Posted by: lrrp | June 4, 2013

මාව බැඳලා බෝතලයකට දැම්මා ඒත් මං නිදහස් වෙලා ආවා

රට පුරා බොහෝ තැන්වල දේව වරමින් පේන කියන ස්ථාන පවත්වා ගෙන යති. දේව වරමින් යැයි ප්‍රසිද්ධ කළත් මේවායේ ‘කපුවනට’ හෝ ‘මෑණි වරුනට’ ඒ ශාස්ත්‍ර කීමේ ශක්තිය ලැබී ඇත්තේ මළගිය ඥාති ප්‍රේතයෙකුගේ උදව්වෙනි. මේ අමනුෂ්‍යයෝ තමන්ගේ ඥාතියාට උපකාරයක් වශයෙන් කැමැත්තෙන් ම බන්ධනය වී උදව් කරති. එසේ ම තම ඥාතියා මේ ශාස්ත්‍රකීමෙන් හා ශාන්ති කර්ම කර උපයා ගන්නා මුදලින් දන් පැන් දී පින් අනුමෝදන් කරතැයි බලාපොරොත්තු වෙති.

එසේ නොවන විට දේවාලයේ වැඩ අවුල් කරති. මීට අමතරව සමහරු අයාලේ යන භූතයන් බන්ධනය කැර ගෙන වැඩ ගනිති. මේවා කොයි වෙලාවේ නරකට හිටී දැයි කියන්නට බැරි ය. ඒ අමනුෂ්‍යයන් ගේ බලාපොරොත්තු ඉටු නොවන විට ඔවුන් පළිගන්නට කටයුතු කරති. ලෙඩ රෝග ඇති කරති. ගැහැට කරදර ඇති කරති. මිනිස් ශරීරවලට සම්බන්ධ වූ අමනුෂ්‍යයෝ ඒවා අත හැර යෑමට අකැමැති ය. ඒ ශරීරවලින් ම යැපෙන්නට කැමැත්තෝ ය. දේපළවලට තණ්හාවෙන් සම්බන්ධ වූ අමනුෂ්‍යයෝ ඒ වස්තු තණ්හාවෙන් ම ඇලී සිටිති. අතහැර යෑමට අකැමැත්තෝ ය. මිනිසුන්ගේ මෙන් ම භූතයන් ගේ ද ක්‍රියාකාරකම් විවිධාකාර ය. ස්වභාවයන් ද විවිධාකාර ය.

නිශාන්ත කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. හමුදා සෙබළෙකි. හතළිස් හැවිරිදි ය. විවාහකයෙකි. ඔහු සිය බිරිය සමඟ ඇතුළුකෝට්ටේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය සොයාගෙන පැමිණ ආධ්‍යාත්මීය උපදේශකවරයා හමු වී සිය දුක් ගැනවිල්ල කීවේ ය.

“මහත්මයා අපි ආවේ ‘සිළුමිණ’ පත්‍රයේ තිබුණු විශේෂාංගය කියවලා ඔබ තුමා හොයාගෙන. මගේ ඇඟ පත දැඩි වේදනාවකින් පෙළෙනවා. රෑට නින්ද යන්නේ නෑ. රෑ එළිවෙන තුරු මහා වේදනාවකින් පීඩා විඳිනවා නින්දක් නැතුව. යන්තමින්වත් නින්දක් ගියොත් ලේ ගලන තුරු ම තොල් දෙක හපා ගන්නවා” යි නිශාන්ත කීවේ ය.

“දැනට කොයි තරම් කාලයක ඉඳල ද ඔය තත්ත්වය ඇති වුණේ?” ගවේශකවරයා ඇසී ය.

“දැනට අවුරුදු එකහමාරක් විතර වෙනවා.”

“මොනවද ගත්ත ප්‍රතිකාර?”

“වෛද්‍ය ප්‍රතිකාර ගත්තා, මනෝ වෛද්‍ය ප්‍රතිකාර ගත්තා. ඔය අතරේ තොවිල් හතරක් කළා. ඒ කිසි දෙයකින් වැඩක් වුණේ නෑ. තොවිල් කළාම සුමානයක් දෙකක් හොඳින් ඉන්නවා. ආයෙත් ඉස්සෙල්ලා තත්ත්වයට ම පත් වෙනවා.”

ගවේෂකවරයා නිශාන්තට ශක්ති කිරණ එල්ල කළේ ය. ඔහු වෙව්ලන්නටත්, පැද්දෙන්නටත් විය. ඉන් එහා දෙයක් සිදු නොවුණු බැවින් දින විසි එකක් ගමේ පන්සලේ බෝධි පූජා පවත්වා නැවත පැමිණෙන ලෙස දැනුම් දුන්නේ ය.

ඊළඟට පැමිණි දවසේ නිශාන්ත ආවිෂ්ට වූයේ ය.

“කවුද මේ?”

“මම මළ යක්ෂයෙක්. මට යන්න නම් කියන්න එපා. මූව දාල යන්න නම් බෑ.” යි මහ හඬින් හූවක් කීවේ ය. දිව එළියට දමාගෙන රෞද්‍ර ලෙස ගොරවන්නට විය.

අඟල් අටක් පමණ දිව එළියට දැමීම නිසා මේ අසාමාන්‍ය තරම් දිගට දිව එළියට දැමීමෙන් එය ගැලවී වැටේ දැයි සිතෙන තරම් වූයෙන් ගවේෂකවරයා වේවැල් පහර දෙකක් ගසා දෘෂ්ටිය ඉවත් කොට තවත් දින හතක් බෝධි පූජා පවත්වා නැවත පැමිණෙන ලෙස උපදෙස් දුන්නේ ය.

යළිත් සතියකින් ඔහු පැමිණියේ ය. මේ තුන් වැනි දිනයේ ද ඔහු ප්‍රලය විය.

“යන්න නම් බෑ. යන්න නම් බෑ. මූව අරගෙන මිසක් මම යන්නේ නෑ. මට යන්න කියන්න නම් එපා” යි ගොරවන්න විය.

“ඇයි යන්න බැරි?”

“මම මුගේ පස්සෙන් ම පන්නනවා. සංසාරෙ පුරා ම මුගෙන් පළිගන්නවා.”

“ඇයි මේ තරම් දරුණු වෛරයක්.”

“මූ මට ලොකු වරදක් කළා.”

“ඒ මොකක්ද? ඔය තරම් ලොකු වරද?”

“මූ මාව බැඳලා මූදට දැම්මා.”

“ඒ කොහොමද?”

“මෙයා හමුදාවෙ රස්සාව කළාට ඒ අතරෙ දේවාලයක් කළා. නිවාඩු දාට සාස්තර කිව්වා. ගුරුකම් කළා. මම මගේ දේපළ බලාගෙන ඉන්න කොට මගේ ළමයි ඒ ගෙයයි ඉඩමයි වික්කා. ඒත් මම මගේ දේවල් අතහැරලා ගියේ නෑ. ඒ ගෙදර අලුතෙන් ආපු අය, ගෙවල් ගත්ත මිනිහා මූ ලව්වා මාව බැඳලා මූදට දැම්මා.”

“ඒ කොහොමද?”

“බෝතලයකට දාල අරගෙන ගිහින් මූදට දැම්මා.”

“ඉතින් ආවෙ කොහොමද?”

“නිකම්ම නිදහස් වුණා”

“ඒ කොහොමද?”

“දන්නේ නෑ. එක පාරටම නිදහස් වුණා.”

“ඉතින් මෙයාව හොයාගෙන ආවේ කොහොමද?”

මූ මාව බඳින වෙලාවෙ මට තේරුණා මම අහුවුණා තමයි කියලා. මූ මගේ නිදහස නැති කරනවා නේද කියලා වෛරයක් ඇති වුණා. මම මූව ඉඹලා මුගේ ලේ සුවඳ මතක තියා ගත්තා. නිදහස් වුණ ගමන් හොයාගෙන ආවා. දැන් නම් මූ මට කරපු අපරාදෙට හිරවෙලා වින්ද දුකට මුගෙන් සංසාරෙ පුරාවට ම පළිගන්නවා.

මළ යක්ෂයා නිශාන්ත ගේ ශරීරයේ සිටිය දී ම ගවේෂකවරයා “නිශාන්ත දේවාලයක් කරගෙන ගියා දැ’යි බිරියගෙන් ප්‍රශ්න කළේ ය. එය ‘ඔව්’ යැයි හිස වනා ඇය පිළිගත්තා ය.

“බලන්න; ඔය ගොල්ලො අවශ්‍ය ම දේ මුලින් නොකියා හංග ගෙන ප්‍රතිකාර ගන්න එනවා. නොදන්න මගුල් කරන්න ගිහින් අහක ඉන්න අමනුෂ්‍යයන්ට හිරිහැර කරලා වැඩේ වැරදුණා ම අපිව හොයා ගෙන එනවා” යි ගවේෂකවරයා පැවසීය.

“අනේ; මහත්තයා මට කරන්න දෙයක් නෑ. ඒ මෙයාගෙ වැඩ. එයා නිසා දැන් මටත් ජීවිතයක් නෑ. ආපු දවසෙ ඉඳලම දුක් විඳිනවා. මට අනුකම්පා කර පිහිට වෙන්න. මට තවම දරුවෙක්වත් නැහැ.මම මහා දුකක පැටළිලා ඉන්නේ.”

“හේඞ… හෙඞ…හේ… තොපිට දරුවො හදන්න මම ඉඩ තියන්නේ නෑ” යි භූතයා ඒ අතර කීවේ ය.

“හරි… මම තමුන්ව මේ ශරීරයෙන් ඉවත් කළත් මේ අයට දරුවෙක් ලබා ගන්න බැරි ද?”

“පුළුවන්… පුළුවන්… මම ගියොත් පුළුවන්. ඒත් මූ කරපු මේ වගේ ගුරුකම්වලින් දුක් වින්ද ප්‍රේතයෝ බලාගෙන ඉන්නවා.

ඔය බඩේ උපදින්න මුගෙන් පළිගන්න කරුමක්කාරයො ඔය බඩට ඒවි” යි යක්ෂයා කීවේ ය.

“බලන්න තමන් කරපු වැරදි – අකුසල කර්ම දැන් ගෙවන්න වෙලා. මේ වගේ අයට ප්‍රතිකාර කරන්නත් හොඳ නෑ.

ඒත් මම තමුන්ට අනුකම්පා කරලා මේ ප්‍රතිකාර කරන්නේ” යි ගවේෂකවරයා නිශාන්තගේ බිරියට කීවේ ය.

නැවත මළ යක්ෂයාගෙන් ප්‍රශ්න කළේ ය.

“ඉතින් තමුන් කොහොමද බන්ධනයෙන් මිඳුණේ?”

“මම දන්නේ නෑ. නිකම්ම නිදහස් වුණා කියලා මම දැන් සැරේකුත් කිව්වානේ ද?”

“ඔව්; හොඳයි, ඉතින් මෙයාව ම හොයාගෙන ආවේ කොහොමද?”

“මුගේ ලේ සුවඳ හොයාගෙන ඉව පාරෙ ආවා.”

“ඉතින් මෙයාගෙ ඇඟට රිංගුවේ කොහොමද?”

මුගේ ඇඟට රිංගන්න මම කීප වතාවක් උත්සාහ කළා.

මූ සාස්තර කිව්වේ මුගේ තාත්තාව බැඳගෙන ඒ තාත්තාගෙ උදව්වෙන්. ඒ තාත්තා මට මුගේ ඇඟට රිංගන්න ඉඩ දුන්නෙ නෑ. මාව එළෙව්වා. පැන්නුවා.”

“ඉතිං කොහොමද රිංගුවේ?”

“මූ බේබද්දා. මස් මාළුවලට පෙරේතයා. දවසක් යාලුවො එක්ක බිව්වා. ඒ යාලුවා බයිට් එක්ක දුන්නේ බැඳපු ඌරුමස්. මූ ඌරුමස් කනකොටම ඇඟේ හිටපු තාත්තා පිටවෙලා ගියා. තරහෙන් මම අන්න ඒ වෙලාවෙ මුගේ ඇඟට රිංගා ගත්තා. දැන් ඉතින් මූව අරගෙන ම මිසක් මම යන්නේ නෑ’ යි යළිත් ගොරවන්නට විය.”

තවත් දින හතක් බෝධි පූජා පවත්වා නැවත එන්නැයි උපදෙස් දුන්නේය.

එදින මළ යක්ෂයා උඩ පැන බිම පෙරැළී දඟලන්නට විය.

සෑහෙන වේලාවක් දඟලා වෙහෙසට පත් වූ විට කිරණ ශක්තියෙන් දවා මළ යක්ෂයා ශරීරයෙන් ඉවත් කොට නිශාන්තට ආධ්‍යාත්මීය ආරක්ෂාවක් දැම්මේ ය.

නොවරදවා ම සතියකට වරක් බෝධි පූජා පවත්වන්නට නියම කළේ ය.

නිවසේ නිරතුරුව කළයුතු පිළිවෙත් කීපයක් දැහැමිව ඉටු කරන්නට නියම කළේ ය. ඒවා අවංකව උනන්දුවෙන් ශීලයක පිහිටා ඉටු නොකළොත් නැවතත් මළ යක්ෂයා ශරීරයට රිංගන්නට පුළුවන් බවට අනතුරු අඟවා උදේ සවස ඉටු කළ යුතු පිළිවෙත් කීපයක් නියම කළේ ය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: