තම මිත්‍රයා පොළඹවා ගෙන මා වෙනුවට එක් නමක් ගෙදරට කැඳවා දන් දීමට තරම් ඔහුගේ සිත වෙනස් කරවූහ.

මෙසේ කාලය ගතවෙද්දී භික්‍ෂූන් වහන්සේලාගේ ප්‍රතිපත්ති දැක පැහැදුණු බාල සහෝදරයා හා සහෝදරිය ද පින්කම් කිරීමෙහි කැමැති වූවෝ වූහ. මෙසේ තිදෙනාම සම්පත් පමණින් දන් දෙමින් මහණ බමුණන්ට ද සත්කාර කළහ. ගරු කළහ. එහෙත් මවුපියන් දෙපළ ශ්‍රද්ධා නැත්තේ මිථ්‍යාදෘෂ්ටිකම වූහ.

පැවිදි උතුමන් කෙරෙහි අප්‍රසන්න වූහ. ඔවුනට අගෞරව වන පරිදි කටයුතු කළෝය. දන්දීම ආදි කොට ඇති පුණ්‍යයක් ක්‍රියාවන්හි ඇලුම් නොකළා පමණක් නොව පැවිදි උතුමෝ නොරිස්සුවූ හ.

මේ අතර ඔවුනගේ දියණිය මාමාගේ පුතුට විවාහකර දීමට කතිකාකරගෙන සිටියමුත් ඔහු සංකිච්ච තෙරුන් වහන්සේ කෙරෙහි පැහැදීමෙන් හා සංසාරය කෙරෙහි කල කිරීමෙන් මහණ වූහ. එහෙත් ඔහු නිතර මෙම ගෙදරට දානය සඳහා වඩින්නේ ය. මව් බැමිණිය තම දියණිය යොදා සාමණේර හිමි පොළඹවා ගත්හ. මෙයින් හෙතෙම උකටලී වූයේ, මම සිවුරු හැර, උපැවිදි වෙමියි උපාධ්‍යයන් වහන්සේට නිතර කියන්නට විය. උපධ්‍යායන් වහන්සේ සාසනයේ ඔහුට ඇති සම්පත් දැක, සාමණේරය, එය තවත් සති දිනකට, මසකට නැවැත අඩමසකට ආදි වශයෙන් කල් තැබු වේ ය. මේ අතර මහා වැස්සකින් හා සුළඟින් මේ බමුණු ගෙය ද කඩා වැටී එයට යට වී බ්‍රාහ්මණ යුවළද, පුතුන් දෙදෙනා ද, දියණිය ද මරණයට පත්වූහ.

මොවුන් අතුරෙන් බමුණා හා බැමිණිය පේත ලොව උපන්නා හ. අනෙක් තිදෙන භූමාටු දෙවියන්ව උපන් හ. වැඩිමහල් පුතුට හස්ති (නාග) යානයක් ද, බාල පුතුට වෙළඹුන් යෙදූ වාහනයක් ද දියණියට රන් විමනක් ද පහළ වූහ. පේතව උපන් මේ බමුණු දෙපොළ පොලු මුගුරු වලින් එකිනෙකාට පහර දී ගන්නේ ලෙයින් හා සැරව බුදිමින් මහත් දුක් විඳින්නට වූහ. එකිනෙකා පහර දෙන්නේ ක්‍රෝධයෙන් යුතුව නිකරුණේ පරුෂ වචනයෙන් බැන වදිමින් අසතුටින්ම ජීවත් වෙති.

මේ අතර (කිසිත් නොදත්) සාමණේරයන් වහන්සේ සංකිච්ච උපාධ්‍යායයන් වහන්සේ හමුව මම ගෙදර යන්නෙමි යි එයට අවසර දෙන්නයැයි ඉල්ලා සිටියහ. උපාධ්‍යයයන් වහන්සේ කිසිත් නොකියා කළුවර පක්‍ෂයෙහි වූ මාසේ පෝය දිනක සාමණේරයන් ද කැටිව ඉසිපතනාරාමයේ පිටිපසින් ටික දුරක් ගොස් නතරව සිටිය හ. එවේලෙහි පළමු කී දේවපුත්‍රයන් දෙදෙනා තම නැගණියත් සමඟ දේව සමාගමට යමින් සිටියහ.

ඔවුනගේ මවුපියෝ පරුෂ වචන කියමින් පොලු ඔසවා ගෙන අවුල්ව ගිය කෙස් ඇතිව දාගිය තල් කඳන් වැනි කළු ශරීර ඇතිව,වැගිරුණු ලේ ඇතිව, ඉතා පිළිකුල් සහගත ලෙසින් ඉහත කී දෙවිවරුන් ලුහුබැඳ යමින් සිටියහ.

එවේලෙහි සංකිච්ච තෙරුන් වහන්සේ තම ඍද්ධියෙන් ඒ යන සියලු දෙනා සාමණේරයන් වහන්සේට පෙනෙන්නට සලස්වා සාමණේරය, මේ යන්නවුන් ඔබට දැකිය හැක්කේ දැයි ඇසීය. ස්වාමීනි, දක්නෙමි යි කීහ. එසේනම් ඔබලා කවරෙක්ද? ඔබලා මෙසේ වන්නට කවර කර්ම කළේ දැයි විමසන ලෙසට සාමණේරයන් හට දැන්වී ය. සාමණේරයන් වහන්සේ ද ඇත් වාහනයේ පටන් සියලු දෙනාගේම පිළිවෙළින් වතගොත විචාළ සේක.

ධවල වූ ඇතු පිටින් ඉදිරියෙන්ම එක් දෙවියෙක් ද, වෙළඹුන් යෙදු රියකින් තව දෙවියෙක් මැදින් ද, දස දිසාවන් බබළුවමින් දීප්තිමත් වූ මුව දෙනකට බදු ඇස් ඇති දිව්‍ය කන්‍යාවක් රන් සිවි ගෙයකින් තුන් වෙනුවද , මෙසේ ගමන් කළහ.

පොලු මුගුරු ගත් අත් ඇතිව හැඬූ මුහුණින් තැනින් තැන තුවාල වුණු ශරීර ඇතිව පසු පසින් ගිය පේත්‍රයෝ දෙදෙනාගෙන් විමසන්නේ ඔබලා කුමන පාප කර්මයකින් මේ තත්වයට පත්වූයේ දැයි ඇසීය.

වහන්ස, මෙහි යම් දෙවිකෙනෙක් ඉදිරියෙන් යෙත් ද ඒ අපගේ වැඩිමහල් පුතණුවන් ය. ඔහු ශ්‍රද්ධාවෙන් පැහැදී දන් දී සුවපත්ව දැන් සතුටු වෙයි. මැදින් ගමන් කරන්නේ ඒ අපේ බාල පුත්‍රයා ය. ඔහු මසුරු මල දුරුකොට දන් දී මෙලෙස බබළයි. පසු පසින්ම යම් දෙවඟනක් යන්නී ද, ඕතොමෝ අපගේ බාල දියණිය යි. ඇය තමාගේ කොටසින් අඩක් දන් දී ඒ පිනෙන් සුවපත්ව මෙසේ සතුටු වෙයි. අපි මසුරු සිත් ඇත්තේ මහණ බමුණන්ට අගෞරව කළෙමු. පරිභව කළෙමු. මෙවන් කර්ම ඇති අපේ දරුවෝ දන් දී සැප විඳිති. අපි පොලු මුගුරු වලින් තලා ගනිමින් පිපාසයෙන් හා බඩ ගින්දරෙන් යුතුව ලේ සැරට බොමින් දුක් විදින්නෙමු ය. ඒ පේ‍්‍රතයෝ දෙදෙන මෙසේ තමන්ගේ පාප කර්මයන් පවසා අපි ඔබ වහන්සේගේ නැන්දා සහ මාමා වන්නෙමු යැයි ද පැවසූහ. එය ඇසු සාමණේරයන් වහන්සේ මහත් සංවේගයට පැමිණ පැවිදි ජීවිතයේ ඇති කළකිරීම් පහකොට උපාධ්‍යායන් වහන්සේ දෙපා අල්ලා වදිමින් මෙසේ කීය. ඔබ වහන්සේ විසින් යම් අනුකම්පාවක් මට කළ යුත්තේ ද ඒ එසේම මට කරන ලදී. ඒකාන්තයෙන්ම මහත් අනතුරකට වැටීමට සිටි මා බේරා ගෙන ඇත.

දැන් මට ගිහිගෙයින් වැඩක් නැත. සාසන බ්‍රහ්මචරියාව මැනවින් පිළිපදින්නෙමියි කීය. එවිට සංකිච්ච උපාධ්‍යායන් වහන්සේ ඔහුගේ අදහසට ගැළපෙන කර්මස්ථානය දෙසූහ. ඒ අනුව හැසිරෙන්නේ උන්වහන්සේ නොබෝ කලෙකින්ම රහතන් වහන්සේ අතර තවත් එක් නමක් වී ය.

මේ සියලු ප්‍රවෘත්තිය සංකිච්ච මහරහතන් වහන්සේ භාග්‍යයවතුන් වහන්සේට දැන්වූයෙන් භාග්‍යවතුන් වහන්සේ අර්ථෝත්පත්ති කොට එහි සිටි පිරිසට දහම් දෙසූ සේක. එය බොහෝ ජනයාට ඵල සහිත එකක්ම වී ය.“ 80. අපි එකිනෙකා තලාගෙන ලෙහෙසැරව පානය කරමු. බොහෝ පානය කොටත් සෑහීමකට පත් නොවෙමු. එයද රුචියෙන් නොවෙන්නෙමු ය.

81. මනුෂ්‍යව සිටි අපි නොදුන් පරිදිම, නොදෙනසුළු මනුෂ්‍යයෝ මේ පේතලෝකයෙහි ඉපිද සිටින්නා හ.

ඔවුහු වැළපෙත්, යම් මනුෂ්‍ය කෙනෙක් භෝග සම්පත් ලැබ තමනුත් අනුභව නොකරන්නේ (දීමෙන්) පින් ද නොකරන්නේ නම් ,

82. ඔවුහු දුක් එළවන කටුක ඵල ඇති පව්කම් කොට මරණින් මතු (පේතලොව) සාපිපාසාවෙන් පීඩිතව මහත් දුක් අනුභව කෙරෙත්.

83.ධන, ධාන්‍ය, ක්‍ෂණිකය, ලැබූ (මනුෂ්‍ය) ජීවිතය ද ක්‍ෂණිකය. දිගුකල් නැති දේ ක්‍ෂණිකයයි දැන නුවණ ඇත්තේ යහපත් දේම කරන්නේ ය.

84. ධර්මයෙහි දක්‍ෂ වූ යම් මනුෂ්‍යයෙක් මේවා මෙසේ දනිත් ද, ඔවුහු රහතුන්ගේ වචන අසා දන් දීමෙහි පමා නොවෙති.”

ඛුද්දක නිකාය පේතවත්ථු පාලි ගාථා ඇසුරෙනි

බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ
2600 ශ්‍රී‍්‍ර සම්බුද්ධත්ව ජයන්ති ජනාධිපති මෙහෙයුම් කමිටුවේ
සහකාර ලේකම්
කේ.කේ. සුගතපාල


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: