Posted by: lrrp | April 3, 2013

ගංගාට ආදරේ නිසා මං පළිගන්නෙ නෑ

මිනිසා මේ භාවයෙන් සමු ගනු ලබන්නේ බොහෝ දේවල් පොදි බැඳ ගෙන ය. මේවා හොඳ ය මේවා නරක යැයි (ඇලීම හා ගැටීම) තමන් ගේ චිත්ත සන්තානය විසින් සකස් කරනු ලැබූ හෙයින් ඒවාට ‘සංස්කාර’ යැයි කියති. පංචේන්ද්‍රියයන් ගෙන් ගන්නා අරමුණු මෙය පි‍්‍රය ය මෙය අපි‍්‍රය යැයි මනසින් සකස් කොට ගොඩ ගසා ගැනීම නිසා මේ සසර ගමන දිග් වේ.

මිනිසා මේ භවයේ දී මේ මගේ මව ය, පියා ය අඹු දරුවෝ ය ආදී වශයෙන් පුද්ගලයන් කෙරෙහි ආදරයෙන් ඇලී සිටී. තරහ මරහ නිසා ගැටී සිටී. එහෙත් මේ මිනිසා මීට පෙර භවවලත් මෙසේ ම මවුවරු පියවරු අඹු දරු ආදීන් සිටි බව කල්පනා නොකොට මේ භවයේ අය ගැන ම ආදරය කරයි. වෛර කරයි. කෙසේ නමුත් භවයෙන් භවය පුද්ගලයන් කෙරෙහිත් වස්තු සම්පත් කෙරෙහිත් “සංස්කාර” කර ගත් දේ පොදි බැඳ ගෙන ඊට ම අදාළ ණය ගනුදෙනු කරමින් සංසාර ගමනේ යෙදෙයි.

ගංගා පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි විසිහත් හැවිරිදි අවිවාහක තරුණියකි. රාත්‍රියට කව්දෝ කෙනෙකු ඇය සමීපයේ නිදා ගන්නා බවත් ස්පර්ශ කරන බවත් හීනෙන් දැක බියවීම නිසා හරිහැටි නින්දක් නොලැබ වසරක සිට පීඩා විඳින්නීය. ඊට අමතරව යටි බඩේ වේදනාවක් හා බඩ පුරවා දැමීම නිසා ද රෝගී වූවාය. වෛද්‍ය ප්‍රතිකාරවලින් සුවයක් නොලද ඇය මනෝ වෛද්‍ය ප්‍රතිකාර ලැබුවාය. එයින් ද සුවයක් නොලැබුවාය. තවමත් මනෝ වෛද්‍යවරුන් නියම කළ පෙති ගිලිමින් සිටී. මේ අතර වත් පිළිවෙත් ආදී අභිචාර විධිවලින් ද සුවයක් පැතූ නමුත් සහනයක් නොලැබුවා ය.

ඇගේ මවුපියෝ ‘සිළුමිණ’, ‘පියවි ඇසින් ඔබ්බට’ විශේෂාංගයෙන් කියැවෙන ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය කරා ඇය කැඳවා ගෙන ගියහ.

එහි දී ආධ්‍යාත්මික උපදේශකවරයා ඉදිරියේ ගංගා සිහිසුන්ව ඇද වැටුණා ය. පහු ගිය කාලය තුළ හරි හැටි ආහාර පානයක් නොගැනීමත්, නින්දක් නොලැබීමත් නිසා ඇය ශාරීරිකව දුර්වලව සිටි බැවින් බෝධි පූජා විසි එකක් පවත්වා නැවත පැමිණෙන ලෙස උපදෙස් දුන්නේය.

ඒ පිළිවෙත් ඉටුකොට සති තුනකින් ඔවුහු නැවත පැමිණියහ. එදින ඇය අඬාගෙන මොනවාදෝ කියන්නට උත්සාහ කළත් දුර්වලව බිම දිගා වූවාය. ගවේෂකවරයා ඇයට විශේෂිත පෝෂ්‍යදායක ආහාර කීපයක් නියම කොට ඒ ආහාර ගෙන තවත් සතියක් බෝධි පූජා පවත්වා එන්නැයි ඒ බෝධි පූජාවලට විශේෂිත උපදෙස් කීපයක් ද දුන්නේ ය.

ඊළඟ දිනයේ ඇය ප්‍රලය වූවාය. අඬන්නට වූවාය. එක දිගට අඬන්නට වූවාය. ටික වේලාවක් ඇයට අඬන්නට ඉඩ දී ගවේෂකවරයා ප්‍රශ්න කරන්නට පටන් ගත්තේය.

“කවුද මේ අඬන්නේ?”

“මම චතුරංග”

“කවුද චතුරංග කියන්නේ?”

“මම ගංගා ගේ පෙම්වතා”

“ඇයි අඬන්නේ?”

“මම ගංගාට ආදරෙයි. මට ගංගා නැතුව බැහැ. මට ගංගාව ඕනෑ. මම ගංගා ගේ පස්සෙන් ම එනවා. ගංගා කනකොට මමත් කනවා. ගංගා යන කොට මමත් යනවා. ගංගා නිදියන කොට එයා ළඟින් නිදියනවා – ගංගා අවදි වන කොට මමත් නැගිටිනවා. මට මගේ ගංගාව දාල යන්න නම් බැහැ. දාලා යන්න කියන්නත් එපා.”

“චතුරංග මැරුණේ මොනවා වෙලා ද?”

“ඉහි… ඉහි… ඉහි…”

“කියන්න කියන්න අඬන්නේ නැතුව”

“බස් එකකට යටවෙලා”

“මොන අවුරුද්දෙ ද?”

“2011”

“චතුරංග ගෙ ගම කොහේද?”

“වැල්ලම්පිටියේ”

“බස් එකට යටවුණු හැටි මතක ද?”

“ඔව්”

“කියන්න බලන්න”

“මම එදා ගංගාව බලන්න ගංගා ගේ ගෙදරට ගියා. ගංගාගේ තාත්තා හරි ම සැරයි. ගංගා ඒ බව මට කලිනුත් කියලයි තිබුණේ. ‘උඹට මගේ දූ බඳින්න දෙන්නේ නෑ. කපලා ගඟේ දැම්මත් උඹට දෙන්නේ නෑ. පලයං යන්න’ කියලා ගංගාගේ තාත්තා මාව එළවා ගත්තා. මට හරිම ලැජ්ජා හිතුණා. ඒ වගේම ගංගා නැතුව ජීවත්වෙලා වැඩක් නෑ කියලා දුක හිතුණා. ගංගාගෙ තාත්තා මට බනින කොට ගංගා ගේ ඇතුළේ ඉඳගෙන ඉකි ගගහා අඬනවත් ඇහුණා. ගංගාගෙ අම්මා අසරණ වෙලා වගේ බලා හිටියා. මම ඒ ගැන ම කල්පනා කර කර පයින්ම බස් ස්ටෑන්ඩ් එකට ආවා. මම සිහිවිකල් වෙලා වගේ හිටියේ. මගේ පිටුපස්සෙන් ආපු වාහනයක් එක පාරට ම බ්‍රේක් ගැහුවා. මම අනිත් පැත්තට පැන්නා. ඒ පැන්නෙන් ආපු බස් එකක හැපිලා යට වුණා. මාව විශාල බරකින් යටවුණා වගේ දැනුණා. එච්චරයි මතක. ඒ එක්ක ම ගංගා මතක් වුණා.

“ඉතින් දැන් ගංගාගෙ තාත්තා එක්ක තරහ හිතෙනව ද?”

“නෑ. ගංගාට තියෙන ආදරේ නිසා එයාගෙ තාත්තගෙන් පළිගන්න හිතෙන්නේ නෑ. මට ගංගා විතරයි ඕනෑ.”

“මළාට පස්සෙ වැල්ලම්පිටියෙ ගෙදර ගියේ නැද්ද?”

“ගියා. මාව මතක් කරලා මගේ ගුණ කියන කොට ගෙදරට ඇදිලා ගියා. අවමංගල උත්සවයත් දැක්කා. ඒත් අම්මා අඬනකොට ඒක මට දරාගන්න බෑ. මම ආපහු ගංගා ළඟට ආවා.”

“ඉතින් ගංගා අඬන්නෙ නැද්ද?”

“නෑ අම්මලා තාත්තලා බණින හින්දා වෙන්නැති අඬන්නෙ නෑ. සමහර වෙලාවට හූල්ල හූල්ල නිදියනවා. එතකොට මම එයාගෙ ඔළුව අත ගානවා.”

“ඉතින් චතුරංගගෙ ගෙදරින් පින්කම් කරලා පින් දුන්නෙ නැද්ද?”

“ගෙදර පින්කම් කළා. හත් දවසෙ, තුන් මාසෙ, අවුරුද්දෙ පින්කම් කළා. මමත් ගියා. ඒත් මට පින් ලැබුණේ නෑ.”

“ඇයි පින් ලැබුණෙ නැත්තෙ?”

“දන්නෙ නෑ හේතුව. සමහර විට මගේ හිතේ නිතර ම ගංගා ගැන අදහස් – ආදරේ – පිරිලා තියෙන නිසා පින් දැනෙන්නෙ නැතුවා ඇති. මගේ හිතේ තියන්නෙ මේක ම විතරනෙ. මම මැරෙන වෙලාවෙ හිතට ආ මේ සිතුවිල්ලම දිගින් දිගට ගලා යනවා.”

“චතුරංග! තමුන් ගංගා මත්තෙ ම ඉන්න එක තේරුමක් නෑ. ඔයා ගංගාට ආදරේ නම් – අවංකව ම ආදරේ නම් ඔහොම කරන්න හොඳ නෑ. ගංගා ලෙඩ වෙලා මැරේවි. ඔයාට ගංගාව මරා ගන්න ඕනැ ද?”

“අනේ නෑ. අනේ නෑ. මම එහෙම හිතන්නේ නෑ”

“ගංගා ලෙඩ වෙන්නෙ ඔයා නිසා. ගංගා ලෙඩ වෙලා මැරුණොත් කොහේ උපදීවි ද දන්නෙ නෑ. චතුරංග දැන් ඔයා චතුරංග නොවෙයි. අමනුෂ්‍යයෙක්. ඔයා ඉන්නෙ අමනුෂ්‍ය ලෝකයේ. අමනුෂ්‍යයන්ට යි මනුෂ්‍යයන්ට යි එකට ජීවත් වෙන්න බෑ. තමන් ගංගාට ආදරේ නම් ගංගාට නිදහසේ නිරෝගිව ජීවත්වෙන්න ඉඩ දෙන්න ඕනෑ. ගංගා සතුටෙන් ජීවත් වුණොත් ඔයාටත් පින් දේවි.

දැන් ඔයාගෙ හිතේ දැඩි ඇල්ම නිසා ඔයාට පින් ගන්න බෑ. දැන් තමන්ට ගංගාගෙන් වැඩක් නෑ. දුක විතරයි.

අනුන් දෙන පිනක්වත් අනුමෝදන් වෙන්න බැරුව කාලාන්තරයක් ඔය ප්‍රේත ජීවියෙක් ලෙස දුක් විඳින්න වේවි. අනිත් කාරණය ගංගාගේ මවුපියෝ ඇදුරන් ලවා තොවිල් කර බැඳලා දැම්මොත් ඊටත් වඩා කල් හිර වෙලා දුක් විඳින්න වේවි. ගංගාට ආදරේ නම් ගංගාට සතුට යහපත ප්‍රාර්ථනා කර නිදහසේ ජීවත්වෙන්න ඉඩ දෙන්න.”

“ගංගාට හොඳක්, යහපතක් වෙනවා නම් මම එහෙම කරන්නම්.”

“ගංගාගෙ ගෙදර අයට කියලා දානයක් දීලා පින් අනුමෝදන් කරවන්නම්. ගංගත් ඒ දානයට සහභාගි වේවි.”

“හොඳයි හොඳයි මං කැමතියි.”

“පිරිසුදු සිතින්, කැමැත්තෙන්, ගමේ පන්සලට දානය රැගෙන ගොස්, දානය පිරිනමා, පැන් වඩා පින් අනුමෝදන් කරන්නැÓයි ගවේෂකවරයා ගංගාගේ මවුපියන්ට උපදෙස් දුන් අතර ඔවුන් එසේ කරන බවට පොරොන්දු වූහ.

“අන්න දැන් අහගෙන නේද හිටියේ. මේ ගංගාගේ තාත්තා ළඟ දැන් තරහක් නෑ. දානයක් දී පින් අනුමෝදන් කරාවි. දානයට සහභාගි වී පින් ලබා ගෙන ඔය දුකෙන් නිදහස් වෙලා යන්න.

ඊට පස්සෙ තමන් කැමති පූජ්‍යස්ථානයකට ගිහින් සැදැහැවතුන් මල් පූජා කරන කොට ඒ මල්වලට අත ගසා අතීත – වර්තමාන – අනාගත සියලු බුදුවරයන් වහන්සේලාට මේ මල් පූජා කරමි පූජා කරමි පූජා කරමි පූජා වේවි කියලා හිතන්න.

එතකොට ඔය දුක්ඛිත ආත්මයෙන් මිදී නිදහස්ව ඉහළ තලයකට යන්නට පුළුවන්.”

“හොඳයි, හොඳයි, මට දැන් තේරුණා. ඒ පින්කම කරනතුරු මම පැත්තකට වෙලා ඉන්නම්.” යැයි පේ‍්‍රත ජීවියා පොරොන්දු වූයේය.


Responses

  1. කියෙව්වා ස්තූතියි


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: