Posted by: lrrp | May 28, 2013

හිස් කබලක් අතින් ගෙන බවුන් වඩන හාමුදුරුවන් සොයා ගියෙමි

සේනාසනාධිපති ඇල්පිටියේ සුජාත හිමි

වෙසක් සඳ දිලී – නුබ ගැබ එළිය දී රිදී
මහිමි දම් අමා සම්බුදු – මෙත් රැසින් සැදී
තුරු මතින් පිපී පුර හඳ – එළිය දී රිදී
මහිමි දම් අමා සම්බුදු – තෙමඟුලින් බැඳී

සොළොස් කලා පිහිටා නැඟුණු චන්ද්‍රයාගේ සෞම්‍ය කාන්තිය මේ මුළුමහත් බෙරලිය මූකලාන ම වසා සිටී. ඒ තාරපතිය වෙසක් පහනක් ලෙසින් තුරු වියන අතරින් පෙරන රැස් වළලු තැන් තැන්වල අල්ලි මවයි. ඉන් නෙක රටාවන් මැවෙයි.

මා මේ යන්නේ මිනී ඔළුවක් අතින් ගෙන බවුන් වඩන ඒ වනවාසී යෝගාවචරයන් වහන්සේ සොයමිනි. ඒ මඟ පිළිපන් තවත් බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා කීපනමක් ද මේ බෙරලිය මූකලාන තපෝවනයෙහි වෙසෙති.

2010 වසරේ අපවත් වූ ස්වාමීන් වහන්සේලා දෙනමකගේ සිරුරු ආදාහනය හෝ භූමදානය නොකැර සිමෙන්තියෙන් හැදු උඩට වීදුරු යෙදු ටැංකියක දමා එහි වෙනස්කම් හඳුනාගන්නා මේ ස්වාමින් වහන්සේලා දැක ගැනීම ද මගේ අභිප්‍රාය විය. මිනී ඔළුව අතින් ගෙන බවුන් වඩන ස්වාමින් වහන්සේ භාවනායෝගීව රැඳෙන්නේ ද මේ සොහොන මතය.

බොහෝ වේලාවක් රැඳී සිට ඉඩ පහසුව බලා මම යෝගාවචරයනට කිට්ටු වීමි. එහි උපාසක බණ්ඩාර උන්වහන්සේගේ නම ඇල්පිටියේ වල්ලභවල උඩුවිල සුජාත නායක හිමියන් බව මට කීවේය. මේ මිනී ඔළුව උන්වහන්සේ වෙත ප්‍රදානය කළේ ද උපාසක බණ්ඩාර ය.

කල් යල් බලා අවසර ස්වාමීනි, මේ මිනී ඔළුව කාගේදැයි මම අසමි.

මහත්තයො, මේ මිනී ඔළුව මගේ ප්‍රධාන දායකයා ජෝන් සිඤ්ඤෝගේ. දැන් වසර කීපයක් වෙනවා මිය ගිහින්. ජීවත්වන කාලේ මට බොහොම ආවතේව කළ දන් පැන් පිදු යහපත් මනුස්සයෙක්. මං උඩුවිල විවේකාරාමයේ වැඩවසන කාලේ එතුමා මට පෑන් පැන්සල් පත පොත පවා අරන් දුන්නා. ඉගෙන ගන්ඩත් උදව් කළා. මේ සංස්කාර ධර්මයන් සියල්ල අනිත්‍යයි. දැන් තියෙන්නෙ මේ මිනී ඔළුව විතරයි.

අපෙ හාමුදුරුවනේ! මේ මිනී ඔළුව වුණත් නිතර බල බලා භාවනා කිරීමෙන් කෙලෙස් දුරුවෙනවා යැයි සිතුවත් ඒකත් කිසියම් බැඳීමක් නොවේදැයි මම අසමි.

එහෙම හිතන එක වැරැදියි. භාවනායෝගියා අරමුණු කරන්නේ මිනී ඔළුව අයිති පුද්ගලයා ගැන නොවෙයි. එය තමා වෙතට නැඹුරු කරලා හිතලයි. මාත් කවරදා හෝ මේ වගේ වෙනවා. අනිත්‍යයි දුකයි. සියල්ලම. ඒ ආකාරයෙන් ඒ දිහා බලලා තමන් ගැනයි සිතන්නේ.

ටැංකියේ නරක් වී යන මළ සිරුරක්

මම නොයෙක් තොරතුරු මූලාශ්‍ර ඔස්සේ ඒ හිමියන් පිළිබඳ කරුණු ගවේෂණය කළෙමි. 1979 වසරේ සර්වෝදය නායක තනතුරක් සමඟ පොලොන්නරුවට වැඩි උන්වහන්සේ 1983 පමණ කාලයේ වැලිකන්දේ විහාරාස්ථානයක වැඩ සිටියේය. එල් ටී ටී ඊ ප්‍රහාරයකින් මේ විහාරය සුනු විසුණු වෙද්දී ඉතිරි වුණේ බෝධිය පමණකි.

අනතුරුව උන්වහන්සේ අම්පාර පන්නල්ගමට වැඩියේය. ඒත් සර්වෝදය නායක තනතුරකිනි. ඉඟිනියාගල, දමන, බුද්දම, මහඔය, පදියතලාව, අහිංසක ජනතාවට අවශ්‍ය සනීපාරක්ෂක පහසුව, මංමාවත් ආදිය සැකසුමට උන්වහන්සේ මහත්ම සානුබලයක් දුන්නේය. එරාවුර්, ත්‍රිකෝණමඩුව, මුතුගල පන්තිය, 51 කණුව මංමාවත් ද ඒ දෙපා හොඳින්ම හඳුනයි.

ග්‍රාමවාසී භික්ෂුවක් වශයෙන් මා කටයුතු කළ කාලයේ ජනතාව වෙනුවෙන් බොහෝ දේ කළා. මා අම්පාරේ බොහෝ තැන්වල ඇවිද්ද කෙනෙක්. කොටි ප්‍රහාරවලින් මගේ වැලිකන්දේ පන්සල විනාශ වුණායින් පස්සෙ මම වනවාසී යෝගාවචරයෙක් වෙන්න හිතුවා. මං කෙළින්ම උඩුවිල විවේකාරාම ආරණ්‍යයට ආවා. ඒ විදියටයි වනවාසී වුණේ.” ඒ ඇල්පිටියේ යෝගාවචරයන්ගේ වචනය.

බෙරලිය මූකලාන අතරින් නැගෙන සඳ එළිය අපේ පහන් සිත බිඳෙන් බිඳ දැහැන්ගත කරයි. සුජාත හාමුදුරුවන් පුංචි සන්දියේ තම පියාත් සමඟ මේ බෙරලිය මූකලානේ ඇවිද්දේ ‘බෙරලිය’ කඩන්නටය. ‘බෙරලිය’ යනු වසර කීපයකට වරක් පල දරන අපූරු පෝෂ්‍යදායි පලතුරකි. අමු බෙරලිය පිටි කැර පිට්ටු හදන ගැමියෝ අදත් මේ පෙදෙසේ වෙසෙති.

පොඩි කොලුවා ගලින් ගලට පනිමින් තම පියාට මෙසේ කීවේය. තාත්තේ, මේ මූකලාන හරිම අපූරුයි හාමුදුරුවන්ට භාවනා කරන්ඩ.” කවරදා හරි මං මේකෙ හාමුදුරුවන්ට ඉන්ඩ තැනක් හදලා “මහානායක” වෙනවා. කොලුවාට අවශ්‍ය වූයේ සේනාසනාධිපති වෙන බව කීමටය. එහෙත් කියවුණේ අර විදියටය.

මේ වචන අහපු තාත්තා කෝපයෙන් දැවුණේය. අනේ, බොට පුළුවන් ද? එහෙම හරියක් කරන්ඩ… ඔහු කීවේය. එහෙත් පුංචි කොලුවා අද මේ සේනාසනයේ සේනාසනාධිපතිය. සිංහරාජ මායිමේ අක්කර ගණනක් වූ මූකලාන අද මේ සේනාසනයට අයත් ය.

දෙන ඇතුළත බලා භවුන් වඩන යෝගාවචරයන්

ජෝන් සිඤ්ඤෝ මාමා මැරුණේ අවුරුදු 88 ක් ආයු වළඳලා. එතුමාගේ ඔළුව දිහා බලාගෙන මගේ ජීවිතය මෙනෙහි කරන්ඩත් අද එතුමා ඉඩ දීලා තියෙනවා. මං උදේ හතරට ආරණ්‍යයේ ගෙඩිය ගහන්න අවදි වෙලා බවුන් වඩන්ඩ පරක්කු වුණොත් කවුරුදෝ මගේ කුටියට ශබ්ද කරනවා. “ලොකු හාමුදුරුවනේ, දැන් වෙලාව හරි. අවදිවන්න… එහෙම කියපු අවස්ථා තියෙනවා.

එක්තරා අවස්ථාවක මාතර හිමිනමක් වැඩ සිටි කුටියට උන්වහන්සේ රාත්‍රියේ සැතපෙන්න යන විට කවුරුදෝ මහ කැලයේ ඉඳන් කෑ ගහලා කියලා තියෙනවා, හාමුදුරුවනේ, කුටියට වඩින්න එපා. කුටියේ ඇතුළු වන තැනම පොළඟෙක් ඉන්නවා කියලා. සොයා බලනකොට කතාව ඇත්ත. මේ වගේ සිද්ධින් මෙහි සිදුවුණත් මේවා කරන්නේ අමනුෂ්‍යයන් නම් නොවෙයි. ඒ අය අපට කිට්ටු වෙන්නෙ නෑ. පිං කැමැති ඇහැට නොපෙනෙන අය තමයි මේවා මෙහෙම කියන්නේ.

සුජාත හිමියන් මේ ආරණ්‍යය ගොඩ නගා ගත්තේ අපරිමිත දුක් වේදනා විඳිමිනි. උන්වහන්සේ පිණ්ඩපාතයේ වැඩීමේදී ලැබෙන සැදැහැති මුදලින් මේ ආරණ්‍යයේ කුටි නිම වී තිබේ. එහි දැන් යෝගාවචර කුටි 10 ක් පමණ වන වදුලේ සැඟැව තිබේ. ඈත බැහැරින් එන භාවනා වඩන්නවුනට ද උන්වහන්සේගේ මේ කුටි භාවිත කළ හැකිය. අතරමං ව සිටින මන්දමානසික තරුණයකු ද කාත්කවුරුත් නැති අසරණයකු ද උන්වහන්සේ විසින් පෝෂණය කෙරෙති.

බෙරලිය මූකලාන අතර සිංහරාජයේ තුන්දොළ නමින් හැඳින්වෙන නිල් දිය පොකුණ, කළු දිය පොකුණ, අඬා හැලෙන දොළ ගලා බසින්නේ මේ තපෝවනය මැදි කරගනිමිනි.

මිල්ල, ඌරු හොඬ, වල් දෙල්, ආදි මහා ගස් අතර මීමන වැනි දුර්ලභ ශෘක ද ජෛව විවිධත්වයෙන් යුතු පරිසර පද්ධති ද ගල්කුළු ආදියෙන්ද පෝෂිත මේ මූකලාන ඇත්තටම යෝගාවචරයන් නෙතට රසඳුනකි. භාවනාවට සුදුසු සුවපහසු විවේකාරාමයකි. වලි කුකුළා, දඬු ලේනා, සුදු නාගයා, පිඹුරා, උල ලේනා, මීමින්නා, හාවා, ඌරා, පිනි මුවා, ආදි නෙක සත්ත්ව සමූහයාගෙන් ද පිරි ගෙවුයනක් වැනි මේ තපෝවනය මනෝරම්‍යය. මේ වනය මැද සතුන්ගෙන් ආරක්ෂා කිරීමට පමණක් වීදුරු ගසා ටැංකිවල දියවෙන්නට හැර තිබෙන ඒ ස්වාමින් වහන්සේලාගේ මළසිරුරු මගේ අවධානයට ලක්වෙයි. එහි ඕජස් ගලා ගොස් දැන් කරවී මැළැවී ගිය තත්ත්වයක් පෙනෙයි.

භාවනාවට වඩිමින්…

”මේ තියෙන්නෙ සිරි සුමේධ හාමුදුරුවන්ගේ සිරුර. ඊට එහායින් අහංගම සිරි විමල ස්වාමින් වහන්සේගේ සිරුර. මේවා ඉදිමිලා, ඕජස් ගලලා දිරා යන හැටි අප මෙනෙහි කළා. ඒ සිරුරින් ඉපදුණු පණුවොත් අද නෑ. සුමේධ හාමුදුරුවෝ අවුරුදු 81 ක් වැඩ හිටියා. උන්වහන්සේට ගිලන්පස පොවද්දි මගෙ අතේමයි අපවත් වුණේ. සිරි විමල හාමුදුරුවන් පැවිද්දට අවුරුද්දක් විතර යද්දි අපවත් වුණා. සුමේධ හාමුදුරුවො අවුරුදු 45 ක් බුද්ධ පුත්‍රයකුව සිටියා. මේ මෘත ශරීර අද වේලිලා. මේ ලෝකයම දුකයි. අනිත්‍යයි. අනාත්මයි. බුද්ධාදී උත්තමයන් මේ විදියෙ පිළිකුල් භාවනා කරලා තියෙනවා. මං යන්න හදන්නෙත් ඒ මඟයි.

නාමරූප ධර්මයන් මෙනෙහි කරන්නටත්, භාවනා වඩන්නටත් මේ ස්ථානය ඉතා සුදුසු ස්ථානයක් බව මට ද හැඟෙයි. කිසිදු මාංශයක් මෙහි දන් වේලට අකැපය. පිරිසුදු එළවළු පලතුරු, කැඳ පමණක් උන්වහන්සේ වළඳති.

මහත්තයො, ආගම කියන්නෙ (භවය) ආත්මය ගලවා ගන්නා මාර්ගයට. බුද්ධ කියන්නෙ අවබෝධයට. එතකොට බුද්ධාගම කියන්නෙ අවබෝධයෙන් භවය ගලවා ගත්තේ කොහොම ද? ඒ මාර්ගය කියන එකයි. භික්ෂුවක් සතර ඉරියව්වෙන් ම හොඳින් පැවැතීමට සූදානම් විය යුතු බව බුදුන් වදාළා. එතැන කීවේ යෑම් – ඊම් ඉඳුම් – හිටුම් ගැනයි. ආනන්ද හිමියන් ඇසු ප්‍රශ්නයකට උන්වහන්සේ පිළිතුරු දුන්නේ.

භික්ෂුවක් පිඹුරෙක් මෙන් ලද ආහාරයෙන් සතුටු විය යුතුයි. භික්ෂුවක දානය ලබා ගත් පසු නැවත දානයක් ලැබෙන තුරු ඒ ගැන දැනගෙන වැළඳිය යුතුයි. පිඹුරා ද ගොදුරක් ලබා ගත් පසු ඊළඟ ගොදුර ලැබෙන තුරු ඉන්නා පරිද්දෙන්.

ඊළඟට අවධානය විමසිල්ල තිබිය යුතුයි උකුසු ඇසක් වගේම. තමන් කරන දේ සිහියෙන් කළ යුතුයි. සතිය වැඩිය යුතුයි.

සිවුරු හැඳීම කළ යුත්තේ ද එහෙමයි. දානයකට පිටතට වැඩියොත් ඒකාංශික සිවුරෙන් වඩින්න බෑ. ‘ඉබ්බාගේ වෙහෙස’ යනුවෙන් එය අරුත් ගන්වනවා. ඔළුව, අතපය හතර විතරයි ඉබ්බාගේ පෙනෙන්නේ. එලෙසම භික්ෂුවගෙත් එළියට පෙනෙන කොටස් ඔළුව හා අත්පා කොටස් පමණක්ම විය යුතුයි.

කාන්තාවන් දළඹුවන් ලෙස සලකා නොගෑවි නොඇලී සිටිය යුතුයි. දළඹුවන් ගෑවුණු ගෑවුණු තැන කසන්නාක් මෙන් කාන්තාවන් ළඟින් ඇසුරු කිරීම ද හානිකරයි. වනවාසී භික්ෂුවක් හැටියට බුද්ධාදි උත්තමයන් වදාළ දේ ඒ අයුරින් කරන්නට පුළුවන්.

උන්වහන්සේ මේ කුටි නිර්මාණය කැරගැනීමට පාද යාත්‍රාවෙන් ගමින් ගමට වැඩිය හැටි වෙනමම කතා කළ හැකිය. උන්වහන්සේ බොහෝ දුර කතර ගෙවා හෝ උළු මෝල් හිමියන්ගෙන් උළු ඉල්ලා වැඩියේය. ගඩොල් පෝරණු හිමියන්ගේ ගඩොල් ඉල්ලා වැඩියේය. වැලි ද ලබාගත්තේ ඒ අයුරිනි.

වෙසක් සඳේ කාන්තිය මැකෙන්නට පෙර මේ මූකලානේ සිට මම ඔබෙන් ආයාචනයක් කරමි. පිං කැමැති ඔබට හැකිනම් මෙහි කුටියක් නිමවා දෙන්න. බවුන් වඩා සිත පහන් කරන්නට උන්වහන්සේගේ ගිය මඟ යන්න. මේ අපගේ ද ප්‍රාර්ථනයයි.


Responses

  1. මෙහි දක්වා ඇති පරිදි කුට්යක් සාදා දීමට කැමතිය. විස්තර ලබාගත හැකි කෙනෙකුන් දක්වන්න.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: