Posted by: lrrp | June 8, 2013

මල්හාමි කිරිවෙහෙර ළඟට යයි

මේ සංසාර ගමනේ දී අපට මුණගැසෙන සෑම කෙනෙකු ම මීට පෙර ද සිය දහස් වර මුණගැසෙන්නට ඇත. යම් පුරුෂයකුට ස්ත්‍රියක් මුණගැසේ ද ඇය ඔහුට දස දහස් වාරයක් ලක්ෂ වාරයක් මවක වන්නට ඇත. බිරිඳක, දියණියක, සහෝදරියක, ඥාතිවරියක, මිතුරියක, සැතිරියක වී මුණගැසෙන්නට ඇත. ස්ත්‍රියකට යම් පුරුෂයකු මුණගැසේ ද ඔහු ද අනන්ත වාරයක් ඒ ස්ත්‍රියගේ පියා, ස්වාමිපුරුෂයා, පුතා, සහෝදරයා, ඥාතියා, මිතුරා හෝ සතුරා වී මුණගැසෙන්නට ඇත. ඒ තරමට මේ සංසාර ගමන දීර්ඝ එකකි.

මේ සංසාර ගමනේ මැරි මැරී ඉපිද ඉපිද මේ තරම් දීර්ඝ ලෙස නැවත නැවත උපදින්නේ තණ්හාව හෙවත් වුවමනාව නිසා ය. මෝහය මිශ්‍ර වූ ලෝභය හෝ ද්වේෂය නිසා ය. ලෞකික සැප විඳීමේ වුවමනාව ආශාව නිසා ය. පළිගැනීම හෙවත් එකට එක කිරීමේ, එදිරි පිරිමැසීමේ වුවමනාව, කැමැත්ත නිසා ය. මේ හේතූන් නිසා කර්ම රැස් කරන පුද්ගලයා දිගින් දිගට දුක් විඳී. පූණ්‍ය කර්ම හේතු කොට ගෙන සැපවිඳීමේ ආශාව නිසා දෙව් මිනිස් භවයන්හි ලෞකික සැප විඳියි.

පාප කර්ම හේතු කොට ගෙන දුක් විඳියි. එක් තැනක බැල්ලක කුසින් ඉපිද වැඩී වෙනත් තැනක කෙනෙකුගේ නිවසක් දේපළක් ආරක්ෂා කරමින් බල්ලෙකු ලෙස ණය ගෙවන්නට සිදු විය හැකිය. දුප්පත් මවක කුසින් ඉපිද කෙනෙකුට අනුන්ගේ සම්පත් ලබා ලෞකික සැප විඳිය හැකිය. පොහොසත් මවක කුසින් ඉපිද කර්මානුරූපව අනන්ත දුක් විඳින්නට ද පුළුවන. ඒ මේ සංසාර ගමනේ දී සත්ත්වයා අතින් සිදුවන කර්මයා ගේ විපාකයන් නිසාය. මෙයින් බොහෝ දෙනෙකු දුක් විඳින්නේ ප්‍රේත යක්ෂාදී දුගතිගාමී භවයන්හි ඉපදීම නිසා ය. මේ මිනිස් ලොව ජීවත්ව මැරෙන බොහෝ දෙනා මරණින් මතු නැවත උපදින්නේ දුගතිගාමීව ම ය.

මේ එවැනි කතාවකි. මාලතී අවිස්සාවේල්ල ප්‍රදේශයේ ගම්මානයක ඉපැදුණු සුරූපී තරුණියකි. වයසින් විසි එක් හැවිරිදිය. ඇය රාත්‍රියට හිටි හැටියේ කෑමොර ගසන්නට වූවාය. රාත්‍රියටත් දහවලටත් ඇගේ බඩ හිටි හැටියේ ඉදිමී ඇවිත් හුස්ම ගැනීමේ අපහසුතාව ඇතිවේ. වෙද හෙදකම් ප්‍රතිකාර කළත් සුවයක් නොලද බැවින් ඇය ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයට ගෙන එන්නට යෙදුණි.

එතැන දී ද මාලතීගේ බඩ ඉදිමී ඇවිත් කෑ ගසන්නට වූවාය. ඇයට භූතාත්මයක බලපෑමක් ඇතැයි වැටහුණු බැවින් කතා කරවන්නට උත්සාහ කළ ද පාලනය කළ නොහැකි, තත්ත්වයක් උදාවූයෙන් බෝධි පූජා දහ හතරක් පවත්වා නැවත පැමිණෙන ලෙස දැන්වූයේය. මෙසේ බෝධි පූජා පැවැත්වීමෙන් රෝගී පුද්ගලයාගේ මනස යම් තරමකට ඒකාග්‍ර වේ. භූතාත්මය ද යම් තරමකට නම්‍යශීලී වේ. කොයිතරම් නපුරු වෛරී භූතාත්මයක් වුව ද බෝධි පූජා අවස්ථාවේ දී ඊට යම්කිසි නැඹුරුතාවක් හෝ අවනත බවකට පත්වේ.

බෝධි පූජා පවත්වා අවසන් කොට ඊළඟ ඉරිදා මාලතී වැඩිහිටියන් සමඟ නැවතත් පැමිණියාය. එදින ද එහි පැමිණි සැණින් ඇගේ බඩ ඉදිමී ඒම සමඟ මහහඩින් කෑ ගසන්නට වූවාය.

”කව්ද මේ කෑ ගහන්නේ?”

”ම්.. ම්.. මම.. මළ යක්ෂණියක්”

”ඊට කලින් කොහේද හිටියේ?”

”මාතලේ”

”කොයි කාලෙද?”

”අවුරුදු සියයකටත් එහා”

”එදා නම මොකක්ද?”

”මල්හාමි”

”මල්හාමි කියන්නේ ගැහැනියක් ද? පිරිමියෙක්ද?”

”කෙල්ලක්”

”මල්හාමිගෙ අම්මා කවුද?”

”සන්නිහාමි”

”තාත්තා?”

”පොඩිරාල”

”තාත්තා මොනවද කළේ?”

”අම්මයි තාත්තයි දෙන්නම වත්තෙ වැඩ කළා”

”මොන වත්තෙද?”

”සුද්දගෙ වත්තෙ”

”වත්තෙ නම මොකක්ද?”

”මතක නෑ”

”ඇයි මතක නැත්තෙ?”

”සුද්දව මතක් වෙන කොට හිතේ කේන්තිය වැඩියි. ඒවා අමතක වෙනවා”

”මල්හාමි මොනවද කළේ; ඉස්කෝලෙ ගියාද?”

”මොන ඉස්කෝල ද ඒ කාලෙ”

”එහෙනම් මොනවද කළේ?”

”සුද්දගෙ බංගලාවෙ ඉව්වා”

”කොච්චර කල් ඉව්වද?”

”මාස තුනක් විතර”

ඊට පස්සෙ?”

”මම මළා”

”මොනවා වෙලාද මළේ?”

(හඬා වැලපෙයි)

”හා… හා… කතා කරන්න. මොනවා වෙලාද මළේ?”

”සුද්දා මාව අනාථ කළා”

”ඊට පස්සෙ?”

”උඹ ගෙදර පලයං කීවා”

”ඉතින් ගෙදර ගියාද?”

”නෑ ඇල්ලට පැනලා ජීවිතේ නැති කැරගත්තා”

”ඊට පස්සෙ?”

”මළ යක්ෂණියෙක් වෙලා ඇවිත් රෑට සුද්දගෙ බෙල්ල මිරිකන්න පටන් ගත්තා”

”සුද්දව මැරුවද?”

”නෑ”

”ඒ ඇයි?”

”උගෙන් පළිගන්න හැමදාම බය කරලා ලෙඩ කරන්න ඕනෑ වුණා. ටික ටික මරන්න හිතුණා.”

”ඉතින් මොකද වුණේ?”

”සුද්දා ලෙඩ වුණා.. ඌට කාසෙ හැදුණා. ඌ රට ඇරල උගේ රටට ගියා.”

”ඉතින් මල්හාමිත් සුද්ද එක්ක රට ගියාද?”

”නෑ.මට රටින් පිට යන්න බැරි වුණා.”

”ඊට පස්සෙ?”

”ඊට පස්සෙ ඔහේ කැරකි කැරකි තැන තැන හිටියා. 1970 දි බන්ධනේකට අහුවුණා”

”කොහේදිද?”

”වැල්ලවත්තෙදි”

”වැල්ලවත්තට ආවෙ මොකටද?”

සුද්දා එක්ක කොළඹට ආවා. ඌ නැව් නැගල යන්න ගියා. මම අතරමං වුණා”

”ගමට යන්න හිතුනෙ නැද්ද?”

”නෑ. අම්මා තාත්තා දුක් වෙනවා බලන්න බැරි නිසා මෙහෙට වෙලා හිටියා”

”1970 දි කොහොමද බන්ධනයකට අහුවුණේ?”

”වැල්ලවත්තෙ හිටියා ඩේවිඩ් කියලා කෙනෙක්. ඒ මිනිහගෙ පවුල සිලිනාවතී. මේ දෙන්නට විරුද්ධව ඇදුරෙක් හූනියමක් කළා. පුද පුළුටු තියලා මතුරන කොට මාව ඒ තටුවට ඇදිලා ආවා.”

”ඊට පස්සෙ?”

”මම ඩේවිඩ්වයි සිලිනාවතීවයි ලෙඩ කරල මැරුවා”

”ඇයි තමුන්ට වරදක් නොකළ කෙනෙක්ව මැරුවේ?”

”මැරුවා නෙමෙයි, මම ඒ අයගේ ඇඟට ඇවිත් ඒ ශරීරවලින් ලේ උරා බී ජීවත්වෙන කොට ලෙඩ වෙලා මැරුණා”

”ඊට පස්සෙ?”

”ඊට පස්සෙ ඩේවිඩ්, සිලිනාවතී, එක්ක මම තුන්දෙනාම ඒ ගෙදර හිටියා. එතකොට ඒ ගෙදර හිටිය ඩේවිඩ්ගෙ ළමයින් ලෙඩ වුණා. ඩේවිඩ්ගෙ දූලා ඇදුරෙක් ගෙන්නලා 1981 දී බන්ධනය කැපුවා. අපි තුන්දෙනාව බැඳලා බෝධියක් ළඟට ගිහින් දැම්මා. කාලෙකට පස්සෙ නිදහස් වුණා.”

”ඊළඟට?”

”ඊළඟට ඔහේ ඇවිදින කොට අවිස්සාවේල්ලෙදි ආයෙත් බන්ධනේකට අහුවුණා. ඒක කළේ මාතර ඇදුරෙක්.

”ඇයි එහෙම කළේ?”

”මේ මාලතිත් එක්ක කොල්ලෙක් යාළු වුණා. කොල්ලගෙ අම්මා ඒ සම්බන්ධය කඩන්න බොහොම දේවල් කළා. ඒ ගෑනිගෙ නම කරුණාවතී. කිසිම කරුණාවක් නෑ නපුරුයි. මාතර ඇදුරෙක් ගෙන්නලා කොල්ලව කෙල්ලට එපා වෙන්න මතුරපු කෑමක් දුන්නා.”

”ඉතින්?”

”ඉතින් ඊට පස්සෙ මම මාලතිගෙ බඩට රිංගලා රීරි උරා බීලා ජීවත් වුණා. අනිත් වෙලාවට ඔහේ ඇවිදින්න යනවා. බඩගිනි වුණාම එනවා. ආයෙත් රාත්‍රියට එනවා. මම මාලතීගෙ බඩට රිංගුවා ම තමයි මේ බඩ ඉදිමෙන්නෙත්, කෑගහන්නෙත්.”

මල්හාමි, මල්හාමි මේ හැම දෙයක්ම කරලා තියෙන්නෙ ඇදුරන්ගෙ බන්ධනවලට අසුවීම නිසා. මම මල්හාමිට දොස් කියන්නෙ නෑ. දැන් ඉතින් මල්හාමි මේ ළමයගෙ ශරීරෙන් පිට වෙලා නිදහස් වෙලා යන්න.”

”මම කොහේටද යන්න ඕනෑ”

”යන්න කතරගමට. කිරිවෙහෙර වහන්සේ ළඟට”

”එතැනට ගිහින් මම මොනවද කරන්න ඕනෑ”

”එතැනට එන අය වන්දනාමාන කරන හැටි බලා ඉන්න. ඒවට අත හිත දී සම්මාදන් වෙන්න”

මම බුදුන් වඳින්න කියා දෙන්නම්. බුදුගුණ සිහි කරන හැටි කියාදෙන්නම්. (විස්තර කර කියා දෙයි.)

”හැබැයි මට කතරගමට යන්න කලින් වරයක් ඕනෑ”

”ඒ මොකක්ද?”

”මේ අපරාධය කළ ඇදුරගෙන් පළිගන්න. ඌව මරන්න ඕනෑ”

”මම දන්නෙ නෑ. ඒක මල්හාමිගෙ වැඩක්”

”ඔව්. ඊට පස්සෙ මම කාටවත් කරදර කරන්නේ නෑ.”

”කිරිවෙහෙර වහන්සෙ ළඟට තමුන්ට යන්න පුළුවන්නෙ?”

”පුළුවන්, පුළුවන්. මම බලවත්. එතැන ඉන්න අය මට ඉඩ දෙනවා”යි කියමින් මාලතීගේ ශරීරයෙන් භූතාත්මය ඉවත්ව ගියේය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: