Posted by: lrrp | March 16, 2013

තෑගි පෙට්ටියක් අස්සේ සැඟවී පැමිණ භූතයා ගෙට රිංගයි

මිනිසාට ජීවත්වීමේ ක්‍රියාවලිය සඳහා අවුරුද්දේ දවස් තුන්සිය හැටපහ, දවසේ පැය විසි හතර, ප්‍රමාණවත් නොවන තරමට ම කාර්ය බහුල තත්ත්වයක් වර්තමාන සමාජ ක්‍රමය තුළ නිර්මාණය වී ඇත. දවස හා අවුරුද්ද ඉතා ම වේගයෙන් නොදැනීම වාගේ ගෙවී යයි. ආධ්‍යාත්මය දියුණු කැර ගැනීමට, කුසල් හි යෙදීමට කාලයක් නැත. ඒ තරමට ම වැඩ රාජකාරි තමන් පිට පවරා ගෙන ඇත. කොයි තරම් වැඩ රාජකාරි බහුලව තිබුණත් මේ අතර අකුසලය සඳහා තමන් ගේ කාලය මිඩංගු වන බව මිනිසාට කල්පනා නොවේ.

තමන් ගේ වැඩිහිටියෙකු බලන්නට යන්නට තරම්වත් අවුරුද්දේ එක දවසක් වෙන් කැර ගත නොහැකි මිනිසා, සීල භාවනාවක යෙදෙන්නට උදේ සවස පැය කාලක් වෙන් කැර ගත නොහැකි මිනිසා, රූපවාහිනිය ඉදිරියේ ක්‍රිකට් ක්‍රීඩාව නරඹන්නට, ටෙලිනාට්‍ය නරඹන්නට මත්පැනට දවස් ගණන්, පැය ගණන්, කාලය කා දමන්නට පෙලැඹී සිටී. ආගමික වතාවක යෙදෙන්නට පැය කාලක් වෙන් කැර ගන්නට නොහැකි මිනිසා අනුන්ට ඊර්ෂ්‍යා කරන්නට, අනුන්ගේ දියුණුව කඩා කප්පල් කරන්නට පැය ගණන් සිතුවිලිවල නිමග්නව කාලය ගෙවයි. ප්‍රායෝගිකව විනාශකාරී වැඩවල යෙදෙයි, මේ මිනිස් සිත අකුසලයට නැඹුරු වීමේ ස්වභාවයයි. අපාය මාර්ගය සකස් කැර ගන්නා සැටිය.

අසේල පනස් අට හැවිරිදි විවාහක ව්‍යාපාරිකයෙකි, පිළියන්දල ප්‍රදේශයේ පදිංචි ඔහු බිරියත් සමඟ ජීවත් වෙයි. දරු දෙදෙනා විදේශගතව අධ්‍යාපනයේ යෙදෙති. ගොඩනැඟිලි ඉදිකිරීම් ව්‍යාපාරයක යෙදෙන අසේල ගොඩනැඟිලි ද්‍රව්‍ය අලෙවි ව්‍යාපාරයක් ද පවත්වාගෙන යයි. ඔහු ධනවතුන් බොහෝ දෙනෙකු ආශ්‍රය කරන පුද්ගලයෙකි. අවුරුදු දෙකක පමණ කාලයක සිට අසේල ශාරීරික අප්‍රාණිකත්වයෙන් හා දැඩි ඇඟපත වේදනාවෙන් පෙළෙන්නට විය. පිට කොන්දේ දැඩි වේදනාවක් නිසා කොන්ද නමාගෙන හැරමිටි ගහගෙන යන තත්ත්වයක් උදාවිය. බිරිය ද රෝගී වූවාය. ව්‍යාපාර කඩා වැටෙන්නට විය.

රෝගී තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා මේ අඹුසැමි යුවළ නොයෙක් වෛද්‍ය ප්‍රතිකාර ලබමින් රුපියල් ලක්ෂ ගණනක් වැය කළ ද සුවයක් නොලැබූහ. අවසානයේ මනෝ වෛද්‍ය ප්‍රතිකාර සඳහා ද යොමු වූහ. මේ සියලු ප්‍රතිකාරවලින් සුවයක් සහනයක් නොලැබෙන විට අන්තිමට ම බෝ ගස මතක් වීම අපේ මිනිසුන් ගේ හැටියකි. අසේල ද බෝධි පූජාවලටත්, ශාන්ති කර්මවලටත් යොමු විය. එයින් ද සහනයක් නොලැබූ තැන “සිළුමිණ” පත්‍රයේ ‘පියවි ඇසින් ඔබ්බට’ විශේෂාංගය කියවන හිතවතෙකු ගේ යොමු කිරීමක් මත අසේල ඇතුළුකෝට්ටේ, ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයා ගෙන බිරියත් සමඟ ගියේය.

පළමුවැනි දිනයේ ශක්ති කිරණ එල්ල වන විට අසේල සිහි නැතිව වැටුණේ ය. දින දහ හතරක් බෝධි පූජා පවත්වා එන ලෙස ගවේෂකවරයා නියම කළ අතර, ඒ බෝධි පූජා පැවැත්විය යුතු ආකාරය පිළිබඳව ද උපදෙස් දුන්නේ ය. දින දහ හතරේ බෝධි පූජාවෙන් පසු ඔව්හු නැවතත් එහි පැමිණියහ. එදින අසේලගේ බිරිය ප්‍රලය වූවා ය. කෑ ගසන්නට වූවා ය.

“මම මහසෝනගෙන් වරම් ගත්ත බලගතු යක්ෂයෙක්. ඇයි උඹල දන්නෙ නැද්ද? මගේ හැටි. ඇයි මට කතා කළේ? මම තොපි ඔක්කොම මරලා දානවා” යි තර්ජන ගර්ජන කරන්නට විය.

“හා… හා… කලබල වෙන්නට එපා” යි කී ගවේෂකවරයා ශක්ති කිරණ එල්ල කරන විට බිම පෙරැළී අඬන්නට විය. “අනේ සමාවෙන්න. දැවෙනවා. දැවෙනවායි” අඬන්නට විය. ගවේෂකවරයා ප්‍රශ්න කරන්නට වූයේ ය.

“මේ කව්ද?”

“මම දේවාලයකින් ආපු කෙනෙක්.”

“ඔය මහසෝනා කොයි වගේ ද?”

“දන්නේ නෑ”

“දන්නෙ නැත්නම් දැන් කිව්වේ මහසෝනාගෙන් වරම් ගත්තු බලගතු යක්ෂයෙක් කියලා. බලගතු නම් මහසෝනා ගැන දන්නවා ඇතිනෙ.”

“අනේ, දන්නෙ නැහැ. මම ඒ කීවේ බොරු. බය කරන්න.”

“මහසෝනා ගැන දැන ගත්තේ කොහොම ද?”

“මිනිස් ලෝකෙ ජීවත්වෙද්දි මහසෝනා – රීරියකා – කාලි යක්ෂණී – ගැන අහලා තිබුණා. ඒ අය බලගතු බව අහලා තිබුණා. ඒ නිසා බය කරන්න බොරුවට කිව්වා.”

“මේ අසේලගේ ශරීරයට එව්වේ කව්ද?”

“දේවාලෙ කපුවා.”

“කාගෙ වුවමනාවට ද?”

“මෙයාගෙ යාළුවෙක් කියලා හිතාගෙන ආශ්‍රය කරන කෙනෙක්.”

“නම මොකක්ද?”

“දන්නෙ නෑ.”

“මොකට ද එව්වේ?”

“මේ මිනිහවයි ගෑනිවයි මරන්න. ඒක තමයි මට පැවරුවේ.”

“කවදද එව්වේ?”

“අවුරුදු දෙකකට විතර කලින්.”

“කොහොම ද ආවේ?”

“පෙට්ටියක දාල එව්වා”

“ඒ කොහොම ද?”

“පෙට්ටියක දාල එව්වා. ඒ පෙට්ටියෙ කෑමක් තිබුණ. ඒක ලොකු පෙට්ටියක්. ලස්සනට ඔතලා. ඒක නිල්පාට පෙට්ටියක්. ඒකෙ තිබුණු කෑමට මතුරලා මාව බන්ධනය කර තිබුණා.”

“මෙහෙම දෙයක් ආහාරයට ගත් බව මතක ද?” යි ගවේෂකවරයා අසේලගෙන් ඇසීය.

“ඔව්. මහත්තයා. මම ආශ්‍රය කරන ව්‍යාපාරිකයො අවුරුද්ද අන්තිමට තෑගි බෝග ගේනවා. ඒ තෑගි පෙට්ටිවල වටිනා කේක්, චීස්, විස්කි, බ්‍රැන්ඩි, අරක්කු තියෙනවා. මගේ නෝනා හරිම ලෝබයි. කාටවත් දෙන්නේ නෑ. තනියම තියා ගෙන කනවා. අපේ කඩේ වැඩ කරන සේවකයෙකුටවත් කේක් කෑල්ලක් දෙන්නෙ නෑ. ඔහේ මාස දෙක තුන තියා ගෙන කනවා. මට මතකයි ඔය වගේ ලස්සන ලොකු පෙට්ටියක් තිබුණා. ඒකෙ ලොකු චීස් පෙට්ටියක් තිබුණා විස්කි, බ්‍රැන්ඩි නෝනා සාප්පුවලට විකුණනවායි කීවේය.

“ඔව්, ඔව්, අන්න ඒකෙ තමයි මම ආවේ. ඒක කෑවාට පස්සෙ මේ දෙන්නට ම බඩේ අමාරු හැදුණා” යි පේ‍්‍රත ජීවියා කීවේය.

“ඉතින් තමුන් කොහේද හිටියේ?”

“මම මේ මිනිහගෙ කොන්ද හපාගෙන හිටියා. ගෑනිගෙ බඩට ගිහින් බඩ මිරිකා ගෙන හිටියා. ඒ වෙලාවට මුන් කෑ ගහනවා. වේදනාවෙන් කෑ ගහන හඬ අහගෙන ඉන්න මම හරි ආසයි.”

“ඒ වුණාට තමුන් කරන්නේ බරපතළ වරදක්. හොඳින් ජීවත්වෙන කෙනෙකුට ඉරිසියාවෙන් තවත් කෙනෙක් කපුවෙකුට මුදල් දීලා පවුලක් විනාශ කරන්න බාර දීපු බරපතළ පාපයක් කර ගහගෙන. ඔන්න ඕක අතහැරලා නිදහසේ ඉන්න කැමති නැද්ද? ඔයිට වඩා හොඳ පිරිසිදු පුණ්‍ය භූමියකට යන්න කැමති නැද්ද?”

“ඔව් මටත් දැන් තේරෙනවා. කාටවත් දුක් කරදර කරලා සතුටු වෙන එක හොඳ නෑ. මම ඉවත් වෙලා යන්න කැමතියි.”

“හරි එහෙනම් කැලණි බෝධිය ළඟට යන්න” යි කියූ ගවේෂකවරයා පළතුරු වට්ටියක් ගෙන්වා පේ‍්‍රත ජීවියා එයට නංවා කැලණි යැවීමට කටයුතු කළේය. අසේලගේ රියැදුරාගේ කරට පිරිත් නූලක් දමා පූජා වට්ටිය සමඟ අසේලත් බිරියත් වාහනයෙන් යවන්නට සූදානම් විය.

“මම පිරිත් නූල් දාගන්න කැමති නෑ. මම වෙනත් ආගමක” යැයි රියැදුරා ඊට අකමැති විය.

“මේක ආරක්ෂාවක් කැලණියට යනකම් තිබුණාම ඇති” යැයි රියදුරාට පැහැදිලි කොට පිරිත් නූල ඔහුගේ ගෙලට දැම්මේය.

ඔවුන් පිටත් වී පැය බාගයකින් පමණ ගවේෂකවරයාගේ දුරකථනය එක දිගට නාද වෙන්නට විය.

“හලෝ”

“හලෝ මම අසේල”

“මොකද වුණේ?”

“හරි වැඩේනෙ මහත්තයා. අතරමගදි අපේ ඩ්‍රයිවර් පිරිත් නූල කඩා දැම්මා. ඊට පස්සේ ඩ්‍රයිවර් ආවේශ වෙලා දඟලනවා. වාහනේ පාර අයිනේ නතර කර ගෙන ඉන්නවා, මූ පලතුරු වට්ටිය වීසි කළා.”

ගවේෂකවරයා සිත ඒකාග්‍ර කොට අධිෂ්ඨාන කළේය.

“හරි මහත්තයා දැන් ඩ්‍රයිවර්ට නින්ද ගියා. දැන් දඟලන්නේ නෑ.”

“හොඳයි ඔය නින්දෙන් අවදි වුණා ම ආපහු එක්ක ගෙන එන්න. එතකොට තවත් පලතුරු වට්ටියක් අරගෙන එන්නැ” යි අසේලට උපදෙස් දුන්නේ ය. ඔවුන් නැවත පැමිණියහ. අසේලගේ බිරිය නැවත ආවිශ්ට විය.

“මහත්තයා. මේ ඩ්‍රයිවරයා පලතුරු වට්ටිය වීසි කළා. මූ පණ්ඩිතයා. මම යන්නෙ නෑ. මට යන්න බෑ. මූ මට බාල්දු කළා” යි පේ‍්‍රත ජීවියා කීවේ ය.

“එහෙම කරන්න එපා. මේ රෝගීන් දෙන්නාට අනුකම්පා කරන්නැ” යි ගවේෂකවරයා කීවේය. නැවත රියැදුරා අමතා “මේ පිරිත් නූල දැම්මේ තමුන් අපේ ආගමට ගන්න නෙමෙයි. මේ ගමන ආරක්ෂා සහිතව යන්න ඕනෑ නිසා. තමුන් පණ්ඩිතයා වෙන්න හදන්න එපා. හදිසියේ වාහනය හැප්පුවා නම් ජීවිත තුනක් විනාශ වෙනවා නේද? මේ අමනුෂ්‍යයා දැන් හොඳ නිසා හොඳයි. මේ නූල කැලණියට ගිහින් ආපහු ගෙදරට ගියාම ගලවා දාන්න” යි රියැදුරාගේ ගෙලට තවත් පිරිත් නූලක් දැම්මේ ය.

එවර පිරිස කැලණි බෝධීන් වහන්සේ වෙත ගොස් පළතුරු වට්ටිය විභීෂණ දෙවියන් නමින් පූජා කළේ ය.

ඊළඟ ඉරිදා නැවතත් අසේලත් බිරියත් පැමිණ ගවේෂකවරයා මුණ ගැසුණාහ.

“දැන් කොහොම ද?”

“දැන් අපේ ශරීරගත ලෙඩ දුක් සනීපයි මහත්තයා.”

“දැන් නෝනා! ලෝබකම් අත හැරලා දනට පිනට ටිකක් යොමු වෙන්න. සංග්‍රහශීලී වෙන්න. හාමුදුරුවරු දහ පහළොස් නමක් ගෙදරට වඩම්මා සාංඝික දානයක් දෙන්න. පවුලේ හිතවතුන්ටත් එදාට එන්න කියලා හොඳට ආහාරපාන වලින් සංග්‍රහ කරන්න. එහෙම කරලා එදා හැන්දෑවට කැලණි බෝධියට ගිහින් තමුන් ගේ මළගිය ඥාතීන් සිහිපත් කොට පින් අනුමෝදන් කරන්න. මහත්තයාත් නෝනා කරන විදිහට ම ඉඩ දීලා ඉන්නේ නැතුව තමන්ගේ සේවක සේවිකාවන්ටත් සංග්‍රහ කරන්න. සේවකයින්ගේ සිත සතුටු වුණාම ව්‍යාපාර දියුණු වෙනවා. සේවකයෝ උනන්දුවෙන් වැඩ කරනවා. එතකොට ව්‍යාපාර දියුණු වේවි” යි උපදෙස් දුන්නේ ය.

Advertisements

Responses

  1. ලිපියට ස්තූතියි සති දෙකක් විතර බලං හිටියා අලුත් ලිපියක් පල කරනකං ස්තූතියි

  2. මෙම ගුප්ත විද්‍යා ගවේශණ මධ්‍යස්ථානය තිබෙන්නේ කොහෙද??

    • විශ්වප්‍රාණී පදනම යනු උසස් මානසික ශක්තියකින් හෙබි භාවනායෝගී පුද්ගලයන් සමූහයකගේ එකමුතුවකින් සුසැදි, මිනිසුන් හට ඇති වන කායික හා මානසික රෝග සඳහා ඖෂධ භාවිතයකින් තොරව අධ්‍යාත්මික ප්‍රතිකාර සිදු කිරීම සඳහා ගොඩනගා ගන්නා ලද සංවිධානයකි.

      මේ වන විට ශ්‍රී ලංකාවේ හා විදේශයන් හි දහස් ගණනක් අප වෙතින් කායික හා මානසික සහනය උදා කරගෙන ඇත. උතුම් වූ මෛත්‍රී සිතුවිලි පෙරදැරි කරගෙන අප විසින් ප්‍රතිකාර සිදු කරන්නෙමු. මෙහිදී, මනුෂ්‍යයන්ගේ භෞතික ශරීරය හා සමගාමීව ඇති ශක්ති ශරීරය හා සම්බන්ධ චක්‍ර, ශක්ති මධ්‍යස්ථාන මූලික කරගෙන ප්‍රතිකාර සිදු කරනු ලැබේ. තවද ප්‍රතිකාර ලබන රෝගියා තුල යම් අධ්‍යාත්මික සංවර්ධනයක් ඇති කිරීම අපගේ ප්‍රතිකාර ක්‍රමයේ තවත් සාධනීය ලක්ෂණයකි. එසේම බෞද්ධ යෝගාවචර භාවනා තාක්ෂණ ක්‍රම මූලික වශයෙන් භාවිතයට ගනු ලබන අතර, බුදු දහම හා යෝග දර්ශනය ආශ්‍රයෙන් ගොඩනගන ලද පිවිසුමක් භාවිතා කරමින් මනෝ චිකිත්සක උපදේශනය සිදු කරනු ලබයි.

      එසේ බුදු දහම තුල සැඟවී පවතින ගැඹුරු ධර්ම සංකල්ප හා හාවනා තාක්ෂණික ක්‍රම සාමාන්‍ය ජනතාව අතර ප්‍රචලිත කරමින් මේ ලබා ඇති වටිනා මිනිස් ජීවිතයේදී ම සංසාරික මුලාවෙන් මිදී නිවන නම් වූ උතුම් ආලෝකය දැකීම සඳහා මග පෙන්වීම අප සංවිධානයේ උත්තරීතර අරමුණයි.

      විශ්වප්‍රාණී පදනම – http://goo.gl/AMWRdl / http://goo.gl/HNRgp7
      ලිපිනය – No. 33/1, ධර්මපාල මාවත, මාදිවෙල, පිටකෝට්ටේ
      විද්‍යුත් ලිපිනය – vishwaprani@gmail.com
      දුරකථන – +94 11 3069749

      ———————————————————————————————————–
      Vishwaprani Foundation is formed by group of erudite scholars who have strong will power, self discipline and meditation practice.

      This organization started with the objective to heal the human mind and body without giving medicines when they suffer from ailments. By now, there are thousands of people here and abroad received healing, physically and mentally from us.

      We do carry out this noble task with loving kindness to all human being. In this context, we treat the center for the Chakras of the human body parallel connected to physical body of the person, and to uplift the patient’s spiritual standard is the significant factor in our process of treatment.

      Mainly we use Buddhist meditative techniques. Buddhist yoga philosophy is the door step to enter the treatment process, with clinical counseling. The deep dharma conception and the meditation techniques which are not commonly known, is being used to propagate among people.

      To be born as human is rare. So, to realize the truth and guide everyone to come over Sansara and to attain the light of Nirwana is our noble thought and wish.

      Call : 011 3 069749
      Facebook : https://www.facebook.com/Vishwapranifoundation/
      Address: No. 33/1, Dharmapala Mawatha, Madiwela, Pitakotte
      Sri Lanka.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: