Posted by: lrrp | February 24, 2013

දන් පිළිගැන්වූ පමණින් ආනිශංස ලැබේයැයි විශ්වාස නොකළ යුතුයි

කොළඹ ජාතික රෝහලේ විපස්සී බෞද්ධ මධ්‍යස්ථානාධිපති ශාස්ත්‍රපති රජවැල්ලේ සුභූති හිමි

පසුබිම් කතාව

ඒ බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයෙහි වැඩ වෙසෙන සමයෙකි මෙකල සැවැත්නුවර විසූ බැමිණියකට සංඝයා වහන්සේ වෙනුවෙන් දානයක් පිළිගැන්වීමට සිතුණි. මේ බැමිණිය උඩඟු සිත් ඇත්තීය. මහා සංඝයා වහන්සේ උදෙසා දන් පිළිගැන්වීමට සැදැහැ සිත් ඇතත් ධර්මය ගැන අවබෝධයක් නොමැත්තී ය. තමන් කියන කරන දේ පිරික්සීමකින් තොරව ම නිවැරැදි යැයි පිළිගන්නීය. බමුණා ද බැමිණිය කියන දේ ම අසන්නේ ය.

එදින බැමිණිය දන් පිළිගැන්වීමට ඇවැසි කටයුතු කොට මහලු වහන්දෑ සතර නමක් දානයට වඩමවා ගෙන එන ලෙස බමුණාට කී ය. ඇය ද උන්වහන්සේට වැඩ සිටීමට මා හැඟි අසුන් පනවා දානය පිළියෙල කළා ය. විහාරයට ගිය බමුණා සත් හැවිරිදි සාමණේර සතර නමක් වඩමවාගෙන නිවසට ආයේ ය. සංකිච්ච සාමණේර, පණ්ඩිත සාමණේර, සෝපාක සාමණේර, රේවත සාමණේර යන මේ සතර නම සිවුපිළිසිඹියාපත් රහතන් වහන්සේ වූහ.

සත් හැවිරිදි සාමණේරයන් වහන්සේ දුටු බැමිණිය ඉතා කෝපයට පත් වූවා ය. වහ වහා මනාව සැකසූ උස් අසුන් ඉවත් කොට මිටි අසුන් පනවා සාමණේරයන් වහන්සේට වැඩ හිඳීමට සැලැස්වී ය. බමුණා පසෙකට කැඳවා නැවතත් වෙහෙරට ගොස් වැඩි මහලු භික්ෂුන් වහන්සේ සිවු නමක් වඩමවා ගෙන එන ලෙස දැන්වී ය.

බමුණා ද ඒ අනුවම නැවතත් වෙහෙරට යන්නේ සැරියුත් මහ රහතන් වහන්සේ වැඩමවා ගෙන ආවේ ය. ඒ නිවසේ සාමණේරයන් වහන්සේ වැඩ සිටිනු දුටු සැරියුත් මහ රහතන් වහන්සේ දානය පිළිගැන්වීමට ඒ සිව් නම සෑහේ යැයි ආපසු වෙහෙරට වැඩියහ.

මේ දුටු බැමිණිය ගේ කෝපය තවත් වැඩි විය. මහලු භික්ෂුන් වහන්සේ ම වඩමවාගෙන එන ලෙස දන්වමින් නැවතත් බමුණා වෙහෙරට යැවීය. එවර මුගලන් මහ තෙරුන් වහන්සේ වැඩමවාගෙන නිවෙසට ආවත් උන්වහන්සේ ද සාමණේරයන් වහන්සේ දැක දනට සෑහේ යැයි කියා ආපසු වැඩියහ.

බැමිණිය තවත් කෝප වන්නී ‘භික්ෂුන් වහන්සේ අත් හරිමු. බමුණන් හෝම කරන තැනට ගොස් මහලු බමුණන් කැඳවා ගෙන එන්න” යි බමුණාට කීය.

එවේලේ සක් දෙවිඳු ‘මුලාවට පැමිණි මේ ස්ත්‍රිය සාමණේරයන් සතර නම ගේ තරම නොදැන මෙසේ කටයුතු කරතැයි දැක මහලු බමුණු වෙසක් ගත්තේ ය. බමුණන් හෝම කරන තැනට ගොස් හැම බමුණන්ට ම මුලින් සිටියේ ය.

බමුණා ඒ මහලු වෙස් ගත් පූජක බමුණා ද සමඟ නිවසට ආයේ ය. ඒ දුටු බැමිණිය අසුනක් පනවා මහලු පූජක බමුණාට හිඳ ගැන්මට සැලැස්වීය. මහලු බමුණෙකු ගේ වෙස් ගෙන පැමිණි සක්දෙවියෝ ඒ අසුනෙහි නො හිඳ සාමණේරයන් වහන්සේ සතර නමට වැඳ ඉදිරියේ බිම හිඳ ගත්හ. පසුව තමන් සක් දෙවිඳු බව හැඟවූයේ ය.

දන් පිළිගැන්වූ පසු අර සාමණේරයන් වහන්සේ තමන් වහන්සේ ගේ තතු කෙසේ දැයි හඟවනු සඳහා කටයුතු කළහ. එක් නමක් කැණිමඩල විනිවිද වැඩියහ. තවත් නමක් නැඟෙනහිර පලය විනිවිද වැඩියහ. අනෙක් සාමණේරයන් වහන්සේ බස්නාහිර පලය විනිවිද වැඩිය අතර එක් සාමණේරයන් වහන්සේ නමක් පොළොව කිමිදගෙන වැඩියහ.

මේ දුටු බැමිණිය ද මුලාවෙන් මිදුණා ය. සත්‍ය අවබෝධ කරගත්තීය. වෙහෙර වාසී භික්ෂුන් වහන්සේ මේ සිදුවීම පිළිබඳව බුදුරජාණන් වහන්සේට සැළ කළහ. සාමණේරයන් වහන්සේ බැමිණිය ගේ ක්‍රියාව ඉවසමින් සන්සුන් ව කටයුතු කළ ආකාරය පෙන්වා දුන්හ. බුදුරජාණන් වහන්සේ ඒ නිමිති කොට යථෝක්ත ගාථා ධර්මය දේශනා කරමින්.

‘සතුරු වූ අය අතරෙහි සතුරු නොවූ, දඬු මුගුරු ගත් අය අතරෙහි සන්සුන් සිත් ඇති, මමය, මාගේ ය යනුවෙන් ඒ ඒ දේ ආශාවෙන් වැලඳ ගන්නා අය අතරෙහි එසේ නොවී කටයුතු කරන පුද්ගලයා බ්‍රාහ්මණයෙක් යැයි මම කියමි’ යි දේශනා කොට වදාළහ.

එදා බ්‍රාහ්මණ සමාජයට මෙන් ම වත්මන් සමාජයට ද මේ ගාථා රත්නය මාහැඟි ආදර්ශයක් ගෙන දේ. අප කෙරෙහි කරුණාවන්ත වූවෝ මෙන් ම විරුද්ධ වූවෝ ද මේ සමාජයේ වෙති. කෙනෙක් සුළු කරුණකටත් විරුද්ධ වන අතර තවත් කෙනෙක් අප ගේ දියුණුව හෝ සතුට දැක ඇති වූ ඊර්ෂ්‍යා සහගත සිතිවිලි නිසා විරුද්ධ වෙති. මෙසේ කවර හේතුවක් නිසා හෝ විරුද්ධ වන අය අතර අපට නොසැලී සිටිය හැකි නම්,

අනුන් තලා පෙළා පීඩා කරන, දඬු මුගුරු, අවි ආයුධ ගත් අය අතර සන්සුන් ව සිටිය හැකි නම්,

අතෘප්තිකර ආශාවෙන් මේ මගේ ය, මෙය අයිති මට පමණ ය ආදී වශයෙන් ඒ ඒ දේ දැඩිව වැලඳ ගන්නා අය අතර එසේ නොවී සිටිය හැකි නම් අපට උසස් පුද්ගලයන් ලෙස, උතුම් පුද්ගලයින් ලෙස ජීවත්විය හැකි බව තථාගතයන් වහන්සේ පෙන්වා දුන්හ.

අද ධම්ම පදයෙන් ජීවිතයට මාතෘකා වූ ගාථා රත්නයට පසුබිම් වූ කතාවේ එන බැමිණිය ගේ චරිතය දෙස බලන්න. එදා ඉන්දීය සමාජයේ ඉහළම තැන හිමි කරගත්තේ බ්‍රාහ්මණයින්. එවැනි පවුලකින් පැවත ආ මේ බැමිණිය ද උඩඟු, මාන්නයෙන් පිරි සිතැත්තියක වූවා ය. වයසින් අඩු සාමණේරයන් වහන්සේට දන් පිළිගැන්වීම තමන් ගේ තත්ත්වයට තරම් නොවන බව, ඇය සිතන්නීය. සාමණේරයන් වහන්සේ දැක කෝපයට පත් වූයේත් වැඩිමහලු භික්ෂුන් වහන්සේ වඩමවාගෙන එන ලෙස කීපවරක් ම බමුණාට දැන්වූයේත් එහෙයිනි.

සංඝයා වහන්සේ උදෙසා දානමය පිංකමක් සිදු කිරීමට හැකි වීම ජීවිතයේ මහත් භාග්‍යයක් කොට සැලකීමට අද ද බෞද්ධයෝ පුරුදුව සිටිති. එහෙත් දන් පිළිගැන්වූ පමණින් එහි ආනිශංස ලැබේයැයි අප විශ්වාස නොකළ යුතු ය. තමන් සම්බුද්ධ ශාසනය විෂයයෙහි දානයක් දෙනවා නම් සංඝ ගෞරවය ඇතිකරගෙන දන් පූජා කළ යුතු බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්හ. දානයට කී නමක් වැඩම කළේ ද, පන්සලේ ලොකු හාමුදුරුවෝ වැඩියා ද, පොඩි හාමුදුරුවන් වහන්සේ පමණක් වැඩියා ද, උන්වහන්සේ ගේ තරාතිරම කෙබඳු ද, ආදී දේ ගැන එහි දී සැලකිලිමත් නොවිය යුතු ය. දානය නම් බලාපොරොත්තු රහිත අත්හැරීමකි. මමය මාගේ ය ආදී වශයෙන් ළංකරගෙන සිටි දේ අත්හැරීම ය. එය නිවනට හේතුවන සාධකයකි.

අද අපි වෙසෙන්නේ ගැටලු පිරුණු සමාජයක ය. බොහෝ පවුල්වල ද මේ තත්ත්වය දකින්නට ලැබේ. අපගේ මිනිසුන් ගේ ඉවසීමේ ගුණාංගයට සිදුවූයේ කුමක් දැයි සිතා ගත නොහැකි තරමට ඉවසීම දුරු වී තිබේ. වැඩිහිටියකු තබා බොහෝ විට කුඩා දරුවකු ගෙන්වත් එය බලාපොරොත්තුවිය නොහැකි ය. ඉවසීමක් නැති වැඩිහිටියෙක් හෝ වේවා කුඩා දරුවෙක් හෝ වේවා විනය ගරුක නොවන්නේ ය. විනය ගරුක නොවූ පුද්ගලයාට ජීවිතය මනාව සැලසුම් කරගත නොහැකි ය. සියලු කටයුතු අවුල් කරගන්නා ඔහු ජීවිතයම ගැටලුවක් බවට පත්කර ගනී. වියවුල් මනසින් යුතු ඔහු අන්‍යයන් සමඟ ද ගැටුම් ඇති කර ගනී. සුළු කරුණක දීත් දැඩිව කෝපයට පත් වේ.

බොහෝ පවුල්වල, රැකියා ස්ථානයන් හි සේවය කරන සාමාජිකයන්ට ගිනි ජාලාවක් මැද ජීවත් වනවා සේ දැනෙන්නේ මේ ඉවසීමේ ගුණාංගය නොමැති නිසා ය. අනෙකා ගේ කෝපය හමුවේ නිහඬව සිටීමට තරම් තමන් වෙත නිහතමානී බවක් නොවුණ නිසා ය. මෙසේ සිතන්න. ඔබ ගේ සැමියා සුළු දෙයටත් කෝපයෙන් කෑ ගසන සැර පරුෂ අයෙක් නම්, ඉවසීම අඩු කෙනෙක් නම් ඔහු සමඟ මෙතෙක් ජීවිතය බෙදා හදා ගත්තේ කෙසේ ද? ඔබත් කෑකෝ ගසමින් ඔහු ගේ කෝපය වැඩිවන ලෙස කටයුතු කළා ද? එවිට නිවසේ පරිසරය කෙබඳු වීද? සැමියා කෝප ගත් මොහොතක ඔබ නිහඬව සිට පසුව සාමකාමී ලෙස ආදරයෙන් ඒ වරද වටහා දුන්නා ද? එවිට ඇති වූ තත්ත්වය කෙබඳු ද? නිවසේ පරිසරය කෙසේ වී ද? ඉවසීමෙන් කටයුතු කිරීම නිසා ඔබ ජයග්‍රහණය කළ බව දැන් ඔබට වැටහෙන්නට ඇත. බිඳී විසිරී යන්නට තිබූ පවුලක සැබෑ ආදරය, සාමය නිර්මාණය වූ ආකාරය ඔබ දකින්නට ඇත. නිවෙසේ මෙන් ම අප ජීවත්වන සෑම තැනක දීම මෙසේ ඉවසීමෙන් කටයුතු කරන්නේ නම් අප ලබන සැනසීම සුළුපටු නොවේ.

එහෙත් අද අප මුහුණ දෙන සැබෑ තත්ත්වය නම් සුළු කරුණකදීත් කුපිත වන ස්වභාවයයි. මෙහිදී අපට ඉහත දැක්වූ කතා පුවතේ එන පුංචි සාමණේරයන් වහන්සේ ගේ ඉවසීමේ ගුණාංගය ආදර්ශයට ගත හැකි ය. උන්වහන්සේ බැමිණිය ගේ ක්‍රියා කලාපය හමුවේ ඉවසිලිවන්ත නොවුණා නම් ඇය මුලාවෙන් මුදවා ගත නොහැකි වනු ඇත. උඩඟුකම, මාන්නය දුරු කොට ඇයට සත්‍ය අවබෝධ කරගත වූයේ උන්වහන්සේ ගේ ඉවසීම නිසා ය.

බෞද්ධයන් ලෙස අපට ඇස, කන, නාසය, දිව, ශරීරය යන මේ ඉන්ද්‍රියයන් පාලනය කර ගැනීමට ශක්තියක් තිබිය යුතු ය. ඒ ශක්තිය ඇති කර ගැනීමට අපි නිරන්තරව මහන්සි විය යුතු ය. කුඩා දරුවන්ටත් එය අපහසු නොවේ.

අප ගේ බුදුපියාණන් වහන්සේ ඒ සඳහා මඟ අපට කියා දුන්හ. ආදර්ශයෙන් ද පෙන්වා දුන්හ. උන්වහන්සේ තමන්ට විරුද්ධ වූ දෙව්දත්ට විරුද්ධ නොවූහ. තමන් වහන්සේ වෙහෙස වීමට ආ ආලවක යක්ෂයා ඉවසීමෙන් දමනය කළහ. රා පොවා තමන් වහන්සේ ඉදිරියට එවූ චණ්ඩ නාලාගිරි ඇතා ඉදිරියේ නොසැලී සන්සුන්ව, ඉවසීමෙන් කටයුතු කොට ඒ හස්ති රාජයා දමනය කළහ. තමන් වහන්සේට නින්දා අපහාස කළ චිංචිමානවිකාව ගේ ක්‍රියා කලාපයන් ඉවසා වදාළහ. අවවාදයෙන් මෙන් ම ආදර්ශයෙන් ද උන්වහන්සේ අපට ජීවත්විය යුතු ආකාරය පෙන්වා දුන්හ.

පන්සිල් නැමැති රාමුව තුළ බෞද්ධයින්ට අන්තගාමී නොවී සතුටින් ජීවත්වීමේ මාර්ගය පෙන්වා දුන්හ. කාමය වරදවා හැසිරෙන්නට එපා යැයි බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දුන්නේ අප ගේ ඉන්ද්‍රියයන් වරදවා ප්‍රයෝජනයට නොගන්නා ලෙසයි. ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස යන මේ ඉන්ද්‍රියයන් අයාලේ හසුරුවනවා නම් ඒ සියල්ල ගැනෙන්නේ කාමය වරදවා හැසිරීමක් ලෙසට ය.

මේ ගාථා රත්නයෙන් පැහැදිලි කරන්නේ ආශාවන් පසුපස එළවන සමාජයේ කෙනකුට උඩුගං බලා යා හැකි නම්, මමය මගේ යයි අල්ලා නොගෙන සතුටින් ජීවත් විය හැකි නම් ඒ පුද්ගලයා බ්‍රාහ්මණයෙක් වන බව ය. මේ පසුබිම් කතාන්දර අපට උගන්වන්නේ ඒවායේ එන ආදර්ශයන් යම් තාක් දුරකට හෝ අප ගේ ජීවිත සාර්ථක කර ගැනීමට උපයෝග කර ගන්නා ලෙසටයි.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: