Posted by: lrrp | June 4, 2013

සිතිවිලි පිරිසුදුනම් බාහිර පෙනුම ප්‍රියමනාපය

ක්‍රි. පූ. 3 වැනි සියවසේ මිහිඳු මාහිමියන් ගේ ආගමනය ලාංකේය ජන සමාජයේ වෙනස්කම් රැසකට තුඩු දුන් සුවිශේෂී සිදුවීමකි. උන්වහන්සේ ලංකාවට වැඩම කළේ ධර්ම ප්‍රචාරය පිණිසම නොව මිනිසාත්, රටත් නිවැරැදි මාවතකට යොමු කිරීමේ මූලික අරමුණ ඇතිවය. මහින්දාගමනයත් සමඟ මෙරට ජන සමාජය අධ්‍යාත්මික, වශයෙන් ද, බාහිර වශයෙන් ද වෙනසකට ලක්විය. උන්වහන්සේ දේශනා කළ ධර්මය නිසා මෙරට සුවිශේෂී අධ්‍යාත්මික සංස්කෘතියක් මෙන් ම බාහිර සංස්කෘතියක් ද නිර්මාණය විය.

පස්පව් බැහැර කළ සමාජයක් නිර්මාණය වූ අතර වැවත්, දාගැබත්, ගමත්, පන්සලත් අතර අවියෝජනීය සම්බන්ධතාවයක් ගොඩ නැඟුණි. ධර්මානුකූල ජීවිතය අගය කළ සිංහල සමාජයේ කුල කාන්තාව ද සංවරශීලී බව වඩාත් අගය කළාය.

විළිබිය ඇත්තියක වූ ඇය පවුලට, ගමට, රටට සෙනෙහෙබර මාතාවක්, සොහොයුරියක්, දියණියක් ම වූවා ය. හෙළ කත ගේ මේ සංවර ගති පැවතුම් සංකර වීමට මුල පිරුණේ 16 වැනි ශත වර්ෂයේ පෘතුගීසින් ගේ පැමිණීමත් සමඟය. ගත ආවරණය වන ලෙස ඇඳි රෙද්ද, හැට්ටය වෙනුවට බොහෝ කාන්තාවන් අතර දණහිසටත් වඩා කෙටි ගවුම ජනප්‍රිය විය. ඇඳුම පැලඳුම සේ ම චර්යාව ද වෙනස් විය. ඇයට උරුම වූ ස්වභාවික සුන්දරත්වයත්, පෙර කී සමාජයීය තත්ත්වයත් ගිලිහී යන්නට වූයේ එතැන් සිට ය.

අද බොහෝ තරුණ තරුණියන් පරයා සමහර වැඩිහිටි කාන්තාවන් ද තමන්ට නොගැළපෙන විලාසිතා ලෝකයක අතරමං වී සිටින්නේ ජීවිතය පිළිබඳ, තමන් කරන කියන දේ පිළිබඳ යථාර්ථය අවබෝධ කරගත නොහැකි වීම නිසාය.

විශේෂයෙන් පිරිමියා කරන කියන දේට වඩා කාන්තාව දෙස විමසිලිමත් වීම, වැඩි අවධානයක් යොමුවීම සාමාන්‍ය මිනිස් ස්වභාවයයි. සංවරශීලී ගති පැවතුම් ඇත්තියකට වඩා අසංවර ශීලී, විළිබිය නැත්තියකට ඒ අවධානය වඩාත් වැඩිය. එහි බලපෑම හොඳට නොව නරකටය. තැන නොතැන නොබලා, තරාතිරම නොබලා සිදුවන හිංසන, අපයෝජන මේ හැසිරීම් රටාවේ අතුරුඵලයන් ය.

දුටුවන් පිනවන නෙත්කළු රුව කාන්තාවකට ආභරණයක් වන බව සැබෑය. එහෙත් ඒ ආභරණය වඩාත් දිදුලන්නේ, අර්ථවත් වන්නේ ඇය ගේ යහපත් චර්යාවන් නිසා බව ද ඇය අවබෝධ කරගත යුතුය. එනම් බාහිර පෙනුම මෙන් ම අභ්‍යන්තරය ද ප්‍රිය මනාප විය යුතුය. අප තථාගතයන් වහන්සේ මෙත්තානිශංස සුත්‍රයේ දී දේශනා කොට වදාළේ.

මෙත් වඩන්නා ගේ මුහුණ වඩාත් පැහැපත් වන බවය. පිරිසුදුකමත්, පිළිවෙළත්, පිරිසුදු අධ්‍යාත්මයත් ඇති කාන්තාව බාහිර විලාසිතාවන් ගෙන් සංකර වූ කාන්තාවකට වඩා ප්‍රිය මනාප වන බවට, මානව හිතකාමී වන බවට සමාජයීය ජීවිතයේ දී ඔබට බොහෝ අත්දැකීම් ඇත. අධ්‍යාත්මික පිරිසිදු බව ඇති කරගන්නේ කෙසේ ද? බෞද්ධ කාන්තාවක නම් ඇය පළමු ව ධර්මානුකූල ජීවිතයක් අනුගමනය කළ යුතු ය. බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ පරිදි ගිහියා ගේ නිත්‍ය ශීලය වන පංචශීලය පිළිපදින ඇය පර පණ නැසීමෙන්, සොරකම් කිරීමෙන්, කාමයෙහි වරදවා හැසිරීමෙන්, බොරු කීමෙන්, සුරාවෙන් වැළකිය යුතුය. එසේ ප්‍රතිපත්තිගරුක වන ඇයට වඩ වඩාත් ධර්මය ශ්‍රවණය කිරීම, භාවනාව පුරුදු පුහුණු කිරීම අපහසු වන්නේ නැත.

සිත පිරිසිදු කිරීමේ එකම මඟ භාවනාවය. භාවනා කරන තැනැත්තා කෙරෙහි වැරැදි සිතිවිලි යටපත් වන්නේ ය. සිත පෙළන, වරදට පොලඹවන විවිධ අරමුණු හට නොගන්නේය. පාලනය කර ගත හැකි ඉඳුරන් ඇත්තෙක් වන්නේ ය. එයම ජීවිතය යහපත් මඟකට ප්‍රවිෂ්ට කරවීමට හේතු සාධක වන්නේ ය.

එහෙත් දවසේ පැය විසිහතරෙන් විනාඩි පහක දහයක තරම් හෝ සුළු වේලාවක් භාවනාවට වෙන් කරන පිරිස් සීමිතය. බෞද්ධ හෝ බෞද්ධ නොවන ඕනෑම කාන්තාවකට, පුරුෂයකුට විශේෂයෙන්, මෛත්‍රී භාවනාව වැඩීම අපහසු වන්නේ නැත. පළමුකොට තමන්ට මෛත්‍රී සහගත වීමෙන් පසු දෙවනුව මවුපියන්ට, ගුරුවර, වැඩිහිටියන්ට, නෑදෑ හිතමිතුරන්ට මෛත්‍රී කළ හැකිය. මෛත්‍රී සහගත බව නිසා ම සතුරන් වෙත ද මෙත් සිතිවිලි ඇතිකර ගැනීම පහසුය. ඊර්ෂ්‍යාවෙන්, වෛරයෙන්, තරහවෙන් සිත පුරවාගෙන අනුන් ගේ අයහපතම දකින තැනැත්තා ගේ ස්වභාවය අනුන්ට ප්‍රිය මනාප වන්නේ නැත. එම සිතිවිලි තමන් ම අපහසුතාවට, පීඩාවට පත් කරන්නේ ය. මිනිසකු ගේ අභ්‍යන්තරය පෙන්වන කැඩපත ඔහුගේ මුහුණ වන බව ජන කියමනකි. වෛරයෙන්, ඊර්ෂ්‍යාවෙන් පෙළෙන, දැවෙන පුද්ගලයාගේ මුහුණ ද ඒ අභ්‍යන්තරය මනාව පිළිබිඹු කරයි. සමාජයේ කාන්තාවන් හා පුරුෂයන් දෙස විමසිලිමත් වීමෙන් එවැනි අය තෝරා බේරා ගැනීම අපහසු වන්නේ නැත.

කෙනෙකු ගේ ක්‍රියාව පිරිසුදු වන්නේ සිතිවිලි පිරිසුදු වන්නේ නම් පමණි. එවැනි යහපත් සිතිවිලි වර්ධනය වන්නේ භාවනාව තුළිනි. තමන්ගේ වැරදි සඟවා ගෙන අනුන් ගේ වරද සෙවීම, අනුන් ගේ සුළු වැරදි වුව පහසුවෙන් දැකීම ලෝක ස්වභාවයයි. අප තථාගතයන් වහන්සේ දේශනා කොට වදාළේ අනුන් ගේ දොස් සොයන තැනැත්තා එම දොස් දහයියා මෙන් පොළා මතුකර පෙන්වන බවත්, තමන් ගේ වැරදි වෙතොත් ඒවා කොළවලින් සිරුර මුවාකර ගන්නා ලිහිණි වැද්දකු මෙන් සඟවා ගන්නා බවත් ය. මේ දේශනාව අතීතයට, වර්තමානයට මෙන් ම අනාගතයට ද එකසේ ගැළපෙන්නෙකි. එවැනි අය මේ සමාජයේ බොහෝ නිදසුන්කොට ගත හැකි බැවිනි.

තවත් අවස්ථාවක උන්වහන්සේ දේශනා කොට වදාළේ යම් පුද්ගලයෙක් තමාට හෝ අනුන්ට හෝ වරදක් නොමැතිව කල් යවන නිර්දෝසී පුද්ගලයකුට අවැඩක්, නපුරක් සිදු කරයි නම් ඒ පව උඩු සුළඟට දැමු සියුම් වූ දූවිලි සේ අනුවණයා වෙතම පෙරළා පැමිණෙන බව ය. පුද්ගලයන් කෙරෙහි වූ මේ ආදී වූ වසල ධර්මයන් ප්‍රහීණ කළ හ

ැක්කේ ද භාවනාවෙන් සිත තැන්පත් කර ගත් පුද්ගලයාටය. මේ නිසා සුන්දරත්වය යැයි රැවටී බාහිර ආටෝපය පසුපස හඹා යනවාට වඩා කෙනෙක් තම අභ්‍යන්තරය, අධ්‍යාත්මය පිරිසුදු කර ගන්නට උත්සාහ කරනවානම් ඔහු හෝ ඇය කෙරෙහි සැබෑම වූ සුන්දරත්වයක්, මානව හිතවාදී බවක් පිළිබිඹු වන බව අවධාරණය කරගත යුතුය.

ශාස්ත්‍රපති ගෝනදූවේ ගුණානන්ද හිමි


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: