Posted by: lrrp | April 3, 2013

ප්‍රියන්ත වශී ගුරුකමකින් මාව අල්ලා ගත්තා

මිනිසා අතීතයේ සිටම ලෝභය, ද්වේෂය හා මෝහය නිසා තවත් කෙනෙකු කෙරෙහි තණ්හාවෙන්, වෛරයෙන්, ඊර්ෂ්‍යාවෙන් පළි ගැනීම සඳහා ගුප්ත ශාස්ත්‍රවල හා පාපී ඇදුරන්ගේ සහය ලබා ගෙන අන වින හූනියම් කළේය. තමන්ට කෙළින්ම ඉදිරිපත් වී පළි ගැනීමට, අනුන් විනාශ කිරීමට අවශ්‍ය බලය හා ශක්තිය නැති නිසා ද නීතියෙන් අවහිරතා එළඹෙන නිසා ද සමාජ අපකීර්තිය එළඹෙන නිසා ද මෙවැනි දුෂ්ට පාපිෂ්ට වැඩවල යෙදුණි. පව පින නොදන්නා, කර්මය හා විපාකය නොදන්නා, කරුණාවෙන් මෛත්‍රීයයෙන් තොර වූ නූගත් ඇදුරෝ ද බඩ වඩා ගැනීම සඳහා මෙවැනි පාපී ක්‍රියාවලට දායක වෙති.

තවත් කෙනෙක් තමන්ට අසාධාරණයක් වූ විට එය නීතියෙන් විසඳා ගන්නට නොහැකි අවහිරතා එළැඹි විට, නීතිය ධනයට බලයට යටත් වූ විට, නීතිඥයන්ට ගෙවීමට මුදල් ශක්තියෙන් හීන වූ විට, කෙසේ නමුත් නීතියෙන් ලැබෙන තීන්දු අසාධාරණ වන විට ද කල්ගත වන විට ද මෙවැනි අන වින හූනියම්වලට හා සාප කිරීම්වලට පෙලඹෙති. තවත් කෙනෙක් තමන් ආසා කරන පුරුෂයන් හෝ ස්ත්‍රීන් වසඟ කැර ගැනීමට ද වශී ගුරුකම් කරති. මේ වශී ගුරුකම්වලට අමනුෂ්‍යයන් ගේ සම්බන්ධය ද වුවමනා කරන බැවින් එය ඊට ලක්වන පුද්ගලයා ගේ් කායික මානසික සෞඛ්‍යයට ද අහිතකරය. කෙසේ නමුත් මෙවැනි අන වින හූනියම් කරන ඇදුරන්ට නම් සුගතියක් නැත. සුගතිගාමී පරලොවක් ද නැත.

මෙවැනි දුක් කරදරවලට ගොදුරුවන පුද්ගලයෝ ද සමහරු අසාධාරණ වෙති. නඩුවෙන් දිණුවත් පැරදුණත් නීතිඥයන්ට දහස් ගණනින් වියදම් කොට විඳ දරා ගනිති. වෛද්‍ය ප්‍රතිකාරවලට, සැත්කම් වලට ලක්ෂ ගණන් විය පැහැදම් කොට මළත් පාඩුව විඳ දරා ගනිති. සියල්ල කර්මයට බාර දී හිත හදා ගනිති. එහෙත් බෝධි පූජා දින දහහතර, දින විසිඑක පවත්වා පන්සලේ විදුලිබිල, වතුර බිල, හාමුදුරුවන්ගේ වෙහෙස මහන්සිය ගැන නොතකා, කිරිපිටි පැකට්ටුවකින් පිරිකර පූජා කර ලිස්සා යන්නට බලති. ‘අනේ අපි දැන් මේකට ලක්ෂ ගණනක් වියදම් කරලා නැත්තට ම නැතිවෙලා ඉන්නේ’ යි කියමින් ආගමික පිළිවෙත් නියම කරන තැන්වලින් තුට්ටුවට දෙකට ඇඟ බේරා ගන්නට බලති. තමන්ගේ අඩුපාඩුවකින් හෝ කාර්ය ඉටු නොවුණොත් දෙයියන්ට, බුදුන්ටත්, ශාස්ත්‍රයටත් දොස් පවරති. ඒ බොහෝ දෙනා ගේ හැටියකි.

නිරූපා කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකාරියකි. විසිහතර හැවිරිදි ඇය රූමත් ය. විවාහ වී වසරකට වඩා නැත. ඇගේ සැමියා සුනිල් සාධාරණ පුද්ගලයෙකි. දෙදෙනා ම ඇඟලුම් කම්හලක රැකියාවේ යෙදෙද්දී දැන හඳුනාගෙන විවාහ වී ඇත.

අත පය රුදාව, යටි බඩේ වේදනාව, හීනෙන් බිය වීම, නින්දෙන් ගැස්සී අවදිවීම යන රෝගාබාධවලින් නිරූපා දැඩි සේ පීඩා වින්දාය. වෛද්‍ය ප්‍රතිකාරවලින් සුවයක් නොලද තැන වත් පිළිවෙත් කෙරෙහි යොමු වන්නට සිදු විය. “සිළුමිණ” පත්‍රයේ පාඨකයෙකු වූ සුනිල් “පියවි ඇසින් ඔබ්බට” විශේෂාංගයේ සඳහන් ඇතුල්කෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය වෙත නිරූපා කැඳවා ගෙන ගියේය. නිරූපා ගේ මවද එහි ගියා ය.

”මීට පෙරත් මෙවැනි අසනීපයක් තිබුණා ද? පිළිවෙත් කළා ද? අමනුෂ්‍ය දෝෂයක් තිබුණා ද?” ගවේෂකවරයා ප්‍රශ්න කළ විට එවැනි කිසිවක් නොවූ බව නිරූපාත්, ඇගේ මවත් කීහ. සුනිල් බිම බලාගත් වන ම හුන්නේ ය. ගවේෂකවරයා නිරූපා වෙත කිරණ ශක්ති එල්ල කරන විට ඇගේ ශරීරය වෙව්ලන්නට විය. ඊළඟට අඬන්නට වූවා ය. ඉන් පසුව අප්‍රාණිකව බිම දිග ඇදුණා ය.

දිෂ්ටිය ඉවත් කළ ගවේෂකවරයා නැවත ප්‍රශ්න කළේ ය.

”මෙයාගෙ ඇඟේ අමනුෂ්‍ය බලපෑමක් තියෙනවා. තමුන් දන්නවා. සාස්තර පොළවල් ගානෙ ගිහිල්ලා තොවිල් කරලා බැරි වුණා ම මෙතනට එනවා. මේ දෝෂය ඉවත් කරන්න කට්ටඩි රුපියල් ලක්ෂ ගණනක් ඉල්ලන්න ඇති. එහෙම තියාගෙන මෙතනත් ඇවිත් අම්මලා දූලා බොරු කියනවා. මාව රවටන්නද හදන්නේ? මේ වගේ අයට ප්‍රතිකාර කරන්න මම කැමති නැහැ’ යි කීවේය.

”අනේ! මහත්තයා අනුකම්පා කරලා, සමාවෙලා මෙයාව සනීප කැර දෙන්න” යි සුනිල් බැගෑපත් වූයේ ය.

ගමේ පන්සලේ දින විසි එකක් බෝධි පූජා පවත්වා නැවත එන්නැ යි ගවේෂකවරයා උපදෙස් දුන්නේ ය.

ඊළඟට පැමිණි දිනයේ ද නිරූපා ප්‍රලය වූවාය. “අනේ මට යන්න බෑ. මම නිරූපාට ආදරෙයි. නිරූපා දාලා යන්න නම් බෑ” යි බඩ අල්ලා ගෙන අඬන්නට විය.

”කවුද මේ අඬන්නේ?”

”මම ප්‍රියන්ත”

”කවුද ප්‍රියන්ත කියන්නේ?”

”මම ඇදුරෙක්”

”ප්‍රියන්ත කියලා කට්ටඩියෙකු ගැන දන්නවාදැ”යි නිරූපාගේ මවගෙන් ඇසූ විට “ඔව් දන්නවා” යැයි ඇය කීවා ය. භූතාත්මය නිරූපාගේ ශරීරයෙන් ඉවත් කළ ගවේෂකවරයා නැවත ඔවුන්ගෙන් ප්‍රශ්න කළේ ය.

”මොකක්ද මේ කට්ටඩියාගේ සම්බන්ධය?”

”මීට අවුරුදු තුනකට කලින් මේ දුවගෙ අසනීපයකට ඇදුරුකමක් කරන්න ගෙන්නපු කුරුණෑගල හිටපු කට්ටඩියෙක්” යයි නිරූපාගේ මව කීවාය.

”මේ අසනීපෙන් තමුන් මැරෙනවා. තමන් වගේ කපටි ගෑනුන්ට මම ප්‍රතිකාර කරන්නත් කැමති නෑ. මෙන්න මේ සුනිල්ගෙ අහිංසකකම නිසයි මම ප්‍රතිකාර කරන්නේ. සනීප කරන්න ඕනෑ නම් ඇත්ත කියන්නැ” යි ගවේෂකවරයා නිරූපාට කීවේය.

”අනේ මහත්තයා සමාවෙන්න ඇත්ත කියන්නම්. අපේ ගෙදර තොවිලයකට ‍ප්‍රියන්තආවා. එතකොට මගේ වයස අවුරුදු දහ නමයයි. පි‍්‍රයන්ත වශී ගුරුකමකින් මාව අල්ලා ගත්තා. පි‍්‍රයන්ත මාව අනාථ කළා. අපේ අම්මා රණ්ඩු කරන කොට මාව ප්‍රියන්ත ගේ ගෙදරට එක්ක ගෙන ගියා. ඒ ගෙදර ප්‍රියන්තගෙ ගෑනියි ළමයි දෙන්නකුත් හිටියා. ප්‍රියන්තගේ නපුරු වැඩවලට බයේ කිසි කෙනෙක් ප්‍රියන්තට ඉහළින් කතා කරන්නේ නෑ. දවසක් ඒ ගෙදර බහින් බස්වීමකදි මම ප්‍රියන්තගෙ කසාද ගෑනිට ගැහැව්වා. ඒ පාර ඒ ගෑනියි පි‍්‍රයන්තයි දෙන්නම මට ගැහැව්වා. ප්‍රියන්ත මගේ බඩට පයින් ගැහැව්වා. ඒ වෙනකොට මට දරුවෙක් ලැබෙන්නයි හිටියේ. පි‍්‍රයන්ත මගේ බඩට පයින් ගැහැව්ව ම මාව සිහිය නැතුව වැටුණා. විශාල ලේ වහනයකුත් වුණා. මම මළා ය කියලා හිතාගෙන බයේ ප්‍රියන්ත ළිඳට පැනල තියෙනවා. ගෑනිගෙයි දරුවන් දෙන්නාගෙයි කෑ ගැහිල්ලට අහල පහල අය ඇවිත් මාව ඉස්පිරිතාලෙට ගිහින් බාරදීලා තිබුණා. ළිඳේ පැනපු ප්‍රියන්ත දියේ ගිලිලා මැරිලා. සනීප වුණා ම අම්මා මාව අපේ ගෙදර එක්ක ගෙන ගියා. ටික දවසක් ගතවෙන කොට ප්‍රියන්තව හීනෙන් පෙනෙන්න පටන් ගත්තා. අසනීප වෙන්නත් පටන් ගත්තා. මේ අතරේ ජීවත් වෙන්න ඕනෑ නිසා ගාර්මන්ට් එකේ රස්සාවට ගියා. සුනිල් අඳුනා ගත්තේ එහේදි. මගෙ කතාව අහලා සුනිල් මට අනුකම්පා කරලා කසාද බැන්දා” යි තම කතාව කීවා ය.

”ඔව් දැන් ප්‍රියන්ත තමන්ගෙ පස්සෙන් ම එනවා. ඒත් මේ සුනිල් විශාල පරිත්‍යාගයක් කරපු කෙනෙක්. නැත්නම් තමුන්ව කසාද බඳින්නෙ නැහැනෙ. අම්මයි දුවයි කපටිකමට බොරු කියන කොට මට මුලදිම තේරුණා. මේ සුනිල් නිසා මම ප්‍රතිකාර කරනවා” යි කී ගවේෂකවරයා නැවතත් නිරූපා දිෂ්ටි කළේ ය.

”ප්‍රියන්ත තමුසේ මේ ශරීරයෙන් පිටවෙලා යනවද නැද්දැ”යි ගවේෂකවරයා ඇසීය.

”බෑ… බෑ… මම නිරූපාට ආදරෙයි. මට මෙයා දාලා යන්න බෑ…” භූතයා පැවසීය.

”ඇයි බැරි? තමුසෙ තමුසෙගෙ ගෑනි ළඟට යනවා. මේ අයට කරදර නොකර.”

”බෑ… බෑ… මම යන්නෙ නෑ.”

”එහෙනම් බැරිද? තමුසෙ මහා අපරාධකාරයෙක්. මේ ළමයව අනාථ කරලා. අන්තිමේ ගෑනිත් එක්ක මේ කෙල්ලට ගහලා. තමුසේ නිවටයෙක් ඕයි. ඇදුරුකම, මන්ත්‍ර ශාස්ත්‍රය, බලු විදිහට, ජරා විදිහට පාවිච්චි කරලා දැන් මළ පෙරේතයෙක් වෙලා. තමුසෙට තවත් දින හතක් කල් දෙනවා. මේ ළමයාගෙ ශරීරයෙන් ඉවත්වෙලා යන්නැ” යි කියා නිරූපාට තවත් දින හතක් බෝධිපූජා පවත්වා එන්නැ” යි උපදෙස් දුන්නේ ය.

සතියකින් පසු නැවත පැමිණි නිරූපා දිෂ්ටි ගැන්වී ය.

”බෑ… බෑ… මට නම් මෙයාව දාලා යන්න බෑ” යි අඬන්නට විය.

ගවේෂකවරයා කිරණ ශක්තිය එල්ල කළේ ය.

”එපා… එපා… පිච්චෙනවා… දැවිල්ලයි… දැවිල්ලයි… මම යනවා… යනවා… පුච්චන්න එපා… අනේ මාව බෝධියකට යවන්න.”

”බැහැ.. බැහැ… උඹ වගේ මළ පෙරේතයන් බෝධීන් වහන්සේලා ළඟට යවන්නේ නෑ” යි කියූ ගවේෂකවරයා ප්‍රේත ජීවියා මලකට බන්ධනය කළේ ය.

”සුනිල්.. දැන් ගෙදර යන ගමන් මේ මල අරගෙන ගිහින්, ඔය කට්ටඩියා වළ දාපු සොහොනට ගිහින් දමන්න” යි කී ගවේෂකවරයා මල සුනිල් අතට දුන්නේ ය.

යන්ත්‍ර මන්ත්‍ර ශාස්ත්‍රය ඍෂිවරුන් විසින් මිනිසා ගේ යහපත පිණිස බිහි කළ දෙයකි! එය වැරදි ලෙස භාවිත කරන ඇදුරෝ මෙලොවත් දුක් විඳීති. පරලොවත් දුක් විඳිති.


Responses

  1. siyalu sathwayo suwapath wewa…………


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: