Posted by: lrrp | June 8, 2013

මියගිය ආච්චි දුර්ගන්ධයක් පතුරවමින් මිනිබිරිය පසුපසින් එයි

වැඩිහිටියෝ තමන් ගේ දූ දරුවන්ට, මුනුපුරු මිනිබිරියන්ට ආදරය කරති. අනාගතයේ දී තමන්ගේ දේපළ වස්තු සම්පත් පරිභෝග කරමින් ඔවුන් වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් හෝ වෙනත් අන්දමින් රටේ ඉහළින් වැඩඹෙනු දකින්නට ආශාවෙන් සිටිති. මිථ්‍යා දෘෂ්ටිය නිසා මැරෙන බවත් මරණින් පසු මේ සියල්ල අතහැර යා යුතු බවත් මරණයෙන් පසු තමන් වෙනත් පුද්ගලයෙකු (සත්ත්වයෙකු) වන බවත් මේ අයගේ සිහියට නොනැ‍ඟේ. “මම” “මම ම” වශයෙන් දිගට ම පවතී යැයි සිතා සිටිති. එයින් තමන් ගේ පරලොව දුගති ගාමී කැර ගනිති. ජීවත්වන අයටත් කරදරයක් බවට පත් වෙති.

සඳුනි මහනුවර ප්‍රදේශයේ පදිංචි දොළොස් හැවිරිදි පාසල් දැරියකි.

ඇය රාත්‍රී නින්දෙන් හීනෙන් බිය වී කෑ ගසා ගෙන අවදි වීමත්, මවුපිය දෙදෙනා නුරුස්නා ගතියත්, ඇගේ පිටුපසින් දුඟඳක් හැමීමත් නිසා මහත් පීඩාවට පත්ව සිටියාය.

සඳුනි යන එන තැන ඇගේ පිටුපසින් මහත් වූ දුර්ගන්ධයක් පැතිරීම හේතුවෙන් පාසලේ සිසු සිසුවියන්ගේ පිළිකුලට පාත්‍ර වීමත් නිසා ඇය පාසල් ගමන ද අතහැර දැමුවාය.

මෙය කායික හෝ මානසික ආබාධයක් නොවන බැවින් ඇගේ මවුපියෝ වෛද්‍යවරුන් කරා ඇය කැටුව නොගියහ. ‘සිළුමිණ’ පාඨකයන් වන මවුපියෝ ‘පියවි ඇසින් ඔබ්බට’ විශේෂාංගයේ සඳහන් ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානය වෙත දියණිය කැඳවාගෙන ගියාය.

එහිදී ආධ්‍යාත්මික ගවේෂකවරයා සඳුනි පරීක්ෂා කිරීම සඳහා කිරණ ශක්තිය යොමු කළේය. එවිට අඬන්න පටන් ගත් සඳුනි ඒ සමඟම තද නින්දකට වැටුණාය.

ඇය අවදි වූයේ ම නැත. ඇගේ ශරීර ගත ගුප්ත බලවේගය දුර්වල බව වටහා ගත් ගවේෂකවරයා පැන් ටිකක් මුහුණට ඉස ඇය අවදි කැර වීය. දින විසි එකක් ගමේ පන්සලේ බෝධි පූජා පවත්වා නැවත පැමිණෙන ලෙස උපදෙස් දුන්නේ ය.

ඊළඟට පැමිණි දිනයේ සඳුනි ආවිෂ්ට වූවාය. ගවේෂකවරයා ප්‍රශ්න කළේය. එදින ද ප්‍රේත ජිවියා අඬන්නට පටන් ගත්තේ ය.

“කවුද මේ අඬන්නේ?”

“කරුණාවතී”

“කවුද කරුණාවතී ය කියන්නෙ?”

“මේ දෝනිගෙ අත්තම්මා”

“ඉතින් ඇයි අඬන්නෙ?”

“මිනිබිරී දාල යන්න බෑ. දාල යන්න වෙයි කියලා බයට අඬන්නෙ”

“ඇයි මේ දෝනිගෙ ඇඟට රිංගුවේ?”

“මේ දැරිවිව හදා වඩාගත්තේ මම. අම්මා තාත්තා රට ගිහින් හිටියා. මමයි හදා වඩා ගත්තේ. අවුරුදු අටක් ම මම ය හදා වඩා ගත්තේ. මම දෝනිට ආදරෙයි. මට දෝනිව අතහැරලා යන්න බෑ.”

මේ මියගිය කරුණාවතී සඳුනි‍ගේ අම්මාගේ අම්මා ය. සඳුනිත් සමඟ මවු පිය දෙදෙනා විදේශ සංචාරයක යෙදෙද්දී අත්තම්මා මිය ගොස් ඇති බවත්, ඇය මිය යන අවස්ථාවේ ඈ ගැන අත්තම්මා අසා ඇති බවත්, “දෝනිව දකින්න ආසයි” කියා මැරෙන මොහොතේත් මතක් කැර ඇති බවත්, සඳුනිගේ මව ගවේෂකවරයා සමඟ කීවාය. ගවේෂකවරයා නැවත ප්‍රශ්න කළේය.

“ඇයි මේ ළමයා පසුපසින් දුර්ගන්ධයක් හමන්නෙ?”

“ඒ මගේ ඇ‍ඟෙන් නික්මෙන ගඳ” යැයි ප්‍රේතිය කීවාය.

“ඇයි මේ ගඳ?”

“මහත්තයා, මම ජීවත්ව ඉන්දැද්දි පින් දහම් කළේ නෑ. බොරු කීවා, අනුන්ට අපහාස කළා. ඒ පවට තමයි ඔය ගඳ හමන්නේ.”

“ඔබ ළමයාට ආදරෙයි කිය කියා ළමයාගේ පස්සෙන් යනවා. ඔබේ ගඳ නිසා දැන් ළමයාගේ අධ්‍යාපනයත් කඩාකප්පල් වෙලා. ඒ බව දන්නවා ද?”

“…..” ප්‍රේතිය නිහඬ ය.

“ළමයාට ආදරේ නම්, ළමයාට ආදරේ කෙනෙක් නම් ළමයා ගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙන විදිහට වැඩ කරන්නේ නෑ නේද?”

“………..” ප්‍රේතිය නිහඬ ය.

“ඇයි මේ ළමයාත් මවුපියනුත් අතර නුරුස්නාකම් ගැටුම් ඇති කරන්නෙ?”

“ඒ පළිගන්න.”

“කාගෙන් ද?”

“දූගෙයි බෑණගෙනුයි”

“ඒ අය මොන වරදක් කළාට ද?”

“මේ ගොල්ලො කුරුණෑගල හාමුදුරු කෙනෙක් ලවා මාව බැන්දුවා. ඒ තරහට මම පළිගන්නවා.”

“බැන්දුවා නම් මෙතනට ආවේ කොහොම ද?”

“ඒ හාමුදුරුවෝ මාව බඳින්න හදනකොට ම මම පැනලා ගියා. මුන්ව! රවටලා ඔන්න මම ප්‍රේතිව බැන්දයි කියලා හාමුදුරුවෝ මේ අයගෙන් සල්ලි කඩා ගත්තා. “

“ඉතින් දූගෙනුයි බෑණගෙනුයි පළි ගන්නවා කියලා මේ ළමයටත් හිරිහැරයක්නෙ. කරදරයක්නෙ. ළමයාට ආදරේ නම් එහෙම කරනව ද?”

“…….” ප්‍රේතිය නිහඬ ය.

තවත් දින හතක් බෝධි පූජා පවත්වා නැවත එන ලෙස උපදෙස් දුන්නේ ය. මෙසේ බෝධි පූජා පවත්වන්නට නියම කරන්නේ සිත ඒකාග්‍ර කොට ශ්‍රද්ධා, ශීල, සති, සමාධි ක්‍රමයෙන් ශක්ති ශරීරය ගොඩ නැංවීමට ය. ශක්ති ශරීරය පිරිහී ගිය විට ලෙඩ දුක් ඇති කිරීමේ හැකියාව අමනුෂ්‍යයන්ට ලැබේ. එහෙත් සමහරු බෝධි පූජා පැවැත්වීමට අකමැති ය. ඔවුන්ට අවශ්‍ය එක දවසෙන් සුවපත් වීමට ය. තමන්ගෙන් සිදු වූ අඩුපාඩු නිසා අමනුෂ්‍ය බලය වර්ධනය වන බව නොසිතයි. ප්‍රේත දෝෂ තියෙන නිවෙස්වල මස්, මාළු, කරවල, බිත්තර තෙල් බැඳුම් අහිතකරය. සමහරුන්ට ලෙඩා මළත් මස් මාළු නොකා බැරිය. රූපවාහිනිය ඉදිරියේ දවසෙන් පැය තුන හතර කාලය කන කාලකන්නින්ට තමන් ගේ පවුලේ ලෙඩා වෙනුවෙන් පැයක් හමාරක් බෝ මළුවක තෙරුවන් වඳින්නට, මල් පහන් පුදන්නට පිරිත් සූත්‍රයක් සජ්ඣායනා කරන්නට කම්මැළිය. ඒත් ඔව්හු බෞද්ධයෝ යැයි කියා ගනිති.

බෝධි පූජා දින හතක් පවත්වා එන්නට උපදෙස් දුන්නත් ඔවුන් යළි පැමිණියේ නැත. මාස එකහමාරකට පසු සඳුනිගේ අම්මා “අනේ බුදු මහත්තයෝ අපට පිහිට වෙන්නැÓයි ගවේෂකවරයාට එස්. එම්. එස්. පණිවුඩයක් එව්වාය. එයට පිළිතුරක් නොලැබුණු බැවින් යළිත් දැරිය රැගෙන ආවා ය.

සඳුනිගේ දෑත් දෙපා කොර වී ඇත.

“ඇයි මේ ළමයාගේ අතපය කොර වෙලා?” ගවේෂකවරයා ඇසීය.

“දන්නේ නෑ මහත්තයා”

“ඇත්ත කියන්න බෝධි පූජා තිබ්බ ද?”

“ඔව්”

“බෝධි පූජා තිබ්බා නම් ළමයාගේ අතපය කොර වෙන්න විදිහක් නෑ. මාස එකහමාරක් මොනව ද කළේ? ඇත්ත කියන්නේ නැත්නම් මට ප්‍රතිකාර කරන්න බැහැ. ළමයාව අරගෙන යන්න. ඕනෑ තැනකින් ගිහින් ප්‍රතිකාර කරවා ගන්න. මගෙන් ප්‍රතිකාර වුවමනා නම් ඇත්ත කියන්න ඕනෑ. මාව රවටන්න හදන්න එපා.”

“අනේ! මහත්තයා! බෝධි පූජා පැවැත්තුවේ නෑ.”

“ඇයි ඒ?”

“මහත්තයා කැමති නැහැ. රස්තියාදු වෙන්න බැරිලු.”

“හා…. හා…. තම තමන්ගේ පාපකර්ම විපාක තමන් ම ගෙවන්න ඕනෑ. මට ගෙවන්න බෑ අනුන්ගේ පාප විපාක. ඒවාට තම තමන් කැපවෙලා වැඩ කරන්න ඕනෑ. තමන් ගෙ කර්ම විපාක ලෙඩ දුක් තව කෙනෙකුට එක පාරට ම පිහදාන්න බැහැ. මේ අතරේ බෝධි පූජා නොතියා තව තව වෙනත් දේවල් කළා නේද?”

“ඔව් මහත්තයා. මගේ මනුස්සයා මේ ළමයා මන්ත්‍ර බලයෙන් වැඩ කරන හාමුදුරු කෙනෙක් ළඟට අරගෙන ගියා. එතැනදිත් දරුවාට අත්තම්මා දිෂ්ටි වුණා. එතැනදී දරුවගේ අතපය ඇඹරිලා කොර වුණා. හාමුදුරුවො කිව්වා ඒ පාර ළමයා දොස්තර කෙනෙක් ළඟට අරගෙන යන්න කියලා. ඉස්පිරිතාලෙන් කිව්වා මෙයාට ලෙඩක් නැහැ කියලා.”

“මට බැහැ මේ ළමයගෙ වගකීම බාර ගන්න. තාත්තට ඕනෑ විදිහට ගිහින් සනීප කැර ගන්න පුළුවන් නම් සනීප කැර ගන්න. අනුන්ගෙ පව් මට බාර ගන්න බෑ. මේ අහිංසක ළමයා ගැන අනුකම්පා කරලා තමයි අද එන්න කිව්වේත්” යැයි කියන විට ම සඳුනි ප්‍රලය වූවාය.

“ඔව්! ඔව්! මහත්තයා. අර මෝඩයා ආයෙත් මාව බන්දන්න හාමුදුරුවො ළඟට ළමයාව අරන් ගියා. ඔන්න මම වැඩේ මේ පාර හරියට ම කළා. තරහට.”

“ඇයි මේ ළමයව කොර වුණේ”

“මට කේන්ති ගියා මහත්තයා. මං මැරුණෙ පපුවෙ අමාරුවක් හැදිලානෙ. ඒ වෙලාවෙ මගෙත් අතපය ඇඹරිලා ගිහින් තමයි මළේ. ඒක වෙන්නැති.”

“ඉතින් කරුණාවතී! අත්තම්මා මිනිබිරීට ආදරේ නම් තාත්තගෙ වැරදිවලට ළමයාට දුක් හිරිහැර කරලා හොඳ නැහැ නෙ. මම කියන දේ පිළිගන්නවා ද?”

“ඔව් ඔව් ඔය කට්ටඩින්ගේ යන්ත්‍ර මන්ත්‍ර බලය සීමිතයි. ආධ්‍යාත්මීය ශක්තිය තියෙන්නේ මෛත්‍රීය පදනම් කරගෙන, ලෙඩාගෙවත්, භූතාත්මයේ වත් සිත් නොරිද්දා කරුණාවෙන් සුවපත් වේවා යන අදහසින් ම කරන දෙයක්. දැන් මේ ආත්තම්මත් මිනිබිරී ගැන කරුණා මෛත්‍රියෙන් හිතන්න ඕනෑ. මේ දැරියගෙ ශරීරයෙන් ඉවත් වෙලා යන්න ඕනෑ.”

“හොඳයි මහත්තයා මාව හොඳ තැනකට යවන්න”

“තමුන් කැමති කොතැනට යන්න ද?”

“දළදා මාලිගාවට යන්නට කැමැතියි”

“බෑ බෑ තමුන් වගේ ගඳ ගහන කෙනෙක් ඒ වගේ තැනකට යවන්න බෑ. මම මේ අයට කියන්නම් දානයක් දී පැන් වඩා අම්මාට පින් දෙන්න කියලා. ඒ පින් අනුමෝදන් වෙලා දැන් ඔය සිටින තත්ත්වයෙන් ටිකක් ඉහළට යන්න. එතැන කරන පින් දහම් දැක බලා සතුටු වෙලා ශ්‍රද්ධාව ඇති කරගෙන තවත් ඉහළට යන්න.”

නිවසේ සාංඝික දානයක් දී මියගිය මවට පින් අනුමෝදන් කරන ලෙස උපදෙස් දුන්නේය.

සඳුනි සුවපත් වූවාය. දානයෙන් පසු පැමිණි විට ප්‍රේත ජීවියා නාථ දේවාලය අසල බෝධිය ළඟට යැවීය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: