Posted by: lrrp | June 9, 2013

නිර්මලීට වැහුණු බීමත් අමනුෂ්‍යයා

සුරා පානයට ඇලී ගැලී සිටිය බේබද්දෝ මරණයෙන් පසු ද ඒ ආශාව සපුරා ගැනීමට විවිධ වූ උපක්‍රම භාවිත කරති. මේ එවැනි කතාවකි.

මේ සිද්ධිය වාර්තාවන්නේ හංවැල්ලට ආසන්න ප්‍රදේශයකිනි. සදීපා හතළිස් එක් හැවිරිදි සුරූපී කාන්තාවකි. බැලූ බැල්මට අවුරුදු හතළිස් එකක් තබා තිස් එකක්වත් පෙනෙන්නේ නැත. සදීපාගේ ප්‍රසන්නතාවය හේතු කොට ගැනීමෙන් ඇයට වයස අවුරුදු දහනවයේ දී ම විවාහවීමට අවස්ථාව ලැබුණි. ඇගේ සහකරුවා වූ නිමල් ද ප්‍රිය මනාප පුද්ගලයකු වූ අතර ව්‍යාපාරිකයෙක් වශයෙන් දියුණුව කරා ගමන් කරන්නෙක් විය. ඒ දියුණුවත් සමඟ අතමිට මුදල් ගැවසීම ද සරු වනවිට මිතුරන්ගේ ආශ්‍රය ද බහුල වන්නට විය. මිත්‍රයන්ගේ සමාගමය බහුල වන විට සතුට ප්‍රීතිය විනෝදය බෙදා හදා ගත හැක්කේ සුරා වෙන්ය යන මිථ්‍යා සංකල්පය පාප මිත්‍රයින් ගේ පෙලඹවීම නිසා ඔහු තුළ ද ක්‍රියාත්මක විය. පාප මිත්‍රයන්ගේ පෙලඹවීම නිසා තමන්ගේ සිත ඊට නැඹුරු වූයේ නුවණ යටපත් වී ගියේ ය. අවසානයේ මත්පැනට ම වහල් වූයේ ය. ඇබ්බැහි වූයේ ය. එයින් ම රෝගාතුරව ප්‍රතිකාර සඳහා දෙන ඖෂධවලටත් වඩා මත්පැන් ප්‍රමුඛතාවයෙන් නැඟී සිටියේ මෝහයෙන් යුක්තව මත්පැන ජය ගත්තේය. රෝගය උත්සන්න විය. නිමල් පරාජයට පත්වූයේ ඔහුගේ භෞතික ශරීරය සුසානයේ වැළලී ගියේය.

මේ වනවිට සදීපා නිමල් නිසා සුරතල් දියණියකගේ මවක වී සිටියාය. නිමල් ගේ මරණයෙන් වසරක් පමණ ගෙවී යද්දී සදීපාගේ තාරුණ්‍යය හා සුරූපී බව හේතු කොටගෙන සුනිමල් නමැත්තෙකු සමඟ විවාහ වූවාය. ඔවුන්ගේ ප්‍රීතිමත් ජීවිතය තුළ සතුට ඉහ වහා යද්දී සුනිමල් ද මත්පැනට ඇබ්බැහි වූයේය. ඔහුට ද මත්පැන නැතුවම බැරි වූයේ දිනක් වෙරි මරගාතේ ඉදිරිපසින් වේගයෙන් ධාවනය වෙමින් තිබූ වාහනය නොතකන්නට තරම් මනස දුර්වලව පැවතියේ පාර පනින්නට ගොස් ‘දඩ බඩාස්’ එතැනම මරු වැලඳ ගත්තේය. එය ඉදිරියෙන් එන වාහනය පෙනි පෙනී ඒ වාහනට පැන සියදිවි හානි කරගැනීමක් බවට නිගමනය විය.

තවමත් විසිහතර වැනි වියේ පසුවන සදීපා ගේ තාරුණ්‍ය හා සුරූපී බව නැවතත් පිරිමියෙකුගේ අවශ්‍යතාව හා ආරක්ෂාව පැතූයේ සරත් සමඟ විවාහ වූවාය. ඒ වනවිට හොඳින් රැකියාව කරගෙන සිටි සරත් ද මත්පැනට ඇබ්බැහි වූයේ ඔහු ද බීමත්ව වාහනයකට පැන දිවි තොර කැර ගත්තේය.

දැන් සදීපාගේ දියණිය නිර්මලී ද නව යොවුන් වියේ පසුවන, දුටුවන් සිත් බැඳ ගන්නා ප්‍රසන්න උගත් තරුණියකි. මේ වනවිට ඇය රාජ්‍ය සංස්ථාපිත ආයතනයක විධායක මට්ටමේ නිලධාරිනියකි. රැකියාව කරන ආයතනයෙන්ම සැපයූ වාහනයකින් උදේ සවස යෑම් ඊම් කරන්නීය. දැන් ඇය දිනපතා රැකියාව අවසන් කොට නිවස බලා පැමිණෙන ගමන් වාහනයේ රියැදුරා ලවා තැබෑරුමකින් අරක්කු බෝතලයක් ගෙන එන්නට වූවාය. නිවසට පැමිණ ටික වේලාවකින් මත්පැන් තොලගාන්නට පටන් ගන්නී දෙපැයකින් පමණ බෝතලය හිස් කොට රාත්‍රි ආහාරය ගනී. එයින් පසුව ද බීමේ ආශාව නොනිමියේ “මට්…ට… තව ටිකා..ක්.. බොන්ඩ … ඕනෑ… ගෙනැත් දියල්..ලා”යි මෑණියන් සමඟ රණ්ඩු කරන්නීය. හදා වඩා උගන්වා උස් මහත් කළ එක ම දියණිය රටේ පිළිගත් ආයතනයක ඉහළ මට්ටමේ නිලයක් උසුලමින් රාත්‍රිය බීමත්ව ගත කරන ආකාරය ගැන සදීපා හැඬූ කඳුළින් කල් ගෙව්වාය.

රාත්‍රි ආහාරයෙන් පසුව ද තවත් බොන්නට ඇති වුවමනාව ඉටු නොවන විට මව නිහඬව කාමරයට වැදී සිටින විට ඊට ද කේන්ති ගන්නා නිර්මලී “අම්..ම්..මා… කෝ… මට… තව. ටිකක්…” කියමින් මව සොයා ඇගේ කාමරයට යන්නට උත්සාහ කරන්නී ශරීරය පාලනය කර ගත නොහැකිව බිම වැටී, ඒ වැටුණු තැනම නිදාගනී. සමහර දිනවල වමනය දමා ඒ ජරා ගොඩේම නිදා ගනී. තවත් සමහර දිනවල ඇඳිවත පවා ගිලිහී නිරුවතින් ම රාත්‍රිය ගෙවයි. උදේ පහන් වන විට නිර්මලීට මේ කිසිවක් මතක නැත. පාන්දරින් අවදිව රැකියාවට යෑමට සූදානම් වෙයි. කාමරයේ ඇති අරක්කු බෝතල් හා සාලයේ තැනින් තැන බිම වැටී වමනය ගොඩවල නිදා අවදි වී සිටින අයුරු දැක මවගේ දෙපා වැඳ සමාව අයදී. “අනේ අම්මේ මට මොනවා වෙලාදැයි මම ම දන්නේ නැහැ”යි හඬා වැලපී පවසන්නීය.

තම දියණියගේ අස්වාභාවික චර්යාව පිළිබඳ කල්පනා කළ සදීපා ගුප්ත විද්‍යා වන්ගේ පිහිට පැතුවාය. පිළිවෙතක් විමසුවාය. දින දහහතරක් බෝධි පූජා පවත්වා ඊළඟ දිනයේ දියණිය ද සමඟ පැමිණෙන ලෙස උපදෙස් ලැබුණි.

දෙසතියකින් පසු සදීපා, දියණිය නිර්මලී ද සමඟ පැමිණියාය. ගවේෂණයේ දී සදීපා වෙව්ලන්නට වූවාය. ඉන් පසු හඬන්නට වූවාය.

”මොකද මේ? කව්ද හඬන්නේ?”

”මම”

”කව්ද මේ මම කියන්නේ? සදීපාද?”

”නැහැ…”

”එහෙනම් කව්ද?”

”මම නිමල්”

තම මෑණියන් භූ®තාවේෂයකින් පවසන දේ පිළිබඳ නිර්මලී පුදුමයෙන් බලා සිටී.

”කව්ද නිමල් කියන්නේ?”

”මේ දුවගෙ තාත්තා”

”ඇයි මේ ශරීරයට රිංගා ගත්තේ?”

”සදීපාටයි දුවටයි ආදරේ නිසා”

”ආදරේට මෙහෙම කරන්නේ මොකද?”

”සදීපා මගේ වයිෆ්. මං එයාට ආදරෙයි. එයා ලස්සනයි. මට එයාව දාල යන්න බෑ.”

”ඉතින් මැරෙනවැයි කියන්නේ දාල යන එක තමයි. ඇයි මේ කරදර කරන්නේ?”

”මගේ ම වරද. මගේ ම වරද. මගේ බීමත්කම නිසා තමයි මම අකාලෙ මැරුණේ. ඊට පස්සෙ සදීපා ආයෙත් කසාද බැන්දා. මම ඒකට තරහයි. මම උගේ ඇඟට රිංගලා ඌවත් බීමට ඇබ්බැහි කළා. ඌ බොන කොට මටත් ආසා හිතුණා. උගේ ඇඟේ ඉඳගනෙ ඌ බොන අරක්කු මමත් බිව්වා. ඒත් ඌ සදීපා එක්ක සන්තෝසෙන් ඉන්න කොට මට ඊර්ෂ්‍යා හිතුණා. දවසක් ඌව හොඳටම බොන්න පොලඹවලා වාහනේකට තල්ලු කළා. ඌ එතනම ඉවරයි. ඊට පස්සෙ තව එකෙක් සදීපගෙ රූපෙට වහවැටුණා. ඌත් කසාද බැන්දා. ඌටත් මම කළේ ඒ ටිකමයි. ඌවත් බීමට ඇබ්බැහි කරලා ඌ බොන අරක්කුවලින් මමත් බිව්වා. ඌත් සදීපත් එක්ක තුරුල් වෙලා ඉන්නව දැකලා ඌටත් කලින් එකාට කළ දේම කළා.”

”ඉතින් ඒ දෙන්නව මරලා සතුටු වුණාද?”

”ඔව්; ඒත් මට පාඩුවකුත් වුණා.”

”ඒ මොකක්ද?”

”ඇයි මහත්තයෝ උන් මළාම මටත් බොන්න නැතුව ගියානෙ”

”හරී තමයි ඉතින් ඒකට මොකද කළේ”

”මගේ දුවත් එක්ක යාලු වුණ මහත්තුරු බොන්න පෙලඹුවා.

”ඉතින්”

”ඉතින් ඒ වගේ තුන් දෙන්නෙක්ව බේබද්දන් කළා. ඒ අය බොනකොට මමත් බිව්වා. ඒ අය බොන කොට දුවට ඒ අය එපා වුණා. දුවගෙ සම්බන්ධය නැති වුණා ම මට ඒ අයගෙන් බොන්න බැරි වුණා. ඊට පස්සෙ මට බොන්නෙ නැතුව ඉන්න බැරිම තැන හැන්දෑවට දුව බීමට පෙලඹුවා. දුව බොන අරක්කුවලින් මමත් බිව්වා. ඒක නැතුව යන බව දැනිලා තමයි මම ඇඬුවේ.”

”නිමල්” යැයි ගවේෂකයා තදින් ආමන්ත්‍රණය කළේය.

”ඇයි? මහත්තයා”

”තමුන් දැන් නිමල් නොවෙයි. අමනුස්සයෙක්. තරහෙන් ඊර්ෂ්‍යාවෙන් පෙළෙන අමනුස්සයෙක්. මේ ටික හොඳින් මතක තියා ගන්න ඕනෑ”

”හොඳයි .. හොඳයි”

”තමුන් ජීවත්ව ඉන්දැද්දි කෑදරකමයි මෝඩකමයි නිසා බීමට ඇබ්බැහි වෙලා ඒකෙන්ම මළා. ඊට පස්සෙ තවත් ජීවිත දෙකක් විනාශ කළා. මහා පාපයක්. කාලාන්තරයක් දුක් විපාක දෙන පාප කර්මයක්. ඒ මදිවට ඊට පස්සෙ තමන්ගෙ දුවවත් බීමට ඇබ්බැහි කළා. තමුන් මහා ආත්මාර්ථකාමියෙක්. දැන් අපි තමුන්ට දඬුවම් කරනවා.”යි වේවැල පෙන්වයි.

”අනේ! ගහන්න නම් එපා”

”ගහනවා විතරක් නොවෙයි ශක්ති කිරණින් තමුන්ව දැන් පුච්චනවා.”

”එපා… එපා.. අනේ මාව පුච්චන්න එපා. මම යන්නම්. මම… යන්නම්. මීට පස්සෙ මේ අයට කරදර කරන්නෙ නෑ.”

”තමුසේ කොහේටද යන්නෙ?”

”මාව බීමට පොලඹවපු යාළුවො ළඟට යනවා. සදීපා මට සමාවෙන්න. දුවේ මට සමාවෙන්න. මම ආයෙත් එන්නෙ නෑ.”

”අපිට තමුන්ව විශ්වාස නෑ. තමුන් ඉස්සර පාප මිත්‍රයෝ නිසා බිව්වෙ තමුන්ගෙ මෝඩකමට. ඒ මෝඩකම නිසා තමුන් විනාශ වුණා. දැන් තමුන් තවත් ජීවිත විනාශ කරන්න හදන්නෙ. ඒකත් වැරදියි. තමුන් නවගමුවෙ බෝධියට ගිහින් අනිත් අය පින්දහම් කරන හැටි බලාගෙන ඉන්න ඕනෑ.”

”හොඳමයි”

එදායින් පසු නිර්මලීගේ අරක්කු බීම නතර විය.


Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

Categories

%d bloggers like this: