Posted by: lrrp | February 23, 2013

රහත් වූ සොරු

අසිරිමත් පෙළහරක් පෑ සත්හැවිරිදි රහතන් වහන්සේ කෙනකුගේ කතාවකි මේ.

වරක් සැවැත් නුවර උසස් කුලවල කුමාරවරු තිස් දෙනෙක් බුදු හිමියන් වෙත මහණ වූ හ. උන් වහන්සේලා විදසුන් වැඩීම සඳහා එක් වන පියසකට යෑමට බුදුන් වහන්සේගෙන් අවසර ලබාගත්හ. සංකිච්ච සාමණේරයන් වහන්සේ ද මෙම විහාරස්ථානයේ ම වැඩ වාසය කළ සේක. උන් වහන්සේ සත් හැවිරිදි වියෙහිදී ම රහත් භාවය ලැබූ හිමි නමකි.

බුදුන් වහන්සේ මේ කුඩා සංකිච්ච හිමි අමතා “පුත සංකිච්ච, ඔබත් මේ දරුවන් සමග යන්නැ” යි වදාළ සේක. “එසේය, බුදු පියාණෙනි” යි සංකිච්ච පුංචි රහතන් වහන්සේ ඒ ආරාධනය පිළිගත්හ.

බොහෝ දුර කතර ගෙවා මේ සියල්ලෝ ම එක් පිටිසර ගමකට පැමිණියහ. එදා ගම්වැස්සන්ට හරි ම සතුටු දිනයකි. ස්වාමීන් වහන්සේලා දුටු ගම්වැස්සෝ,

“අපි ඔබ වහන්සේලාට සිවු පසය ම සූදානම් කර දෙන්නම්. මෙහි ම වැඩ වාසය කරන්නැ” යි ආරාධනා කළේ භක්ති පූර්වක ව ය.

එදා සිට මේ භික්‍ෂූන් වහන්සේලාට රසවත් අහරින් අඩුවක් නැත. ගම්වැස්සෝ සේනාසන ද පිළියෙල කොට දී භාවනා කිරීමට ද පහසුකම් සලසා දුන්හ. මේ නවක භික්ෂූන් තිස් නම ම කිසිම කරදරයක් නැති ව විවේකී ව කුඩා සංකිච්ච හිමි සමග අප්‍රමාදී ව භාවනාවෙහි නිරත වූ හ.

මහමඟ ඇවිදින හිඟන මිනිසෙක් ද දිනපතා මෙහි පැමිණ ආහාර ගැනීම සිරිතක් කරගත්තේ ය. දිනක් රසවත් අහරින් ඔද වැඩුණු ඔහු මෙසේ සිතන්නට විය: ‘මුන් වහන්සේලාට කොතරම් රස ආහාර ද ලැබෙන්නේ… රෑ දාවල මහන්සි වී වැඩ කරන අන් අයට මෙතරම් රස අහර ලැබෙන්නේ නැහැ. මම මෙහි ම නවතිමි’ සිතා හිමිවරුන්ගෙන් අවසර ලැබ ටික කලක් එහි නැවතිණ. දැන් ඔහුගේ සිරුර හොඳින් වැඩී ඇත. ටික දිනකට පසු ආපසු යෑමට ඔහුට සිතිණි.

පෙරළා මහ වනයට වැද, යන අතරමග ඔහු අසුවූයේ සොර මුළකට ය. පන්සියයක් දෙනා එහි වූ හ. අහර ලැබ ඇඟ පත හැඩ වැඩ වී සිටින මොහු අල්වාගෙන බිලි පූජා කරන්නට ඔවුහු සිතූ හ. ගුණමකු සිඟන්නා මෙහිදී “අනේ මා වාගේ හිඟන්නකු බිලි පූජාවට ගන්නට එපා. ධාර්මික ව දිවි ගෙවන භික්ෂූන් වහන්සේලා තිස් නමක් අසල ගමෙහි ඉන්නවා. දෙවියන් සතුටු කරන්නට නම් ඔවුන්ගෙන් කෙනකු ගන්නැ” යි බැගෑපත් විය. “දෙවියන් සතුටු කරන්නට නම් උතුම් කෙනකු ගන්න එක වඩා හොඳයි.”

ඔවුන් සැමගේ ද අදහස විය.

ඔවුන් සිඟන්නාගෙන් මඟ අසා, ගියේ භික්ෂූන් වෙත ය. සොර දෙටුවා කිසි ම ඉවක් බවක් නැතිව එක් ස්වාමීන් වහන්සේ නමක් අල්වා ගෙන යෑමට සැරසිණි. ඒ දුටු සංකිච්ච ස්වාමීන් වහන්සේ “ඔබ කවුද? කොහේද මොහු ගෙන යෑමට තැත් කරන්නේ?” යනුවෙන් පිළිවිසී ය. “අපට මොහු ඕනෑ බිලි පූජාවට” ඒ රළු වචන පිට වූයේ සිත් පිත් නැති සොර දෙටුවාගේ මුවිනි.

“හොඳයි. ඔබට ඕනෑ බිලි පූජාවට කෙනෙක් නේද? ඒ හිමි නමට වඩා මා එයට සුදුසු යි. මා ගෙන යන්න” සංකිච්ච හිමියෝ බිලි පුදට තම දිවි දීමට ඉදිරිපත් වූ හ. බුදු රදහු තමා එව්වේ මේ අවදානම් අවස්ථාව නිසා බව ද උන් වහන්සේට සිහිපත් විණි.

සොර දෙටුවා මෙවැනි එඩිතර කෙනකු ලැබීම කොතරම් භාග්‍යක් දැ යි සිතමින් සංකිච්ච තෙරණුවන් රැගෙන ගියේ ය. දැන් ඔහු කුඩා තෙරණුන්ගේ දිවි නැසීමට සූදානම් ය. බිලි පූජාව සඳහා අනෙක් දෑ සියල්ල සූදානම් කර ඇත. හිමියෝ කිසිම බියක් නැතිව සමවතට සම වැදුණහ. සොරා කඩුව මුවහත් කර තදින් පහරක් එල්ල කළේ එක වර ම ගෙල සිඳීමට යි.

එහෙත් අශ්චර්යයකි. කඩුව ආ පිට නැමී ගියේ ය! මිට දක්වා හැකිළිණි. කුඩා සංකිච්ච හිමියෝ ඉතා ප්‍රසන්න මුහුණින් සමවත් සුවයෙන් නොසැලී සිටි සේක.

සොරුන්ට සිත් අදහාගන්නට නොහැකි විය. තමන් කරන්නට ගිය පාප කර්මය ගැන පසුතැවිලි වූ හ. මේ සිත් පිත් නැති කඩුව පවා සීලයෙන් ගුණයෙන් යුත් පින් කෙතක් බඳු උතුමකුට නමස්කාර කරන බව ඔවුහු වටහාගත්හ. වහා ම සියල්ලෝ උන් වහන්සේ ඉදිරියේ වැඳවැටුණහ.

“අනේ හිමියනි, අපට කමා කරන්න. ඔබ වහන්සේ ඔය යන මාවතට අපත් ගෙන යන්න. අප කැමතියි මහණ වෙන්න.”

කුඩා සංකිච්ච හිමියන්ගේ මේ අසිරිමත් පෙළහර නිසා පන්සියයක් සොරහු පාපයෙන් මිදුණහ. පැවිදි බව ලැබූ හ. පසුව බුදුන් වහන්සේ,

“යෝ චේ වස්සසතං ජීවේ – දුස්සීලෝ අසමාහිතෝ
ඒකාහං ජීවිතං සෙය්‍යෝ – සීලවන්තස්ස ඣායිනෝ”

යනුවෙන් ‘විසිරුණු සිත් ඇති, සිත එකඟ කර නොගත් යම් කිසි දුසිල්වතෙක් අවුරුදු සීයක් ජීවත් වේ ද, ඊට වඩා ධ්‍යාන වඩන සිල්වතාගේ එක් දිනක් ජීවත් වීම උතුම් යැ’ යි වදාළහ. ධර්ම ශ්‍රවණයෙන් අනතුරු ව පන්සියයක් නම ම රහත් ඵලයට පැමිණියහ.

(ධම්මපදයේ සහස්සවග්ග 110 වන ගාථාව ඇසුරෙනි).

(කුසුමා වීරසිංහ /නමස්කාර වෙබ් අඩවිය)


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: