Posted by: lrrp | April 22, 2013

මොකක්ද මේ උතුරුකුරු දිවයින ?

427969_416803131748640_1878996071_nබුදු දහම තුල උතුරු කුරු දිවයින යන වචනය නිතර භාවිතා වන්නක්. බුදු හිමියන්ගෙ සිරිපගුලේ මගුල් ලකුණු 108ක් දැක්වෙනවනෙ. ඒ මගල් ලකුණු අතර තියෙන මේ කාරණා බලන්න.

29) ජම්බුද්දීප
30) පුර්ව විදේහ දිවයින
31) පශ්චිම දිවයින
32) උතුරු කුරු දිවයින

මේ බලන්න. බුදු සිරිපතුල තුල මේ පිළිබද යම් සටහනක් පවා තාබෙනව කියන්නෙ මෙහි ඉතාම වැදගත් බවක් තියෙනවයි කියන කාරණේ නේද?
මේ බලන්න සද්ධර්ම රත්නාවලියෙ තැනක මේ අයුරින් සදහන් වෙනව. “ඉක්බිත්තෙන් බුදුහු දෙවි පිරිස් මැද වැඩ හිඳ මෑණියන්දෑ මුන් ව වීදම් පිටක යදෙසනට පටන් ගත් සේක. මෙ සේ මිනිස් ලොව ආයු ගණනින් තුන් මසක් විතර හා දෙව් ලොව ආයු ගණ නින් මස් විතරට ත් දවස් විතරට ත් පෑ විතරට ත් මද හෙයින් නව විනාඩි ගාවක් විතර හිඳ බණ දෙසන සේක් හිඟා වඩනා වේලේ දී තුන් මසට අනු වාරයක් සිඟා වැඩිය මනා හෙයින් තව් තිසා දෙව් ‍ලොවින් නව විනාඩි ගාවට ම අනූ විටක් සිඟා ගිය කලට සිස් ව තිබීම ඉතා අනුචිත හෙයින් ‘මා වළඳා ලා එන තෙක් බණ කියත්ව යි අනික් බුදු කෙණකුන් වහන්සේ මවා ලා තමන් වහන් සේ හිම වතට ගොසින් නාලිය දැවිටි වළඳා ලා එන තෙක් බණ කියත්ව යි අනික් බුදු කෙණකුන් වහන්සේ මවා ලා තමන් වහන්සේ හිම මතට ගොසින් නාලිය දැවිටි වළඳා පැරහුව මැනවැ’යි නැති හෙයින් අනවතප්ත විලින් කට සෝධා උතුරු කුරු දිවයින සිඟා බත් ගෙනවුත් මහ විසල් මළුයෙහි හිඳ වළඳන සේක.” මෙයිනුත් උතුරු කුරු දිවයින ගැන සදහන් වෙනව.

ඊලගට ලෝකොපකාරය ගත්තම මෙන්න මෙහෙම දැක්වෙනව 103 වැනි කවියේ.
හැම සැපම ඇතිතැන් – මුළු ලොවමනැති නැණින් බැලුවත්
කප්තුර පවා ඇති – උතුරු කුරු දිව යකුන් බියවේ.

පදාර්ථ:- හැම සැපම – සියඵ සැපත් ම, ඇති තැන් – ඇත්තාවූ ස්ථාන, නුවණින් බැලුවත් – බුද්ධියෙන් බැලුවත්, මුළු ලොවම නැති – මුළු ලෝකයේම නැත්තේය, කප් තුර පවා ඇති – කල්ප වෘක්ෂය පවා ඇති, උතුරු කුරු දිව – උතුරු කුරු දිවයින, යකුන් – යකුන්ගෙන්, බියවේ – බිය ඇති වේ.

භාවය:- සියලු සැපක් ඇති තැනක් මුළු ලොවම නැත. කල්ප වෘක්ෂය ඇත් උතුරු කුරු දිවයිනෙහි යක්ෂ භය ඇති වේ.

ඊලගට බුදුගුණ අලංකාරයෙ මෙන්න මෙහෙම දැක්වෙනව තිස් දෙවෙනි කවියෙ.

එව කව බොරු කියන
තෙපුලෙන් පිරුණු ඇම තැන
උතුරු කුරු දිවයින
වැන්න ඉසුරෙන් එපුර හැම තැන

ඊලගට පූජාවලිය-ජීවකාරාම පූජා කථා කියන කොටසෙ මෙන්න මෙහෙම දැක්වෙනව.

එ වෙලෙහි බිම්බිසාර රජ්ජුරුවෝ ස “ අද විරෙචන දිවයෙහි මාගේ බුදුහු කෙසේ වු භොජනයක් වළඳනා සේක් දෝ හෝ” යි තමන්ට පිසු රාජභොජනයෙන් නිමන්ත්‍රහණය කෙරෙමි යි සිතා වෙහෙරට ගොස් බුදුන් ළග සිටියාහු එ බත් පාත්රමයෙහි පිධාන ය හැරිම හා සමඟම සියලු වෙහෙර ආරාමයෙහි සුවඳ අමා බස්නට පටන්ගත් කල රජ්ජුරුවෝ විසමයපත්ව මුගලන් මහනෙරුන් වහන්සේ මුහුණ බලා “ සවාමිනි ! මේ මිනිස් ලොව බ තෙක් නො වෙයි , ශක්ර භවනයට වැඩිසේක් ද, නොහෙ‍ාත් උතුරුකුරු දිවයිනට වැඩිසේක්ද” යි විචාරා තමන්ගේ රාජභොජන ය බුදුන් වළඳාවම් යි අවුත් බුදුන්ට උපන්ි භොජනයෙහි තෘෂ්ණා බැන්දහ.

බුදුහු රජ්ජුරුවන්ගේ අදහස් දැන “ මහරජ දිව්‍ය භොජන යෙකු ත් නො වෙයි , උතුරුකුරු දිවයිනෙන් ගෙනා බතෙකුත් නො වෙයි. මනුෂ්යු භොජනයෙක් ම ය. තොපගේ චම්පා නම් නුවරට . තොපට ම මෙ වක සේවක වු සෝණසිටාණන් දවස් පතා අනුභව කරන බත්” වේ දැ යි වදාරා .. … … ආදී ලෙස දැක්වෙනව.

ඊලගට මේ උතුරු කුරු දිවයිනේ අගනුවර ආලකමන්දාව කියලත් කියවෙනව.

ඉතින් යාලුවනේ මේ උතුරුකුරු දිවයිනත් අපට පෙනෙන දෙයක් කියල විශ්වාස කරන්න අමාරුයි. ඔය දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වගේ දෙයක් කියල තමයි හිතන්න වෙන්නෙ. කෙහොම නමුත් මේ උතුරුකුරු දිවයින් ගැන වැඩි වශයෙන්ම සදහන් වෙන්නෙ ආටානාටිය සූත්‍ර දේශනාව තුලයි. ඉතින් ආටානාටිය මම විස්තර කරනවට වඩා එහි සිංහල තේරුම එහෙම පිටින්ම දමන එක හොදයි කියල හිතුන. බලන්නකො ඔයාලම උතුරු කුරු දිවයින මොන වගේද කියල.

32. ආටානාටිය සූත්‍රය

1. මා විසින් මෙසේ අසන ලදි. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ රජගහ නුවර සමීපයෙහි වූ ගිජ්ඣකූට පර්වතයෙහි වැඩ වාසය කරති. එකල්හි සතරවරම් මහ රජදරුවෝ මහත් වූ යක්‍ෂ සේනාවෙන් ද, මහත් වූ ගාන්ධර්ව සේනාවෙන් ද, මහත් වූ කුම්භාණ්ඩ සේනාවෙන් ද, මහත් වූ නාග සේනාවෙන් ද, සතර දිශාවෙහි ආරක්‍ෂා පිහිටුවා බලසෙනඟ පිහිටුවා රැකවල් ලවා රාත්‍රියේ ප්‍රථම භාගය ඉක්ම ගිය කල්හි (තමන්ගේ) ශරීර ආලෝකයෙන් හාත්පස ගිජ්ඣකූට පර්වතය බබුළුවා භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ භාග්‍යවතුන් වහන්සේට හොඳාකාර වැඳ එක පැත්තකින් හුන්නාහුය. ඒ යක්‍ෂයෝ ද සමහර කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට වැඳ එක පැත්තක හුන්නාහුය. සමහර කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වූවාහුය. සතුටු විය යුතු සිහිකට යුතු කථාව කොට නිමවා එක පැත්තක හුන්නාහුය. සමහර කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ දෙසට දොහොත් මුදුන් දී වැඳ එකපැත්තකට වී හුන්නාහුය. සමහර කෙනෙක් නාම ගෝත්‍රය කියා එක පැත්තක හුන්නාහුය. එක පැත්තක හුන්නා වූ වෛශ්‍රවණ නම් වූ මහරජ තෙම භාග්‍යවතුන් වහන්සේට මේ කරුණු කීයේය.

2. ´´ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේට අසතුටු වූ හෝ සතුටු වූ හෝ උසස් (බලවත්) යක්‍ෂයෝ ද මධ්‍යම ආනුභාව ඇති යක්‍ෂයෝ ද පහත් යක්‍ෂයෝ ද ඇත්තාහුමය. බොහෝ සෙයින් යක්‍ෂයෝ භාග්‍යවතුන් වහන්සේට අසතුටු වූවාහුමය. එයට හේතු කවරේද? ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ වනාහි සතුන් මැරීමෙන් සොරකම් කිරීමෙන් කාමයන්හි වරදවා හැසිරීමෙන් බොරු කීමෙන් මත් බවට හා ප්‍රමාදයට කාරණා වූ සුරාපානයෙන් වැළකිම පිණිස ධර්මය දේශනා කරන්නාහ. ස්වාමීනි, බොහෝ සෙයින් යක්‍ෂයෝ සතුන් මැරීම ආදී පාපයන්ගෙන් නොවැළක්කාහුමය. ඒයක්‍ෂයන්ට ඒ ධර්ම දේශනාව අප්‍රිය වේ. සිත් සතුටු වූවන් කෙරේ නොවේ. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ කැලෑවෙහි වූ ද ගම් සීමාව ඉක්ම වූ වන සේනාසන වූ ද (කැලෑවෙහි) ඉතා දුර වූ ද නිශ්ශබ්ද වූ ද කලබල නැත්තා වූ ද මිනිසුන්ගෙන් තොර වූ සුලභ ඇත්තා වූ ද මනුෂ්‍යයන්ගේ රහස් කටයුතු වලට යෝග්‍ය වූ ද හිත එකඟකර ගැනීමට සුදුසු වූ ද සේනාසනයන් (වසන තැන්) සේවනය කරති.´´

3. ඒ තන්හී නිතර වාසය කරන්නා වූ මහා බලසම්පන්න වූ යක්‍ෂයෝ ඇත්තාහුය. යම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවෙහි නොසතුටු වන්නාහු ද ඔවුන්ගේ සතුට පිණිස ස්වාමීනි, භික්‍ෂූන්ගේ ද භික්‍ෂුණියන්ගේ ද උපාසකවරුන්ගේ ද උපාසිකාවන්ගේ ද පාලනය පිණිස ද ආරක්‍ෂාව පිණිස ද, වෙහෙස නොවන පිණිස ද පහසු හැසිරීම පිණිස ද භාග්‍යවතුන් වහන්සේ මේ ආටානාටිය (නම් වූ) පිරිත පිළිගත මැනව´´යි දැන්වූයේය. භාග්‍යවතුන් වහන්සේ නිශ්ශබ්දව පිළිගත්හ. එවිට වෙසෙවුණු මහ රජ තෙම භාග්‍යවතුන් වහන්සේගේ පිළිගැනිම දැන ඒ වේලාවෙහි මේ ආටානාටිය පිරිත කීයේය.

´´පසැස් ඇත්තා වූ, ශෝභාමත් වූ විපස්සී නම් සර්වඥයන් වහන්සේට ද සියලු සත්චයන් කෙරෙහි පතළ කරුණාවෙන් යුක්ත වූ සිඛී නම් සර්වඥයන් වහන්සේට ද කෙලෙස් විනාශ කලා වූ කෙලෙසුන් තවන වීර්යය ඇති වෙස්සභූ නම් සර්වඥයන් වහන්සේට ද මාරයන් යටත් කලා වූ කකුසඳ නම් සර්වඥයන් වහන්සේට ද සියලු පව් අහක් කලා වූ වැස නිමවන ලද බ්‍රහ්ම චර්ය ඇති, කෝනාගමන නම් සර්වඥයන් වහන්සේට ද සියලු කෙලෙසුන්ගෙන් මිදුනා වූ කාශ්‍යප නම් සර්වඥයන් වහන්සේට ද ශ්‍රීමත් වූ ශාක්‍ය පුත්‍ර වූ ඒ ගෞතම සර්වඥයන් වහන්සේට ද නමස්කාර වේවා.´´

4. ලෝකයෙහි යම් රහත් කෙනෙක් මහත් බවට පැමිණියහ. භය නැති කලහ. (උන්වහන්සේට නමස්කාර වේවා.)

´´අෂ්ටවිද්‍ය පසලොස් චරණයන්ගෙන් (නුවණ අට සහ චරණ පසලොසින්) යුක්ත වූ මහත් බවට පැමිණියා වූ භය නැතිකලා වූ දෙව් මිනිසුන්ට හිත වූ යම් ගෞතම සර්වඥයන් වහන්සේ කෙනෙකුට නමස්කාර කෙරෙද්ද, උන්වහන්සේට ද නමස්කාර වේවා.´´

5. ගාන්ධර්වයන්ට අධිපති වූ නැගෙනහිර දිශාව ආරක්‍ෂා කරන මහ රජ තෙම ධ්‍රතරාෂ්ටනම් වන්නේය. ඒ මහ රජ තෙම ගාන්ධර්වයන් විසින් පිරිවරණ ලද්දේ නැටුම් ගී කීම් වලින් සිත් අලවා වෙසෙයි.

´´ඉන්ද්‍රය යන නම් ඇත්තා වූ මහත් බල ඇත්තා වූ අනූ එක් දෙනෙක් පමණ වූ ඔහුගේ සමාන නම් ඇත්තා වූ බොහෝ පුත්‍රයෝ ද ඇත්තාහයි මා විසින් අසන ලදි.

´´ඔව්හු ද මහත් බවට පැමිණියා වූ විශාරද වූ බුද්ධ නම් වූ ආදිච්ච බන්ධු නම් වූ සර්වඥයන් වහන්ස, ශ්‍රේෂ්ඨ පුරුෂයන් වහන්ස, නුඹ වහන්සේට නමස්කාර වේවායි කියා දුරදීම නමස්කාර කරති.

´´දක්‍ෂ වූ සර්වඥතා ඥානයෙන් මහජනයා බලන්නෙහි යයි කියා අමනුශ්‍යයෝ ද නුඹ වහන්සේට වඳිති. මේ වැඳීම අප විසින් නැවත නැවත අසන ලදි, එහෙයින් මෙසේ කියම්හ.

´´ගෞතම නම් වූ සර්වඥයන් වහන්සේට නමස්කාර කරවුදැයි (අප විසින් විචාරන ලද යක්‍ෂයෝ) ගෞතම සර්වඥයන් වහන්සේට අපි නමස්කාර කරම්හයි (කියති). විද්‍යචරණ (නුවණ සහ සීල සමාධි) ගුණයෙන් යුක්ත වූ ගෞතම බුදුන් වහන්සේට අපි නමස්කාර කරම්හයි (කීවාහුය).

6. ´´යම් දිශාවකින් මළමිනී ගෙන යනු ලැබෙත් ද? පිසුණු (කේළාම්) කියන්නා වූ ඉදිරිපිට නැති තැන නින්දා කරන්නා වූ ප්‍රාණාඝාතය කරන ගති ඇති රෞද්‍ර වූ සොර සිත් ඇත්තා වූ වංචාකාරීවූ ජනයෝ යම් දිශා භාගයකින් ගෙනයනු ලැබෙතියි කියත් ද, ඒ දිශාව දකුණු දිශාව වේ.´´

´´කුම්භාණ්ඩයන්ට අධිපති වූ දකුණු දිශාව ආරක්‍ෂා කරන විරූපය යන නම් ඇති ඒ රජ තෙම කුම්භාණ්ඩයන් විසින් පිරිවරන ලද්දේ නැටුම් ගී කීම් වලින් සිත් අලවා වාසය කරයි.

´´ඉන්ද්‍රය යන නම් ඇත්තාවූ මහත් බල ඇත්තා වූ අනූ එක් දෙනෙක් පමණ වූ ඔහුගේ සමාන නම් ඇත්තා වූ බොහෝ පුත්‍රයෝ ද ඇත්තාහයි මා විසින් අසන ලදි.

7. ´´යම් දිශාවෙක්හි, දිලිසෙන මහත් මණ්ඩල ඇති සූර්ය්‍යයා බැස යයි ද, සූර්ය්‍ය බැස ගිය කල්හි දවල් කාලය නැතිවේ ද? ඒ දිශාව බස්නාහිරයි.´´

´´යස පිරිවර ඇත්තා වූ යම් මහරජෙක් ඒ දිශාව ආරක්‍ෂා කෙරේ ද, නාගයන්ට අධිපති වූ විරූපාක්‍ෂ නම් වූ ඒ වරම් රජ තෙම නාගයන් විසින් පිරිවරන ලද්දේ නැටුම් ගී කීම් වලින් සිත් අලවා වාසය කරයි.

´´ඉන්ද්‍රය යන නම් ඇත්තා වූ මහත් බල ඇත්තා වූ අනූ එක් දෙනෙක් පමණ වූ ඔහුගේ සමාන නම් ඇත්තාවූ බොහෝ පුත්‍රයෝද ඇත්තාහයි මා විසින් අසන ලදි.

8. ´´යම් දිශාවෙක්හි රම්‍ය වූ උතුරුකුරු දිවයින පිහිටියේ ද, දැකුම් කටයුතු වූ මහාමේරු පර්වතය වන්නේ ද, ඒ උතුරුකුරු දිවයිනෙහි වස්ත්‍රාභරණාදිය මගේය මගේයයි ගැනීමක් නැත්තා වූ භාර්ය්‍යා පරිග්‍රහයක් (භාර්ය්‍යාවන් අයත්කර ගැනීමක්)නැත්තාවූ මනුෂ්‍යයෝ උපදිත්.

´´ඒ මිනිස්සු වී නොවපුරන්නාහ. සී සෑම පිණිස නඟුල් කෙතට නොගෙනියත්. ඒ මනුෂ්‍යයෝ නොසානා ලද භුමියෙහි හටගෙන පැසුනා වූ ඇල් සාල් බත් අනුභව කරත්.´´

´´කුඩු නැත්තා වූ ද පොතු නැත්තා වූ ද පිරිසිදුවූ සුවඳ ඇති සහල් ඵලකොට ඇති හැල් රන් සැළියෙහි ලා (ජොති පාසාණ නම් ගල් උණුසුමෙන්) පිස ඒ සැළියෙන් ගත් කෑම කති.

´´ඔව්හු ගව දෙනකු එක් කුර ඇති වාහනයක් කොට දිශානුදිශාවන්හි සංචාරය කරති. සිව්පා සතෙකු එක් කුර ඇති වාහනයක් කොට දිශානුදිශාවන්හි සංචාරය කරති.´´

´´ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ තරුණියක් හෝ තරුණයෙක් හෝ වාහනය කොට දිශානුදිශාවන්හි සංචාරය කරති.´´

´´ඒ රජහුගේ පිරිවර වූ ඔව්හු වාහනවල නැඟ සියලු දිශා වටකොට ඇවිදිති. යස පිරිවර ඇත්තා වූ වෙසවුණු මහ රජ හට ඇත් යානා ද, අශ්ව යානා ද, දිව්‍ය යානා ද, ප්‍රාසාදද , සිව් ගෙවල් ද, උඩුමහල් ගෙවල් ද රන්සිවි ගෙවල් ද වන්නාහ.´´

´´ඒ රජ හට අහස්හි (උස් ස්ථාන හෝ උසට මවන ලද) ආටානාට, කුසිනාට, පරකුසිනාට, නාටපුරියා, පරකුසීතනාට යන නගරයෝ වූවාහුය.´´

උතුරු දිශාවෙන් කපීවන්ත නම් නුවරෙක, ඊට බස්නාහිර දිශාවෙන් ජනොය නවනවුතියය, අම්බර, අම්බරවතියය යන නගර හා ආනකමන්දා නම් රාජධානිය ද වන්නාහුය.

´´නිදුකාණන් වහන්ස, කුවෙර නම් මහ රජහුගේ විසාණා නම් රාජධානියක් ද ඇත්තීය. ඒ කාරණයෙන් කුවෙර නම් මහ රජ තෙම වෛශ්‍රවණයයි කියනු ලැබේ.

´´වෙන වෙනම කරුණු පරීක්‍ෂා කර කියන්නා වූ තතොලාය, තත්තලාය, තතොතලාය, ඔජසිය, තෙජසිය, තතොජසිය, සුරය රාජය, අරිෂ්ටය, තෙමිය යන යක්‍ෂයෝ දොලොස් දෙනෙක් වෙති.

යමකින් ජලය ගෙන වර්ෂාව වසී ද, වර්ෂාව යමකින් පැතිරේ ද, ඒ රාජධානියෙහි වූ විලද ධරණී නම් වන්නීය. ඒ විල අද්දර යක්‍ෂයෝ නිතර රැස්වන භගලවතී නම් සභා ශාලාවද වන්නීය.

ඒ ශාලාව වටේට නිතර ගෙඩි ඇත්තා වූ ද, නොයෙක් කුරුළු සමූහයාගෙන් ගැවසුනා වූ ද, මොණරුන් කොස්වා ලිහිණින් හා කෝකිල ආදී පක්‍ෂීන් විසින් ද පවත්වන ලද සිත්පිනවන නාද වෘක්‍ෂයෝ ඇත්තාහ.

´´තව ද පොකුණෙහි නාද කරන ජීවඤ්ජීවක නම් කුරුල්ලෝද උට්ඨවචිත්තක නම් කුරුල්ලෝ ද, වන කුකුළෝ ද පියුම් වනයෙහි රන්වන් කකුළුවෝ ද, තල් රෙහෙරු ද හැසිරෙන්නාහ.´´

´´මේ පොකුණෙහි ගිරා සැළලිහිණින්ගේ ශබ්ද ඇත්තේය. දණ්ඩ මාණවක නම් පක්‍ෂීහු ද හැසිරෙන්නාහ. ඒ කුවෙර නම් මහ රජුගේ පොකුණ හැම කල්හි එකම ආකාරයෙන් බබළන්නීය.´´

´´යස පිරිවර ඇත්තා වූ ඒ මහ රජ තෙම යම් දිශාවක් ආරක්‍ෂා කෙරේද ඒ දිශාව උතුරු දිශාව යයි මෙසේ ජනතෙම ඒ දිශාවට කියන්නේය.´´

යක්‍ෂයන්ට අධිපති වූ කුවෙර යන නමක් ඇත්තා වූ ඒ වරම් රජ තෙම යක්‍ෂ සේනාවන් විසින් පිරිවරන ලද්දේ නැටුම් ගී කීම් වලින් සිත් අලවා වාසය කරන්නේය.

´´ඉන්ද්‍රය යන නම් ඇත්තා වූ මහත් බල ඇත්තා වූ අනූ එක් දෙනෙක් පමණ වූ ඔහුගේ සමාන නම් ඇත්තා වූ බොහෝ පුත්‍රයෝ ද ඇත්තාහයි මා විසින් අසන ලදි.

9. ´´නිදුකාණන් වහන්ස, ඒ මේ ආටානාටිය පිරිත වනාහී භික්‍ෂූන්ට ද, භික්‍ෂුනියන්ට ද, උපසකවරුන්ට ද, උපසිකාවරුන්ට ද ආරක්‍ෂාව පිණිස ද සැපසේ විසීම පිණිස ද නොවෙහෙසීම පිණිස ද වන්නීය. ´´නිදුකාණන් වහන්ස, ඔවුන් අතුරෙන් යම්කිසි කෙනෙක් මේ ආටානාටිය නම් ආරක්‍ෂාව යහපත්ව ඉගෙන දැනගන්නා ලද්දී ද, අක්‍ෂරපද නොපිරිහෙලා සම්පූර්ණ කොට ඉගෙන ගන්නා ලද්දී ද, ඉදින් යම් අමනුෂ්‍ය වූ යක්‍ෂයෙක් වූවෙක් හෝ ගාන්ධර්වයෙක් වූවෙක් හෝ කුම්භාන්ඩයෙක් වූවෙක් හෝ නාගයෙක් වූවෙක් හෝ නපුරු සිත් ඇතිව භික්‍ෂුවක් හෝ භික්‍ෂුණියක් හෝ උපසකයකු හෝ උපසිකාවක් හෝ යන්නහු පසුපස්සේ යන්නේ හෝ වේද සිටියහු ලඟ සිටින්නේ හෝ වේ ද, හිඳින්නහු ලඟ හිඳින්නේ හෝ වේ ද, නිදුකාණන් වහන්ස, ඒ අමනුෂ්‍ය තෙම මාගේ ගම්වල හෝ නියම්ගම් වල හෝ සත්කාරයක් හෝ ගරුකිරීමක් හෝ නොලබන්නේය. මාගේ ආලකමන්දා නම් වූ රාජධානියෙහි වාසය කිරීමට තැනක් හෝ සථිර වාසයක් හෝ නොලබන්නේය. මාගේ යක්‍ෂයන්ගේ සමාගමට යන්නට ද නොලබන්නේය. තවද ඔහු අමනුෂ්‍යයෝ ආවාහ විවාහයන්ට නුසුදුස්සෙකු ද කරන්නාහුය. නිදුකාණන් වහන්ස, තව ද ඔහුට අමනුෂ්‍යයෝ ඔහුගේ ආත්මභාවහ දක්වා සම්පූර්ණ පද ශබ්ද ඇති අපහාස වචන වලින් නින්දා කරන්නාහුය. තවද ඔහුගේ හිසෙහි අමනුෂ්‍යයෝ හිස් වූ ලෝහ පාත්‍රයක් ද මුනින් නමන්නාහුය. තව ද ඔහුගේ හිස ද සත් කඩක් කොට පළන්නාහුය.´´

9. ´´නිදුකාණන් වහන්ස, රෞද්‍ර වූ නපුරු ගති ඇති එකට එක කරන්නා වූ අමනුෂ්‍යයෝ ඇත්තාහුය. ඒ අමනුෂ්‍යයෝ සතරවරම් රජදරුවන්ගේ ද, සතරවරම් මහරජ දරුවන්ගේ ද, අමාත්‍යයන්ගේ ද, යක් සෙනෙවියන් වෙනුවට සිටින්නන්ගේ ද වචනය නොපිළිගනිත්. ඒ අමනුෂ්‍යයෝ සතරවරම් මහරජ දරුවන්ට අකීකරු වූවෝ යයි කියනු ලැබෙත්.´´

´´නිදුකාණන් වහන්ස, එපරිද්දෙන්ම නපුරු ගති ඇති රෞද්‍ර වූ එකට එක කරන්නා වූ අමනුෂ්‍යයෝ ඇත්තාහුය. ඒ අමනුෂ්‍යයෝ සතරවරම් මහරජ දරුවන්ගේ වචනය නොපිළිගනිත්. ඒ අමනුෂ්‍යයෝ සතරවරම් මහරජ දරුවන්ට අකීකරු වූවෝ යයි කියනු ලැබෙත්.´´

´´නිදුකාණන් වහන්ස, යම්කිසි අමනුෂ්‍ය යක්‍ෂයෙක් වූවෙක් හෝ ගාන්ධර්ව වූවෙක් හෝ කුම්භාණ්ඩයෙක් වූවෙක් හෝ නාගයෙක් වූවෙක් හෝ නපුරු සිතින් භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකා යන්නහු සමඟ (පසුපස්සේ) යන්නේ හෝ වේ ද, සිටියහු ළඟ සිටින්නේ හෝ වේ ද, හිඳින්නහු ළඟ හිඳින්නේ හෝ වේ ද, නිදාගන්නහු ළඟ නිදාගන්නේ හෝ වේ ද මේ යක්‍ෂ තෙම අල්වන්නේය. මේ යක්‍ෂ තෙම ආවේශ වන්නේය. මේ යක්‍ෂ තෙම පීඩා කරන්නේය. මේ යක්‍ෂ තෙම විශේෂයෙන් පීඩා කරන්නේය. මේ යක්‍ෂ තෙම හිංසා කරන්නේය. මේ යක්‍ෂ තෙම විශේෂයෙන් හිංසා කරන්නේය, කියා ප්‍රධාන යක්‍ෂ වූ යක්‍ෂ සේනාවට අධිපති වූ එහෙයින්ම මහා සේනාපති වූ මේ යක්‍ෂයන්ට යක්‍ෂ තෙම නොගරහන්නේයයි ඝෝෂා කොට දැන්විය යුතුය. ශබ්ද නඟා කිය යුතුය. මුරගා කිය යුතුය. කවර කෙනෙකුටද යත්?´´

´´ඉන්ද්‍රය, සොමය, වරුණය, භාරද්වාජය, ප්‍රජාපතීය, චන්දනය, කාමසෙට්ඨය, කිණ්ණුණ්ඩුය, නිණ්ඩුය.´´

´´පණාදය, ඔපමඤ්ඤය, දෙවසූතය, මාතලීය, චිත්‍රසෙනය, ගන්ධර්වය, නළය, රාජය, ජනෙසභය, සාතාගිරය, හෙමවතය, පුණ්ණකය, කර්තීයය, ගුලය, සීවකය, මුචලින්දය, විශ්වාමිත්‍රය, යුගන්ධරය.´´

´´ගොපාලය, සුප්පගෙධය, හිරිය, නෙත්තිය, මන්දිය, පඤ්චාලචණ්ඩය, ආලවකය, පජ්ජුන්නය, සුමනය, සුමුඛය, දධීමුඛය, මනිමානීචරය, දීය (යන යක්‍ෂ සේනාධිපතීහු ද) තව ද, මොවුන් හා එක්ව සෙරිස්සක නම් යක්‍ෂයෙක් ද ඇත්තේය.´´

´´නිදුකාණන් වහන්ස, ඒ මේ ආටානාටිය ආරක්‍ෂාව වනාහි භික්‍ෂූගේ ද භික්‍ෂුණීන්ගේ ද උපාසකයන්ගේ ද උපාසිකාවන්ගේ ද ආරක්‍ෂාව පිණිස ද, (යක්‍ෂොපද්‍රව වලින්) නොවෙහෙසීම පිණිස ද, සුවසේ විසීම පිණිස ද පවත්නේය.´´

ඉක්බිත්තෙන් සතරවරම් රජදරුවෝ උන් ආසන වලින් නැඟිට භාග්‍යවතුන් වහන්සේට නමස්කාර කොට ප්‍රදක්‍ෂිණා කොට එතැන්හිම අන්තර්ධාන වූවාහුය.

ඒ (අනිකුත්) යක්‍ෂයෝ ද, උන් ආසන වලින නැඟිට සමහර කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට වැඳ පැදකුණු කොට එතැන්හිම නොපෙනී ගියාහුය. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ සමඟ සතුටු වූවාහුය, සතුටුවිය යුතු වූ සිහිකටයුතු වූ කථා පවත්වා එතැන්හිම නොපෙනී ගියාහුය. ඇතැම් කෙනෙක් භාග්‍යවතුන් වහන්සේට ඇඳිලි බැඳ නමස්කාර කොට එහිම අතුරුදහන් වූහ. ඇතැම් කෙනෙක් තමන්ගේ නාම ගෝත්‍ර කියා එතැන්ම අතුරුදහන් වූහ. සමහර කෙනෙක් තුෂ්ණීම්භූත වූවාහු (කිසිවක් නොකියා) එතැන්හිම නොපෙනී ගියාහුය.

(පළමුවන මණවර නිමි.)

10. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ ඒ රාත්‍රියගේ ඇවෑමෙන් භික්‍ෂූන්ට කථාකර ආටානාටි පිරිත දෙවියන් යම්සේ කීවේ ද එසේම භික්‍ෂූන්ට ද වදාළ සේක.

´´මහණෙනි, ආටානාටිය නම් පිරිත උගනිව්. නිතර පුහුණු කරව්. සිත්හි ලා ගනිව්. වැඩදායක වන්නේය. භික්‍ෂූන්ගේ ද භික්‍ෂණීන්ගේ ද උපාසකයන්ගේ ද උපාසිකාවන්ගේ ද ආරක්‍ෂාව පිණිස ද, පීඩානොවීම පිණිස ද, සුවසේ විසීම පිණිස ද වන්නේය´´යන මෙය භාග්‍යවතුන් වහන්සේ වදාළහ. සතුටු සිත් ඇත්තා වූ භික්‍ෂූහූ ඒ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවට විශේෂයෙන් සතුටු වූවාහුය.

තිස්දෙවෙනි වූ ආටානාටිය සූත්‍රය නිමියේය.

(බෞද්ධයා පිටුවෙන් උපුටා ගන්න ලදී .)


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: