Posted by: lrrp | February 23, 2013

මේ අය ඉන්නෙ බලහත්කාරයෙන් මගේ ඉඩම දාලා මං යන්නෙ නෑ

මිනිස්සු විය පැහැදම් කොට, වෙහෙස මහන්සි වී ගෙයක් දොරක් හදා ගන්නේ නිවි හැනහිල්ලේ ජීවත්වීමටය. පලදායී ගස්වැල් රෝපණය කැර ගන්නේ ඉඩමෙන් ප්‍රයෝජන ලබා ගැනීමට ය. මෙසේ ගෙවල් දොරවල් හදා ගන්නා අය, ඉඩ කඩම් වතු පිටි වගා කරන අය, මේවා “මගේ ය” යන අදහසින් ක්‍රියා කරති.

ආධ්‍යාත්මීය වශයෙන් සිත දියුණු කොට ඒ වස්තු සම්පත් පිළිබඳ එල්බ ගන්නා වූ ආශාවන් අත හැර නොදැමු අය මරණයේ දීත් මරණයෙන් පසුවත් ඒ ගේ දොර ඉඩකඩම්වලට ආශාවෙන් සිට මළා නම් බොහෝ විට ඊළඟ උපත ද දුගතිගාමීව ඒ වස්තු සම්පත් ඇසුරු කැර ගෙන උපදිත්. ඔවුන් බලාපොරොත්තු වන්නේ තමන්ගේ දූ දරුවෝ ඒ සම්පත් වඩාත් දියුණු කැරගෙන සාඩම්බරව ජීවත් වේ ය යනුවෙනි. ඒ මිසක ඒ ගෙවල් වල, ඉඩකඩම්වල තමන් අකමැති දේ සිදු වනවාට මළගිය උරුමක්කාරයෝ කැමති නැත. විකුණනවාට විරුද්ධය.

පිළියන්දල ප්‍රදේශයේ පදිංචි රම්‍යලතා හතළිස් පස් හැවිරිදි පාසල් ගුරුවරියකි. ඇගේ ස්වාමි පුරුෂයා රජයේ නිලධාරියෙකි. දැනට වසරක පමණ කාලයක සිට රම්‍යලතා කෑම අරුචිය, ඇඟ පත වේදනාව, නින්දෙන් බය වී ඇහැරීම වැනි රෝගාබාධවලින් පෙළුණාය. වෛද්‍ය ප්‍රතිකාරවලින් සුවයක් නොලැබ, මනෝ වෛද්‍ය ප්‍රතිකාරවලට යොමු වූවත් එයින් ද සුවයක් නොවිය. අවසානයේ “සිළුමිණ” පත්‍රයේ “පියවි ඇසින් ඔබ්බට” විශේෂාංගයේ සඳහන් තොරතුරු ඔස්සේ ප්‍රතිකාර සඳහා යොමු වූවාය.

එහිදී ඇය තමන් පීඩා විඳින කායික වේදනාවක් පැහැදිලි කළාය. ඊට අමතරව තමන් දැනට පදිංචි ස්ථානයේ සිට කිලෝමීටර දහයකට පමණ දුරින් ඉඩමක් මිල දී ගත් බවත් එහි අත්තිවාරමක් දමා බිත්ති ටික හරිහැටි නංවා ගන්නට පවා නොහැකිව සිටින බව ද කීවාය.

මෙහි දී ආධ්‍යාත්මික උපදේශකවරයා ඇය වෙත ශක්ති කිරණ එල්ල කරන විට එක තැන කැරකෙන්නටත් හඬන්නටත් වූවාය. ගවේෂකවරයා ප්‍රශ්න කරන්නට පටන් ගත්තේ ය.

“කව්ද මේ අඬන්නෙ?”

“මම ගිරිගෝරිස්”

“කවුද ගිරිගෝරිස් කියන්නෙ?”

“මේ රම්‍යලතා අලුතෙන් ගත්ත ඉඩමේ කලින් අයිතිකාරයා.”

“ඇයි අඬන්නෙ?”

“මේ ඉඩම මගේ. මට ඒවා දාලා යන්න බෑ. මම හිටවපු ගස් මුන් කැපුවා. මම හිටියේ ඒ ගස්වල. මම හිටවපු ගස්වල ගහෙන් ගහට ගමන් කරමින් ඒවා බලාගෙන මම හිටියා. මගේ ඉඩම පුතාගෙන් අරගෙන මුන් මගේ ගස් ටික කැපුවා. මම ඒකට විරුද්ධයි. තරහයි.”

ඉඩම පිහිටි ගමේ පන්සලට ගොස් දින හතක් බෝධි පූජා පවත්වා නැවත පැමිණෙන ලෙස රම්‍යලතාටත්, සැමියාටත්, ගවේෂකවරයා උපදෙස් දුන්නේ ය. බෝධි පූජා පවත්වා ඊළඟ සතියේ නැවතත් රම්‍යලතා සිය සැමියා සමඟ පැමිණියාය. එදින ද ඇය ප්‍රලය වූවාය.

“කව්ද මේ…?”

“මම ගිරිගෝරිස්”

“ඇයි තමුන් මේ නෝනාට හිරිහැර කරන්නෙ?”

“මුන් මට මගේ ඉඩමේ ඉන්න දුන්නේ නෑ”

“ඇයි තමුන්ට මොනවද කළේ?”

“මගේ ඉඩමේ අත්තිවාරමක් දැම්මා. එදා මාව මගේ ඉඩමෙන් එළියට දැම්මා.”

“ඒ කොහොම ද? කවුද තමුන් එළියට දැම්මෙ?”

“අත්තිවාරම් දාපු දවසෙ ඇදුරෙක් ගෙන්නලා ඉඩම වටේ නූල් ඇදලා ආරක්ෂාවක් දැම්මා. ඒ ආරක්ෂාවට ආවේ මට වඩා බලවත් අමනුස්සයෝ කීප දෙනෙක්.”

“ඉතින්?”

“ඉතින් මම කීප වතාවක් මගේ ඉඩමට ඇතුළු වෙන්න හැදුවාම ඉඩම වටේ හිටිය අමනුෂ්‍යයෝ මා එළවා දැම්මා. පන්නා ගත්තා.”

“තමුන් ඊට පස්සෙ කොහේද ගියේ?”

“මම කොහේ යන්න ද? ඈත ඉඳගෙන මුන්ට සාප කරමින් බලා හිටියා.”

“ඇයි සාප කළේ?”

“මගේ වත්තට මට ඇතුළු වෙන්න නුදුන්නාම සාප කරන්නෙ නැද්ද?”

“ඉතින් ඊට පස්සෙ ඉඩමට ඇතුළු වුණේ කොහොම ද?”

“මහත්තයා ඔය ඇදුරෝ කරන ආරක්ෂාවල් තාවකාලිකයි. මන්ත්‍ර බලයෙන් ඉඩමේ ආරක්ෂාවට අමනුෂ්‍යයෝ කීප දෙනෙක් බන්ධනය වෙනවා. උන් ටික දවසක් ඉඩම ආරක්ෂා කරනවා. අර පෙරේත තටුව කාපු එකට හිලව්වෙන්න. ඊට පස්සෙ උන් ආපහු හිටපු තැන්වලට යනවා. මෙතන ඉඩම වටේ හිටපු උන් ගියාට පස්සෙ මම මගේ ඉඩමට ඇතුළු වුණා.

“ඊට පස්සෙ?”

“ඊට පස්සේ ගේ හදන්න ආපු බාස්ලව මම එළෙව්වා. වැඩ කරන්න ජන්නෙ නෑ”

“කොහොම ද එළෙව්වේ?”

“බාස්ලව ලෙඩ කළා. රම්‍යලතා එක්ක බහින්බස් කරලා අමනාප කළා. බාධා කළා. මෙතන වැඩ කරන්න ආපු අයට එපා කරවලා යැව්වා.”

“ඇයි මෙතැන ගේ හදනවට තමුන් අමනාප?”

“මුන් මගේ ඉඩමට බලහත්කාරයෙන්නෙ ආවේ.”

“ඒ කොහොම ද? තමුන්ගේ පුතාට සල්ලි දීලා ඔප්පු ලියාගෙන මේ අය ඇවිත් ඉන්නෙ.”

“ඒවා හරියන්නේ නෑ. මගේ ඉඩම කොහොම ද පුතා විකුණන්නෙ. මම මගේ ඉඩමෙ ඉන්නවනෙ. ඔය මුදල් ගනුදෙනු ඔප්පු තිරප්පු මනුස්සයින්ට වලංගු වුණාට අපට වලංගු නෑ. මගේ කැමැත්ත අවසරය නැතුව මේ අය ඉඩමේ බලහත්කාරයෙන් ඉන්නෙ. මම ඇවිද ඇවිද හිටපු මගේ ගස් ටිකත් කැපුවා” යි තමන්ගේ අයිතිය පිළිබඳ උපාදාන වූ මානසිකත්වයෙන් ම භූතාත්මය කතා කරන්නට විය.

නැවතත් දින විසි එකක් බෝධි පූජා පවත්වා මේ භූතාත්මය කෙරෙහි කරුණාවෙන්, අමනාපයක් ඇති කැර නොගෙන පින් අනුමෝදන් කොට නැවත පැමිණෙන ලෙස නියම කළේය. එසේ බෝධි පූජා පවත්වා ඔවුන් නැවත පැමිණියහ.

එදින ද රම්‍යලතා ප්‍රලය වූවාය.

“කොහොම ද ගිරිගෝරිස් උන්නැහේ?”

“වරදක් නෑ මහත්තයා. දැන් නම් මගේ හිතේ තරහ ගතිය අඩුයි. ඒත් මගේ ඉඩම දාල මට යන්න බැහැ.”

“ඒ මොකද?”

“මගේ ඉඩමේ මුන් ඉන්නේ බලහත්කාරයෙන් නිසා.”

“තමුන් මේ ඉඩම ගත්තේ කොහොම ද?”

“මේ ඉඩම් අක්කර තුන ම මම ඒ කාලෙ ගත්තෙ රුපියල් එකසිය විස්සකට”

“කොයි කාලෙ ද?”

“නවසිය හතළිස් ගණන්වල”

“කාගෙන් ද ගත්තේ.”

“පිචෝරිස් කියලා කෙනෙක්ගෙන්”

“පිචෝරිස්ට ඒ ඉඩම අයිති වෙලා තිබුණෙ කොහොම ද?

“පිචෝරිස්ගෙ පරම්පරාවෙ ඉඩමක්. තාත්තා මළාට පස්සේ පුතාට – පිචෝරිස්ට අයිති වෙලා තිබුණා. මම එයාගෙන් සල්ලිවලට ගත්තා.”

“හරි… ගිරිගෝරිස් මේ ඉඩම පිචෝරිස්ගෙන් සල්ලි දීලා ගත්තාට පස්සෙ පිචෝරිස්ගෙ මැරිච්ච තාත්තා. සීයලා ඉඩමේ අයිතියට, උරුමයට, ආවා නම් තමුන් මොකද කරන්නෙ?”

මම උන්ව පන්නා ගන්නවා. මම සල්ලි දීලා ඔප්පු ලියාගෙනනෙ ඉඩම ගත්තේ.”

“අන්න හරි. දැන් කල්පනා කර බලන්න. මේ අය මේ ඉඩම අර ගත්තෙත් ඒ විදිහට ම යි. ඒකමයි මෙතනත් වෙලා තියෙන්නේ. දැන් තමුන්ට මේ ඉඩම අයිති නෑ. මේ අය තමුන්ගෙ ළමයි වගේ හිතන්න.”

“ඉතින් මම හිටවපු, ආදරෙන් වවාපු, මැරුණට පස්සෙ මම හිටපු මගේ විමානය වෙච්ච ගස් ටික කැපුවට මම තරහයි.”

“ඉඩමක් මුදලට අරගත්තා ම ඒ ඉඩමේ තියෙන ගහකොළන් අයිති වෙනවා. ගිරිගෝරිස්ගෙ ආගම මොකක් ද?”

“මම බුද්ධාගම් කාරයෙක්.”

“කෙනෙක් මැරුණම මොකද වෙන්නෙ?”

“මම දන්නෙ නෑෑ”

“කෙනෙක් මැරෙන වෙලාවෙ ලෝභයක්, ද්වේෂයක් සහිත සිතුවිල්ලක් පහළ වුණොත් අපාගත වෙනවා. ගිරිගෝරිස් ඉන්නේ දැන් ඉඩම පිළිබඳ ලෝභය නිසා ඉපැදුණු පේ‍්‍රතාත්මයක. දැන් ඔබ පේ‍්‍රත ජීවියෙක්. ඔය පේ‍්‍රතාත්මයෙන් මිදිලා ඉහළ තලයකට යන්න කල්පනා කරන්න. දැන් තමුන් නිතර ම ඉන්නේ තරහෙන්, වෛරයෙන්, දැවි දැවී මහා ගින්නකින්. ඔයිට වඩා ඉහළ තලයකට ගිහින් සතුටෙන්, සැනසිල්ලෙන් ඉන්න.”

“ඒ කොහොම ද ඉහළට යන්නෙ?”

“ඉහළට යන්න පින් ඕනෑ. මනුස්ස ලෝකයේ ඉන්දැද්දි කරපු කුසල ක්‍රියාවල පුණ්‍ය ශක්තිය ඕනෑ ඉහළට යන්න. තමුන් ඒ කාලෙ ජීවත්වෙද්දි හොඳ වැඩ කරන්නත් ඇති, දැන් ඔය තරහ මරහ වෛර සිතුවිලිවලින් ඒ මතකය යටපත් වෙලා. දැන් ඔය ඉඩම ගැන ගහකොළ ගැන බැඳීම, තණ්හාව අතහරින්න, ඔය පේ‍්‍රතාත්මයෙන් මිදෙන්න මේ අය ලවා පින්කමක් කරවා පින් දෙන්න ඒතට කැමති ද?”

“කැමතියි… කැමතියි…”

“අපි ඔය ඉඩමෙදි දානයක් දී තමුන්ට පින් අනුමෝදන් කරවන්නම්. තමුන් ශ්‍රී මහා බෝධීන් වහන්සේ සමීපයට ගොස් එතැන සිදු කැරෙන පින්කම්වලට අතහිත දී සතුටෙන් ඉන්න කැමති ද?”

“කැමතියි… කැමතියි…”

දැනට බාගෙට බිත්ති බැඳ ඇති හදාගෙන යන නිවසේ ඉටිකොළවලින් ආවරණය කොට හෝ හාමුදුරුවරු දහ දොළොස් නමක් වඩම්මා දානයක් දී මේ ඉඩමේ පරණ අයිතිකාරයා වූ ගිරිගෝරිස් ගේ නම කියා පැන් වඩා පින් අනුමෝදන් කරන ලෙස ගවේෂකවරයා උපදෙස් දුන්නේය. ඉන්පසු පළතුරු වට්ටියකට සම්බන්ධ කොට ශ්‍රී මහා බෝධි පරිශ්‍රයට භූතාත්මය යැව්වේ ය.


Responses

  1. ස්තූතියි ලිපියට


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: