Posted by: lrrp | March 3, 2013

සක්වළ සක්මන – සක්වළ එතෙරට ඇසෙන සෙනෙහසේ වෙනස

අග්ග මහා පණ්ඩිත ආචාර්ය
බෙල්ලන
ඤාණවිමල මහ නා හිමි

සෑම සාර්ථක පිරිමියෙකු පිටුපසම කාන්තාවක් ඇතැයි පැවසේ. බොහෝවිට ඇය, ආදරණීය මව හෝ පි‍්‍රය බිරිඳ හෝ වෙයි. යහපත් බිරිඳක මවක් වැනිය. යහපත් සැමියෙකු පියෙක් බඳු ය. බුදුරදුන් මව, පියා (බ්‍රහ්මාති මාතා පිතරෝ) බ්‍රහ්මයාට ද සම කරයි. සක්වළ එතෙරට පවා ඇසෙන මේ සෙනෙහසේ ප්‍රතිරාවය පිළිබඳ විමසුම් සටහනයි.

මහ නායක හාමුදුරුවනේ,
සිය දරුවන් පිළිබඳව මවකගේ සිතේ පවතින්නේ සෙනෙහස ඉක්මවා ගිය මෛත්‍රී සිතිවිල්ලක් ද?

ඔව්. බොහෝවිට දරුවෙකු අරමුණු කොට මවකගේ සිතෙහි ඇතිවන සෙනෙහස වඩා නැඹුරු ප්‍රේමය පැත්තට නොව මෛත්‍රිය පැත්තටයි. සිතක මෛත්‍රිය දියුණු කළ යුතු තත්ත්වය බුදුහාමුදුරුවෝ පැහැදිලි කොට වදාළේ,

“එක පුතකු ඇති මවක යම්සේ ඔහු ගැන සිතයි නම්, එම පමණට මෙත්තාව (මෛත්‍රිය) වැඩිය යුතුය” යනුවෙනුයි. භාග්‍යවතුන් වහන්සේ ද එය මෙත්තාවට ආසන්න කොට සළකා ඇති බව එමඟින් පැහැදිලි වෙනවා.

තවත් කරුණක් වන්නේ, මවගේ දරු සෙනෙහස බොහෝ අවස්ථාවලදී මාරුවන හා බෙදී යන දෙයක් වීමයි. එනම්, මරණින් මතු ආත්මයේ දී ඇයට දරුවන් වන්නේ, ඇතැම්විට පෙර ආත්මයේ දරුවන්ව සිටි අයම නොවෙයි. බොහෝ විට ඊළඟ භවයේ දී දරුවා වන්නේ, වෙනත් ස්කන්ධ සන්තතියක්. මෙසේ මාරු වෙමින් යෑම මව් සෙනෙහසේ ඇති තවත් වෙනසක්.

ඒ වගේම, මව් සෙනෙහසට අරමුණු වන්නේ ‘පුද්ගලයා’ යන සංකල්පය නොව, ‘දරුවා’ යන සංකල්පයයි. මේ නිසා, මවකගේ සිතේ ඇතිවන සෙනෙහස මෙත්තා, කරුණා, මුදිතා හා උපේක්‍ඛා යන සතර බ්‍රහ්ම විහරණ ගුණයෙන් ද යුක්ත වෙනවා. දරුවන් කෙරෙහි අසීමිත මෛත්‍රියක් පතුරුවන, දරුවන්ගේ විපතේ දී හද කම්පාවන, දරුවන්ගේ සැපතේ දී වඩාත් සතුටු වන හා මේ සියල්ල දකිමින්, විඳිමින්, සෙවනැල්ල සේ දිවි ඇති තුරා ළඟ හිඳින මව යළි පෙරළා ඒ වෙනුවෙන් ලොවෙන් කිසිවක් බලාපොරොත්තු වෙන්නේ නැහැ.

සාංසාරික සබැඳීයාවේ තරම

එහෙමනම්, දරු සෙනෙහස අඩු වැඩි වශයෙන් මව්වරු තුළ පිහිටන්නේ කොහොමද?

දැන්, ආසන්න අතීත භවයක දරුවෙකුව සිටි කෙනෙකු නැවත එම මවගේම දරුවෙකුව ඉපදුන විට සෙනෙහස වඩා බලවත් වෙනවා. එසේ බොහෝ වාර ගණනක් එකම කෙනා තම දරුවා වුවහොත් එය වඩා බලවත් බැඳීමක් ලෙස සසර පුරා ඉදිරියට ගලාගෙන යනවා. මේ සසරේ වැඩිපුර කාලයක් සිතක පැවත ගෙන ගිය ආදරයක් ලෙහෙසියෙන් නොමැකී, මතු ආත්මයේ දී ද යළි මතු වෙන්න බොහෝ දුරට ඉඩකඩ පවතිනවා. එවැනි අවස්ථාවලදී ද දරු සෙනෙහස ඉතා වැඩි වශයෙන් මව්වරු තුළ පිහිටනවා.

මිනිසුන්ට වගේම තිරිසන් සතුන් තුළත් මෙවැනි තත්ත්වයන් දකින්නට ලැබෙනවා. උණහපුළුවාට ඌගේ පැටව් මැණික් තරම් වටිනවා වගේ, හැම මවටම තමන්ගේ දරුවන් වටිනවා. ඔවුන් තම ඇස් දෙක වගේ දරුවන් රැක බලා ගන්නේ ඒ නිසායි. “ගෙදර බුදුන් අම්මා” කියන්න තරම් මාතෘත්වය උත්තරීතර වෙනවා. මෙත් මුදිතා ගුණ සමුදායක් මව් පදවිය තුළ පිහිටනවා. සාංසාරික සබැඳීයාව නිසා දරු සෙනෙහස අඩු වැඩි වශයෙන් නිරායාසයෙන්ම මව්වරු තුළ පිහිටන දෙයක් වුණත්, ඒ සෙනෙහස ලොව වෙනත් සෙනෙහසකට සම කරන්නට බැහැ.

සෙනෙහසේ ධර්මස්කන්ධය

හොඳයි, එතකොට මේ මහා “මව්පිය සෙනෙහස” පිළිබඳව බුදු දහමේ එතරම් ම විස්තර වෙන්නේ නැද්ද?

තුන් පිටකයෙන් (සූත්‍ර, විනය, අභිධර්ම) එක් පිටකයක්ම (අභිධර්ම) වෙන් වෙන්නේ ‘මව‘ වෙනුවෙන්. ඒ අපේ බුදුහාමුදුරුවෝ සිය මාතෘදිව්‍ය රාජයා ( පෙර මහාමායා දේවිය) ප්‍රමුඛ පිරිසට අභිධර්මය දේශනා කිරීම උදෙසායි. මෙසේ බුද්ධ භාෂිතවලින් 3 න් 1 ක්ම ඊට වෙන් වීම කිසිසේත් සුළු කොට තකන්නට බැහැ. විශේෂයෙන් උතුම් භික්‍ෂුණී ශාසනය ආරම්භ වුණේ ද සිය සුළුමව (ප්‍රජාපතී ගෝතමිය) ගේ ඉල්ලීමක් අනුව මවට සැලකීමේ අරමුණ පෙරදැරිවයි.

“ද්විනනාහං භික්ඛවෙ න සුප්පතිකාරං වදාමි”

අංගුත්තර නිකායේ – දුක නිපාතයේ, සමචිත්ත වග්ගයේ මෙම ගාථාවෙන් ‘මහණෙනි, අපට මෙලොවදි සැලකිලි කොට අවසන් කළ නොහැකි දෙදෙනා මව් හා පියා’ ලෙස විස්තර කෙරෙනවා. මෙහෙම බැලුවාම බුදුදහම පුරාම මව්පිය සෙනෙහස පිළිබඳව ඉතා ගැඹුරින් විවරණය කර තිබෙනවා.

පංචානන්තරීය පාප කර්ම

ඒ වුණාට, සක්වළ එතෙරට ඇසෙන තරම් වූ මේ මහා සෙනෙහස නොසලකා හැරීමෙන් අත්වන ආදීනත්වය පිළිබඳ විස්තර කෙරෙනවා අඩුයි නේද?

බුදු දහමේ පැහැදිලිව පංච ආනන්තරීය මහා පාප කර්ම (මව් මැරීම, පියා මැරීම, රහතුන් මැරීම, සංඝ භේදය හා බුදුන්ගේ ලේ සෙලවීම) ලෙස දැක්වෙනවා. එසේම, බුදුරදුන් ප්‍රමුඛ මහා සංඝයාට හා දෙමාපියන්ට නොසලකා හැරීමෙන් මහා අකුසලයක් සිදුවන බව විස්තර කෙරෙනවා. ආනන්තරීය කියන්නේ අනතුරුව (ඉදිරි, මතු) ආත්මභාවවලදී පවා දුගතිගාමීව පළ දෙන මහා පාප කර්මවලටයි.

මීට අමතරව ඇතැම් ජාතක කතාවල වගේම බොහෝ සූත්‍ර දේශනාවල මාපිය සෙනෙහස නොසලකා හැරීමේ ආදීනව පිළිබඳ පැහැදිලි කර තිබෙනවා. එනම්, පරාභව සූත්‍රය (දෙමාපියන්ට නොසලකන තැනැත්තා දෙලොවම පිරිහේ) වසල සූත්‍රය (දෙමාපියන්ට හිරිහැර කරන්නා වසලයෙකි) සහ මහා මංගල සූත්‍රය. (මවට, පියාට උවටැන් කිරීම උතුම් මංගල කරුණකි) යනුවෙන්.

මවක් වැනි පෙමක්

මව්පිය ගුණ ඇති පෙම්වතුන් – අඹු සැමියන් මේ ලොව යළි යළි හමුවිය නොහැකි ද? බුදුදහමේ එහෙම හමු වුණ ආත්මීය ආදර කතා පිළිබඳ විස්තර වෙන්නේ නැද්ද?

බුදුන් දවස, කෞශම්බි නුවර ප්‍රධාන සිටුතුමා දරුවෙකු අරන් හදා ගත්තා. ඔහු අනාගතයේ එම නගරයේ සිටුවරයා වන බව දෛවඥයින් පැවසීම නිසා සිටුතුමා ඔහු මැරවීමට උපායක් යෙදුවා. එසේ කළේ, සිය පුතණුවන්ට සිටු පදවිය හිමිකරදීම සඳහායි. හදාගත් පුතුට අකුරු උගන්වා තිබුණේ නැහැ. සිටුවරයාට අයත් ඈත පිහිටි වත්තක පාලකයා වෙත යවා එම තරුණයාව රහසේ මරා දැමීමට කටයුතු යොදනු ලැබුවා. ‘මේ ලියුම රැගෙන එන තැනැත්තාව මරා සඟවා දමන ලෙස’ එහි ලියා තිබුණා.

එහි යන අතර මඟදී දවල් ආහාරය සඳහා එම සිටු පවුලේ නෑසබඳකමක් ඇති සිටු ගෙදරකට ඔහු ගොඩ වුණා. එහි බිම් මහලේ දිවා ආහාරය ගෙන ඔහු මදක් නින්දට වැටුණා.එහි උඩු මහලේ සිටි තරුණ සිටු දියණිය මෙම තරුණයා ගැන දැන ගත් මොහොතේ සිට සෙනෙහසින් පසුවූවා. ඊට පෙර භවයේත් ඇය මේ තරුණයාගේ පි‍්‍රය භාර්යාව වී සෙනෙහසින් එකට සිටියා.

පෙර ආත්මයේ සිට එන එම සෙනෙහස ඉස්මතු වී ඇය, හැමට හොරෙන් බිමට බැස නිදා සිටි තරුණ පෙම්වතා සහ ඔහුගේ සාක්කුවේ වූ ලිපිය දුටුවා. ඔහුට නොදැනෙන සේ ලියුම රැගෙන කාමරයට ගොස් කියවා බලා පසුව එය ඉරා දමා සිටුතුමාගේ අත්සන යොදා වෙනත් ලිපියක් ලියා පළමු ලිපිය තිබූ තැනම තැබුවා.

“මාගේ දරුවෙකු වන මොහුට ගෙයක් සාදවා දී අසවල් සිටුවරයාගේ දියණිය නොපමාව විවාහ කර දෙන ලෙස” එහි ලියා තිබුණා. එම ලිපිය තරුණයා වතුපාලකයාට දුන් පසු එපරිදි සියල්ල සිදු වුණා. ඉන් පසුව ඒ දෙදෙනා බුදු හාමුදුරුවන්ට පවා උවටැන් කළ දායක පවුලක් වූ අයුරු විස්තර වෙනවා.

සාකච්ඡා සටහන චාමික මුණසිංහ


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: