Posted by: lrrp | February 24, 2013

රහතන් වහන්සේලා දුටු සෞන්දර්යය

පරිසරය පිළිබඳ එහි සෞන්දර්ය රසාස්‌වාදය රහතන් වහන්සේලා ද අත් වින්දාහ. විවිධ අවස්‌ථාවන්හි රහතන් වහන්සේලා ප්‍රකාශිත කරුණු අනුව ඒ බැව් පසක්‌ වේ. බෝසතුන් බුදු බව ලබා ගැනීමෙන් පසු තම ජන්ම භූමිය වූ කිඹුල්වතට වැඩමවා ගැනීමට පිය මහ රජතුමාට අවශ්‍ය විය. ඒ අනුව දූත පිරිස්‌ යෑව්වත් එය අසාර්ථක වුණි. අවසන කාලූදායී ඇමැති පැවිදි බව ලබා ගැනුමට අවසර ගෙන බුදු හිමියන් හමුවට පිටත් විය. හෙතෙම පැවිදි බව ලබා රහත් ඵලයද ලබාගෙන බුදු හිමියන් අබියසට ගොස්‌ උන්වහන්සේට කිඹුල්වතට වඩින මෙන් ඇරැයුම් කළේය. එම අවස්‌ථාවේ කාලුදායී තෙරුන් වහන්සේ කිඹුල්වත් පුරයට ගමන් කරන මාර්ගය පිළිබඳ අපූරු වර්ණනාවක්‌ කළේය.

අංගාරිනෝදානි දුමා භදන්තේ
එලේසිනෝ ඡදනං විප්පහාය
තේ අච්චිමත්තෝව පභාසයන්ති
සමයෝ මහා වීර භගීරතානං

යනුවෙන් “ස්‌වාමිනී දැන් වෘක්‌ෂයන් ගිලිහුණු පරණලා ඇත්තාහු ගිනි අඟුරු වැනි මල් පල ඇත්තාහු ඵල හට ගැනීමට ළංවූවාහුය. ඒ වෘක්‌ෂයෝ පහන් සිළු මෙන් බබලති. මහා වීරයන් වහන්සේ ශාක්‍යයන්ට උපකාර පිණිස මේ කාලය වෙයි.

දුමානි පුල්ලානි මනෝරමානී
සමන්තනෝ සබ්බදිසා පවන්ති
පත්තං පහාය ඵලමාසසනා
ඛාලෝ ඉතෝපක්‌කවනාය වීරං

සිත්කළු වෘක්‌ෂයෝ පිපුන මල් ඇත්තාහු හාත්පස සියලු දිසාවන්හි සුවඳ හමත්. පරණලා හැර පලාගැනීමට ළං වූවාහුය. වීරයන් වහන්ස මෙයින් නික්‌ම යැමට කාලය වෙයි.

නේවාති සීතං න පනානි උන්හං
සුභා උතු අද්ධනියා භදන්තේ
පස්‌සතු තං සාකියා කෝලියාච
පච්ඡා මුඛං රෝහිණී තාරයන්තං

ඉතා සීත හෝ ඉතා උෂ්ණය නැත. සෘතුව සැප පහසුව ගෙන දෙයි. ගමනට යෝග්‍යය. ගොවියෝ මතු බලා කුඹුරු සාති. හාන්නහු විසින් මතු බලා වී වපුරන්නාහ. ධනය උපයන වෙළෙඳුන් මතු බලා සමුද්‍රය තරණය කරන්නාහ. මගේ බලාපොරොත්තු ඇත්නම් එය සාර්ථක වෙත්වා. මෙලෙස පරිසරය පිළිබඳ කරන ලද වර්ණනාවට අනුව බුදු හිමියෝ උන්වහන්සේගේ ඇරැයුම පිළිගෙන කිඹුල්වත් පුරයට වැඩම කිරීමට ඉටා ගත්හ.

“ඒකවිහාරිය” තෙරුන් වහන්සේ තමන් වැඩ සිටි පරිසරයෙහි චමත්කාරය මෙසේ වර්ණනා කළහ.

යෝගි පීතිකරං රම්මං – මත්තකුඤ්ජර සේවිතං
ඒකෝ අත්තවසි ඛිප්පං – පවිස්‌සාමි කානනං

යෝගීන්ට ප්‍රීතිකර වූ රමණීය වූ මතැතුන් විසින් සෙවුනා ලද වනයට එකලා වූයෙමි. ශ්‍රමණ ධර්ම සංඛ්‍යාත අර්ථයෙන් වසඟයට ගියෙමි. වහා පිවිසෙමි.

සුපුප්ඵ§තේ සීතවනේ – සීතලේ ගිරිකන්දරේ
ගත්තානි පරිසිඤ්චිත්වා – වංකස්‌සාමි ඒකකෝ

සුපිපි සිහිල් වනයෙහි සිසිල්වු ගිරි කඳුරෙහි සිරුර සෝදා හුදෙකලාව සක්‌මන් කරමි. හුදෙකලා වූ වනයෙහි මට දෙවැන්නෙකු නැත. ශ්‍රමණ කටයුත්තෙහි නියෑලෙමි. සිත්කළු වූ මෙවැනි වනාන්තරයක යළි කවදා වාසය කරන්නෙම්ද? වැඩිදුරටත් පරිසරයෙහි මනස්‌කාන්ත බව විස්‌තර කරන ඒකවිහාරිය තෙරුන් වහන්සේ

මාලුතො උපවායන්තෝ – සීතේ සුරභි ගන්ධිකෝ
අවිඡ්ඡං දාළයිස්‌සාමි – නිසින්නෝ නග මුද්ධති
වනේ කුසුම සඡ්ජන්තේ – සීතේ සුරභි ගන්ධිකේ
විමුක්‌ති සුඛේන සුඛිතෝ – රමිස්‌සාමි ගිරිබ්බඡේ

සිසිල් වූ මිහිරි සුවඳැති සිහිල් පවන හමන කල්හි කඳු මුදුනෙහි සිටියෙමි. මසිතෙහි අවිද්‍යාව පළවා හැරියෙමි. මල්වලින් ගැවසුණු ඒකාන්තයෙන්ම සිසිල් වූ බෑවුම් ඇති කඳු වළලු ඇති වනයෙහි විමුක්‌ති සුවයෙන් වාසය කරමි.

පරිසරයෙහි සිත්ගන්නා සුළු බව පැහැදිලි කරන සංකිච්ච රහතන් වහන්සේ මෙසේ වදාරති.

අච්චෝදිකා පුථු සිලා – ගෝනංගුල මිගායුතා
උම්බුසේවාල සඤ්ඡන්නා – තේ සේලා රමයන්තිමං

පැහැදිලි දිය දහරා තිබෙන පළල් ගල් තලාවකි. වඳුරු ආදී සිව්පා සතුන් ගහනය. දිය සෙවළෙන් යුතු ගල් පර්වත මගේ සිත පිනවනු ලබයි. ආරණ්‍යයෙහි ද, ගිරිකදුරුවලද, ගිරි ගුහාවලද, වල් මුවන් විසින් ගැවසී ගත් වනාන්තරයෙහි ද මම වාසය කරමි. කොතරම් අපිස්‌ දිවියක්‌ ගතකළද රහතන් වහන්සේලා පරිසරයෙහි සුන්දරත්වය තුළින් අසීමිත නිරාමිස ආශ්වාදයක්‌ ලබා ගත්හ.

කත්නු තත්ථ න රමෙන්ති – ජම්බුයො උභතෝ තහිං
සෝභෙන්ති ආපගා කුලං – මම ලේණස්‌ස පච්ඡතෝ

එහි මගේ ලෙන පිටුපස ජම්බු වෘක්‌ෂයෝ ගං ඉවුර දෙපස හොබවති. ඒ වෘක්‌ෂයෝ කවරක්‌හු නොපිනවත්ද?

තා මතමදසංග සුප්පහීතා – භේකා මන්දවතී පනාදයන්ති
තාඡ්ජ ගිරි නදීහි විප්පවාස සමයෝ – ඛේමා අජකරණී සිවා සුරම්මා

සර්ප සමූහයාගෙන් මොනවට මිදුණු ගාම්භීර නාද ඇති ඒ මැඬියෝ නද දෙති. දැන් ගංගාවන් ගෙන් වෙන්ව විසිය යුතු කාලය නොවෙයි. නිර්භය වූ “අජකරණී” නදිය අතිශයින් සිත්කලු වන්නීය. මෙසේ ආයුෂ්මත් “සප්පක” රහතන් වහන්සේ පරිසරය වර්ණනා කරමින් ගාථා ගැයූහ.

තාලපුට රහතන් වහන්සේ මෙලෙස පරිසරය පිළිබඳ වර්ණනා කරති.

චුට්‌ඨංහි දේවේ චතුරංගුලෝ තිණෝ – සං පුප්ඵ§තේ මේඝ නිභම්ති කානනේ
නගන්තුරේ වීස පිසමෝ සයිස්‌සං – තංවේ මුදු හේභිතී තුල සන්නිභං

වැසි වැටුණ කල්හි සිව් අඟල් පමණ උසැති තණකොළ වැඩී ඇති විට වැසි වළා බඳු වූ වනාන්තරය නිල් පැහැගත් කල්හි පර්වත අතර තුරු වදුලෙහි හොත්තෙමි. ඒ තණ පලස්‌ අලුත් යහනක්‌ මෙන් මට මොළොක්‌ වන්නේය. එම්බා චිත්තය තොප වනාහී වල් ඌරන් හා පිනිමුවන් විසින් පිවිස සෙවුනා ලද ප්‍රාග්හාරයක්‌ හා සමාන ගිරිකුළු ඇති සැබවින්ම සුන්දර වූ භූමි භාග ඇත. අලුත් වැසි දියෙන් තෙත් වූ ඒ වනයෙහි ගුහා නමැති ගෙට පැමිණියෙහි භාවනා අරමුණෙහි රමණය කරව යනුවෙන් උන්වහන්සේ වැඩිදුරටත් පවසති.

එම්බා චිත්තය, නීල වර්ණ ගෙල ඇත්තා වූ මනාව පිහිටි සිළු ඇත්තා වූ පිල් බර වූ විසිතුරු පියාපත් ඇත්තා වූ පක්‌ෂීහු මේඝ ගර්ජනා හේතුවෙන් මිහිරි හඬින් නාද කරන්නා වූ ඒ මයුරයෝ වනයෙහි ධ්‍යාන වඩන්නා වූ ඔබගේ සිත් අලවන්නේය. මෙසේ තාලපුටක රහතන් වහන්සේ සොබා සෞන්දර්ය ගැන සඳහන් කළ සේක.

යදා නභේ ගඡ්ජති මේඝ දුන්දුභී – ධාරා කුලා විහගපථෙ සමන්තතෝ

භික්‌ඛුව පබ්බහාර ගතෝච ක්ධායතී – තපෝ රතිං පරමතරං න වින්දතී යනුවෙන් ආයුෂ්මත් “භූත” රහතන් වහන්සේ ස්‌වභාවික පරිසරයෙහි සොඳුරු බව ප්‍රකාශ කළහ. යම් කාලයක අහසෙහි දිව්‍ය බෙර ගුගුරයි ද නොහොත් මේඝ ගර්ජනා කරයිද අහසෙහි හාත්පස වැසි වළා ගැවසුණේද මහණ තෙමේත් පර්වතයට ගොස්‌ ධ්‍යාන වඩත්ද එවිට එයටත් වඩා රතියක්‌ හෙවත් ඇලීමක්‌ නොමැත. කිසියම් කලෙක නුවණැති ශ්‍රමණ තෙමේ විචිත්‍ර වූ වන මල් පොකුරු ඇති ගංගා තීරයෙහි වෙසෙමින් ධ්‍යාන වඩමින් මඟපල ලබමින් සුන්දර සිත් ඇතිව වෙසෙයිද එයට වඩා පරමතර රතියක්‌ නොමැත්තේය.

යදා නිසින්නෝ රහතනම්හි කානෙ නේ – දේවේ ගලන්තම්හි නදන්ති දාඨිනෝ
භික්‌ඛුව පබ්හාර ගතෝව ක්ධායතී – තථෝ රතිං පරමතරං න වින්දතී

යම් කලෙක මහජනයාගෙන් ශූන්‍ය වූ වනාන්තරයෙහි වැසි දහරා ගලනා විටෙක නොයෙක්‌ මෘගයෝ නාද දෙත් ද මහණ තෙමේත් ගල් ගුහාවෙහි ධ්‍යාන වඩත් ද එතරම් සුන්දරත්වයක්‌ තවත් නැත යනුවෙන් භූත රහතන් වහන්සේ වැඩිදුරටත් සඳහන් කරති. මෙසේ බලන විට රහතන් වහන්සේලා සොබා සෞන්දර්යය කොතරම් අගය කළාහුද යන්න මැනවින් වටහාගත හැකිය. (ථෙර ගාථා ඇසුරෙනි)

බටුගොඩ ශ්‍රී ජයසුන්දරාරාම
මහා විහාරාධිපති ධර්මවේදී
නාලන්දේ විමලවංශ හිමි


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: