Posted by: lrrp | June 9, 2013

අටපිරිකර පූජනීය කරන්න

ම හත් පල මහානිශංස ලැබෙන කුසල් අටෙන් එකක් හැටියටයි බෞද්ධයන් අට පිරිකර පූජාව හඳුන්වන්නේ. ඒත්ඊයේ පෙරේදා අහන්න ලැබුණු තොරතුරු දෙස බැලුවම අද කාලෙ ඇතැම් උදවිය පින පව ගැනවත් හිතනවද කියලත් සැක හිතුණා.යහපත් කර්මාන්තයක් කරගෙන ජීවත්වෙන පූජා භාණ්ඩ වෙළෙඳුන්ටත් විශාල අගෞරවයකටමුහුණ දෙන්න සිදු වුණු කාරණයක් බවට පත් වූ ප්‍රමිතියෙන් තොර අටපිරිකර අලෙවි කළ වෙළෙඳුන් හැට දෙනකුපමණ පාරිභෝගික සේවා අධිකාරියෙන් වටලද්දී ඒ අතර මහ පරිමාණයෙන් විනය විරෝධී අට පිරිකර නිපද වූ කම්හලකුත් හසුවුණා. ලෝකය පුරා බෞද්ධ දර්ශනය ගැන උනන්දු වන පිරිස වැඩිවෙමින් පවතින අතරම එය විකෘති කිරීමටත් ඇතැම් පිරිස් වැර දරන කාලයක ථෙරවාදී බුදු දහම පවතින එකම රටේ මෙවන් සිදුවීම් වාර්තා වීම කෙතරම් සාධාරණ ද කියා අප විද්වතුන් කිහිපදෙනකුගෙන් විමසුවා.

පළමුවෙන්ම අටපිරිකර පූජා කිරීමේ ආනිශංස පිළිබඳව අපට පහදා දුන්නේ සෝමාවතී රජ මහ විහාරාධිපති සියම්මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ නියෝජ්‍ය මහා ලේඛකාධිකාරීපහමුණේ ශ්‍රී සුමංගල නායක ස්වාමීන් වහන්සේයි.

“පුරුෂයකු නම් සසර කෙළවර වන අත් භවයේ දී ඒහි භික්ෂුභාවයෙන් යුතුව නිවන් අවබෝධ කර ගැනීමටත්, කාන්තාවක නම් මහා මේල පලඳනාව ලබාගෙන පංච කල්‍යාණයෙන් යුතුව ඉපදී මහණ වී අර්හත්බව ලබා නිර්වණාවබෝධයට පිවිසීමටත් ඉන් පෙර උපදින භවයක් පාසා ආයු වර්ණ සැප බල ප්‍රඥා ආදී සම්පත් ලැබීමටත් හේතු වන පූජාවක් ලෙසයි අටපිරිකර පූජාව හඳුන්වන්නේ.

එවන් පුණ්‍ය කටයුත්තක් සඳහා ශ්‍රද්ධාවෙන් යුතුව පූජා කරන තනි පට සිවුර, දෙපට සිවුර, අඳනය, පටිය, දැලි පිහිය, පෙරහන්කඩය, පාත්‍රය, ඉඳිකටු නූල් ඇතුළත් අටපිරිකර දුර්වර්ණ ආකාරයෙන් විනයානුකූල නොවන අයුරින් දායකයන් මුලා කර ලබා දීම මහා බරපතළවැරැද්දක්.විනය පිටකයේ චීවරකන්දකයේ විනයානුකූලව මේ අටපිරිකර සකස් කළ යුතු ආකාරය සඳහන් වෙනවා.”

උන්වහන්සේ පවසන බෞද්ධ ප්‍රමිතිය නීත්‍යනුකූල අයුරින් අද පවත්නාප්‍රමිතින්වල සඳහන් වෙන්නේ දැයි අප විමසුවේ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් චන්ද්‍රප්‍රේම ගමගේ මහතාගෙන්.

” ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය පාත්‍ර හා සිවරු නිෂ්පාදනය සදහා එස්. එල්. එස් 1257 සහ එස්. එල්. එස් 1258 යන ප්‍රම්තීන් ලබා දී තිබෙනවා. ඒ වගේම බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ එම භාණ්ඩ අලෙවි ආයතන ලියාපදිංචි විය යුතුයි. මේ වන විට ආයතන 163ක් අප දෙපාර්තමේන්තුවේ එසේ ලියාපදිංචි වී සිටිනවා. ඒ සඳහා ප්‍රාදේශීය ශාසනාරක්ෂක ලේකම් සහ දිස්ත්‍රික් ශාසනාරක්ෂක ලේකම් හිමිවරුන්ගේ නිර්දේශය අවශ්‍යයි.

නමුත් අපට කරුණු කිහිපයක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී තිබෙනවා. නියමිත විනයානුකූල දිග පළල සහිත නොවීම , අට පිරිකරට අයත් අංග අටම නොතිබීම, විසිතුරු ආවරණ නිසා ඇතුළත නොපෙනීම, මිල ගණන්වල විශාල වෙනස්කම් පැවතීම, දැලි පිහි වෙනුවට වානේ පතුරු යෙදීම, ඇලුමිනියම් පාත්‍ර ඇතළත් කර තිබීම, පාවිච්චි කළ පැරණි වු සිවුරු මිලට දීම, රෙදිවල ප්‍රමිතියක් නෙිතිබීම ආදි කරුණුයි.”

නිසි නිර්දේශ සහිතව විනයානුකූල අටපිරිකර නිපදවන ආකාරය පිළිබඳව අප විමසුවේ වසර හැටක් පුරා ලියාපදිංචිය සහිතව අඛණ්ඩව පිරිකර අලෙවියෙහි නියුතු කොළඹ කොටුවේ සුප්‍රසිද්ධ පූජා භාණ්ඩ අලෙවි ආයතනයක අධිපතිනිය වූ සීතා ධර්මරත්න මහත්මියගෙන්.

” මුලින්ම කිව යුත්තේ අට පිරිකර එතිය යුත්තේ ගැනුම්කරු ඉදිරියේදීයි.එනිසා ඔතා තිබෙන අට පිරිකර ගැනීමට පෙලඹෙන්න එපා කියලයි . අටපිරිකරකට අඩංගු අංග ගැන අප කවුරුත් දන්නවා. ඊට අමතරව සොළොස් පිරිකර ද සෙසු පිරිකර වශයෙන් සිවුරු, අඳන, වටාපත්, ගමන්මලු ආදී නොයෙක් දේ ද පූජා කළ හැකියි.

සොළොස් පිරිකරට අයත් වන්නේ තනිපට සිවුර,දෙපට සිවුර, අඳනය, පටිය, පෙරහන්කඩය, දැලි පිහිය,පාත්‍රය, ඉදිකටු නූල්,හැරමිටිය, වටාපත, කුඩය, සෙරෙප්පු, බෙහෙත් වර්ග, පැදුරු කොට්ට ඇතිරිලි, ඉඳුල්කඩය හා පත්කඩයයි.විනයානුකූල අටපිරිකරක් සැකසීමට රෙදි යාර 23ක් පමණ අවශ්‍යයි. තනිපට සිවුරකට අඟල් 36න් නම් යාර නවයහමාරක් පමණ ද අඟල් 45න් නම් යාර හයහමාරක් පමණ ද අවශ්‍යයි.විනයානුකූල සිවුරක උස අඟල් 81ක් හා පළල අඟල් 99-101 පමණ වනවා. දෙවුර වසනවානම් ඊටත් වඩා වැඩි පළලක් ඕනා.ඒ රෙදි ප්‍රමාණය තීරණය කරන්නේ ස්වාමීන්වහන්සේගේ වැලමිටේ සිට මැදැඟිල්ලේ කෙළවරට ඇති උස අනුවයි.දෙපට සිවුරකට සාමාන්‍යයෙන් රෙදි යාර 13ක් පමණ අවශ්‍යයි.

අඳනයකට පළල අනුව රෙදි යාර තුනක් හෝ තුනහමාරක් ඕන වනවා.එසේ මසන සිවුරු කඩ පහකට වෙන් කර බුදු හාමුදුරුවන් දේශනා කළ අයුරින් කුඹුරක ලියැදි ආකාරයට මූට්ටු කර මැසිය යුතුයි. එහි දී අඳන කඩක් සඳහා කඩකට හරස් මූට්ටුවක් බැගිනුත් සිවුරු සඳහා හරස් මූට්ටු දෙක බැගිනුත් මැසිය යුතු අතර බඳ පටිය අඟල් හයක් පමණ පළල වනවා.

සමහරු දැන් දැලි පිහිය වෙනුවට රේසරයක් ඇතුළත් කිරීමට පුරුදු වී සිටිනවා. නමුත් එය කැප නැහැ. ඒ වගේ ම සමහරුන් ඇලුමිනියම් පාත්තර අටපිරිකරට යොදනවා එයත් කැප නැහැ. තලතෙල් ඹප දැමූ පාත්තරයයි නිවැරදි විනයානුකූල අංගය වන්නේ.සමහර ස්වාමීන්වහන්සේ කඩ සිවුරුවලට කැමැත්තක් දක්වනවා. ඒවා පහළොස්කඩ,විසිපස්කඩ , තිස්පස්කඩ, හතළිස්පස්කඩ, පනස්පස්කඩ, අසූපස්කඩ හා එකසිය එක්කඩ වශයෙන් සකසන්නේ අඟලට කැපූ රෙදි කැබලිවලින්.”

එසේ කුඩා කොටු වශයෙන් හෝ හරස් මූට්ටු යොදා සිවුර සැකසීමට හේතුව සුමංගල නාහිමියන් මෙසේ පැහැදිලි කර දුන්නා.

” බුද්ධ කාලේ සාමාන්‍ය රෙදිකඩක් ගෙන සිවුරක් ලෙස භාවිත කළා. නමුත් වරක් කොසොල් රජු මඟුල් ඇතු පිටින් යද්දී මඟ වැඩහුන් භික්ෂුන් වහන්සේ නමක් යැයි සිතා සිවුරකට සමාන ඇඳුමකින් සැරසී සිටි නිගණ්ඨයකුට වැන්දා. එය මහත් පීඩාවක් රජුගේ සිතට ගෙනා නිසා ජීවක වෙදැදුරුගෙන් මෙයට පිළියමක් සෙවුවා.

ඒ පිළිබඳව බුදුන් වහන්සේගෙන් විමසන විට උන් වහන්සේ මගධ රටට වඩිමින් සිටියේ කුඹුරු යායක් මැදින් නිසා ඒ කුඹුරු යාය පෙන්වා මෙහි ලියැදිවල රටාවට සිවුර කඩකර මසා පොරවන්නැයි වදාළ බව සඳහන් වෙනවා. කෙසේ වෙතත් එවැනි සිවුරක් පෙරවිය හැක්කේ ශාසනානුකූලව මහණ උපසම්පදා ලැබූ භික්ෂු භික්ෂුණී දෙපාර්ශ්වයට පමණයි. ඒ හැර දසසිල් මැණිවරුන් හෝ වෙනත් අයට එය පෙරවීමවත් කැප නැහැ. කොහොම වුණත් අටපිරිකරක් ශ්‍රද්ධාපූර්වකව පූජා කරන්නකුට හෝ එය ලබන ස්වාමීන්වහන්සේට නම් මේ ව්‍යාජ අටපිරිකර පූජා කරන්නේ කූට වෙළෙඳුන්ගේ කපටිකම් ගැන නොදැනුම්වත්කම නිසා නම් පවක් ඇතිවන්නේ නැහැ.නමුත් දැන දැන ම එවැනි වෙළෙඳාම් කරන්නන් තමන් කළ කර්මය අනුව විපාක විඳවාවි”

උන් වහන්සේ පැවසූ පරිදිම වැරදි වෙළෙඳාමේ නියුතු වූවන් වැටලීමට ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි විෂයභාර ඇමැතිවරයා පාරිභෝගික සේවා අධිකාරියට නියෝග කර තිබුණා. පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති රූමි මර්සුක් මහතා ඒ පිළිබඳව පැවසුවේ මෙවැන්නක්.

“මේ වෙළෙදුන් පාරිභෝගික ආරක්ෂණ පනතේ 26 වැනි වගන්තිය උල්ලංඝනය කිරීමත් 30 වැනි වගන්තිය අනුව පාරිභෝගිකයන් නොමඟ යැවීමත් සිදුකර තිබෙනවා. 2007 වසරේ නිකුත් කළ ගැසට් නිවේදනය අනුව අටපිරිකර නිපදවිය යුත්තේ අදාල ප්‍රමිතියට අනුකූලවයි. අහි අඩංගු විය යුතු කොටස් අට නිවැරදිව තිබීමත් අත්‍යවශ්‍යයි.

කූට වෙළෙඳුන් කරන මේ කටයුතු ස්වාමීන් වහන්සේ ට කරන අගෞරවයක්. ඒ නිසා අප බුද්ධ ශාසන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය හා එක්ව සාකච්ඡා කරමින් පවතිනවා. ඉදිරියේ දී නව ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට අටපිරිකර නිෂ්පාදනයේ දී අදාල ආයතනයේ නම සඳහන් කිරීම අනිවාර්ය වන අයුරින්. එසේ ම සියලුම නිෂ්පාදකයන් බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලියාපදිංචි වීම ද අනිවාර්ය ‍කිරීමටත් ඉදිරියේ දී මේ කටයුතු තවත්විධිමත් කිරීමටත් අවශ්‍ය පියවර ගන්නවා. මෙවැනි ‍වැරදි සඳහා උසාවිය මඟින් නිසි දඩුවම් ඹවුන්ට ලැබේවි”

එයටම කරුණු සපයමින් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා පැවසුවේ

” මේ පිළිබඳව පසුගිය මැයි 30 වැනිදා සාකච්ඡාවේ දී ව්‍යාපාරිකයන් නැවත ලියාපදිංචි කිරීමටත් එහි දී ප්‍රමිති සහතිකය ලබාගත් අය පමණක් තෝරා ගැනීමටත් අවධානය යොමු වුණා. ඉන් පසු නියමිත ප්‍රමිතීන් අනුගමනය නොකරන ආයතන පිළිබඳ සොයා බලා පාරිභෝගික සේවා අධිකාරිය මඟින් නෛතික පියවර ගැනීමට කටයුතු යෙදෙනවා.

ඒ අනුව වැරදිකරුවන්ට උපරිම දඩුවම් ලබා දිය හැකියි. එසේම අපගේ අපේක්ෂාව වන්නේ මේ ව්‍යාපාරය නියමානුකූල කිරීමත් තායි අටපිරිකර වැනි උසස් තත්ත්වයේ පූජා භාණ්ඩ ආනයනය කරන්නන් සංඛ්‍යාව සීමිත කර ඔවුන්ට නිසි බලතල ලබා දී ඒඅය මඟින් පමණක් අදාල පූජා භාණ්ඩ මිල දී ගැනීමේ ක්‍රමවේදයක් ඇති කිරීමයි.මේ සඳහා ස්වාමීන් වහන්සේලාගේ නිසි මඟ පෙන්වීම යටතේ අප පියවර ගැනීමට සූදානම්.”

ඔහු එසේ පවසද්දී සීතා ධර්මරත්න මහත්මිය පැවසුවේ මෙවැන්නක්.

” අපේ තාත්තාගේ සිට ඇරඹූ මේ ව්‍යාපාරයට ඒ කාලේ අමුද්‍රව්‍ය කෝටා ක්‍රමයට සැපයුවේ දේශීය ආයතනයි.ඒ යුගයේ තිබුණු රෙදි විවීමේ කම්හල් මඟින් සිවුරු සදහා විශේෂයෙන් රෙදි සකසා දුන්නා. පාරට තාර දැමීමට ගන්නා යකඩ බැරල් යොදාගෙන පාත්‍ර සැකසුවා. නමුත් දැන් ඒ කිසිවක් නැහැ. තායි සිවුරු අපේ ඇතැම් ස්වාමීන්වහන්සේලාට උස මදි වන අවස්ථා ද තිබෙනවා.

ඒ වගේම අපේ නම් යොදා ව්‍යාජ ලෙස අට පිරිකර සකසා විකුණූඅවස්ථා ද තිබෙනවා. තවත් විශේෂ කරුණක් නම් අද මේ ව්‍යාපාරයට සිංහල බෞද්ධ අයට වඩා අට පිරිකර පිළිබඳ අවබෝධයක් හෝ හැඟීමක් නැති විජාතික අන්‍යාගමිකයින් සම්බන්ධ වෙලා. රෙදි ගන්නට වන්නේ ද සාමාන්‍යවෙළෙඳුන්ගෙන්.මේ දේවල් පිළිබඳ අවධානය යොමු කර සුදුසු පියවරක් ගන්නවා නම් නියම විනයානුකූල අටපිරිකර අඩු මුදලකට ලබා දීමට අපට හැකියාව ලැබෙනවා.”

පහමුණේ ශ්‍රී සුමංගල නා හිමියන් ගේ අදහස වූයේ ද බෞද්ධ ප්‍රතිපදාවන් අනුගමනය කරන ශ්‍රද්ධාව ප්‍රඥාව හා භක්තිය ඇති පිරිසක් මේ ව්‍යාපාරය කරගෙන යා යුතු බවයි.

” ධාර්මිකව වෙළෙඳාම් කරන පිරිසක් මෙය නොකිරීමේ විපාක තමයි අපට මේ පෙනෙන්නේ. සමහරු පාපය නිසාත් නොදැනුම්වත්කම නිසාත් නොයෙක් දේ ට පෙලඹෙනවා. ලෝභය ද්වේශය මෝහය ඇතිව අනුන් කරන්නන් වාලේ නොකර නිවැරදි දේ කිරීමයි අවශ්‍ය. ඒ සඳහා අදාල රාජ්‍යායතන දෙපාර්තමේන්තු මෙන්ම අනෙක් පිරිස් මහනායක හිමිවරුන්ගේ අවවාද අනුශාසනා ද ඇතිව මෙය නිවැරදි කළ යුතුයි.”

සැබෑය! විවිධ බලවේග හමුවේ වසර දෙදහස් හයසියයක් ඉක්මවා පැවැති බුදු දහම ඉදිරියට රැක ගන්නා බුදු සසුනේ මුර දේවතාවන් වන සංඝයා වහන්සේ වෙනුවෙන් ශ්‍රද්ධා භක්ති පූර්වකව පූජා කරන අට පිරිකර එදා බුදුන් වහන්සේ පැනවූ විනය නීතියට පැවතීම අත්‍යවශ්‍ය කරුණක් බව පුනපුනා කිව යුතු නොවේ.

එහෙයින් එහි යම් වරදක් සිදුවන්නේ නම් එය නිවැරැදි කිරීම මෙන්ම දැන දැන වැරදි කරන්නන් අපාගතවීමෙන් බේරා ගැනීම ද සියල් සතුන් කෙරෙහි මෛත්‍රිය පෙරදැරි කරගත් බෞද්ධයන්ගේ යුතුකම හා වගකීමක් බවද සටහන් කළ යුතුමය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: