Posted by: lrrp | March 16, 2013

සුදුපාට එළියක් මවාගෙන මං නෙළුම් ළඟට ආවා

භාවනාවෙන් කිසිවෙකුට මානසික ආබාධ නොවැලඳේ. මානසික ආබාධ ඇති අය භාවනා කරන්නට ගියොත් අසනීප වැඩිවීමට පුළුවන. “භාවනාව“ යනු වැඩීම ය. සිතේ ශක්තිය වැඩීමය. ඕනෑවට වඩා හිතට අරගෙන භාවනා කරන්නට උත්සාහ කරන අයගේ භාවනාව නොවැඩේ. වීර්යයෙන් අධිෂ්ඨානයෙන් තොරව උදාසීනව ද භාවනාව නොවැඩේ.

කාලයක් තිස්සේ භාවනා කොට එය නොවැඩෙන විට කලකිරුණු භික්ෂුවක් සිවුරු හැර යෑමට සූදානම් වෙද්දී තථාගතයන් වහන්සේ ඒ භික්ෂුව කරා වැඩම කොට ප්‍රශ්න කළහ. “භික්ෂුව! වීණා වාදනය පුහුණුවන්නෙකු එම වීණාවේ තත් ඕනෑවට වඩා තද කළොත් කුමක් වේ දැ?” යි ඇසූහ. “ස්වාමීනි එහි තත් ඕනෑවට වඩා තද කළොත් බිඳී යයි” භික්ෂුව පිළිතුරු දුන්නේය.

“වීණාවේ තත් ඕනෑවට වඩා බුරුල් කළොත් කුමක් වේදැ” යි බුදු පියාණෝ ඇසූහ. “ස්වාමීනි එයින් වීණාවේ හඬ නොනැඟේයැ” යි භික්ෂුව කීය. එයින් ම කාරණය වටහා ගත් භික්ෂුව භාවනාව වඩා රහත් බවට පත් වූයේය. එසේ ම ආධ්‍යාත්මීය දියුණුව අපේක්ෂා කරන්නේ ශ්‍රද්ධාවත් ප්‍රඥාවත් සමබරව පවත්වා ගෙන යා යුතු ය.

බෙල්ලන්තර ප්‍රදේශයේ පදිංචිකාරියක වූ නෙළුම් විසි දෙහැවිරිදි විශ්ව විද්‍යාල ශිෂ්‍යාවකි. පියා ජීවතුන් අතර නැත. මව සමඟ ජීවත් වූවා ය. ඇය නිතර මෙහෙණින් වහන්සේ ඇසුරු කළාය. නින්දෙන් බිය වී අවදි වීමත්, නින්දෙන් කව්දෝ කෙනෙක් ස්පර්ශ වීමත්, යටි බඩේ වේදනාවක් නිසා ඇය රෝගාතුර වූවාය. වෛද්‍ය ප්‍රතිකාර හා මානසික වෛද්‍ය ප්‍රතිකාරවලින් සුවයක් නොලැබු නිසා ඇගේ මවත්, සිල් මෑණිවරුන් දෙදෙනෙකුත් සමඟ ඇය ඇතුල්කෝට්ටේ, ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයා ගෙන ආවා ය.

“මේ නෙළුම් දුව හොඳින් භාවනා කරනවා. භාවනා පන්ති පවා පවත්වමින් භාවනාව උගන්වනවා. ඇය සෝවාන් මාර්ග ඵල ලබා තිබෙනවා. මේ අසනීපය තමයි ගැටලුව“ යැයි සිල් මෑණිවරු නෙළුම් පිළිබඳ විස්තර කළහ.

“මේ ළමයා සෝවාන් වී ඇති බව දන්නේ කොහොම දැ” යි ගවේෂකවරයා ප්‍රශ්න කළේ ය.

“නෙළුම් දුවට දෙවියෝ ආශීර්වාද කරනවා. දිව්‍යමය පණිවුඩ ලැබෙනවා. සුදු ආලෝකයක් පැමිණ නෙළුම් සෝවාන් මාර්ග ඵල ලබා ඇති බව අපට කියනවා. අපේ ආරාමයට එන හැම දෙනෙක් ම නෙළුම් දුවට ගෞරව කරනවා. මේ වගේ වටිනා දුවක් හැදුවා ය කියා නෙළුම්ගේ මේ අම්මාටත් ඒ අය වැඳුම් පිදුම් කරනවා. නෙළුම් දුවගෙන් භාවනාව ඉගෙන ගන්න බොහෝ දෙනෙක් එනවා” යැයි සිල් මෑණිවරු විස්තර කළහ. එසේ ම නෙළුම් නිසා මේ ආරාමයට බොහෝ ලාභ ප්‍රයෝජන ආධාර ලැබෙන බව ද ගවේෂකවරයා වටහා ගත්තේ ය.

රෝග පරීක්ෂාවේ දී ආධ්‍යාත්මීය ශක්ති කිරණ එල්ල කරන විට නෙළුම් පසුපසට ගොස් බිත්තියේ හැපී වැටුණාය. දින විසි එකක් නිසි පරිදි බෝධි පූජා පවත්වා නැවත පැමිණෙන ලෙස ගවේෂකවරයා නියම කළේය. ඒ බෝධි පූජා මාලාව ඉටුකොට ඇය ඒ වැඩිහිටියන් සමඟ නැවත පැමිණියාය. එදින ද ඇගේ ශරීරය වෙව්ලන්නටත් අඬන්නටත්, එක තැන කැරකී වැටෙන්නටත් වූවාය. නැවත දින හතක් බෝධි පූජා පවත්වා පැමිණෙන ලෙස නියම කළේය.

එදින නෙළුම් ප්‍රලය වූවාය. ගවේෂකවරයා ප්‍රශ්න කරන්නට පටන් ගත්තේය.

“කව්ද මේ ශරීරයට ඇතුළු වී ඉන්නේ?”

“මතක නෑ”

අමනුෂ්‍යාගේ ව්‍යාකූල මනස තැන්පත් වන ලෙස මෛත්‍රී කිරණින් අධිෂ්ඨාන කළේය.

“කව්ද මේ? දැන් මතකයි නේද?”

“ඔව්! මම නාමල්”

“නාමල්ගෙ ගම කොහේ ද?”

“මීගොඩ”

“මොනවා වෙලා ද මැරුණේ?”

“මගේ ගෑනු ළමයා මාව දාල වෙන කොල්ලෙක් කසාද බැන්දා. ඒ දුකට මම වස බීවා.”

“කොයි කාලෙ ද?”

“මතක නෑ.”

“ඊට පස්සේ?”

“ඊට පස්සේ මම තැන තැන පාවෙවී ඇවිදිමින් හිටියා. මම මගේ කෙල්ලට වඩා ලස්සන ගෑනු ළමයෙක් භාවනා කරමින් ඉන්නවා දැක්කා.”

“ඒ කව්ද?”

“මේ නෙළුම්”

“ඉතින්?”

“මම සුදුපාට එළියක් මවා ගෙන නෙළුම් ළඟට ආවා. නෙළුම් ළඟට වී නිදාගත්තා. නෙළුම් ඔයා දැන් රහත් වෙලා කියලා කනට කර කීවා.”

ඉතින් තමුන් ජීවත්වුණේ කොහොම ද?”

“මම රෑට නෙළුම්ව අවදි කර පෙළඹෙව්වා බිත්තර බැදගෙන කන්න. මාළු බැදගෙන කන්න. නෙළුම් ඒවා කනකොට මමත් කෑවා. ඒ එක්කම ඇඟට රිංගුවා.”

“ඊළඟට මොනවා ද කළේ?”

“ඊළඟට මෙයා භාවනා කරන කොට ළඟ ඉන්න සිල් මෑණිවරුන් ගේ ළඟට ගිහින් නෙළුම් දැන් සේවාන් වෙලා ය. රහත් වෙලා ය කියලා කිව්වා.”

“කොහොම ද කීවේ?”

“සිල් මෑණිවරු දෑස් පියා ගෙන භාවනාවට වාඩි වෙලා ඉන්න කොට නෙළුම් කියන විදිහට සිල් මෑණිවරුන්ගේ කනට කර කීවා. නෙළුම් භාවනා ශක්තියෙන් ඒ අයගෙ හිතට කතා කරනවා ය කියා සිල් මෑණිවරුන් රැවටුණා.

නෙළුම් භාවනා කරන්නට සූදානම් වී නොසෙල් වී හිත එක තැනකට ගන්න කොට ම මම කිට්ටු වෙනවා. නෙළුම් රෑ එකොළහටත් භාවනා කළා. මම ඇඟ ඇතුළට වෙලා නෙළුම්ට එක තැන බොහෝ වේලාවක් ඉන්න උදව් කළා. සිල් මෑණිවරු රැවටුණාය.

“තමුන් මේ ළමයාගේ ශරීරයෙන් ඉවත් වෙලා යන්න ඕනෑ.”

“බෑ… බෑ… මම නෙළුම්ට ආදරෙයි. මට මෙයාව දාලා යන්න බෑ. මේ හැම කෙනෙක් ම නෙළුම්ට ගෞරව කරනවා. ඒ ගෞරවය ලැබෙන්නේ මම හින්දා. නෙළුම්ගෙ අම්මාටත් අහල පහල අය වඳිනවා. ගෞරව කරනවා. මම නෙළුම්ගේ ඇඟෙන් ඉවත් වුණොත් මේ තරම් ලස්සනට භාවනා ඉරියව්වෙන් ඉන්න බැරි වෙනවා. සිල් මෑණිවරුන්ට ලැබෙන ගෞරවය, ආධාර උපකාර නැති වෙලා යාවි, ඒ නිසා මට ඉවත්ව යන්න බෑ.”

ඇගේ ශරීරයෙන් පේ‍්‍රත ජීවියා තාවකාලිකව ඉවත් කර ගවේෂකවරයා නැවත සාකච්ඡා කළේය.

“නෙළුම් වෙනත් ප්‍රතිකාරයක් ගත්තේ නැද්ද?”

“මනෝ වෛද්‍යවරයා නියම කළ පෙති බොනවා”

“ඒ අතරේ භාවනාත් කරනවා?”

“ඔව්”

මේ අතර සිල් මෑණිවරු කතා කරන්නට වූහ. “මහත්තය, මේ අමනුෂ්‍ය කතාව අපට පිළිගන්න බෑ. මේ දුවට තියෙන්නේ ලෙඩක්. භූත දෝෂයක් – නොවෙයි. මේ භූතයා මෙතනට ආවාට පස්සේ මෙතනදි ඇඟට ආපු භූතයෙක්. අපි මෙතනට ඇවිත් නැති ලෙඩක් ඇඟට දාගත්තා වගෙයි අපට පෙනෙන්නේ.

අපි මේවා පිළිගන්නේ නෑ. මේ තරම් හොඳට භාවනා කරන මාර්ග ඵල ලබාපු නෙළුම් ළඟට භූතයෝ එන්නේ නෑ. අපි මේවා විශ්වාස කරන්නේ නෑ” යි ගවේෂකවරයා කෙරෙහි දොස් පවරන ආකාරයෙන් පැවසූහ.

“ඔය අය අකැමැති නම් මට කරන්න දෙයක් නෑ. ළමයාවත් අරගෙන යන්න. හැබැයි මේ ළමයාගේ තරුණ ජීවිතය ගැන කල්පනා කරන්න. ඔය ලැබෙන ගෞරව සැලකිලි ලාභ ප්‍රයෝජන වගේ නොවෙයි ඉගෙන ගන්න ළමයෙකුගෙ තරුණ ජීවිතයේ වටිනාකම. අකමැති නම් යන්න.”

සිල් මෑණිවරු දෙදෙනාත් නෙළුම් ගේ මවත් ගවේෂකවරයාට දොස් පවරමින් “අපි මෙතනට ආවේ ලෙඩේ සනීප කර ගන්න. මෙතැනින් නැති ලෙඩක් දාගත්තා. අපි යනවා යන්න” යි කියමින් නෙළුම් සමඟ නික්ම ගියහ.

මාසයකට පසු නෙළුම් ගේ මව ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයට පැමිණ හඬා වැලපෙමින් වැඳ වැටුණාය.

“අනේ! මහත්තයෝ පින් අයිති වෙයි. සමාවෙලා අපට අනුකම්පා කරලා මගේ දුවගෙ ජීවිතේ බේරා දෙන්න” යි කීවා ය.

“ඇයි දුව එක්ක ගෙන ආවේ නැත්තෙ?”

“දුව දැන් අංගොඩ මානසික රෝහලේ කරන්ට් එක අල්ලනවා. අනේ මහත්තයෝ මගේ දුව බේරා දෙන්න.”

“කෝ අර සිල් මෑණිවරු?”

“දුවට මානසික අමාරුවක් බව දැන ගත්තා ම දායකයෝ ඇවිත් සිල් මෑණිවරුන්ට දොස් කිව්වා. බැන්නා. මිනිස්සු රවටලා ලාබ ප්‍රයෝජන ගත්තා කියලා. ඒ අය ආරාමයත් අත හැරලා යන්න ගියා. මම අසරණ වුණා. මිනිස්සු දැන් අපට හිනා වෙනවා. මමත් මෝඩ වුණා.

“දුව එක්ක ගෙන එන්න. ලබන ඉරිදට ම එන්න. අපරාදෙ අහිංසක තරුණ ජීවිතයක්” යැයි ගවේෂකවරයා අනුකම්පාවෙන් පැවසීය. රෝහලෙන් ටිකට් කපාගෙන ඊළඟ ඉරිදා නෙළුම් නැවත කැඳවාගෙන ආවාය. එදා පැමිණියේ තවත් වැඩිහිටියෙකු සමඟ ය. පළමුව ම ඔහු කතා කළේ ය.

“මහත්තයා මේ මෝඩ වැඩවලට මම මුල ඉඳලම විරුද්ධ වුණා. සිල් මෑණිවරුන් මේ ළමයාව ඉස්සරහට දාලා ලාබ ප්‍රයෝජන ගත්තා. මේ අපේ අක්කා. මෙයාටත් මිනිස්සු වඳින කොට හරි ඉහළයි. අපි කියන දේවල් ගණන් ගත්තේ නෑ. ඇත්ත එළිදරව් වුණා ම සිල් මෑණිවරු කාටවත් නොකියා පැනලා ගියා. දැන් මේ මෝඩ ගෑනු දෙන්නා අසරණ වුණා. මහත්තයා අනුකම්පා කරලා මේ ළමයාව සනීප කැර දෙන්නැ” යි ඉල්ලා සිටියේය. ගවේෂකවරයා නැවතත් තරුණිය දිෂ්ටි ගැන්වූයේය. පේ‍්‍රත ජීවියා හිනාවෙන්නට වූයේය.

“කව්ද මේ?”

“මම නාමල්”

“ඇයි හිනාවෙන්නේ?”

“අර දෙන්නා ලාබ ප්‍රයෝජන නැතිවෙන කොට මිනිස්සු දොස් කියන කොට නෙළුම්ව අතහැරලා පැනලා ගියා. හිඞ… හිඞ… හී… මම නම් මෙයාව දාල පැනලා යන්නේ නෑ. මම මෙයාව අරගෙන යනවා.”

“කොහොම ද ගෙනියන්නෙ?”

“මහත්තයා දන්නේ නෑ. මේ නෙළුම් හය වතාවක් ජීවතේ නැති කැර ගන්න හැදුවා. මේ ගැහැනු ඒ බව මහත්තයට කිව්වේ නෑ. ඒවා හැංගුවා.”

“ඉතින් මොකද ගෙනියන්න බැරිවුණේ?”

“මේ නෙළුම්ට පෙර පින් තියෙනවා. වෙලාව හොඳයි. ඒ නිසා මට ගෙනියන්න බැරිවුණා. ඒත් කවදා හරි මම අරගෙනම තමයි යන්නේ.”

“මේ තමුන් දැන් මීගොඩ නාමල් නොවෙයි. තමුන් පේ‍්‍රත ජීවියෙක්. විනාඩි පහක් කල් දෙනවා. තමුන් කැමති බෝධියක් ළඟට යන්න. පිනට දහමට සම්බන්ධ වෙන්න. ඔය දුගතිගාමී ආත්ම භාවයෙන් ඉවත් වෙන්න අධිෂ්ඨාන කරන්න.”

පේ‍්‍රත ජීවියා දරුණු වී ගෝරණාඩු කරන්නට විය. “මේ තමුසේ මා එක්ක සෙල්ලම් කරන්න හදන්න එපා. තමුසෙට බෑ මාව පන්නන්න. මම යන්නෙ නෑ. පුළුවන් දෙයක් කරනවා” යි කීවේය.

ගවේෂකවරයා සෘජුව ම ශක්ති කිරණ එල්ල කළේ ය. “එපා… එපා… පිච්චෙනවා… දැවිල්ලයි… දැවිල්ලයි. මං යනවා. මං යනවා. හිටපු තැනට ම යනවා” යි පේ‍්‍රතයා පලා ගියේ ය. තරුණියට ආධ්‍යාත්මීය ආරක්ෂාවක් යොදා පිළිවෙත් කීපයක් නියම කළේය.

මේ වන විට ඇය සුවපත්ව අවසන් උපාධි පරීක්ෂණයට සූදානම් වෙමින් සිටී.

මතුගම මහින්ද විජේතිලක


Responses

  1. ලිපියට ස්තූතියි


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: