Posted by: lrrp | March 16, 2013

දානයක් යනු පිංකමක් මිස ප්‍රිය සාදයක් නොවෙයි

පිංකම පිංකමක් ම විය යුතුයි

මුදල් හදල් තිබූ පමණින් පින්සිත් පහළ වන්නේ නැත. දනට, පිනට දීමට ද සංසාර පුරුද්දක් තිබිය යුතුය. මිය ගිය ඥාතීන්ට පින්දීම, ගෙට ගෙවැදීම් හෝ වෙනත් විශේෂිත හේතු නිසා බෞද්ධයන් වන අපි සාංඝික දාන පරිනමමු. එයට දිනයක් කාලයක් නියම නොවූවද වසරකට වරක්වත් සාංඝික දානමය පින්කම් පවත්වනු ලබන නිවෙස් අපට ඕනැතරම් දැකිය හැකිය.

මහා සංඝරත්නය විෂයේහි පවත්වනු ලබන දානමය පින්කම කිරීමේදි අප ඒ වෙනුවෙන් සූදානම් විය යුතු ආකාරයත් මෙන්ම එහිදි අනුගමනය කළ යුතු පිළිවෙත් ද වේ. සිත කය වචනය සංවර කරගෙන, තුන් සිතම පහදවා ගෙන පිරිනමනු ලබන දානයේ ආනිසංස බොහෝය.

නිවැරැදි ලෙස දානමය පින්කමක් සංවිධානය කරන්නේ කෙසේ ද? මේ ඔබට අපට ඇති ගැටලුවයි. මේ සඳහා අප ගෙදරට වැඩම කළේ කිඳෙල්පිටිය ශ්‍රී මහා චේතියාරාම විහාරාධිපති රාජකීය පණ්ඩිත මකුරුප්පේ සෝමාලංකාර නාහිමියන්ය.

සාංඝික දානමය පින්කමක් පැවැත්වීමේදී මුලින් ම නිවැසියන් අතර ඒ පිළිබඳව එකඟතාවයකට පැමිණ දින නියම කර ගැනීමෙන් පසුව කළ යුතු පළමු කටයුත්ත වන්නේ පවුලේ ගෘහ මූලිකයා, ස්වාමි දියණිය, දරුවෝ පිරිසුදු සුදු ඇඳුමෙන් සැරසී දැහැත් ගිලන්පස ආදිය රැගෙන විහාරයට ගොස් විහාරාධිපති නායක ස්වාමින් වහන්සේ හමුවී දානමය පින්කම සඳහා ආරාධනා කිරීමයි.

මේ කටයුත්තේදී අඩුම තරමේ දානය පැවැත්වීමේ දිනට මසකටවත් පෙර විහාරස්ථානයට ගොස් විහාරාධිපති ස්වාමින් වහන්සේට ආරාධනය කළ යුතු වෙනවා. එහිදී තමන්ට අවශ්‍ය භික්‍ෂුන් වහන්සේ සංඛ්‍යාව පිළිබඳවත් දැනුම්වත් කළයුතු වෙනවා. මෙහිදි දායකයන් විසින් තමන් දන්නා හඳුනන වෙනත් භික්‍ෂුන් වහන්සේත් දානයට ආරාධනය කරන්නේ නම් ඒ බවත් විහාරාධිපති හිමියන්ට දැනුම් දිය යුතුයි.

දානමය පින්කමක් කිරීමේදි ඒ සඳහා මේ තරම් භික්‍ෂුන් වහන්සේ ප්‍රමාණයක් සිටිය යුතු යැයි නියමයක් නැති වුණත් අද උපසම්පදා හාමුදුරුවරු හතර නමක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් දානයකට සහභාගි වෙනවා. නමුත් ධර්ම සාහිත්‍යයේ සඳහන් කරුණුවලට අනුව උපසම්පදා එක් භික්‍ෂුන් වහන්සේ නමකට හෝ දානයක් පිරිනැමිය හැකියි. භික්‍ෂුන් වහන්සේ කොපමණ හිටියත් දානය සඟ සතු කරන්නේ මහා සංඝරත්නය සඳහාමයි.

මෙහිදි අපට නායක ස්වාමින් වහන්සේට ආරාධනය කරන අතරම දානයේදි පිරිනමනු ලබන පිරිකර පිළිබඳව ද උපදෙස් ලබාගන්නට පුළුවන්. විශේෂයෙන් ම භික්‍ෂුන් වහන්සේට ප්‍රයෝජනවත් දේ පිරිකර හැටියට පිරිනැමීම සුදුසුයි. භික්‍ෂුන් වහන්සේට අවශ්‍ය බෙහෙත්හේත් ගැනීමට, අධ්‍යයන කටයුතුවලදි අවශ්‍ය පොතපත ගැනීම ආදී කටයුතු සඳහා මුල්‍ය පරිස්කාර පූජා කළත් වර්තමානයේ වරදක් කිව නොහැකියි.

නිවසේ දානමය පින්කම පැවැත්වීමට හෝ නිවෙස හා ගෙමිදුල එළිපෙහෙළි කිරීමත් ඉතාම වැදගත් දෙයක්. පින්කම පැවැත්වෙන දාට පිරිසුදු වස්ත්‍රයෙන් සියල්ලන්ම සැරසී සිටීමත් ඔවුන් සිතකය වචනයෙන් සංවරව සිටීමත් ඉතාම වැදගත්.

ඒ වාගේම දානමය පින්කමට පෙර සතියක් පමණ තිබියදී නැවත නායක ස්වාමින් වහන්සේට ඒ ගැන සිහිපත් කිරීමත්, එහිදි භික්‍ෂූන් වහන්සේ වැඩමකරවාගෙන ඒමට වෙනත් විහාරස්ථානවලට යෑමට ඇති දැයි පිළිබඳව ද දායකයා දැනුම්වත් වීමත් වැදගත් දෙයක්.

විහාරාධිපති ස්වාමින් වහන්සේටත් මෙහිදි වගකීමෙන් කළ යුතු කටයුත්තක් තිබෙනවා. ඒ තමයි යම් දානමය පින්කමක් බාර ගැනීමෙන් පසුව අදාළ දිනය ආරාධනා පොතේ සටහන් කර තැබිය යුතුය. එමෙන් ම තම විහාරස්ථානයේ සිටින භික්‍ෂුන් වහන්සේ ප්‍රමාණවත් නොවේ නම් වෙනත් විහාරස්ථානවලින් වැඩමකරවීමට ආරාධනය කළ යුතුයි.

අද තිබෙන්නේ කාර්යය බහුල සමාජයක්. හැමදේම මුදල මතයි තීරණ වෙන්නේ. මෙහිදි අද දානමය පින්කම් සඳහා බොහෝවිට භික්‍ෂුන් වහන්සේ වැඩම කරවන්නේ වාහනවලින්. නමුත් අපේ සම්ප්‍රදාය නම් හේවිසි සහිතව භික්‍ෂුන් වහන්සේ අදාළ නිවෙසට වැඩම කරවීමයි.

භික්‍ෂුන් වහන්සේ වැඩම කරවීමට විහාරස්ථායට යෑමේදී බුද්ධ පූජාව, පැන් ආදිය රැගෙන ගොස් බුද්ධ මන්දිරයට පූජා කර ඒ චාරිත්‍ර‍්‍ර කළ යුතුයි. විහාරස්ථානයේ ධාතු කරඬුව වැඩමකරවාගෙන ඒමට ගෘහ මූලිකයා හෝ වගකිව යුතු කෙනෙක් යා යුතුයි. ඔහු සුදු පිරුවටයකින් හිස ආවරණය කර ගැනීමත් සුදුවතින් සැරසී සිටීමත් ඉතා හොඳයි.

බුද්ධකාලයේ මෙන්ම අතීතයේ අපේ රටෙත් භික්‍ෂුන් වහන්සේ බොහෝ ගමන් ගියේ පා ගමනින්. ඒ නිසා පැරැණි සම්ප්‍රදායක් තිබෙනවා භික්‍ෂුන් වහන්සේගේ පා සේදීමේ. අදටත් මෙය අප අතර තිබෙන දෙයක්. දානමය පින්කමකට වැඩම කරවීමේදි පා සෝදා පිසදා තමයි නිවෙසට වැඩම කරවන්නේ. මේ කාර්යය කරන්නේ් තුණුරුවන් කෙරෙහි ගෞරව කිරීමක් ලෙසයි. මේ කටයුත්ත ආවාට ගියාට සිදු කිරීමක් නොවෙයි.

අපේ සම්ප්‍රදාය රැකෙන ලෙස මේ දේ කෙරෙනවා නම් ඉතා හොඳයි. වතුර වත්කර පා අතින් පිරිමැද සේදීමයි සුදුසු. මේ කටයුත්ත කුඩා දරුවන් නොවෙයි දැනුම් තේරුම් ඇති වැඩිහිටියකු කරනවා නම් සුදුසුයි.

ඊළඟට තිබෙන ප්‍රධානම දේ තමයි ධාතු කරඬුව තැන්පත් කිරීම. ධාතු කරඬුව තැන්පත් කළ යුතු වන්නේ ප්‍රධාන ස්වාමින් වහන්සේගේ දකුණු පසින්. ප්‍රධාන ස්වාමින් වහන්සේගේ දකුණු පස ඉදිරියෙන් ධාතු කරඬුව තැන්පත් කිරීමත් වරදක් නැහැ. එමෙන් ම ධාතු කරඬුව සඳහා මල්, සුවඳ දුම් පහන් මෙන් ම බුද්ධ පූජාව පූජා කළ යුතුයි. සුදුසුම විදිහ තමයි පන්සිල් සමාදන් වී බුද්ධ පූජාව පූජා කර ආගමික වතාවත් සිදුකිරීම.

”යො සීලවා සීලවන්තෙසු

දදෙය්‍ය දානං”

තමන් සිල්වත්ව සිට දන්දීමයි සුදුසු.

මේ හැම දේටම කාල වේලාව වැදගත්. ඒ නිසා ස්වාමින් වහන්සේ කල්වේලා ඇතිව වැඩම කරවීම ඉතා හොඳ දෙයක්. කාලවේලාව ප්‍රමාද වුණොත් ඒ අනුව යම් යම් දේ වෙනස් කර ගැනීමට සිදුවෙනවා.

ආගමික වත්පිළිවෙත් කිරීමෙන් අනතුරුව තිබෙන්නේ අනුශාසනාව පැවැත්වීම. දානමය අරමුණ පැහැදිලි කිරීම. මෙහිදී ගෘහ මූලිකයා විසින් කල්වේලා ඇතිව දානයේ අරමුණ ඊට අදාළ නම්, මිය ගිය ඥාතීන්ගේ නම් ආදිය පැහැදිලිව විහාරාධිපති ස්වාමින් වහන්සේට ලියාදීම බොහෝම වැදගත් දෙයක්.

මේ කටයුතුවලින් පසුව තිබෙන්නේ දානය පිළිගැන්වීම. මෙහිදී මුලින්ම කරනු ලබන්නේ් පැන් භාජනය පූජා කිරීම.

මෙහිදි සඳහන් කළ යුතු දෙයක් තිබෙනවා. භික්‍ෂුන් වහන්සේට ආසන පැනවීමේදි එම ආසනවලට සුදු පිරුවට දැමීමත් උඩුවියන් බැඳිමත් කළ යුතුයි. එමෙන්ම කුඩා මේස මත දානය සකස් කිරීමත් හොඳයි. අද ඇතැම් විට කෙරෙන දෙයක් තමයි පැන් පූජා කිරීමේදි භික්‍ෂුන් වහන්සේගේ අතට හිස් කෝප්පය දෙනවා. ඉන් පසුවයි පැන් වත්කරන්නේ. මෙය නොකළ යුත්තක්.

අපි පූජා කරන්නේ පැන් මිස හිස් භාජන නොවෙයි. දානය පිළිගැන්වීමේදි බත් හැන්දක් ප්‍රමාණ මුලින් දන් භාජනයට බෙදා පොදුවේ සියලු භික්‍ෂුන් වහන්සේ වළඳන ව්‍යංජනයක් සහිතව දන් පිඟාන පූජා කිරීම සුදුසුයි. ඉන්පසුව භික්‍ෂුන් වහන්සේගේ කැමැත්ත අකමැත්ත මත ව්‍යංජන පිරිනැමීම කළ හැකියි.

භික්‍ෂුන් වහන්සේ ඇතැම්විට තම පාත්තරය හෝ පිඟාන අතින් වසන්නේ එම ව්‍යංජන එපා යැයි කීමට හෝ ආහාර ප්‍රමාණවත් යැයි කීමටයි. දායක පින්වතුන් මෙන්න මේ සන්නිවේදන මාධ්‍ය පිළිබඳව දැනුම්වත් වී සිටීමත් වැදගත්. දානය පිරිනැමීමෙන් පසුව දායක පින්වතුන්ට පුළුවන් පොදුවේ හිස් පිඟානක් භික්‍ෂුන් වහන්සේගේ ඉදිරියට ගෙන යන්න. ඒ සතුන්ට ‍ෙවන්කිරීම සඳහා. මෙය අතීතයේ සිට කැරෙන දෙයක්.

බුදුරජාණන් වහන්සේ දේශනා කර තිබෙනවා තමන්ට ලැබෙන දානයෙන් බත් සරලුවක් හෝ දන්දීම හොඳයි කියලා. එය එසේ කරන්නට යැයි කියා තිබෙන්නේ තමන්ට ලැබෙන දේ පිළිබඳ තෘෂ්ණාව අඩු කිරීමටයි.

අද වැඩවාසය කරන ඇතැම් වයෝවෘද්ධ භික්‍ෂුන් වහන්සේට විවිධ රෝගාබාධ තිබෙනවා. මේ නිසා සුදුසු බත්වර්ග, මෙන් ම පොදුවේ ගත් කළ සියලුම භික්‍ෂුන් වහන්සේට තෙල් බහුලව නොයෙදූ සමබල ආහාර වේලක් පිරිනැමීමට දායක පින්වතුන් උනන්දු වෙනවා නම් එය ඉතා හොඳ දෙයක්. එමෙන්ම දානයට කියා මහා රාත්‍රියේ සිට හෝ ඊට පෙර දවසේ උයා පිහා සීතල වූ ආහාර නොදී උණුසුම්ව ආහාර පිළිගැන්වීමට දායක පින්වතුන්ට හැකියාවක් තිබේ නම් එය වඩාත් සුදුසුයි.

එමෙන් ම දානය ඉඳුල් කිරීමේ අදහසින් නොව වඩාත් හොඳින් පූජා කිරීම සඳහා මෙම ආහාරවල ලුණු බැලුවාට කමක් නෑ යන්න මගේ හැඟීමයි. ආහාර වැළඳීමෙන් පසුව මුලින්ම අතුරුපස ලෙස පිරිනැමිය යුත්තේ කිරි පැණි. කැවිලි වර්ග පලතුරු වර්ග පිරිනැමීමත් කරනවා. නමුත් මං හිතනවා මේ තිබෙන ජීවන රටාවත් සමඟ සෞඛ්‍ය ප්‍රශ්නත් බොහෝ තිබෙන නිසා භික්‍ෂුන් වහන්සේට පිරිනමන කැවිලි අඩුකර ඊට පලතුරු වැඩිපුර එක්කළාට වරදක් නැහැ කියා.

පානය සඳහා තැඹිලි වතුර, කෝපි ආදිය පිරිනැමුවත් මේ දේවල් භික්‍ෂුන් වහන්සේගේ කැමැත්ත අකමැත්ත විමසා පිරිනැමීමයි සුදුසු. මේ අතර ආහාර වළඳා අවසන් වීමෙන් පසුව දැහැත් වට්ටිය පිරිනැමිය යුතු වෙනවා. පිරිකර පිරිනැමීම කිරීමේදි විහාරාධිපති ස්වාමින් වහන්සේට හෝ එතැන වැඩමකර සිටින ප්‍රධාන ස්වාමින් වහන්සේටයි අටපිරිකර පූජා කළ යුත්තේ. අනෙක් භික්‍ෂුන් වහන්සේට සෙසු පිරිකර පූජා කළ යුතුයි.

ඉන්පසුව තිබෙන්නේ භුක්තානුමෝදනාව සිදුකිරීම. මෙහිදී අපිට දකින්නට ලැබෙන දෙයක් තමයි භුක්තානුමෝදනාව සිදුකරන වෙලාවට දානය සංවිධානය කළ නිවසේ ප්‍රධානියා හෝ වගකිවයුතු අය එතැන නැහැ. ඔවුන් වෙනත් කාර්යය වලට ගිහිල්ලා. ඒ නිසා දායක පින්වතුන් භුක්තානුමෝදනාව සිදුකරන විට එතැන සිටීමට සිතේ තබාගත යුතුයි. පැන් වැඩීමේ කාර්යය සඳහා පිඟානක්, කෝප්පයක්, පැන් භාජනයක්, පිරුවටයක් කල්වේලා ඇතිව සූදානම් කර තැබිය යුතුයි.

දානමය කටයුතු අවසානයේ ධාතුන් වහන්සේ සහිත කරඬුව සමඟ භික්‍ෂුන් වහන්සේ නැවත විහාරස්ථානවලට වැඩම කරවීමට උන්වහන්සේගේ අවශ්‍යතා මත අවශ්‍ය දේ සම්පාදනය කළ යුතුයි.

දානමය පිංකම සඳහා පරිහරණයට අවශ්‍ය පිඟන් කෝප්ප, පඩික්කම් ආදිය දානමය පිංකමට පෙර දිනයේ විහාරස්ථානයෙන් කල්වේලා ඇතිව ගෙන ආ යුතුයි. එමෙන් ම ඒවා සෝදා පිරිසුදු කළ යුතු සේම දානමය කටයුත්ත අවසානයෙත් මේවා සෝදා පිරිසුදු කර විහාරස්ථානයට ගෙන ගොස් දිය යුතුයි. එසේ නොමැතිව ඒවාත් නිවෙස්වල පරිහරණයට ගැනීම සුදුසු නැහැ. පිරිසුදුකම, පිළිවෙළ මෙන්ම තමන්ට ඇති හැකි පමණින් දානමය කටයුත්තක් සිදුකිරීමයි වැදගත්ම දේ.

තුන් සිත පහදවාගෙන දෙනු ලබන දානමය පිංකමෙන් ආයුෂ, වර්ණ, සැප, බල, ප්‍රඥාව ආදි වූ පංච ආනිශංස ධර්මයන් දායකයන්ට ලැබෙනවා. පිංකම අවසානයේ ලබන සතුට මෙලොව පරලොව දෙකේදිම සැප ලබා දෙනවා. එම නිසා මේ දානමය කටයුත්ත වඩාත් ඵලදායි වීමට නම් පින්වතුන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් තොරව මේ කටයුත්ත කිරීමයි සුදුසු. භික්‍ෂුන් විෂයෙහි පිරිනමනු ලබන දානය පිංකමක් මිස එය ප්‍රිය සාදයක් නොවෙයි.

අද බොහෝ විට සිදුවන්නේ භික්‍ෂුන් වහන්සේ විහාරස්ථානයට වැඩම කළ පසු ඒ සඳහා ප්‍රිය සාදයක් පැවැත්වීම. එයින් සිදුවන්නේ රැස්කරගත් කුසලයන්ටත් හානියක්. ඒ නිසයි අප කියන්නේ පිංකම පිංකමක් ම විය යුතුයි කියා.

ශ්‍රී මහා චේතියාරාම විහාරාධිපති

රාජකීය පණ්ඩිත මකුරුප්පේ සෝමාලංකාර නාහිමි


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: