Posted by: lrrp | March 16, 2013

ධාර්මිකව උපයා ගන්නා දේ පරිත්‍යාග කළ යුත්තේ පිරිසුදු සිතින්

ආචාර්ය පල්ලේවෙල සාරද හිමි

‘දානය’ නම් වූ සංකල්පයට බුදු දහමේ ප්‍රධාන තැනක් හිමිය. දාර්ශනික අර්ථයක් ද සංසාරගත සංකල්පයක් ද එක් වී ඇති දානය යන්නෙහි අදහස පරිත්‍යාගය යන්නයි. බුදුරජාණන් වහන්සේ විසින් දානය නම් වූ උතුම් ක්‍රියාවට දස පාරමී ධර්මයන් අතරත්, දාන, ශීල, භාවනා යන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන්හිත්, දානය, ප්‍රියවචනය, සමානාත්මතාවය, අර්ථචර්යාව යන සතර සංග්‍රහ වස්තුන්හිත් මුල් තැන දී ඇත්තේ පුද්ගලයා ගේ මනස හදාගැනීමෙහි සරල උපක්‍රමයක් ලෙසිනි.

පුද්ගලයා මානසික වශයෙන් සසරින් සසරට ගෙන එන ලෝබ, ද්වේශ, මෝහ යන අකුසලයත් තුනී කිරීම දානය හෙවත් පරිත්‍යාගයේ දී සිදු කෙරේ. ඒ දානයෙහි දාර්ශනික අර්ථයයි. යම්කිසි අරමුණක් උදෙසා අපි පරිත්‍යාගයක් කළේ නම් හෙවත් දානයක් දුන්නේ නම් ඒ සඳහා අප කැපකරන ප්‍රමාණය තුළ අපට පින් සිදුවේ.

මෙලොව, පරලොව හා සාංසාරික වශයෙන් ඒ පින් අපට උදව්වේ. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ දානය නිසා යම් පුද්ගලයකුට සාංසාරික වශයෙන් ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා යන සම්පතීන් ළඟා කරගත හැකි වන බවයි.

ඔබ කුසගින්නේ සිටින හෝ ආහාරය ඇවැසි පුද්ගලයකුට හෝ යම් ආහාරයක් පරිත්‍යාග කළේ යැයි සිතන්න. දානය බාරගත් පුද්ගලයා ඒ නිසා සතුටට පත් වේ. ආහාරය නිසා ඔහුට කිසියම් ශක්තියක් ලැබේ. නිරෝගී බව ඇතිවේ. යම් ආකාරයකට ප්‍රඥාව දියුණු වීමට එය හේතු වේ. මේ සියල්ල ඒ පුද්ගලයාට ලැබුණේ ඔබ කළ පරිත්‍යාගය නිසා ය. එහි ප්‍රතිඵලයක් ලෙස ඒ විපාකයන් ම ඔබට ද ලැබේ. දානයෙහි මූලික හරය එයයි.

බුදුරජාණන් වහන්සේ දානය අනුදැන වදාළේ එය පුද්ගලයා ගේ සිතෙහි පවතින්නා වූ ලෝබ, ද්වේශ, මෝහ ආදී අකුසල ධර්මයන් ප්‍රහීන කිරීමට උපකාරී වන නිසයි.

යම් පරිත්‍යාගයක් කිරීමට කෙනෙකුට යම් අරමුණක් තිබිය යුතු ය. එය තමන්ට පින් ලබාගැනීමට හෝ තමන්ගේ ඥාතියෙකුට අසල්වැසියකුට, හිතවතෙකුට පින් ලබා දීමට විය හැකි ය. එවැනි පින්කම් බොහෝ විට සිදු කැරෙන්නේ පූජනීය තත්ත්වයෙනි.

මෙහිදී පූජනීය වශයෙන් හා අනුකම්පා සහගතව කරනු ලබන දානය ගැන අපට අවබෝධයක් තිබිය යුතුය. සාමාන්‍ය දුගී මගී යාචකාදීන්ට යම් පරිත්‍යාගයක් කිරීම ද දානයකි. එහෙත් බුදු දහමේ ‘දානය’ නමැති සංකල්පයක් සමඟ විමසීමේ දී මහත්ඵල මහානිශංස ලැබෙන්නේ සිල්වත්, ගුණවත් පිරිසක් උදෙසා කරන ධාර්මික පරිත්‍යාගයෙනි. ධාර්මික පරිත්‍යාගය නම් කුමක්ද? අපි ධාර්මිකව උපයා සපයා ගත් දෙයින් දෙනු ලබන දානයි.

මහා මංගල සූත්‍රයේ දී ‘අනාකූලාව කම්මන්තා’ යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ ධාර්මිකව ධනය උපයා ගන්නා සැටියි. එනම් නිරවුල් කර්මාන්තයයි. සතුන් මැරීම, සොරකම් කිරීම, කාම මිථ්‍යාචාරයෙහි හැසිරීම යන ්‍රිවිධ කාය දුශ්චරිතයන්ගෙන් වෙන්ව ධනය ඉපයීමයි. ගොවිතැන් කිරීම, වෙළහෙළදාම් කිරීම, වෙදකම් ආදී ධාර්මික ක්‍රියාවන් හි යෙදී ධනය උපයා ගැනීම යහපත් බව එහිදී බුදුරජාණන් වහන්සේ අවධාරණය කොට තිබේ.

අසරණ සතුන්ට හිංසා පීඩා කොට සතුන් මරමින් ජීවත් වීම, අනුන් සතු වස්තුව සොර සිතින් හෝ බලහත්කාරකමින් පැහැරගෙන දිවි පැවැත්ම, දුරාචාරයෙහි හැසිරීම බෞද්ධ ප්‍රතිපදාව නොවේ. එවැනි වැරදි කර්මාන්තයක් කරමින් දෙනු ලබන පරිත්‍යාගය ද ඵල රහිත ය. එවැනි දානයකින් තමන්ට හෝ පින් ලබාදීමට අපේක්ෂා කරන පුද්ගලයාට ආශිර්වාදයක් ලැබෙන්නේ නැත.

ධාර්මිකව අප උපයා සපයා ගන්නා දේ පිරිසුදු සිතින් පරිත්‍යාග කිරීම සෑම මොහොතකම අප විසින් පුරුදු පුහුණු කළ යුතු ය. ලෝබ, ද්වේශ, මෝහ යන අකුසල ධර්මයන් ටිකෙන් ටික ප්‍රහීණ වන්නේ එවිට ය. යාචකයකුට හෝ වේවා, සිල්වත් ගුණවත් උතුමකුට හෝ වේවා අපි යම් දෙයක් පරිත්‍යාග කරනවා නම් ඒ පිළිබඳව සිතෙහි වූ ආශාව අත්හළ යුතු ය. විපාක ලැබෙන්නේ ඒ අරමුණුවල ස්වභාවය අනුවය.

විශාල පිරිසක් ඒකරාශි කර ගනිමින්, මහා වියදමක් දරමින් දානමය පින්කම් සංවිධානය කළ යුතු බව අපේ සමාජයේ බොහෝ දෙනා ගේ අදහසයි. එහෙත් අප ළඟ ඇති සුළු දෙයක් වූව ද යම් කෙනෙකුට පරිත්‍යාග කරන්නට සිතෙනවා නම් එතැන ඇත්තේ ද දානමය චේතනාවකි. කෙනෙක් යම් දානමය පින්කමක්, පරිත්‍යාගයක් කළ යුතු වන්නේ තමන්ට හැකි ප්‍රමාණයට ය. කුසල් අත්වන්නේ උතුම් චේතනාව අනුව ය. ඉතා කාරුණික චේතනාවෙන්, පහත් හැඟීමෙන් යුතුව පරිත්‍යාග කරන්නේ නම්ය.

කෙනෙකුට පරිත්‍යාග කළ හැකි වන්නේ ද්‍රව්‍යමය දේ පමණක් නොවන බව ද අප අවධාරණය කරගත යුතු ය. ද්‍රව්‍යමය පරිත්‍යාගයන්ටත් වඩා සුවිශේෂී, යම් පුද්ගලයකුගේ අධ්‍යාත්මික සංවර්ධනය උදෙසා අපට බොහෝ දේ පරිත්‍යාග කළ හැකි ය. යම් කෙනෙකු ගේ දියුණුව උදෙසා අපගේ දැනුම, ඥානය දෙන්නට හැකි නම් එය ද උතුම් දානයකි. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ උතුම්ම දානය ධර්ම දානය වන බව ය. එනම් කෙනකුට යහපත් ගමන් මාර්ගය පැහැදිලි කර දීමය.

ගුරුවරයෙක් ශිෂ්‍යයකුට ශිල්ප ශාස්ත්‍ර උගැන්වීම ද යම් ආකාරයක දානයකි. යහපත් චේතනාවෙන්, පරිත්‍යාගශීලී මනසින් එම කටයුතු සිදු කරනවා නම් හොඳ අධ්‍යාපනයක් ලබාදීම අසීරු නොනවේ.

දානය ආගමික වශයෙන් මෙන් ම සාමාජයීය වශයෙන් ද වටිනා කාර්යභාරයක් සිදු කරයි. අපගේ කාලය, ධනය මෙන් ම යුතුකම් හා වගකීම් ද සමාජයට නිසි ලෙස පරිත්‍යාග කරන්නට හැකි නම් එය සමාජයේ යහපැවැත්මට මනා සේ උපකාරී වේ.

මවුපියන් වෙනුවෙන් දරුවන් යම් කැප කිරීමක් කළ යුතුම ය. එතැන ඇත්තේ ද සුවිශේෂී පරිත්‍යාගයකි. මවුපියන් දරුවන් වෙනුවෙන් මිල කළ නොහැකි කැප කිරීමක් සිදු කරයි. එතැන ඇත්තේ කාරුණික චේතනාවය. ගිහි පැවිදි සේව්‍ය සේවක, ස්වාමි භාර්යා, ගුරු සිසු ආදී සියලු සමාජ ඒකක යහපත්ව ක්‍රියාත්මක වන්නේ පරිත්‍යාගය හෙවත් දානය නිසාය.

මිනිසුන් මිනිසුන්ට මෙන් ම ගහකොළ සතා සිවුපාවුන්ට ද පරිත්‍යාගශීලී විය යුතුය. පරිත්‍යාගය වෙනුවෙන් නැඹුරු වූ සිත් ඇත්තේ විය යුතුය. යම් පරිත්‍යාගයක් හේතු කොට ගෙන සතුටු විය යුතු ය. සමාජය දැහැමි වන්නේ ගුණධර්ම ආරක්ෂා වන්නේ ඒ පරිත්‍යාගශීලී බව අනුවය.


Responses

  1. siyalu sathwayanta yahapathakma sidu wewa…………


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: