Posted by: lrrp | May 10, 2013

විසිතුරු සඳුන් භාජනයක් සේ මේ කුණුකය සරසයි

552869_603593009670409_1584451988_nභාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දඹදිව කුරු ජනපදයෙහි චාරිකා කරමින් ථුල්ලකොට්ඨික නම් නියම් ගමට වැඩ එම නියම්ගම් වැසියන් දැහැමි කතාවෙන් සතුටට පත් කළහ. මේ පිරිස අතර සිටි ගම්පතිහුගේ දෙටුපුත් රට්ඨපාල කුලපුත්‍රයාද බුදුරදුන් කෙරෙහි පැහැද මේ දහම අනුව නිවන් සාදා ගැනීමට ගිහිගෙය බාධාවකියි “ සිතා භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹ පැවිද්ද ලබා ගැනීමට කැමැත්තෙමි….යි කියා සිටියේය.

පැවිදිවීම සඳහා දෙමාපිය අවසරය ලබාගෙන එන ලෙස බුදුන් වහන්සේ වදාළෙන් රට්ඨපාල සිය නිවසට පැමිණ පැවිදිවීම සඳහා දෙමාපිය අවසරය පැතීය. මව්පියන් කිසිසේත්ම ඔහුට පැවිදිවීම සඳහා කැමැත්ත නුදුන් හෙයින් ඔහු බිම රළු පොළොවේ වැතිර “ මෙහිම මාගේ මරණය හෝ පැවිද්ද වේවායි …” නිහඬවම සිටියේය.

රට්ඨපාල පවුලේ එකම පුතු බැවින් දෙමාපියන් යළි යළිත් ඔහුට පෙරැත්ත කළේ ගිහිව සිට සුවසේ සැප සම්පත් විඳ වාසය කරන ලෙසය. එසේම ඔහුගේ යහළු මිත්‍රයින්ගේ පෙරැත්ත කිරීමද ඔහු නොපිළිගත්තේය. අවසන යහළු මිත්‍රයින්ගේ ඉල්ලීම වූයේ නිරතුරු පැමිණ දෙමාපියන් බැහැදකින්නේ නම් පැවිදිවීමට දෙමාපිය අවසරය ලැබෙන බවය. ඒ අනුව අවසරය ලද රට්ඨපාල කුලපුත්‍රයා, භාග්‍යවතුන් වහනසේ වෙත එළඹ පැවිදි උපසම්පදාව ලැබූහ. ඉක්බිතිව සිය ගමෙහි ටික කලක් වැඩ සිට සැවැත්නුවර දෙව්රම් වෙහෙරට වැඩම කොට එහිදී කමටහන් වඩා රහත් ඵලයට පත් වූහ.

අනතුරුව භාග්‍යවතුන් වහන්සේගෙන් අවසර ලබාගෙන සිය දෙමාපියන් දකිනු පිණිස රට්ඨපාල තෙරණුවෝ ථුල්ලකොට්ඨික නියම්ගමට වැඩම වූහ. එහි පිඬු සිඟා වඩින තෙරුණුවෝ තම දෙමාපිය නිවසටද වැඩියහ. එහිදී තම පුතා හඳුනා නොගත් පියා “මේ මුඩුමහණ අපේ එකම පුතා පැවිදි කරන ලද …යි” දොස් නැගීය. ආපසු හැරුණ තෙරුන් දුටුවේ එම නිවසේ දාසියක විසින් ඉවත ලනු පිණිස ගෙන යන කලින් දින ඉතිරි වූ ආහාර බඳුනකි. “නැගණියනි ඔය ඉවත දමන දෑ මේ පාත්‍රයට දමව …යි” කී රට්ඨපාල තෙරුණුවෝ එම ඉවත ළන ආහාර තමාගේ පාත්‍රයට ලබාගෙන එදින එම දන් වැළඳූහ.

රට්ඨපාල තෙරුන් හඳුනාගත් දාසිය ඒ බව තෙරුන්ගේ මෑණියන්ට දැන්වීය. මෑණියන් විසින් ඒ බව තෙරුන්ගේ පියාණන්ට දැන්වූයෙන්, වහා ගොස් රට්ඨපාල තෙරුන් හමුවූ පියා “ ඔබගේ ගෙදරට යමු යි” ඇරයුම් කළත් තෙරුන්ගේ පිළිතුර වූයේ “ ගෘහපතිය පැවිදි වූ අපට ගෙවල් නැත. මම ඔබගේ ගෙට ගියෙමි. එහිදී දන් නොලබා බැනුම් ලැබීම්….”යන්නයි. දෙවන දින තෙරුණුවෝ නිවසට පැමිණීමට එකඟ වූහ.

නිවසට ගිය රට්ඨපාල තෙරුන්ගේ පියා රන්කහවනු තොග රැස්කොට ගෙයි මැද තබා එය ඇතිරිල්ලකින් වසා තෙරුන් ගිහිකළ ඇසුරු කළ ළඳුන්ට අලංකාරව සැරසී සිටීමට උපදෙස් දී ප්‍රණීත ආහාරපාන සකස්කොට , තෙරුන් නිවසට වැඩමවා ගත්හ. අනතුරුව වසා තිබූ රන් කහවනු නිරාවරණය කොට “මේ ඔබගේ වස්තුවය.මේවා ගෙන ගිහිබව වැළඳගෙන සුව සම්පත් විඳින්න “ යැයි ආයාචනය කර සිටියේය. එයට තෙරුන්ගේ පිළිතුරු වූයේ” ගෘහපතිය මේ රන් රුවන් සියල්ල ගෙන ගොස් ගඟ මැදට හෝ දියවළෙහි ගිල්වා ලන්න. මේ රන් රුවන් නිසා ඔබට ශෝක දුක්, හැඬීම්, වැළපීම්, දුක් දොම්නස් ඇතිවිය හැකියි, යන්නයි. අනතුරුව තෙරුන් ගිහිකළ ඇසුරු කළ ළඳුන් පැමිණ ඔබ අප්සරාවන් පතා බඹසර රකී නම් අප අප්සරාවන් බඳුසේද, අපගේද අඩුවක් නැතැයි කියමින් ගිහිගෙයට පොළඹවා ගැනීමට තැත් කළාය. එවිට තෙරුන් “නැගණියනි අප අප්සරාවක් පතා බඹසර නොහැසිරිරෙමි”යි පිළිතුරු දුන් විට අපට නැගණිවරුන් යැයි අමතති …”යි දුකට පත් ළඳුන් ඉවත් වූවෝය.

ඉක්බිති තෙරුණුවෝ අපට අනවශ්‍ය කරදර නොකරන්න. වෙහෙස නොකරන්න යැයි සිය පියාණන්ට කියා සිට අනතුරුව ලද ආරාධනයෙන් දන් වළඳා අවසන සිය පියා ප්‍රමුඛ පිරිසට ජීවිතයෙහි නිස්සාරත්වය අවබෝධ වනසේ ගාථා හයකින් මෙබඳු දහමක් දෙසූහ.

මේ ශරීරය අස්ථීරය, මහාවණයක් බඳුය. බොහෝ දෙනා යහපත්සේ සලකන මේ ශරීරය දෙස බලන්න. මැණික් වලින් සහ කුණ්ඩලාභරණයෙන් සරසා ඇති මේ ශරීරය දෙස බලන්න. එය ඇටවලින් සහ නහරවලින් යුක්ත වූ වස්ත්‍රවලින් වසා ඇති රෝගයක් බඳු එකකි.

රතුසායම් ගා ඇති පාද, විවිධ ආලේපන ගල්වා ඇති මුහුණ දකින මෝඩයෝ රැවටෙති. නිවන් සොයන්නෙකුට එය නොගැලපේ.

අට කොටසකට බෙදා අඳුන්වලින් සරසා ඇති කොණ්ඩය දකින මෝඩයෝ රැවටෙති. නිවන් සොයන්නෙකුට එය නොගැලපේ.

මේ කුණුකය විසිතුරු සඳුන් භාජනයක් සේ සරසා ඇත. ඒ නිසා මෝඩයෝ එයට රැවටෙති. එයද නිවන් සොයන්නෙකුට එය නොගැලපේ.

මේ ලෙස රන් රුවන් මුතු , මැණික් ආභරණ සහ සුරූපිනියන්ගේ සියලු නිස්සාරත්වයන් පිළිබඳව දහම් දෙසු රට්ඨපාල තෙරුණුවෝ තමා පියාගේ උගුලට අසුනොවීම පිළිබඳව මෙසේද උදාහරණයකින් පැවසූහ.

” මුව වැද්දා දැලක් දැමූවත්, එයට මුවා හසු වූයේ නැත. මුව වැද්දා හඬමින් සිටියි. මුවා දන් වළදා ආපසු යයි..”

රට්ඨපාල තෙරුන් ගිහිගෙයට පොළඹවා ගැනීමට යෙදුවාවූ රූමත් කාන්තාවන් ගේ ස්වභාවය එසේ නිසරුසේ පෙන්වා දුන් රට්ඨපාල තෙරුණුවෝ තමා මේ සියල්ලෙන් මුවා දැළට අසුනොවී මිඳී යන්නාසේ මිදී යන බව උදාහරණයෙන්ම පෙන්වාදී ඉක්බිතිව කෝරව්‍ය රජුගේ මිගාවීර උයනට වැඩම කොට එක්තරා රුකක්මුල වැඩ සිටියහ.
  කෝරව්‍ය රජු උයන් කෙළිය පිණිම උයන්පල්ලා කැඳවා මිගාවීර උද්‍යානය පිරිසුදු කිරීමට නියම කළෙන්, ඔහු එසේ කරන අතර, රට්ඨපාල තෙරුන් එහි වැඩ සිටිනු දැක හඳුනාගෙන වහා රජුවෙත දැන්වීය.

කෝරව්‍ය රජුද වහා උයනට පිවිස රට්ඨපාල තෙරුන් හමුව ආ ගිය තොරතුරුද විමසා පැවිදිවීමට හේතුව මෙසේ විමසීය.

“ රට්ඨපාලයෙනි, ජරාවෙන් , ව්‍යාධියෙන්, සම්පත්තියෙන්, ඥාතීන්ගෙන් යන සතර පරිහාණියෙන් පිරිහුණු ඇතැමෙක් මෙලොවෙහි පැවිදි වෙති. තවමත් තරුණ වියේ පසුවන ඔබ, කුමක් දැන, කුමක් දැක, කුමක් අසා මෙලෙස පැවිදි වූයේද? ඔබට කිසිදු රෝගාබාධයක් නැත. ඔබ නිදුක්ය. නිරෝගීය. ඔබට භවභෝග සම්පත්ද, ඥාතිසම්පත්තියද ඇත. එසේ පවතිද්දී කුමක්දැන, කුමක් දැක, කුමක් අසා මෙසේ පැවිදි වූයේද?….”

එවිට රට්ඨපාල තෙරුන්ගේ පිළිතුර වූයේ “මහරජ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දෙසූ ධර්ම නිර්දේශ සතරක් ඇත. ඒ දැන, දැක, අසා මා පැවිදි වූයෙමි. එනම් මෙලොව ජරා මරණයෙන් ගැලවීමක් නැත. ලෝකයා ඒ දෙකින් පීඩිතව ඇත. මේ පළමු වැන්නයි.

ලෝකයා ප්‍රාණ රහිත වෙයි.අස්වැසීමක් පිළිසරණක් පිහිටක් ආරක්‍ෂාවක් නැත. මේ දෙවැන්නයි.

ලෝවාසීන්ට තමන් සිතූ පැතූ කිසිවක් අයිති නැත. සියල්ල අත් හැරදමා යා යුතුය. මේ තුන්වැන්නයි.

ලෝවාසීන් කිසිවකින් සම්පූර්ණ නැත. සෑහීමට පත්වීමක් නැත. තෘප්තියක් නැත. තෘෂ්ණාවට ගොස්ය. මේ සතර වැන්නයි.

සියල්ල දත් තථාගත සම්මා සම්බුදුන්ගෙන් මෛත්‍රී ධර්ම නිර්දේශ දැක, දැන අසා මම ගිහිගෙය අතහැර පැවිදි බව ලැබීම.

මෙලෙස රජුට ලොව නිස්සරාත්වය පහදා දුන්, රට්ඨපාල තෙරුන් සහ රජු අතර අපූරු සාකච්ඡාවක් මින් පසු ඇතිවිය.

රජුගේ තරුණවිය පිළිබඳවද එකළ කළ කී දෑ පිළිබඳවද, තරුණ කළ හැකියාවන් පිළිබඳවද තෙරුණුවෝ රජුගෙන් විමසන ලදී. එවිට රජුගේ පිළිතුර වූයේ “ මම දැන් දිරා ගියෙමි. වෘද්ධ වූයෙමි. මා දැන් මහළුයි. මම දැන් අසූ වියට පැමිණ ඇත. මා දැන් පය තබන තැන නොපිහිටයි. අන් තැනෙක පය තැබේ.

මේ සාකච්ඡාවෙහිදී ලෝකයා ජරා මරණ , කරා මෙහෙයවන බව රජුට අවබෝධ විය.

තවද මරණයට පත්වන තැනැත්තා තමා සතු සියල්ල හැරදමා යන බවද, තමා සතු ධනය කිසිවක් ගෙන නොයන බවද භාර්යාව සහ දරුවා පවා ඔහු සමග නොයන බවද තෙරුණුවෝ රජුට පැවසූහ.

තවද ධනය නිසා කිසිවෙකු දීර්ඝායුෂ නොලබන බවද, ජරාව නැසීමට පවා නොහැකි බවද ජීවිතය පවතින්නේ ස්වල්ප කාලයක් තුළ පමණක් බවද, ධනවත් , දුප්පත්, නුවණැති අය පමණක් නොව මෝඩයෝද මරණයට පත්වෙන බවද මෝඩයෝ මරණය ගැන කම්පා වුවත් නුවණැත්තෝ මරණය ගැන කම්පා නොවන බවද තෙරුණුවෝ රජුට පහදා දුන්හ.

සසර පව් කළ පුද්ගලයා සිය කර්ම හේතුවෙන් පෙළනු ලැබේ. යනුවෙන් රට්ඨපාල තෙරුණුවෝ තවදුරටත් කෝරව්‍ය රජුට සසර නිසරු බව පහදා දෙන ධර්ම කරුණු අවබෝධ කරදී. මෙසේ කර්ම දැක අවබෝධ කරගෙන තමා පැවිදි වූ බවද රජුවෙත පහදා දුන්හ.

(මජ්ඣිම නිකායෙහි, රට්ඨපාල සූත්‍රය ආශ්‍රයෙනි)

කැලණිය චිත්තාභ්‍යාස සංවර්ධන හා පර්යේෂණ ආයතනයේ ලේකම් විද්‍යාපති අසංග අතපත්තු


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: